(Paulo Coelho – පාවුලෝ කොයියෝ නමින් සිංහල පාඨකයන්ට සමීප ඔහුගේ නමෙහි සැබෑ උච්චාරණය පවුලෝ ක්වෙලියෝ වේ, එහෙත් මේ ලිපිය සඳහා ජනප්‍රිය සිංහල උච්චාරණයම භාවිතා කළෙමු.)
“කාටවත් කිසිම කෙනෙකු අහිමි වෙන්නේ නැහැ. මොකද කවුරුවත් කිසිම කෙනෙකුට මුළුමනින්ම අයිති නොවෙන නිසා. නිදහස ගැන තියෙන හැබෑම අත්දැකීම ඒක. ලෝකෙ තියෙන වටිනාම දේවල් අයිති කර නොගෙන ඒවත් එක්ක ජීවත් වෙන එක.”
(Paulo Coelho -පාවුලෝ කොයියෝ
මිනිත්තු එකොළහ)
හිතුවක්කාර මිනිස්සුන්ට බොහෝ දෙනා වඩාත් කැමැතියි. ඒ හැමෝටම මොනයම්හෝ දෙයක් ගැන පිස්සුවක් තියෙන නිසා. ඕනෑවට වඩා ශිෂ්ට ගතියක් එක්ක සියයට සියයක් සීරියස් වෙච්ච බැරෑරුම් විදිහට හිතන පතන වැඩිය කතා කරන්න අකමැති තමන්ගේම ලෝකයක් හදාගෙන ඒ ලෝකය තුළ තනි වෙච්ච ලියන මේසයක් ,පොත් පිරිච්ච රාක්කයක්, කඩදාසි වලින් හැඩිවුණ කාමරයක වැඩි වේලාවක් ගත කරන සීරියස් Author image එකෙන් පිටපැන්න කෙනෙකුටත් කතුවරයෙක් වෙන්න පුළුවන්ද ?ඒ කිව්වේ දඩබ්බර ගතිගුණ තියෙන හිතුවක්කාරයෙක්ට පොත් ලියන්න පුළුවන්ද ?පුළුවන් මේ ලියලා තියෙන්නේ.
පාවුලෝ කොයියෝ කියන්නේ පිස්සෙක්
Paulo Coelho (පාවුලෝ කොයියෝ) කියන්නේ එහෙම කෙනෙක් කොහොම කෙනෙක්ද? හිතුවක්කාරයෙක්….
ඒ වගේම පිස්සෙක්
පිස්සෙක් ?
ඔව් පිස්සෙක්….
ඇයි එහෙම කියන්නේ
මානසික රෝහලක අවුරුදු තුනක් ඉඳලා ඒකෙනුත් පැනලා ආපු මනුස්සයෙක්ට පිස්සෙක් කියන්නැතුව වෙන මොනවා කියන්නද ?
ඒ උනාට ඒ වචනය සැර වැඩියි නේද ?
ඔව්
එහෙනම් ඒක ඉල්ලා අස් කරගන්නම්….
මේ මම වගේම කොයියෝට ආදරය කරන මිතුරියක් අතර වුණු කුඩා සංවාදයක කොටසක්….
ඒ කතන්දරවලින් වැඩක් නෑ කොහොමහරි කොයියෝ කියලා කියන්නේ අවුරුදු තුනක් පුරා මානසික රෝහලක ප්‍රතිකාර ගත්ත මනුස්සයෙක්. ඒ විතරක් නෙමෙයි තියෙන මුරණ්ඩුකමට ඒකෙනුත් පැනලා ආපු දඩබ්බරයෙක්. එවගේම හිතුවක්කාරයෙක්.
සාමාන්‍යයෙන් හැමදේටම හා ,හොඳයි ,හරි කියන අයට වඩා මට බැහැ ,මම යන්නෑ ,මම කරන්නෑ කියන මුරණ්ඩු මිනිස්සුන්ව අපිට ගොඩක් ඉන්ට්‍රස්ට් වෙනවා. ඒ එයාලා සම්ප්‍රදායෙන් පිට පැනල එයාලට ඕනි දේවල් කරන හින්දා. කොයියෝට මම කැමති වෙන්නෙත් මේ හේතුව නිසා.කොහොම නමුත් මේ ලියන්නේ නිදහස් ලියැවිල්ලක්. Paulo Coelho (පාවුලෝ කොයියෝ) ගේ පාඨකයන් ද මේ වගේම නිදහස් අදහස් ඔහු ගැන දරනවා ඇතැයි හිතාගෙන. ඉතින් අපි නිදහසේ කොයියෝ ගැන දැනගනිමු.
කවුද මේ කොයියෝ
ඇත්තටම කවුද මේ Paulo Coelho (පාවුලෝ කොයියෝ). අපි ඔහුව බ්‍රසීලියානු ජාතික නවකතාකරුවෙකු සහ ගේය පද රචකයකු ලෙස හඳුනා ගනිමු.ඔහුගේ සැබෑම නම පාවුලෝ කොයියෝ ද සූසා. ඉපදිලා තියෙන්නේ බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නගරයේ. ඒ වර්ෂ 1947 අගෝස්තු මස 24 වැනි දින. Paulo Coelho (පාවුලෝ කොයියෝ)ට යොවුන් වියේ සිටම තිබිලා තියෙන්නෙ ලේඛකයෙකු වීමේ ආසාවක්. අපි හැමෝටම යම්කිසි සිහිනයක් තියෙනවා. ඉතිං අපි පිස්සුවෙන් වගේ ඒ සිහින හඹා යනවා නං අපිට පුළුවන් දවසක ඒ සිහින යථාර්ථයක් ලෙස දකින්න. පාවුලෝත් එහෙම හිතාගෙන ඉන්නට ඇති. මොකද ඔහුගේ ලේඛකයෙක් වීමේ සිහිනය නැතිනම් උමතුව අවසානයේ ඔහු හිතුවටත් වඩා ඉතා හොඳින් සැබෑවක් සේ දකින්නට අවශ්‍ය ඉඩකඩක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ බ්‍රසීලයේ සිටින ප්‍රමුඛතම ලේඛකයා ලෙස ඔහුව ආදරණීය පාඨකයින් පිළිගැනීමත් සමග the economist කියන සඟරාවට අනුව පාවුලෝ කියලා කියන්නේ ගේබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස් හැරුනහම වැඩිම පාඨක අවධානයක් දිනා ගැනීමට හැකියාව ලැබුණු ලේඛකයා. ලොව පුරා ඉතාමත් සීඝ්‍රයෙන් ඔහුගේ පොත් අලෙවි වනවා.මේ හේතුව නිසාම වර්ෂ 1999 දී ප්‍රංශ සඟරාවක් වන Lire විසින් ඔහුව ලොව වැඩිම අලෙවියක් ඇති පොත් රචකයින්ගේ ලැයිස්තුවේ දෙවැන්නා ලෙස නම් කරනවා. ඒ විතරක් නෙමෙයි වර්ෂ 1979 දී ඉරානය තුළ වන ඉරාන විප්ලවයෙන් අනතුරුව ඇරයුම් ඇතුවම ඉරානයට යාමට වාසනාව හිමිවන ඉස්ලාම් භක්තිකයෙක් නොවූ පළමුවැන්නා වන්නේත් පාවුලෝ කොයියෝ.
කෙසේ නමුත් ඔහුගේ පියා ඉංජිනේරුවෙක්. මේ හේතුව නිසා දිනක් ඔහුගේ මව ඔහුගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනව. හේතුව වෙන්නේ ඉංජිනේරු පියාගේ පුත්‍රයාට ඇති ලේඛකයෙක් වීමේ අසීමිත සිහිනයක් මත තම අවශ්‍යතාවය මවට පැවසූ විට මව ඔහුව ප්‍රශ්න කිරීම ආරම්භ කරන බැවින්.
“මගේ පුතේ ඔයාගේ තාත්තා ඉංජිනේරුවෙක්. ඔහු ලෝකය ගැන ඉතා පැහැදිලි දැක්මක් තියෙන තර්කානුකූල යුක්ති සහගත කෙනෙක්.ඉතින් ලේඛකයෙකු යන්නෙහි අරුත කුමක්දැයි ඔයා හරියටම දන්නවාද….?”
හිපි සමය සහ විශිෂ්ට සමය
කොහොම නමුත් වයස අවුරුදු 17ක් වැනි තරුණ අවධියක් පසු වෙත්ම ඔහුගේ දෙමව්පියන් විසින් ඔහුව මානසික ප්‍රතිකාර ආයතනයකට ඇතුළත් කරනවා.ඔහුට නිදහස ලැබෙන්නේ එතැන් පටන් වසර තුනක් ගතවූ තැන. ඒ කිව්වේ නිදහස ලැබෙද්දී පාවුලෝ කොයියෝගේ වයස අවුරුදු විස්සක් පමණ වෙනවා. නමුත් මේ අවුරුදු තුනක කාල පරාසය ඇතුළත ඔහු කිහිප වරක්ම ඉන් පැන යනවා. හරියටම කිව්වොත් තුන් පාරක්. කොයියෝ ආගම සහ ශ්‍රද්ධාව පිළිබඳව හොඳ අවබෝධයක් වගේම තරමක ස්ථාවර මත දරපු කතෝලිකයෙක්. ඔහු නිතරම Self Love එහෙමත් නැත්නම් තමා විසින් තමාට ආදරය කිරීමේ වටිනාකම නැතහොත් තමා විසින් තමාට වන හිංසා හා විනාශයන් මෙන්ම පීඩාකාරී තත්ත්වයන්ගෙන් තමාවම ගලවා ගැනීමේ අර්ථය වඩාත් ඉහළින් අගය කරපු පුද්ගලයෙක්. ඉතා හොඳ කතෝලික භක්තිකයෙක් වගේම අපූරු නිදහස් අදහස් ඇත්තෙකු ලෙසින් ද මේ නිසා අපට පාවුලෝ කොයියෝව කියවා ගැනීමට හැකියාව ලැබෙනවා. එහෙම අපූරු සිතුවිලි තියෙන මනුස්සයෙක්ට ඉතාමත් පහසුවෙන් හොඳ ලේඛකයකු වෙන්න පුළුවන් බවත් අපට වටහා ගැනීමට ඉඩකඩ සලසනවා. නමුත් ඉතින් ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ දෙමව්පියන්ගෙන් යම් යම් බලපෑම් ඇතිවෙන්න පුළුවන් යම්සේද පාවුලෝ කොයියෝටත් දෙමව්පියන්ගෙන් වන බලපෑම මත තම සිහිනය පසෙක දැමීමට සිදුවෙනවා. ඒ අනුව දෙමව්පියන්ගේ අපේක්ෂාවන් ඉටුකර දීමේ අරමුණ ඇතිව නීති විද්‍යාලයට ඇතුළත් වීමට ඔහු තීරණය කරනවා. නමුත් තරුණ වියේ පසුවුණු දඩබ්බර පාවුලෝ කොයියෝ අවුරුද්දක් පමණයි නීති විද්‍යාලයෙහි රැඳෙන්නේ. එයිනුත් ඉවත් වන ඔහු ” හිපියෙක්” ලෙසින් ඇවිදිමින් නිදහසේ අත්දැකීම් ලබා ගැනීමට කටයුතු කරනවා. එහිදී ඔහු ලබා ගන්නා අත්දැකීම් පසුකාලීන නිර්මාණ සඳහා බොහෝ සෙයින් ඉවහල් වෙනවා. මෙම කාල වකවානුවේදී පාවුලෝ කොයියෝ උතුරු අප්‍රිකාවේ දකුණු ඇමරිකාවේ විතරක් නොවෙයි යුරෝපා රටවල් වගේම මෙක්සිකෝවේ සංචාරය කරනවා. මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රටින් රට සංචාරය කරමින් හිපියෙක් ලෙස ලබන අත්දැකීම් ඔහුගේ ජීවිතය වෙනස් කිරීම සඳහා බොහෝ සෙයින් ඉවහල් වූ බව නිර්මාණ භාවිතාවන් හි දී මැනවින් පසක් වනවා.ඒ අනුව විවිධ අත්දැකීම් ලබමින් විවිධ රටවල සංචාරයෙහි නියැළුණු පාවුලෝ කොයියෝ අනතුරුව යළිත් තම මවු රට වන බ්‍රසීලයට පැමිණෙනවා. බ්රසීලයේ දී ඔහුගේ ජීවිතය ගෙවෙන්නේ ගේය පද රචකයෙක් හැටියට. එහිදී ඔහුට රීටා ලී, රාවුල් සික්සාස් ,එලින් රෙජිතා වැනි ගායකයින හා ජෑස් ගායකයින් සමඟ සමීපව වැඩ කටයුතු කිරීමට අවස්ථාව උදා වෙනවා. නමුදු මුදු සංවේගය දනවන පද වචනයක් ඔහු තුළ දක්නට ලැබෙන්නේ නැහැ. ඔහුගේ ගේය පදවල අන්තර්ගත බොහෝ සෙයින් වාමාංශික අදහස් වලින් අනූන වෙලා තිබෙනවා. මෙම ලක්ෂණ හඳුනා ගන්නා එවකට සිටි බ්‍රසීලියානු හමුදා රජය පාවුලෝ කොයියෝව අඩංගුවට ගන්නවා. ඒ වර්ෂ 1974දී. කොහොම නමුත් ඔහු ඉතා විශිෂ්ට ගණයේ අපූරු අදහස් සහිත පුද්ගලයකු බව ඔහු ලියූ පහත ග්‍රන්ථ වලින් සනාථ වෙනවා.
- Brida (1990)
- The Alchemist (1988)
- The supreme Gift ( 1991)
- Eleven Minutes ( 2000)
- The winner Stands Alone (2008)
- Aleph (2010), Adultery (2014)
- The Spy ( 2016), Hippie (2018)
1්
මිනිස්සු පාවුලෝ කොයියෝට එතරම් කැමති ඇයි? ලොව වැඩිම පාඨක ප්‍රමාණයක් නැතහොත් මිනිස් හදවත් විශාල සංඛ්‍යාවක් ඇයි පවුලෝ කොයියෝ වටා එකතු වෙලා ඉන්නේ? මම හිතනවා ඔහුගේ අදහස් සහ වචන හැසිරවීම මිනිස්සුන්ව ජීවත් කරවනවා කියලා. ඉතා අපූරු අදහස් ඔහු සතුයි. ඉතා රසවත් ප්‍රකාශන ශෛලයක් ඔස්සේ ඔහු ඒවා ඉදිරිපත් කරනවා. ඉතින් ලෝකය පුරාම ඔහුට ආදරය කරන ඔහුගේ කෘතීන්ට වශී වෙච්ච බොහෝ දෙනෙක් සිටිනවා. ලංකාවෙත් එහෙම පිරිසක් ගොඩනැගිලා තියෙනවා වගේම ගොඩනැගෙමින් තිබෙනවා.
මේ ඔහුගේ කෘති කිහිපයක් ගැන අදහසක්.
The Alchemist
සන්තියාගෝ නම් සැරිසරන්නා
සිහින ලුහුබැඳ යාමේ අසිරිය මෙන්ම ඇතුළු හදවතට වඩාත් හොඳින් සවන් දීමේ වටිනාකම පමණක් නොව මේ ජීවිතයේ අපට මුණගැසෙන දහසකුත් එකක් නිමිති ඉතාමත් හොඳින් නිවැරදිව කියවා ගැනීමේ වැදගත්කම අපට ඉතාමත් අපූරු සේම රසවත් අන්දමින් කියාදෙන්නට පාවුලෝ කොයියෝ සමත්වන්නේ සන්තියාගෝ නම් සැරිසරන්නා කෘතිය රචනයෙනි. ප්‍රේමයේ සුන්දරත්වයත් මනුෂ්‍යයෙකුගේ ජීවිතයේ ඇති දුබල ප්‍රබල තැනුත් ඉතාමත් සුමට ලෙසින් පිරික්සමින් පාඨකයාගේ ඇතුළු හදවතට ආමන්ත්‍රණය කරනු වස් හෙතෙම දක්වන නැඹුරුව පුදුම සහගතය. ඒ වගේම අපූරු ය. සාර්ථකත්වය යන්න නියත භෞතික සම්පත් රාශියක්ම ලං කර ගැනීම තුළින් පූරණය වන්නක් නොවන බව කොයියෝ අපට මතක් කර දෙන්නේ ය. ස්ථාවර භාවය තුළ නොවන සාර්ථකත්වයක් අඛණ්ඩ හඹායාමක ගැබ්ව ඇති බව ඉඳුරාම පසක් වන්නට ඉඩකඩ සලස්වන්නේ හෙතෙම ය. සාර්ථකත්වය කියන්නේ අධ්‍යාපනිකව වෘත්තිකයෙකු ලෙස හෝ වෙනත් ක්‍රමයකින් රැකියාවකට සුදුසුකම් ලැබීමත් ,වඩාත් හොඳ සැප පහසු ජීවිතයක් ,නිවසක්, වාහනයක් ලබා ගැනීම යැයි සිතා සිටින බහුතර පිරිසගේ වැරදි මතයට අභියෝග කරමින් ඔහු කියා සිටින්නේ එය යම්කිසි කාල වකවානුවක දී නීරස වන බව ය.එබැවින් වඩාත් හොඳ කාරණාව ලෙස ඔහු සඳහන් කරන්නේ අඛණ්ඩව අප යම් යම් දෑ හඹායාම ජීවිතයට වැදගත් වන බවය.සාර්ථකත්වය පටු සීමාවකින් නොනවතින බව හෙතෙම මෙහිදී පෙන්වා දීමට උත්සාහ කරයි. ඒ සඳහා ඔහු මෙම කෘතියෙහි එන ගොපලු තරුණයා සංකේතාත්මක චරිතයක් ලෙස භාවිතයට ගෙන ඇත. ජීවිතයේ යම්කිසි අවදියකදී ස්ථාවර යැයි සිතා සිටින තැනක නතර වී මම සාර්ථකයි. මං පරිපූර්ණයි යනුවෙන් සිතීම පසුකාලීනව අතෘප්තිමත් හා නීරස ඒකාකාරී හිස් බවක් ඇති කරනු ඇතැයි කියා දෙන පාවුලෝ කොයියෝ අඛණ්ඩව හඹා යාම තුළ ඇති නොනවතින මිහිර හා ආස්වාදයක් අපූරු බව විග්‍රහ කරයි. සැබැවින්ම ඔහුගේ දැක්ම කදිමයි.අපූරුයි.මේ එම කෘතියෙහි හතළිස් එක් වැනි පිටුවේ උපුටනයයි.
“නුඹ තේරුම් ගත යුතුම දේ තමයි ආලය කිසිම දිනෙක කෙනෙකුව තම ඉරණම ලුහුබැඳ යන ගමනක් වලක්වන්නේ නැති වග. ඔන්න යමෙක් ලුහුබැඳීම නවත්වන්න ඇයි කියන්නේ නම් ඒකෙ තේරුම ඔහු අත්විඳින්නේ නියම ආලය විශ්ව භාෂාවෙන් අමතන නියම ආලය නොවේය කියන එකයි…”
පරිවර්තනය චූලානන්ද සමරනායක
මිනිත්තු එකොලහේ කතන්දරය
ලිංගික ක්‍රියාවලියකට ගත වන කාලය මිනිත්තු හතක් බවට ” Eleven Minutes ” හි අර්වින් වොලස් රචනා කරයි. එය තහනමට ලක් වූ කෘතියකි. නමුත් එහි අන්තර්ගතය පිළිබඳව පාවුලෝ කොයියෝට ඇති වූ උත්තේජනය මත මුල්බැස ගත් පරිකල්පනය පදනමක් සේ යොදා ගනිමින් මිනිත්තු එකොලහේ කතන්දරය පාවුලෝ කොයියෝ ලියයි. ඒ හදවතේ බැඳීමට අනුව කායික තෘප්තියේ ස්වභාවය කතා කරනු පිණිසය.
හැසිරීම ,දැනුම, සුන්දරත්වය වැනි සියළුම දේවල් විනිශ්චය වන ලෝකයක අප ජීවත් වේ. එහිදී අප අදහන දෙයක් වේ නම් ඒ සියලු දේට ප්‍රමිතියක් ඇති බවයි. සම්මතය මත පිහිටීම නිවැරදි බවත් අසම්මතය අශෝභන බවත් අප හැඳින ගන්නේ එබැවිනි.ලිංගිකත්වයට එය බලපාන්නේ කෙසේද යන්න කොයියෝ මෙහිදී කියාදෙයි.කායික එක්වීමක දී මානසිකව එකිනෙකා තුළ ඇතිවන බැදීම කෙතරම් බලපාන්නේ ද යන්නත් එය හුදෙක් කායික හැසිරීමක් නොවේය යන්නත් එවිට එය වඩාත් ආත්මීය අන්තයකට නැඹුරු වන්නක් බවත් කොයියෝ සදහන් කරයි.තවද පාරම්පරික පිරිමියා උපහාසයට ලක් කරමින් කාන්තාවගේ අප්‍රකාශිත ලිංගික ආශාවේ සහ අපේක්ෂාවේ අගමුල පිළිබඳව සිතන්නට හෙතෙම මෙහිදී පාඨකයාට ආරාධනා කරයි.
මිනිස්සුන්ට මිනිස්සුන්ගේ සිහින බලාපොරොත්තු සහ ආදරය සොයා යාම සඳහා ආශාව ඇති කරවන ලේඛනයක් පවුලෝ කොයියෝ සතුය. පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි කෘතියේ පිලාර් ද බ්‍රිඩා නමැති සොඳුරු නවකතාවෙහි එන බ්‍රිඩා ද ඇයව සොයා යන්නවුන් ය. සොඳුරු අයර්ලන්ත තරුණියකගෙ ඉරණම සොයා යන ගමනේදී ඇයට මුහුණ දීමට සිදුවන විවිධාකාරී සංසිද්ධීන් ඇතුළත්ව ප්‍රේමය ,අබිරහස අනුරාගය, ආධ්‍යාත්මය පිළිබඳව අපූරු කතාබහක් සිදු කිරීමටත් පවුලෝ කොයියෝ එහිදී උත්සාහ ගෙන ඇත.මේ විතරක් නෙවෙයි පාවුලෝ කොයියෝ ගේ දර්ශනය අපට අපගේ ජීවිත වලටද එක් කර ගැනීමට හැකියාව ලැබේ නම් එය ආශිර්වාදයකි. මොකද හේතුව වන්නේ ඔහු ඉතාමත් හොඳ දැක්මක් සහිතව ලේඛන කලාවේ නිරත වූ දක්ෂ කීර්තිමත් ලේඛකයෙක් වන බැවිනි. ඔහු තුළින් පිළිබිඹු වන මානව හිතවාදී ලකුණු මෙන්ම ඉතාමත් සංවේදී අපූරු සිතුවිලි මනුස්සයෙක් වඩාත් ආදරණීය සංවේදී අයෙකු බවට පත් කරවීමට උත්තේජනයක් සලසන්නක් වීමයි.
ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.. නමුත්, තව දුරටත් මිනිසුන් සංවාදයක යෙදෙන්නේ නැත, ඔවුන් එකට වාඩිවී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත..
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි, නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත..
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි..
-පවුලෝ කොයියෝ
“The most important thing in all human relationships is conversation, but people don’t talk anymore, they don’t sit down to talk and listen. They go to the theater, the cinema, watch television, listen to the radio, read books, but they almost never talk.
If we want to change the world, we have to go back to a time when warriors would gather around a fire and tell stories.”
Paulo Coelho
එහෙමනම් ඉතිං අපි එකිනෙකාට ආදරය කරමු.
නමුත් එකිනෙකා අයිති කරගැනීමට උත්සාහ නොකරමු….