SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජවිපෙ ඉෆෙක්ට්

පොදු ලක් සමාජය ජවිපෙ සමග ඇති සම්බන්ධය මොන වගේද? නිර්මාල් දේවසිරි නම් කියන්නේ මේ දවස්වල සමාජ මාධ්‍ය තුළ ජවිපෙ ඉලක්ක කර කරන විහිළු තහළු වැඩි වී ඇති බවයි. ඒ නිසා ඔහු කියනවා “මේ අහස යට කුමක් හෝ වෙමින් තිබේ”ය කියා. සරලව කිව්වොත් ජවිපෙට කරන විහිළු තහළු වැඩි වීමෙන් පෙන්වන්නේ “ජවිපෙ ඡන්දය උඩින්ම දිනාගෙන එනවා” වැනි කතාවක්. ඒ නිර්මාල්ගේ කියවීම.

 

නමුත් මහින්ද පතිරණ කියනවා “ඔය චර්යාව හැමදාම තිබුණා”ය කියා. මටත් මතක තියෙන්නේ නම් ජවිපෙ යනු පොදු ලක් සමාජයේ “කට ගැස්ම” ලෙසයි. ජවිපෙට විහිළු තහළු නොකරපු කාලයක් මට මතක නැහැ. සරලව කිව්වොත් පොදු ජනතාවගේ ලොකුම දේශපාලන “බයිට්” එක තමයි ජවිපෙ.

 

මේ වීඩියෝ එක බලන්න. මේක ප්‍රධාන චැනල් එකක කරන දේශපාලන සම්මුඛ සාකච්ඡාවක්. මේකේ ඉන්නේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක. ඔහුගෙන් අහලා තියෙනවා ඔහුගේ සපත්තු දෙක ගැන. ඒකට ඔහු උත්තර දෙනවා!!! “මේක දුන්නේ එයාගේ පක්ෂයේ කිරිල්ලවල තෝමස් සහෝදරයා” කියා. දැන් මේක බලන අපිට හෙන ආතල් නේද... පේනවද මෙතන වෙන දේ… හැමෝම අනුරව බයිට් එකට ගන්නවා.

 

 

ඔය ප්‍රශ්නය අහන්නෙම අනුර ඕකට ඔය වගේ උත්තරයක් දෙනවා කියලා දන්නා නිසයි. ෂර්ට් එක ගැන කලිසම ගැන ඔරලෝසුව ගැන ජවිපෙ නායකයන්ගෙන් අහන එකයි ඒකට දෙන උත්තරෙයි ලක් සමාජයේ මීම් එකක්. අපි දන්නවා ජවිපෙ නායකයන් කැමරාව ඉදිරියේ මෙහෙම කින්ඩියට අහන ප්‍රශ්නයකින් බයිට් කරන්න පුළුවන් කියලා. මෙතනින් පුළුවන් ලක් සමාජය තුළ ජවිපෙ ආචරණය ටිකක් තේරුම් ගන්න.

 

"මා දන්න මේසන් බාසුන්නැහැ කෙනෙකු සිටිනවා. ඔහු ටිකක් වයසයි. මිටියි. කෙට්ටුයි. ඔහු ටිපිකල් ජවිපෙ සාමාජිකයෙක්. සයිට් එකේ වැඩ කරන ගමන් හතර වටේට ඇහෙන්න ජවිපෙ ගැන වර්ණනාව. හරිම අහිංසක මනුස්සයෙක්. හැබැයි සයිට් එකේ අනෙක් බාසුන්නැහෙලා වගේම ගෝල බාලයොත් මිනිහට කතා කරන්නේ “අනුර කුමාර…” කියලා…

(හිනා) ඒ බයිට් එකට. ඔහුට කෝචෝක් කරලා ඔවුන් හිනා වෙනවා. මේක තමයි ජවිපෙ ආචරණය. ඔන්න දැන් හැම ජේවීපීකාරයෙකුටම “අනුර කුමාර” කියලා කතා කරයිද දාන්නේ නැහැ සමාජය…

 

ඔය වගේ ප්‍රශ්නයක් කවදාවත් මහින්ද රාජපක්ෂගෙන් හෝ රනිල් වික්‍රමසිංහගෙන් හෝ කිසිම මාධ්‍යවේදියෙක් මළාට අහන්නේ නැහැ. ඔවුන්ව බයිට් කරන්න අමාරුයි. ඇහුවොත් අහන එකා බයිට් වෙනවා. ඒ වගේම ලක් සමාජය ඔවුන් සමග තියෙන සම්බන්ධය සපුරා වෙනස්. නමුත් ජවිපෙ සමග තියෙන සම්බන්ධය හරි විශේෂයි. මා හිතන්නේ මේ නිරීක්ෂණය ගැන කවුරුවත් සීරියස්ලි අධ්‍යයනය කරලා නැහැ. එහෙම නොකිරීමත් මේ ඉෆෙක්ට් එකේම ලක්ෂණයක්.

 

මේ චර්යාවට හේතුව කුමක්ද? ලක් සමාජ සංස්කෘතික පිරමිඩයේ අභ්‍යන්තරය හරිම සංකීර්ණයි. ඒක අවමයෙන් වසර දෙදහස් පන්සීයකවත් නිර්මිතයක්. එහි පාදමේ මුල් බැහැලා තියෙන කල්පනා සහ වටිනාකම් (assumptions and values) අනුව තමයි උඩ ස්ථරයේ දෘශ්‍යමාන සංස්කෘතිය (visible culture) හැදෙන්නේ.

 

හේතු කිහිපයක් තිබුණත් මට හිතෙන්නේ පොදු ලක් සමාජය මූලිකව ජවිපෙ වගේ “උනන්දුවන්ට” ස්වභාවිකව අකමැතියි. අපේ සාමාන්‍ය පාසලක වුණත් ඕනෑවට වැඩිය උනන්දු වෙන උඩ පනින පණ්ඩිතයා තමයි බයිට් එක වෙන්නේ. වැඩපොළේ වුණත් වැඩිය උනන්දු වෙන එකාට ලොක්කො එන්කරේජ් කළත් ඉතුරු සේවකයන් ලන්ච්රූම් එකේ හිනා වෙනවා.

 

ජවිපෙට තියෙනවා පුදුම නොඉවසිල්ලක්. ඒ නොඉවසිල්ල විසින් ඔවුන්ව මෙහෙයවනවා. ඔවුන්ට වචන දහයක් සිහි කල්පනාවෙන් කතා කරන්න අමාරුයි. තමාව පාලනය කරගන්න අමාරුයි. නර්ස්ලා දැක්කම ලාල් කාන්තට මෝල් වෙනවා. අපි හරි ආසයි නේද ඔවුන්ගේ ඒ නොඉවසිල්ල බලන්න. අපි කැමතියි නේද ඒ වගේ කෙනෙකුව ෆෝර්ම් කරලා නටවලා වට වෙලා කොක් හඬලමින් හිනා වෙන්න. අන්න ඒ වගේ සම්බන්ධයක් තමයි පොදු ලක් සමාජය සහ ජවිපෙ අතර තිබෙන්නේ. මේක අපේ සංස්කෘතික ගර්භාශයේ තියෙන පිළිකා ගෙඩියක්.

 

චමුදිත ජෝක් එකට අහන ප්‍රශ්නයට ජවිපෙ සීරියස්ලි උත්තරයක් දෙනවා. අන්න ඒක තමයි මේ මා කියන නිශ්චිත අවස්ථාව. මේක තමයි මේ වෙන්නේ. දිලිත් ජයවීර ඊයේ පෙරේදා ඉරාජ් සමග කළ සාකච්ඡාවේ වැඩිපුර කළේ ජවිපෙ බයිට් කිරීම. නමුත් ඔහු පහර ගහපු නාමල් රාජපක්ෂව ඔහු බයිට් කළේ නැහැ. නාමල් කියන්නේ දිලිත්ට සීරියස් ප්‍රතිවාදියෙක්. අනුරව එහෙම නැහැ. මේක නපුරු වැඩක්.

මේක වඩාත් සුවිශේෂී වෙන්නේ ජවිපෙ සතු බියකරු මාරක ප්‍රචණ්ඩත්වය එසේම තිබියදී පවා පොදු ලක් සමාජය ඔවුන්ව බයිට් එකට ගැනීමයි. සාමාන්‍යයෙන් වෙන්න ඕනා ඔවුන්ට බය වෙන එකයි. මා හිතන්නේ බයකුත් තියෙනවා. 60,000 ක් තරුණයන් මරණයට ගෙනිච්ච එක ගැන තරහවකුත් තියෙනවා. නමුත් ලොකුවටම තියෙන්නේ අර බයිට් එක. මට වුණත් හිතෙනවා මුන් කවදා හරි මාව ඝාතනය කරාවිය කියා. ඒත් මා මේක ලියනවා. මේ ලිපිය පවා දැන් දැන් ලියවෙන්නේ අර බයිට් ආරට. මේක මාර වැඩක්.

 

ජවිපෙ කවදා හෝ මේ රටේ ආණ්ඩුවක් හැදුවොත් පොදු ලක් සමාජය විසින් ඒ හදවන්නෙත් බයිට් එකට. ලක් සමාජය කවදාවත් ජවිපෙ සීරියස්ලි ගන්නේ නැහැ. ජවිපෙට පරිණත වෙන්න පුළුවන් වුණත් මා හිතන්නේ මේ පොදු ජන සම්බන්ධය දැන් වෙනස් කරන්න බැහැ. මේක මෙහෙමම තමයි. ජාජබ නෙවෙයි මොන වේසෙන් ආවත් මේ රටේ මිනිස්සුන්ගේ මුල් බැසගත් සංස්කෘතික පදනම් වෙනස් කරන්න බැහැ.

 

මේ වෙලාවේ ජවිපෙට මේ වෙමින් තිබෙන ෆෝර්ම් වීම ලක් සමාජය උපරිමයෙන් එන්ජෝයි කරනවා. මේ රටේ ඉන්නේ ටිකක් කුරිරු මිනිස්සු. ටිකක් කියන්නේ ගොඩක් කියන අර්ථයෙන්. මම ආසම කරන එකක් තමයි ජවිපෙ කට්ටියගේ මූණට එන ලැජ්ජාශීලී අහංකාර හිනාව. ව්‍රයි කැලී බල්තසාර් ප්ලාස්ටික් මල්මාලයකුත් දාගෙන පෙළපාලියේ ඉස්සරහින් එනකොට තමන්ට අත වනන ජනතාව දැකලා විලියෙන් ඇඹරෙමින් දාන හුරතල් හිනාව.

 

අනුර කුමාරටත් ඒ බේබිෂ් හිනාව එනවා ජනතාව එයාව ෆෝර්ම් කරනකොට. ඔවුන් බයිට් වෙනවා කියලා ඔවුන් දන්නේ නැහැ කියලා එතකොට අපිට පේනවා. මැයි නවවැනිදා අපේ පාක්ෂිකයන් මර බයේ ඉන්දැද්දීත් ගෝල්ෆේස් එකට වීරයා වගේ අනුර ඇවිදගෙන එන සීන් එක ෆෝන් එකෙන් දැකලා හිනා වුණා. ගෙවල් ගිනි තියන අස්සෙත් ඒක මීම් කරලා ෂෙයාර් කරනවා… මම හිතන්නේ ප්‍රේමකීර්තිලා වුණත් ජවිපෙ ගන්න ඇත්තේ බයිට් එකට. මරණ එකක් නැහැ කියලා හිතන්න ඇති.

 

වෙන එකක් තියා මේ වෙලාවේ රාජපක්ෂලාට පාඩමක් උගන්වන්න කියලා සමහරු ඡන්දෙ දෙන්නේත් ජවිපෙට. ඒක දෙන්නේ ජවිපෙ ගැන තියෙන විශේෂ පැහැදීමකින් නොවෙයි. ඒක දෙන්නේ රාජපක්ෂලාට නොදී ඔය බයිට් එකට ගන්න අනුරට දෙනවා වගේ තැනකින්. රාජපක්ෂලාට පාඩම් උගන්වන්න බයිට් එකට ගන්නෙත් ජේවීපී එක… ධර්මය අපට මග වේවා!

 

@ එරන්ද ගිනිගේ

2023 ජනවාරි 31

 

 

marrikkar

නවතම ලිපි