පසුගිය දා ලේඩි ලීඩර් වෙබ් අඩවිය විසින් උපුටා පළකර තිබූ මංජුල වෙඩිවර්ධනගේ මිලිටරි උන්මාදයේ දිශානතිය ලිපිය අළලා චන්දකීර්ති විජයබාහු විසින් ලියන ලද පිළිතුරු ලිපියක් පහත පළවේ.
මෙම ලිපිය අළලා යම් පිළිතුරක් හෝ සංවාදයට බඳුන් කරන අදහසක් වේ නම් ලේඩි ලීඩර් වෙබ් අඩවිය වෙත එවිය හැකි අතර අප ඒවා පලකරන්නෙමු (සංස්කාරක)
--------- ---------- ----------
මෑත ඉතිහාසයේ දශක එකහමාරකට අඩු නැති පසුපස අතීත කාලාවකාශයක දේශපාලන දැනුමින් බොල් පිළිමයක්ව සිටි මහින්ද රාජපක්ෂට සහ ඔහුගේ තගාවාදී රාජපක්ෂ-පවුලට වර්ගවාදී චින්තන විෂ තාර්-කික කොට පොවා ඔවුන්ට රටේ අනිසි ජයකොන්තයක් දක්වා වර්ධනය වෙන්නට සොරොව්ව ඇරදුන්නා වූත්, එකල දවසක් හෝ කෝල් එකක් දීම මගහැරුණොත් මහින්දගේ ”හිතට හරි නැති” වන තරමට මහින්දගේ හදවත දිනාගෙන සිටියා වූත් ඒ ජ්‍යෙෂ්ඨ දේශපාලන මතධාරී චම්පික රණවකයන් විසින් ඊයේ පෙරේදා දවසක නෙත්-එෆ්එම් යූටියුබ් නාලිකාව හරහා සමාජයට විවෘතව පවසා සිටියේ, මෑත කාලයේ ස්වාධීන ආයතන පැවැත්වූ සියළු ම මැතිවරණ සමීක්ෂණ සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ම පවත්වාගත්තු මැතිවරණ සමීක්ෂණ වලට අනුව පවා පොදුජන පෙරමුණට ඇති වත්මන් ජනතා කැමැත්තේ ප්‍රතිශතය සියයට 08ක් තරමට පහළ බැස ඇති බවත්, එනිසා ම මහ-මැතිවරණයක් පැවැත්වුවහොත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ලංකා දේශපාලනයෙන් මුළුමනින් අතුගෑවිලා ම යන බවත් ය.
තවද ඇකඩමීක අධ්‍යාපනයෙන් රටේ නීතිය සහ ව්‍යවස්ථාව පිළිබඳ විශාරදත්වයට පත්ව සිටින්නා වූ ද, තම ශාස්ත‍්‍ර ඥානය තුළින් අන්තර්ජාතික පිළිගැනීමට පවා ලක්වී ඇත්තා වූ ද, ලංකා පොදු පෙරමුණු දේශපාලනය හා සම්බන්ධ වීමෙන් පසුව තමන් උගෙන ගත් ජ්‍යෙෂ්ට ඇකඩමීක ඥානය ඇතුළු සියළු ඥානයන්ගෙන් සියයට 10ක්වත් රටේ යහපත සඳහා දායාද කරගන්න නොහැකිව තම දැනුම එකතැන පල් කරගත්තා වූ ද නිසාවෙන්, දැන් රනිල්-පොහොට්ටු ආණ්ඩුව කරන කියන ප්රජාතන්ත‍්‍ර විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී කටයුතු ඉදිරියේ තමන් ”ඉගෙන ගත් පොත්පත් කුණු බක්කියට දැමුවා නම් මීට වඩා හොඳ” යැයි පවසමින් පසුතැවිල්ලෙන පසුවෙන්නා වූ ද, තවමත් නිල වශයෙන් පොදු පෙරමුණේ සාමාජිකත්වයෙන් ඉවත්ව වී නැති විද්වතෙක් වූ නීතිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජී. එල්. පීරිස් විසින් මේ ගෙවෙන මොහොතේ පොදුජන පෙරමුණට ඇති වත්මන් ජනතා කැමැත්තේ ප්‍රතිශතය සියයට 10ටත් අඩු බව ඊයේ පෙරේදා කැඳවූ මාධ්‍ය හමුවක දී වහෙන් ඔරෝ නැතිව කෙලින් ම ප්‍රකාශයට පත් කළේ ය.
මේ දත්ත ප්‍රකාශ සැබෑවක් නිසා, රනිල්-පොහොට්ටු ආණ්ඩුව විසින් චන්දය කල් දැමීමේ කුමන්ත‍්‍රණය පසුපස ඇති සැබෑ හේතුව වන්නේ, රනිල්-පොහොට්ටු ආණ්ඩුව පාර්-ලිමේන්තුව තුළ දී සහ ආණ්ඩුව ම කැඳවා ගන්නා මාධ්‍ය හමුවල දී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන විවිධ ප්‍රබන්ධිත හේතු නහුතය නොවන බව පැහැදිලි වී ඇත. ඊට සැබෑ හේතුව වන්නේ, රනිල්ට මෙලෝ චන්දයක් නැතිවීම සහ ඔහුව සදාචාර විරෝධීව ජනාධිපති බවට පත්කළ පොහොටිටුවේ චන්ද පදනම සිඳී යාම බව ඉතා පැහැදිලි ය. මේ බව විවිධ කාලවලදී ලංකා පොදු පෙරමුණට ම කඬේ ගිය ජ්‍යෙෂ්ට දේශපාලන බුද්ධිමතුන් දෙදෙනෙක් වන චම්පික රණවක සහ ජී’.එල්. පීරිස් විසින් ම මේ වන විට ප්‍රසිද්ධියේ කියමින් සිටීම ඉතිහාසයේ අමුතු සරදමකි.
ජී.එල්. පීරිස් සහ චම්පික රණවක විසින් මෙසේ වගකීම්සහගත ප්‍රකාශ නිකුත් කරනු ලබන විට, ජනතාව වන අපිට, ඔවුන් දෙදෙනා විසින් මෙසේ තම ප්‍රකාශවලින් අවිඥානිකව හෝ සවිඥානිකව ම නොකියා කියනු ලබන වෙනත් ප‍්‍රතිපක්ෂ අරුතක් තිබෙනවාදැයි කියා සොයා ගනනේ කෙසේ ද?
අපි පළමුව ජී. ඒල්. සහ චම්පික යන දෙදෙනාගේ සමාන්තර ප්‍රකාශ දෙක තනි ප්‍රකාශයක් විදිහට ලියා ගනිමු. එසේ ලියාගත් විට අපිට අපට ලැබෙන වාක්‍යය මෙයයි. එනම්, ”ලංකාවේ මීට පෙර පැවති මහ මැතිවරණයෙන් පොදු පෙරමුණහි මන්ත‍්‍රීන් විසින් දිනාගත් චන්ද 69 ලක්ෂය දැන් කල් ඉතුත් වී ගොස් දැන් එය සියයට 10ටත් අඩු තැනකට පහළ බැස ඇත” යන්නයි.
දැන් මේ ජී. ඒල්. සහ චම්පික යන දෙදෙනා ම කියන අරුත තුළ සැඟවී පවතින නොකියවෙන අප්‍රකාශිත අරුත හෙවත් ඔවුන් කියන දේට සම්බන්ධ සහ ප්‍රතිපක්ෂ නොකියවෙන අරුත වන්නේ, ”ලංකාවේ මීට පෙර මහ මැතිවරණයෙන් සියයට 03ක් තරම් කුඩා ප්‍රමාණයකට පසු බැස පාර්ලිමේන්තුවේ පැත්තකට විසිවී තිබූ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ චන්ද ප්‍රතිශතය මේ ගෙවෙන මොහොතවන විට සියයට 80 සිට 90 දක්වා අසාමාන්‍ය ලෙස තකව තවත් ඉහළ යමින් පවතින බවයි.
යථාවාදී හරය අනුව ගත්කල, මේ ප්‍රකාශ කරන අරුත සහ ප්රකාශ නොකරන අප්‍රකාශිත අරුත හෙවත් නොකියා කියවෙන අරුත අතර කිසිදු භෞතික වෙනසක් නොමැති බව පාඨක ඔබට තේරෙනවා ඇති.
ඒ නිසා අනවශ්‍ය අනතුරකට තුඩු දෙන ලෙස මංජුල වෙඩිවර්ධන විසින් අසංවිධිතව කියාපාන මේ ජවිපෙ විරෝධී තුප්පහි කතා සහ අපට සැබෑවට ම තේරෙන යථාවාදී කතාව අතර වෙනස අවබෝධ කරගත හැකි වන්නේ, ජවිපෙ දිනනවාය යන නව ඓතිහාසික අප්‍රකාශිත චන්ද ප්‍රතිඵලය පොදු පෙරමුණ විසින් කල් තියා දැනගැනීම නිසා රටේ දේශපාලනාර්-ථිකයට සහ ජනසම්මතවාදයට එරෙහිව හිතාමතා ගොඩනැගූ කුමන්ත‍්‍රණකාරී තත්වයට අදාළ සංදර්භය අවබෝධ කර ගැනීමෙන් පමණි.
අනික් පැත්තෙන් ජනතාව ප්‍රවේශම් විය යුත්තේ කුමකින් ද?
ජනතාව ප්‍රවේශම් විය යත්තේ මංජුල වෙඩිවර්ධනගේ ලිපියෙන් ප්‍රකාශ වන අර්ධ-සත්‍යයන්ගෙන් පමණක් නොවේ. ජනතාව ප්‍රවේශම් විය යුත්තේ, නාගරික සමාජයන් තුළ එවන් අදහස් සහිත කුළක ගොණුගත වීම් සහ ඒකරාශී වීම හරහා සිදුවිය හැකි අනාගත අනතුරක් නිසාවෙනි.
ඒ කියන්නේ, ජනයා ප්‍රවේශම් විය යුත්තේ, 1988-1989 යුගයේ 60,000කට වැඩි තරුණ පිරිසක් මරා දැමූ ප්‍රේමදාස-රංජන් ආණ්ඩුවේ ඒ අධි-මිලිටරි ක්‍රියාකාරීත්වය නිරායාසී කර ගැනීමට සහ එය තවත් තෙගුණයකින් පමණ වේගවත් කරගැනීමට එකල පහසුකම් සපයා දුන්, ආණ්ඩුව සහ කැරලිකාර ජවිපෙ අතරමැදින් නිර්මාණ ය වී ගොඩනැගුණු ආණ්ඩුවට පක්ෂග්‍රාහී සහ කැරලිකරුවන්ට සතුරු වන මතුපිටින් වාමවාදී චින්තන බලවේග එකතු වී, කෙමෙන් එකල පැවති ජවිපෙ විරෝධී ප්‍රා (People's Revolution Red Army) සංවිධානය වැනි පැරා මිලිටරි කණ්ඩායම් බිහිවීම දක්වා තත්වය දුරදිග යාම බඳු හදිසි-අනතුරක් නැවත සිදුවීමට ඇති ඉඩහසර නිසාවෙනි.
ලෝකයේ සමහර චින්තකයින් දැනගෙන අත්වල ලේ තවරගන්නව. සමහරුන් තමන් අත්වල ලේ තවරගත්තු බවවත් දන්නේ නැහැ. සමහර ලියන්නොත් වගකීම්සහගත වන්නට නොදන්නා කමින් අත්වල ලේ තවර ගන්නව. ඒ නිසා කල් ගතවූ පසු දවසක අනේ අපොයි කියා වැඩක් වන්නේ නැත.
ආණ්ඩුව විසින් සුප‍්‍රසිද්ධ ඇනිමල් ෆාම් නාටකයේ පුද්ගලික මුර-බල්ලන්ගෙන් සැදි ගොණුව ආකාරයේ තුන්වන අතරමැද චින්තන කණ්ඩායමක් ද, ඊට සමාන්තරව ව්‍යවස්ථාපිත පොලිස් හමුදා නීති-රීතිවලට පටහැනි තග් කණ්ඩායම් ද සමාජයට මුදාහැර නිදැල්ලේ ඉන්නට ඉඩ තබා අනතුරට ඉඩ දී අනතුර එන්නට කැසකවා අනතුල ළඟ ළඟ එනතුරු ආසාවෙන් මග බලාගෙන ඉන්නේ, ජවිපෙ ඇතුළු ජාතික ජන බලවේගය විසින් ”අපි ගල් කැටයක්වත් අතට ගන්නේ නැහැ, චන්දය නොපැවත්වුහොත් අපි සාමාකාමී උද්ඝෝෂණවල පමණක් නිරත වෙනවා යැයි” පාර්ලිමේන්තුව තුළත්, මාධ්‍ය-හමු තුළත්, මහා ජනරැළි තුළත් පුන පුනා කියමින් සිටින තත්වයක දී යි. ඉන්දියාව ඇතුළු සමස්ත ගෝලීය ආයතන නියෝජනය කරන අන්තර්ජාතික ප්‍රජාවන් සැලකිල්ලට ගත යුතු මානව-හිමිකම් හා සම්බන්ධ වාද-විෂය(issue related to human rights) මෙය යි.
එහිදී පැහැදිලිව පෙනෙන පරිදි, මේ ගෙවෙන වත්මන් දේශපාලනික මොහොත 1988-1989දී පැවැති තත්වයන්ට සපුරා වෙනස් වන්නේ, එක පැත්තකින් අද පවතින ජවිපෙය ප්‍රධාන ජාතික ජන බලවේගය තම 88-89 භාවිතයන්ට ප්‍රතිපක්ෂව යමින් ජනසම්මතවාදයට ගරු කරමින් ව්‍යවස්ථානුකූළව සහ නීතියානුකූලව කටයුතු කරමින් කලට වේලාවට චන්ද පවත්වන්නැයි ඉල්ලමින් ද, චන්දය කල් දැමීමට විරුද්ධව ප්‍රජාතන්ත්රවාදී ලෙස විරෝධය දැක්වීමින් ද සිටින අතරතුර, තව පැත්තකින් එය ඉටු නොකරන රනිල්-පොහොට්ටු ආණ්ඩුව චන්දය පැවැත්වීම තමන්ලා ජනතාවට ලබා දෙන පුද්ගලික වරදානයක් ලෙස ප්‍රකාශ නිකුත් කිරීමත්, ඊට ප්‍රජාතන්ත්රවාදීව විරෝධය දක්වන ජනයාට ව්‍යවස්ථාපිත නීතිය උල්ලංඝනය කරමින් පහරදීමත්, එලෙස ම තමන්ලා කරන අනීතික ක්‍රියාවන් නීතියානුකූල වන බව, සහ ජවිපෙ ප්රධාන ජාතික ජන බලවේගය කරන සාමකාමී උද්ඝෝෂණ ප්‍රචන්ඩත්වය වන බවත් හුවා දැක්වීම ද සිද්ධ වෙමින් පවතී.
ඒ නිසා මෙහිදී රනිල්-පොහොට්ටු ආණ්ඩුව සියයට 10ටත් අඩු වන තම වත්මන් අවප්‍රමාණික චන්ද පදනමේ හෙළුව වසා ගැනීම සඳහා ජවිපෙ ප්රධාන ජාතික ජන බලවේගය සමඟ කෙසේ හෝ කොක්කක් පටලවා ගැනීමට උත්සහ දරමින් කරන්නට හැකි ව්‍යවස්ථානුකූළ සහ එසේ නොවන සියළු දේ කරමින් පවතී.
එහිදී ජාතික ජන බලවේගය එවන් කොක්කකට තමන්ව ඇදගන්නට ඉඩ නොතබන බව ප්රසිද්ධියේ පවසමින් 88-89 බඳු විනාශයන් යලි කඳවා නොගෙන ආණ්ඩුවේ කොක්ක මගහැර යන්නට උත්සහ දරද්දී, රනිල්-පොහොට්ටු ආණ්ඩුව කෙසේ හෝ 88-89 බඳු විනාශයක් කරලියට ගෙනැවිත් ඊට ජවිපෙ නමත් ඈඳාගෙන මහා මර්ධනයක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදා කරගන්නට මාන බලමින් සිටින බව සාමාන්‍ය නූගත් ම පුරවැසියෙකුට පවා තේරෙයි.
මෑතකදී චන්දය ඉල්ලා කොළඹ පැවති උද්ගෝෂණයක දී ජවිපෙ ප්රමුඛ ජාතික ජනබලවේගයේ පලාත් පාලන අපේක්ෂකයෙක් කඳුළු ගෑස් ප්‍රහාරය නිසා මිය ගොසින් තිබිය දී පවා ගැටුමකට නොගොස් ජවිපෙ ඉතා ඉවසීමෙන් යුතුව රැස්වීමක් පවත්වා විසිර යෑමට ක්‍රියාකිරීමත්, ලෝක ස්ත‍්‍රී දිනයේ දී ජවිපෙ ප්රමුඛ ජාතික ජන බලවේගයේ ස්ත‍්‍රීන් පැවැත් වූ සාමකාමී උද්ඝෝසණයට අනවශ්‍ය පරිදි බවුසරයක් හරස් වන්නට සලස්වා ගැටුමකට අර අඳින වෙලේ, මේ කාන්තාවෝ ඥානාන්විත වී වහා ම රැළිය විසුරුවා හැර ඊට සහභාගි වූ කාන්තා ජීවිත බේරා ගන්නට කටයුතු කරනු පැහැදිලිව දක්නට ලැබුණි.
අනික් පැත්තෙන්, අන්තර්-විශ්ව-විද්‍යාලීය-ශිෂ්‍ය-බල මණ්ඩලය පැවැත් වූ උද්ඝෝෂණයක් මහපාරේ දී කඳුළු ගෑස් ගසා විසුරුවාහරින්නට ඉදිරිපත් වූ රාජ්‍ය ආරක්ෂක නිළධාරීන් කඳුළු ගෑස් ප්‍රහාරය නිසා සී සීකඩ විසිර යන ශිෂ්‍ය විරෝධතාකරුවන්ට එසේ විසිර යන්නට ඉඩ නොදී, තමන්ට අදාළ වැඩය අහවර බව දැන දැනත්, එම ස්ථානය හැර යෑම තම රාජකාරියව තිබිය දීත්, එසේ නොකොට, කඳුළු ගෑස් නිසා විසිරී කොලඹ විශ්ව විද්‍යලයේ නීති පීඨය තුළට ඉබාගාතේ දුවන සිසු සිසුවියන්ට පස්සෙන් පන්න පන්නා කඳුළු ගෑස් ගැසීම ද, නොනිල පොලූ මුගුරු ගත් සුවිශේෂී බට කණ්ඩායමක් ඔවුන්ට පහර දී ම ද, එහිදී කිසිදු භාහිර උද්ගෝෂණයකට සහභාගී නොවූ විශ්ව-විද්‍යාල පරිශ‍්‍රය ඇතුළේ සිටි විශ්ව-විද්‍යාල ආරක්ෂක නිළධාරියා මිය යාම ද සිදුවන තත්වයට කල් ඉකුත් වූ කඳුළු ගෑස් ගසා ඇත.
එහිදී නිල ලත් බැටන් පොල්ල වෙනුවට වෙනත් අවිධිමත් ලී පොළු කරේ ලාගත් වෙනත් නොනිල සන්නද්ධ කණ්ඩායමක්ද නිලලත් ආරක්ශක කණ්ඩායම හා මුසු කර එවා ඇති බවක් ඇස් පනාපිට මාට්ටුව වී ඇත. එලෙස ම මෙසේ උසස් අධ්‍යාපන ආයතන පරිශ්‍රයකට අනවසරයෙන් ඇතුළු වීම පිලිබඳ පාර්ලිමේන්තුව තුළ දී සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී බුද්ධික පතිරණ විසින් උසස් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්තගෙන් විමසා සිටි අවස්ථාවේ, ප්‍රේමජයන්ත ඇමතිවරයා පැවසූවේ තමන් මේ පිළිබඳ සමාලෝචනයක් අභ්‍යන්තර කටයුතු ඇමතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි. ඒ ප්‍රකාශයට අනුව ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ද ආරක්ෂ අංශවලින් කළා යැයි සිතන ඒ ප්‍රහාරය හෙලා දකින බවක් ගම්‍ය වේ.
පසුව ආරක්ෂක අංශ ප්‍රධානියෙක් විසින් පොලූ මුගුරු අරන් කොළඹ සරසවියට ඇතුළු වූ කණ්ඩායම ගැන තමන්ගේ අනුදැනුමක් නොමැති බව පවසා ආන්ඩුව ගැන ජනතාව නොදත් තොරතුරක් හෙළිදරව් කර ආණ්ඩුවේ රෙදි ගලවා ඇත.
ඒ නිසා තවමත් ප්‍රචණ්ඩත්වය පිළිබඳ අපැහැදිලි යටි-සූත්තරවාදී භාවිතයන් දොට්ට පනින්නේ රනිල්-පොහොට්ටු ආණ්ඩුව පැත්තෙන් ය. මංජුල වෙඩිවර්ධනට මේ සාහසික සර්ව-ජන චන්දබලය විරෝධී සහ ප්‍රජතන්න්ර විරෝධී ක්‍රියාකලාපය නොපෙනී ජවිපෙ හිතවාදීන් විසින් පලකල සමාජ මාධ්‍ය පෝස්ට් කිහිපයක් ලොකු කරගෙන ජවිපෙට අදාළ කල් ඉකුත් වූ පැරණි ප‍්‍රචන්ඩත්වයක් පමණක් වර්තමානය තුළදීත් දකින්නට මෙතරම් වෑයමක් දරන්නේ වෙඩිවර්ධනට වූ අතපසු වීමකින් ද? එහෙමත් නැතිනම් අපි නොදන්නා මොකක් හෝ පසුබිම් ව්‍යුහයකින් ඔහුව ක්රියාත්මක කරවනු ලබන නිසාද?
ඒ ගැන මංජුල ම කියන්න නැතිනම් ජනතාව හොයාගත යුතුය.
එබැවින් 1988-1989 බඳු තත්වයක් නව වටයකින් ගොඩ නගාගන්නට උවමනා වී ඇත්තේ රනිල්-පොහොට්ටු ආණ්ඩුවට බවත්, ජවිපෙ ප්රධාන ජාතික ජනබලවේගය සුළු ගැටුමක් පවා මගහැරයාමට හැකි සියළු උත්සහ දරමින් සිටින බවත්, රනිල් සහ ජවිපෙ අතර පවති මේ වෙනස් චර්යා දෙකට හේතුවනවන යථාවාදී භෞතික සාධකය රනිල්-පොහොට්ටු ආණ්ඩුවේ වත්මන් චන්ද පදනම සියයට 10ට වඩා අඩු වීමත්, ජවිපෙ ප්රධාන ජාතික ජන බලවේගයේ චන්ද පදනම සියයට 80ට වඩා වැඩි වීමත් බව ඉතා පහැදිලි ය.
ඉදින් ජවිපෙ තමන් අතට ලැබෙන්නට නියමිත චන්ද ජයග‍්‍රහණය කටට දාගන්නට කලින් ප්‍රචණ්ඩත්වයකට ගොස් එය නැති කරගන්නට කමැති වන්නට කිසිම සාධාරණ හේතුවක් නැත. එසේ කරනවා නම් ඔවුන් මූලික සමාජ තර්-කයන්වත් දන්නේ නැති මෝඩයන් විය යුතුයි. තමන්ට ලැබෙන්නට යන ජයග්‍රහණයක් ඉදිරියේ පිස්සු කෙලමින් එය නැති කරගැනීමට යාම සමාන්‍ය වැසියෙක් පවා නොකරන දෙයකි. නමුත් ඒ අතර, රනිල්-පොහොට්ටු ආණ්ඩුව ක්‍රිකට් ගහද්දී අවුට් වුණාට පස්සේ ”නෑ මම අවුට් නෑ, මට ආයෙමත් බැට් කරන්න දීපන් ඩෝ, ඕන්නං වරෙන් ඩෝ ගහගන්න” කියා ආයෙමත් බලෙන් බැට් කරන්න ඉල්ලන නොමේරූ සහ මමත්ව කේන්ද්‍රීය(Ego-centric) වූ කොළු ගැටයෙකුගේ බොළඳ මනෝ-භාවය පොදු කණ්ඩායමක් විදිහට ප්‍රකාශ කරමින් සිටි.
නමුත් ජනයා ප්‍රවේශම් විය යුත්තේ, මේ බොළඳත්වය සංවිධානාත්මක වී චින්තනමය සහ මිලිටරිමය ආකාරයකින් ඉදිරියට ඒමට ඇති සම්භාවිතාවය නිසා යි.
එනම්, ජනතාව ප්‍රවේශම් විය යුත්තේ, ගෝඨාට 69 ලක්ෂය දිනා දෙන්නට සිනා සිසී රෙදි නැතුව කඬේ ගොස් බිලියන ගණනින් ඇඞ්වටයිසින් ප්‍රාග්ධන අත්කරගනිමින් දශක එකහමාරකට වැඩි කාලයක් රාජපක්ෂලාගේ දුර්දාන්ත නොනිල තගාවාදී පාලනයේ මුද්‍රාවට මුවාවී, පිච් එකක් කර ප‍්‍රචාරක මෙහෙයුමක් දිනා ගැනීමට රටේ ඇඞ්වර්ටයිසින් ෆර්ම්වලට තිබූ ඒ නිදහස් අවස්ථාව මහින්දගේ යුධ-ජයග්‍රාහී බලය හරහා ඒක බලධාරී කෝල් එකකින් තමන් වෙතට ම හරවාගගෙන රටේ ප්‍රචාරක ක්ෂේත්‍රයේ තුළ නොනිල අධිකාරී-මාෆියාවක් පවත්වාගෙන යමින් විටෙක තිරය පිටුපස සහ තව විටෙක මාධ්‍යවලට ද මුහුුණ දමමින්, මැදමුලනේ ගම්මුලාදෑණී රාජපක්ෂලාගේ දීර්ගකාලීන ප‍්‍රචාරක ඇම්බැට්ටයා ලෙස සේවා සැපයූ දිලිත් ජයවීර ඇතුළු ඔහුගේ මාධ්‍ය ජුන්ටාව එක පසෙකින් ද, එසේ ම 88-89 කාලෙ ප්‍රංශයට වෙලා රස්සාවක් කරගෙන හිටපු නිසා ම ලංකාවේ සිද්ධ වුණ ශෝකාන්ත ගැන ඓන්ද්රීය අත්දැකීමක් සහ කැක්කුමක් නැතුව, ප්‍රංස රස්සාවෙන් විශ‍්‍රාම ගිය පසු පමණක් තමන් එතෙක් කළ ඉසියුම් සාහිත්‍ය පරිවර්තන මුද්‍රණ ප්‍රකාශ කිරීම හරහා ලබාගත් නාගරික ජනප්‍රියත්වය සිවිල් බලය කරගනිමින් ලංකාවේ ප්‍රශ්න විසඳන්නට හදිසියේ පැරෂුටයකින් මෙන් ලක් පොළවට පාත්වී රනිල්ව ලොකු පුටුවේ තියන්නට පෙරහුරුවක් ලෙස මෛත්රීපාල සිරිසේන කියන ගමරාලව ජනාධිපති කරවීම සඳහා රට පුරා කඬේ දුවපු පුරවැසි බල අටවගත් ගාමිණී වි-අංගොඩගේ යටි නූල් සූත්තර ජුන්ටාව තව පැත්තකින් ද, එසේ ම ජවිපෙ සමඟ ප්‍රතිවිරෝධතා ඇතිවීම නිසා පක්ෂයෙන් ඉවත්ව ගොස් දැන් ජවිපෙට විරුද්ධව ඕනෑ ම ආණ්ඩුවකට හෝ පාදඩ බිස්නස්කාරයෙකුට වුවත් කඬේ යන්නට සූදානමින් නිදහසේ සැරිසරන ජුදාස්වරුන් තවත් පසෙකින් ද, එසේ ම රට තුළ නූතනත්වය පවා ඉක්මවූ දේශපාලනයක් කරන්නට කියා පැමිණ, තම කුඩා කණ්ඩායම් ව්‍යූහය තුළ අභ්‍යන්තර ආරවුල් සහ පොළවේ ප්‍රායෝගික සංවිධාන හැකියාව දුර්වල තත්වයේ පවතින නිසා විටෙක නාමල් හෝ චම්පික සමඟ වුණත් යන්නට ලැහැස්තිව සිටි, දේශපාලන බල-ව්‍යුහයක් වීම අතින් අවතැන්භාවයට පත් ව ඇබිති සංවිධානයක සීමාවේ සිටින්නට තීරණය කර ඇති න්‍යායවාදීයා තව පසෙකින් ද, එලෙස ම නීතිවිරෝධී ක‍්‍රියාකලාප හරහා පැවති මැදමුලන ආණ්ඩුව සමඟ හොරා කෑමේ සම්බන්ධව සිටි නිළධාරීන් සහ ජඩ ව්‍යාපාරිකයින් සුළුතරය තවත් පසෙකින් ද, මෙතෙක් තම තමන්ගේ අයාලේ පාවුණු ජීවිත අතහැර ජවිපෙට සතුරුව කඳවුරු බැඳගැනීමේ අවධානම් මොහොත දැන් වදන්නට සූදානම්ව ඇත.
මන්ද මේ වන විටත් මේ බලවේග රනිල්ගේ කාඞ් කුට්ටම යට ගසාගෙන සිටින අප්‍රකාශිත කාඞ්පත් ලෙසින් ක්‍රියාන්විත තත්වයේ පවතින්නට බොහෝ ඉඩ කඩ ඇති බව පෙනේ. ඒ නිසා නව-ප්‍රා කණ්ඩායම දක්වා වර්ධනය විය හැකි අලූත් වර්ෂන් එකක් විදිහට මේ ගොණුව ඇතුළු තවත් ගොණු විසින් ඇති කරන අනතුර හඳුනා නොගෙන ඔහේ ක්රියාත්මක වෙමින් ගියහොත්, ජවිපෙ 1988-1989 සමයේ වතු පාලක පරපුරකින් පැවත ආ රන්ජන් විජේරත්නගේ චරිතය අවතක්සේරු කලාටත් වඩා වැඩි වරදක් සිදුකරගන්නට සිදු වෙනවා ය.
ජවිපෙ මේ සතුරන් දැනට කුඩා චින්තන කණ්ඩායමක් වුවත්, භාහිර දේශපාලන තත්වය උණුසුම් වෙමින් යන වාතාවරණයකදී ඔවුුන් ජවිපෙට එරෙහි පැරා මිලිටරි කණ්ඩායමක් බවට පත්වීමේ අවධානමක් පවතින බව ජවිපෙ තේරුම්ගත යුතු ය.
දැන් අපි මේ සියල්ලේ පසුබිම පියවි සිහියේ තියාගෙන මංජුලගේ තුප්පහි වියමන කියවා බලමු!
මංජුල වෙඩිවර්ධනට අනුව පෙර දවසක යුධකාමී දෙශපාලනයක නියුතු වූ සංවිධානයකට නැවත එකී යුධකාමීත්වයෙන් මිදී ප්‍රජාතන්ත‍්‍රවාදී සහ ජන සම්මතවාදී දේශපාලනයකට හුරුවිය නොහැකි ය. ජවිපෙ සන්තානගත දෘෂ්ටිවාදය යුධකාමය බවත්, එය හරියට ජානගතව හෝ රුධිරගතව පැවත එන්නක් බවත් ඔහුගේ ප්‍රකාශයෙන් ගම්‍ය වේ. මෙය පැහැදිළිව ඉතිහාස විරෝධී සහ මානව-විරෝධී සාහසික ප්‍රකාශයකි.
ඉතින් මංජුල වෙඩිවර්ධනට අනුව ජවිපෙ 1971 සහ 1989 යුගවල සන්නද්ධ දේශපාලනික ක‍්‍රියාමාර්ග තේරූ නිසා මින්මතුවට දෙශපාලනය කරනවා නම්, නිතර ම ඒ ගැන පශ්චාත් තාපී වෙවී සමාජයෙන් සමාව ඉල්ල ඉල්ලා ඉන්නවා හැරුණුකොට වෙන කිසිවක් කළ යුතු නොවේ. මන්ද දැන් ඩ්‍රැකියුලා කෑවා වගේ සන්නද්ධ විෂ එම සංවිධානයට කැවිලා හමාර ය. ඉතින් ඒ සංවිධානයට සම්බන්ධ වන සියළු සාමාජිකයින්ට ද ඒ විෂ කැවී ඇත. ඒ සන්නද්ධ විෂ ය. ඉතින් එයාලා කවදාවත් චන්දයකින් හෝ පාලනයට එන එක හරි බරපතල වරදක් ය. එක්කෝ එයාලා දිගින් දිගට ම සාමාව ඉල්ලන බෝඞ් ලෑලි එල්ලගෙන පාරේ පෙනී සිටිය යුතු ය. නැත්නම් දේශපාලනය නොකර නිකං සිටිය යුතු ය. මන්ද මංජුල වෙඩිවර්ධන ඔවුන්ව දෘෂ්ටිවාදී ඩ්‍රැකියුලා කෙනෙක් කර හමාර නිසා. ඔවුන්ට ඇත්තේ සන්තානගත දෘෂ්ටිවාදයක් පමණි. ඉතින් එය ඔවුන්ගේ ලේ වලටත් ඔවුන්ගෙන් මතුවට ජවිපෙට සම්බන්ධවන හැම පරපුරකම අයගේ ලේ වලටත් යන නිසා ජවිපෙ ගැන පමණක් මිනිසුන් නිතර ම සැක කළ යුතු ය.
එහිදී 1971කේ මහ රැජිනගේ ආණ්ඩුවට විරුද්ධව කැරලි ගැසුවා යැයි කියා තරුණයින් 20,000ක් මරා දැමූ සිරිමා-ෆීලික්ස්-එන්එම් ආන්ඩුවට ජනයා සමාව දිය යුතුය, 1988-1989 කාලයේ නොමග ගිය තරුණයින් යැයි කියා 60,000 ක් ටයර් සෑයන්වල පුළුස්සා, ඔළුවට පරාල ඇණ ගසා, මරා දැමූ ජේ.ආර්-පුංචි නිළමේ-ප්‍රේමදාස-රංජන්-රනිල් යන අය කල ආණ්ඩුවලටත් සමාව දිය යුතු ය. එලෙස ම යුද්ධයේ දී තමන් වෙතට සුදු කොඩි අරන් පැමිණි එල්ටීටී නායකයින්ට වෙඩි තබා හෝ වෙනයම් ආකාරයකින් මරා දැමූ, ජනමාධ්‍යවේදීන්ගේ කකුල් අතපය කඩා හෝ වෙඩි තබා පාර මැද්දේ මරා දැමූවන්, අතුරුදහන් කෙරූ, සුදු වෑන් වලින් විරුද්ධවාදීන් උස්සාගෙන ගොස් මෝරුන්ට කන්ඩ දුන් සහ මහජන මුදළින් ලොව සුපිරිම ධනවතුන් කරන පන්නයේ දෑ කරමින් මහජන ධනය කාබාසිනියා කළ මැදමුලනේ රාජපක්ෂ සහෝදර-සමාගමටත්, සහ බැංකුව මහ දවල් හොරා කෑ රනිල්-ඇලෝසියස් දෙපලටත්, මෙකී නොකී සියළු දෙනාට ම සමාව දිය යුතු යි. ඔවුන්ට වෙනස් වෙන්නට අවස්ථාවක් පවා දිය යුතුය.
නමුත් ජවිපෙට සම්බන්ධ කවුරුන් හෝ කරන සුළු අත්වැරැද්ධ වුණත් වහ වහා සමාව ගත යුතු ය. ජවිපෙ අය අසෝක අධිරාජයා වගේ දිගට ම පිං අතේ ම වැඩ කළත් 71 සහ 88-89 නිසාත් කිසිදාක සමාවක් නොදිය යුතුය. මන්ද ජවිපෙ ප්‍රචන්ඩත්වය කිසදා වෙනස් වෙන්නේ නැති සනාතන දෘෂ්ටිවාදයක් රුධිරගතවීම නිසා ඇති වූවක් බැවින් සදාකල් වෙනස් නොවී පවතින අශුද්ධාත්මයක්් වැනි ය. ඒ නිසා ඔවුන් නිරන්තරව කැඹිරිය යුතු ය. සිරිමා-ෆීලික්ස්-එන්එම් හෝ ජේ.ආර්-පුංචි නිළමේ-ප්‍රේමදාස-රංජන්-රනිල් යන අයගේ ප්‍රචණ්ඩත්ව සහ ඝාතන ශුද්දාත්මික වූ ඉහළ පැලැන්තික ප‍්‍රචන්ඩත්වයන් සහ ඝාතන නිසා ඒවා ඒ තරම් ගණන් ගත යුතු නැත. ඒක්කෝ එයාලා සමාව ගත යුත්තේ ම නැත. එයාලා මොන තරම් මිනී මැරුවත් ඒවා ගැන කතා කිරීම එතරම් අදාළ නැත. ජවිපෙ අතින් යම් ප‍්‍රචන්ඩත්වයක් හෝ ඝාතන සිදු වූ වා නම් ඒවා නිතර ඇද ඇද කතා කළ යුතු ම ය.
නමුත් මගේ කල්පනාවට අනුව නම්, ඒ අයුරින් ම සිරිමා-ෆීලික්ස්-එන්එම් හෝ ජේ.ආර්-පුංචි නිළමේ-ප්‍රේමදාස-රංජන්-රනිල් කරන ලද ප‍්‍රචන්ඩත්වයන් සහ මිනි මැරුම් ද විවේචනය කළ යුතුය. නමුත් කවුරුන් වුවත් මේ ජවිපෙ හා සම්බන්ධව තිබී දැන් නිල වශයෙන් දැනට වසර 33කට කලින් විසුරුවා හැර තිබෙන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කළ ඝාතන සහ ප‍්‍රචන්ඩත්ව ගැන පමණක් කතා කරනවා නම් එහි මොකක් හෝ යටි අරමුණු ව්‍යුහයක් තිබෙනවා විය යුතු ම ය.
අනික මගේ කල්පනාවේ හැටියට නම් ජවිපෙ ඇතුළු මේ අනෙක් සියළු දෙපාර්ශවයන් කළ සාධනීය දේවල් කතාබහ කිරීමටත් මෙතරම් ම කාලයක් වැය කළ යුතුය. දැන් ගැටළුව පවතින්නේ, හදිසියේ ම මංජුල සහ සුළු පිරිසකට ජවිපෙ ට සම්බන්ධව තිබුණු ඩීජේවී එක කළ ප‍්‍රචන්ඩ ක්‍රියා සහ ඝාතන පමණක් කතා බහට ගන්නට උවමනා වී, සිරිමා-ෆීලික්ස්-එන්එම් හෝ ජේ.ආර්-පුංචි නිළමේ-ප්‍රේමදාස-රංජන්-රනිල්ලා කරපු ප‍්‍රචන්ඩ ක්‍රියා සහ ඝාතන යටපත් වී ගියෙ කෙසේද යන්න යි.
මෙයට හේතුව පැලැන්ති වාදය යි. රටේ අන්ත වාමාංශිකයාටත් පැලැන්තිවාදී චින්තනයෙන් ගැලවීමට නොහැකි වීම යි.
මීට හේතුව සිරිමාවෝ හැරුණුකොට ලක් රජුට සම්බන්ධ ඔරිජිනල් රදල පැලැන්තියකට කිසිදු සම්බන්ධයක් නැති කිසිදු සැබෑ වලව්කාර හෝ රදළ සැබෑ ප්‍රභූ පදනමක් නොතිබූ සුද්දන් ලබා දුන් ධනයෙන් ඩුප්ලිකේට් වලව්කාරයන් බවට පත් වූ මුදලි පේරුව හෙවත් මුදලි පැලැන්තියේ නායකත්වය යටතේ බිහි වූ දේශපාලන පක්ෂ කරන වැරදි එතරම් ගණන් නොගැනීමයි. දශක ගණනාවක් තිස්සේ ජවිපෙ සුළුතර පක්ෂයක් ලෙස කඹුරන්නට වුණේ චන්දදායක පොදුජනයාගේ අවිඥානයේ පැවැති මේ පැලැන්තිවාදය හෙවත් පැලැන්ති පක්ෂග්‍රාහීත්වය යි.
යටත් විජිතසමයෙන් පසුව මුදලි පේරුව සැබෑ ප්‍රභූන් යැයි අපේ යටි සිතේ පවතින නිසා අවිඥානිකව ම ඔවුන්ට ජනයාගේ හිතේ වැඩි ගරු කිරීමක් ලැබීම කියන සාධකය පැවතුනි. ඒ නිසා ඩුප්ලිකේට් වලව්කාර මුදලි පේරු පදනමෙන් එන පැලැන්ති පදනමක් සහිත පක්ෂ වන යූඇන්පිය සහ ශ‍්‍රීලනිපයට සලකන විදිහත්, සාමාන්‍ය ජනතාව අතරින් බිහිවූ ජවිපෙ වැනි පක්ෂ වලට සලකන විදිහත් දෙයාකාර ය. මේ අවභාවිතය දුප්පත් පොහොසත් භේදයක් නැතුව රටේ හැම ජන කොට්ටාසයක ම සන්තානගතව ඇති පැලැන්තිකාමී දෘෂ්ටිවාදයක් නිසා ඇති වන්නකි.
මංජුල ද සන්තානගත මුදලිපේරු පැලැන්තිකාමී දෘෂ්ටිවාදයට අවිඥානිකව හසුවී ඇති බව දැන් පාඨකයාට තේරුම් යනවා ඇති. එය මංජුලගේ පුද්ගලික වරදක් නොව රටේ සැබෑ ඉතිහාසය යටගසා වාමාංශීක දේශපාලනය බිහිවීමේ වරද ය.
හැබැයි මේ පැලැන්තිවාදී අවිඥානය මංජුල තුළ සදාකාලිකව සන්තානගත වී ඇති දෘෂ්ටිවාදී අගතියක් ලෙස පිළිනොගනිමි. මොකද මංජුලටත් වඩා පැලැන්තිවාදී චන්ද භාවිතයක සිටි ලක් රටේ මහජන බහුතරය, 2022 දැවැන්ත ජන අරගලයත් සමඟ දැන් පැලැන්තිවාදයෙන් මිදී ජවිපෙ වටා මිලියන ගණනින් එක්රොක් වෙමින් පවතී.
එනිසා වත්මන් ලක් ජනයා සේ මංජුලටත් ඔය අවිඥානිකව මුචලිපේරුවට හසුවූ පැලැන්තිවාදයෙන් ගැලවීමට හැකි බවත් සහ එසේ වෙනස් වීමට අයිතියක් ඇති බවත් අපි පිළිගත යුතු ය.
අනික 90 දශකය අගභාගය පසුවන විට සිදුවූ ප්‍රභාකරන්ගේ යුධ ත්‍රස්තවාදය හිස එසවීමත් සමඟ එය අනෙකා කරගනිමින් චම්පිකගේ සිංහල වර්ගවාදී දේශපාලන කතිකාව හිස එසවීම නිසා, ජවිපෙ එයින් තමන්ට ඇති සිංහල බෞදධ චන්ද පදනම අහිමි වී යාවි යන අදහසින් කාලයක් තිස්සේ සිංහල-බෞද්ධ කෙන්ද්‍රීය දෘෂ්ටිවාදයක් කරපින්නාගෙන දේශපාලනය කළ බව රහසක් නොවේය. නමුත් තම සිංහල බෞද්ධ වරිගවාදයේ අනෙකා වූ දෙමල මිලිටරි වරිගවාදයේ ප්‍රකාශිත උත්තරීතර නායක ප්‍රභාකරන් පොර පිටියෙන් ඉවත්වීමත් සමඟ, වරිගවාදය රටට එන්නත් කළ චම්පික පවා ජාතිය ආගම ගැන කතා කිරීම අවප්‍රමාණ කර, ආර්ථිකය සහ ජාතික සමගිය ගැන කතා කරන සාධනීය ප්‍රවේශයක් අරගෙන ඇත.
මහින්දලා පමණක් තම පැවැත් ම උදෙසා මුස්ලිම්වරුන්ගේ ඇඟේ එල්ලෙමින් ආගම්වාද අවුස්සමින් තවදුරටත් සිංහල-බෞද්ධ කෙන්ද්‍රීය දෘෂ්ටිවාදයක් කරපින්නාගෙන ගිය ද, මේ වන විට චම්පික සහ ජවිපෙ දෙමල සහ මුස්ලිම් ජන ප්‍රජා සමඟ තමන්ලාට හැකි උපරිමයෙන් සංහිඳියාත්මක දේශපාලනයකට යන්නට කටයුතු කරමින් සිටිති. ඉතින් එම නව-ප්රවේශය මුළුමනින් ඉෂ්ටාර්තයක් බවට පත්වී නැති නමුත් ඔවුන් පළමුවරට ඊට ආරම්භයක් දී ඇත. එයට අපි ආශීර්වාද කළ යුතු ය. එසේ නොකරන්නේ පැලැන්තිවාදයට යට වූ මනෝ-භවයක පවතින කුහක බව කරපින්නා ගන්නවා නම් පමණකි.
ඒ නිසා ජාතික ප්‍රශ්නය නිසා ජවිපෙන් ඉල්ලා අස්වූ ජවිපෙ හිටපු ලේකම් ලයනල් බෝපගේ විසින් පවා ජවිපෙ මේ නව වෙනස ඉදිරියේ ජවිපෙ ගැන සාධනීය ලෙස කතා කරන්නට පටන් ගෙන ඇත. චම්පික රණවක රටේ ඇමතිවරයෙක් ලෙස යාපනේ ප්‍රදේශයට ගොසින් එ පළාතේ ජනයා සමඟ සහෝදරත්වයෙන් සංවර්ධන කටයුතු වලට උරදී ඇත. උතුරු නැගෙනහිර දරුවන් අහිමි වූ අම්මා කෙනෙකු සහ 88-89 සමයේ දකුණේ දරුවන්ට අහිමි වූ ඇම්මා කෙනෙකු අතර වෙනසක් නැතැයි ජවිපෙ නායකයකු පළමුවරට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට පටන් ගෙන ඇත. ආරක්ෂක අංශ සමඟ පවා සංහිඳියාත්මක ප්‍රවේශයකට ඇතුළු වී ඇත.
එය රටේ සාධනීය ප්‍රවේශයක් නොවන්නේ ද?
දැන් අපට පෙනෙන ආකාරයට ජවිපෙ සහ චම්පික පවා වෙනස්වීමට කැමැත්ත දක්වා එය ක්‍රියාවෙන් ම පෙන්වමින් පවතී. ඒත් ප්‍රශ්නය වී ඇත්තේ මංජුල වෙඩිවර්ධන හෝ ඔහුට උඩගෙඩි දෙන පැලින්තිකාමීන් වෙනස් වී නැතිවී ම යි. ජවිපෙ සහ චම්පික දෙමල මුස්ලිම් ජනයා වෙතට මංහිඳියාවේ දෑත දිගු කරන්නට තරම් ප්‍රඥාවන්ත වන්නේ නම් එයට විරුද්ධ වෙන්නට අපට අයිතියක් නැත.
”ජේසුස් පැවසුවේ පවුකාරයාට නොව පාපයට විරුද්ධ වෙන්න!” කියායි. ”පවුකාරයාට ආදරය කරන්න!” කියායි. මංජුල වෙඩිවර්ධන වැන්නන් ජවිපෙ සහ චම්පික සම්බන්ධයෙන් වෙනස් වන්නට බැරුව ඔවුන් සදාතනිකව සන්තානගත යුධකාමී දෘෂ්ටිවාදීන් ලෙස සලකමින්, දැන හෝ නොදැන තව වටයකින් තවත් 60,000 කට වැඩි ප්රමාණයක් ඝාතනය වන තැනට චින්තනමය පාරකපන පස්කපන්නක් බව ප්‍රකාශ කරමින් සිටින්නේ නම්, එය මේ ගෙවෙන මොහොතේ ජනතාවගේ දැනුම්වත්භාවයට පත්කළ යුතු ම ය.
ඒ නිසා මාගේ කල්පනාවේ හැටියට මංජුලටත් ජවිපෙ සහ චම්පික වැන්නවුන් ගැන තම අතීත මතකවලින් ගැලවීම සඳහා අභ්‍යන්තර අරගලයක් උවමනා වී පවතී.
නව-නූතන ප්‍රංශ දාර්ශනික මිෂෙල් ෆුකොල් ඔහුගේ Discipline and Punish කෘතියේ පවසන්නේ වරද කළ මොහොතේ සිටි මිනිසා නොව දඬුවම් ලබන මොහොතේ සිටින්නේ කියා යි. සමහරවිට දඬුවම් ලබන මොහොතේ සිටින්නේ තමන්ගේ වරද ගැන කම්පිතවෙන වෙනස් ම මිනිසෙකි.
ඒ නිසා ලොව සදාතනිකව සන්තානගත අපරාධ හෝ සන්තානගත යුධකාමී දෘෂ්ටිවාදයන් නැත. ලොව ඇත්තේ තමන්ට භාහිර පරිසර තත්වයන්ට අනුගත වෙමින් සහ තම ස්වභාවයන් වෙනස් කරගනිමින් හෝ පැවැත්ම තහවුරු ගන්නා වෙනස් ආකාරයක ජන ප්‍රජාවකි.
මනුෂ්‍යයෙකුගේ හෝ මනුෂ්‍ය කණ්ඩායමක ශරීරය, මනස හෝ අධ්‍යාත්මය සැමකල්හි එක ම දෘෂ්ටිවාදයකින් සදහට ම නොවෙනස්ව ගල්වී හෝ සන්තානගතව පවතිනවා යන මතය ම සියළු නූතනවාදී විද්‍යාවන්ට විරුද්ධ ය. එලෙස ම එය සියළු නව-නූතනවාදී විද්‍යාවන්ට ද බෙහෙවින් විරුද්ධ ය. එනිසා මංජුල මේ ප්‍රකාශ කරමින් සිටින්නේ මිනිසාගේ නිරන්තර වෙනස්වීමට එරෙහි අවිද්‍යාත්මක මතයකි. අවම තරමින් දෘෂ්ටිවාදය යනු මිනිසා ඉපදුනු පසුව මිනිසා තුළ ක්‍රමයෙන් ගොඩනැංවෙන භාෂා-ව්‍යුහයක් බවත්, ඒ ගොඩනැංවීම පවා කාලයත් සමග හෝ ක්ෂණිකව නැවත කුඩු සංසාර වී නව-ගොඩනැංවීමක් බවට පත්වෙන බවත් උගන්වන කිසිදු භාෂා විද්‍යාවක් මංජුල විසින් ඉගෙනගෙන නැති බව ගම්‍ය කරයි. අවම තරමින් යල්පැනගිය අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැමති භාෂා වියමනේ දණ්ඩනයෙන් නිදහස් වන සිරකාරයින් සම්බන්ධයෙන් ලියූ වැකිවත් ඔහු කියවා අබ්‍යාසයට ගෙන නැති බව පෙනේ.
සිරකාරයෙක් නිදහස් වූ පසුව ඔහු නැවත වරදක් කරන තුරු ඔහුට සාමාන්‍ය පුරවැසියෙකුට අදාළ සියළු අයිතිවාසිකම් එලෙසින් ම හිමි ය. නමුත් මංජුලට අනුව සිරකරුවකු නිදහස්ව එන්නේ නැවත වරදේ බැඳෙන්නට ම පමණි. මන්ද ඔවුන් තුළ සන්තානගත අපරාධකරුවෙක් ජීවත් වෙන නිසා ය. මොය මානව-විරෝධී ප්‍රවේශයකි.
නෙල්සන් මැන්ඩෙලා හිරෙන් නිදහස් වී පැමිණි විගස ප්‍රකාශ කළේ සුදු පාලන තන්ත්‍රයට විරුද්ධව සන්නද්ධ අරගලයක් ක්‍රියාත්මක කළ යුතු බව ය. නමුත් වසරක් 27ක් සිර ගෙදර සිට පැමිණි පසු තමන් අවට සමාජය බෙහෙවින් වෙනස් වී ඇති බව දුටු ඔහු සිරගෙදරින් පිටතට එනවිට සිතාගෙන ආ සැලැස්මට බෙහෙවින් වෙනස් සාමදාන සැලසුම් මාර්ගයක් අරගන්නට තීරණය කළේ ය. ඔහු චන්දයෙන් ජනාධිපති වී තම විරුද්ධවාදී සුදු පාලකයාට අගමැති තනතුර භාර ගන්නට ආරාධනා කොට ඔහු තම අගමැතිවරයා බවට පත් කරගත්තේ ය. තමන්ට නොසන්ඩාල ලෙස සැලකූ ජේලර්වරයකුට තමන් සමඟ එකට කෑම ගන්නට ආරාධනා කළේ ය. තමන්ට හිතවත් කොමියුනිස්ට් පක්ෂයේ නායකයා මරා දමද්දීත් ඊට ප්‍රචන්ඩත්වයෙන් පිළිතුරු නොදී ඉවසීමෙන් කටයුතු කළේ ය. ඔහු තුළ ඔහුගේ සන්නද්ධ දේශපාලන දෘෂ්ටිය සන්තානගතව තිබුණේ වී නම්, ඔහුට එසේ වෙනස් වන්නට බැරි ය. ජවිපෙ ක්‍රියාකාරීත්වය සලකා බලන කල මැන්ඩෙලාගේ දේශපාලන සංවිධානය සහ එකළ පැවති සියළු කළු ජාතික සංවිධාන අතිශ්‍ය ජවිපෙට වඩා අතිශය ගෝත‍්‍රවාදී සහ ප‍්‍රචන්ඩකාරී ය.
නමුත් මැන්ඩෙලා අන්තර්ජාතික සාම ප්‍රතිරූපයක් බවට පත්වී ලෝකයට වෙනස පෙන්නුවේ ය.
හිරෙන් නිදහස්ව ආ මැන්ඩෙලාට ඒ ඉඩ දෙන අයුරින් හිරෙන් නිදහස්ව ආ ටිල්වින් සිල්වාට ද ඒ ඉඩ ම දෙන්නට අපට බැරි නම්, ඒ මංජුලගේ කුහකකම මිස, මිනිසාට සමාජ ප්‍රගමනය උදෙසා වෙනස්වීමට පුළුවන් වීම කුහකකමක් වන නිසා නොවේ.
එක පැත්තකින් ෆේස්බුක්, ඇමසන් ඩොට් කොම්, අලි බා බා හෝ නෙට්ෆිලික්ස් වැනි ගෝලීය පාර-ජාතික සමාගම් වලින් මෙහෙයවන ක්‍රියාකාරීත්වයන් පාලනය කිරීමට ජවිපෙට තබා කිසිදු ජාතික රාජ්‍යයකට බලය නැත. ඒ නිසා ඕනෑම සමාජ මාධ්‍යයක් මතට ගැහැනියෙක් හෝ පිරිමියෙක් ඇඳුම් උනා දැමීම හෝ දේශපාලන මත සහ ඕනෑම විධිමත් හෝ අති-ව්‍යාකුළ මත පලකිරීම පාලනය කිරීමට ජවිපෙට නොහැකි ය. හිතවතුන් දාන දාන හැම පෝස්ට් එකට ම ප්රකාශ නිකුත්කරන්නට ගියහොත් ජවිපෙ තබා වෙන ඕනෑම දේශපාලන සංවිධානයට තම දේශපාලන කටයුතු කරන්නට වෙලාවක් ඉතිරි වන්නේ නැත.
අනික් අතින් මංජුලට අනුව ජවිපෙ ඔවුන්ගේ හිතවාදීන් ෂෙයා කරන හැම පෝස්ට් එකක් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කරමින් යා යුතු ය. මොකද පක්ෂ අභ්‍යන්තරයේ මතය සහ භාහිර ජනතා මතය අතර කිසිදු පරතරයක් තියෙන්නට බැරි ය. එසේ කියනවා නම්, මංජුල මේ කියන්නේ ජවිපෙ හිතවාදියෙක් ජවිපෙයේ පක්ෂ දේශපාලන මතයට පොඞ්ඩක් හෝ ට‍්‍රැක් පැන්නොත් ඒකෙ වරදත් ජවිපෙ නිරන්තරව භාගරත යුතු ය. මෙය සාමාන්‍ය දේශපාලන ලෝකය හෝ මිනිස් ජන ජීවිතය පවතින විදිහ නොවේ. පක්ෂයක් තිරසාර ප්‍රතිපත්තියක පිහිටිය පමණින්, එහි බහුතර පාක්ෂිකයින් සේ ම හිතවාදීන් එකවර එම පක්ෂ ප්රතිපත්තිය තුළ තම ස්නායු පද්ධතිය විනයගත සියයට සියයක් විනයගත කරගන්නේ නැත. අනික කවුරුන් හෝ එසේ එකවර කරගන්නට යනවානම් එය හරි ම කෘතිම ය. මම මනුස්සයා ගැන දන්නා ආකාරයට නම් හැමවිට ම පක්ෂයක් සහ එහි පාක්ෂිකයින අතර යම් තරමක ද, පක්ෂය සහ එහි හිතවාදීන් අතර විශාල තරමක ද, පක්ෂය සහ එහි විරුද්ධවාදීන් අතර අතිවිශාල තරමක ද මතවාදී පරතරයක් පවතිී සහ නඩත්තු වෙයි.
පක්ෂයේ දේශපාලන ගමන යනු මෙම පරතරයන් කෙමෙන් සමනය කරගනිමින් යන අධ්‍යාපනික දේශපාලනය යි. දොස්තරවරයෙක් මනස්සයෙකුට බෙහෙත් නියම කළත්, ඉක්මනින් සුව වෙන්නටැයි කියා සියළු බෙහෙත් පෙති එකවර බොන්නට කියන්නේ නැත. ඔහු එම බෙහෙත් ගත යුතු මාත‍්‍රාවන් වෙන් කර දක්වයි. මන්ද මහුශ්‍ය ශරීරය බෙහෙතක් වුණත් උකහා ගන්නා ස්වභාවික රිද්මයක පවතී. මනුෂ්‍යාගේ වෙනස්වීම සිදුවිය යුත්තේ ද ක‍්‍රමානුකූල කල්ගත වන රිද්මයකට අනුකූලව ය.
මංජුල සිතිය යුත්තේ, ඔහු ගෙනෙන මේ මතය මේ මොහොතේ සේවය කරන්නේ රනිල්-පොහොට්ටු ආණ්ඩුව සේවය කරමින් ඒ හරහා ගොඩනැගෙන පැරා මිලිටරි තත්වය දක්වා වර්ධනය විය හැකි චින්තන නඩයකට ද, නැතිනම් මැරෙන්නේ නැතිව තව දවසක් හෝ ජීවත් වෙන්නට කැමැත්තෙන් අරගල කරන රටේ මහ ජනතාවට ද යන්න යි. නමුත් අප කල්පනා කළ යුත්තේ, ජවිපෙ ලංකාවේ ජනතා කැමැත්තන් සියයට 80ට වැඩි ප්‍රමාණයක් දිනාගෙන නොමැති තත්වයක් තුළත් මංජුලට ජවිපෙ ගැන මෙසේ සොයා බලන්නට උවමනා වනවාද යන කාරණාව ය.
@ චන්දකීර්ති විජයබාහු