SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ත්‍රීවීල් රස්සාව කරන මිනිස්සු ගැන විවේචන ගොඩක් අපේ අයට තියෙනවා. මාර්ග නීති නො සැළකීම, අසාධාරණ ගාස්තු අයකිරීම, කල දුටු කල ගසාකෑම, දාමරික හැසිරීම් වගේ කරුණු කාරණා සම්බන්ධ කරගත්ත විවේචනත් ඒ අතර තියෙනවා.

ත්‍රීවීල් රස්සාව හින්දා තරුණ ශ්‍රමය නිස්කාරණේ නාස්තිවෙනවා කියන එක තවත් විවේචනයක්. අපි හැමෝට ම සහසුද්දෙන් පේන මේ දේවල් එහෙම නෙවෙයි කියලා කියන්න කාට හරි පුළුවන් ද?

 

හරි හමන් නිෂ්පාදනයක් වෙන්නේ නැති රටක ශ්‍රමය නාස්තිවෙනවා කියන්නේ අමුතු මැජික් එකක් නම් නෙවෙයි. අපේ රටේ මිනිස්සුන්ගේ හැකියාවන් සහ ශ්‍රම ශක්තිය ඕන තරම් නාස්තිවෙනවා. “ත්‍රීවීල්කාරයෝ” කරන ශ්‍රම “නාස්තිය” අපි හැමෝට ම පේනවා. මේ කට්ටිය ඉන්නේ මහ පාරේ. රට පුරාම හන්දියක් හන්දියක් පාසා ඉන්න මේ අය අපිට පේනවා. අපි මේ ත්‍රීවීල්කාරයන්ට ඔහොම පොඩ්ඩක් ඉන්න කියමු.

 

හැම දා ම උදේට මැදපු ඇඳුමක් ඇඳගෙන, බත් ගෙඩියකුත් ඇරැගෙන ඔෆිස් යන මහත්තුරු නෝනලා මොකද කරන්නේ? තමන්ගේ ශ්‍රමය වැය කරලා ඒ අය කරන වැඩ මොනවා ද? ඔෆිස් අස්සට රිංගන අය කරන කියන දේවල් අපිට පේන්නේ නෑ. හැබැයි ඒ අය කරන ශ්‍රම නාස්තිය ඔය ත්‍රීවීල්කාරයෝ කරනවා කියන ශ්‍රම “නාස්තියට” වඩා මහ ලොකු එකක්. වෙලාවට හරි අන්තිම තප්පරේට හරි වැඩට යනවා. සමහර විට තරමක් පමාවෙනවා. හවස වෙලාව ආවාම ආපහු ගෙදර යනවා. මෙහෙම කරන සැළැකිය යුතු පිරිසක් ඔය මැද්දේ කාලේ කරන වැඩ රාජකාරි මොනවා ද?

 

ඔය ඔෆිස්වල අපිත් ඉඳලා තියෙනවානේ. ත්‍රීවීල්කාරයෝ නම් තමන් කරන්න ඕන වැඩේ ගැන දන්නවා. ඒ අය වැඩක් ලැබුණ ගමන් ම ඒක කරනවා. ඒත් ඔය හුඟක් ඔෆිස්වල ඉන්න සමහර ලොක්කොවත් දන්නේ නෑ තමන් කරන්න ඕන මොනවා ද කියලා. ඔය ඔෆිස්වල “නේටෝ” රැස්වීම් නම් ඕන තරම් තියෙනවා. මේ “නෝ-ඇක්සන්-ටෝක්-ඔන්ලි” රැස්වීම්වලින් සත පහක වැඩක් නෑ කියලා ඕවා කැඳවන අයත් දන්නවා.

ඒ විතරක් යෑ! ලියුම් ගහනවා. ෆයිල් හදනවා. මිනිට් ලියනවා. ෆයිල් ඉහළට යනවා, පහළට එනවා. වාර්තා හදනවා. ඒවා කබඩ්වලට දානවා. පස්සේ ආර්කයිව්ස්වලටත් (ආරක්‍ෂිත ලේඛනාගාරවලටත්) ඒවා යවනවා. එක කෙළියයි.

 

ඔය මැද්දේ කයිවාරු ගහන්නත් හොඳ වෙලාවක් ඉතිරිවෙනවා. පිරිමි කතා කරන්නේ දේශපාලනය ගැන. ක්‍රිකට් මැච් තියෙන කාලෙට නම් ඒ ගැන කතා කරනවා. ගෑණු කතා කරන්නේ ටෙලි නාට්‍ය ගැන. එහෙමත් නැතිනම් තවත් ගෑණුන්ගේ පිරිමින්ගේ ඕපදූප ගැන. වෙලාවට කාලා බීලා, ඔෆිස් වෙලාවේම මළ ගෙදරක් මගුල් ගෙදරක් තියෙනවා නම් ඒවාටත් ගිහිල්ලා, වෙලාව ආවාම ආපහු දුක් විඳගෙන ගෙදර යනවා. එහෙම යද්දි එද්දි දකින දේවල් (ත්‍රීවීල්කාරයන්ගේ වැරැදිත් එක්ක) ඊ ළඟ දවසේ මාතෘකා බවට පත් කරගන්න පුළුවන්. ඉතින් බලන්න ඒ ශ්‍රමයෙන් කොච්චර නම් වැඩක් වෙනවා ද කියලා.

 

දැන් එතකොට ඔය මහ උගත්තු ඉන්නවා කියන විශ්වවිද්‍යාලවල මොකද වෙන්නේ? ඒවායේ ශිෂ්‍යයන්ගේ සහ ගුරුවරුන්ගේ ශ්‍රමය සුපිරියට ම පාවිච්චි වෙනවා ද? ඔය ළමයින්ට දෙන අසයින්මන්ට්වලින් වෙන වැඩේ මොකක්ද? ළමයි ලියන නිබන්ධනවලින් වෙන වැඩේ මොකක්ද? මේ රටේ විශ්වවිද්‍යාලයකින් ශබ්දකෝෂයක්වත් හදලා තියෙනවා ද? පොතක් පතක් පරිවර්තනය කරලා තියෙනවා ද? ළමයින්ට පවරන අසයින්ට්මන්ට් හරහා මෙහෙම වැඩ කරවන්න බැරි ද?

 

මම චීනයේ ඉන්න කාලේ චීන මධ්‍යම රූපවාහිනිය ඔස්සේ ච-චියං විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් කරපු දේශන මාලාවක් ඇහුවා. මේ මෑතක දී, මට ඒ දේශන මාලාවේ ඉංග්‍රීසි පරිවර්තන ඇතුළත් පොතක් හම්බවුණා. ඒ මහාචාර්යතුමා කරපු දේශන ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා තියෙන්නේ එතුමාගේ විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා අංශයේ ළමයි එකතුවෙලා. ඒ අය කරපු පරිවර්තනවල අඩුපාඩු අදාළ අංශයේ මහාචාර්යවරු දෙන්නෙක් හදලා. මේ පොත පළ කරලා තියෙන්නේ එංගලන්තේ සමාගමක් විසින්.

 

අපේ විශ්වවිද්‍යාල මෙහෙම වැඩ කරනවා ද? මෙහෙම කිසිම දෙයක් නො කරන අපේ ගුරුවරුන්ගේ සහ ළමයින්ගේ ශ්‍රම නාස්තිය ගැන කවුරුවත් කතා නො කරන්නේ ඇයි?

 

මේ කාරණයට අදාළ තවත් නිරීක්‍ෂණයක් කියන්නම්. දැන් ඉන්න ත්‍රීවීල්කාරයෝ අතර තරුණයෝ කොච්චරක් ඉන්නවා ද? කවදා හරි පටන්ගත්ත කතාවක් පුරුද්දට කියවන්න එපා. තමන් මහ පාරේ දකින දේවල් දිහා හොඳින් බලන්න. දැන් ත්‍රීවීල් එළවන අයගෙන් බහුතරයක් අවුරුදු හතළිහට වැඩි අය. සමහර වෙලාවට ඔය කියන කතාව හැදෙන්න ඇත්තේ ඒ අය තරුණ කාලයේ වෙන්න ඕන. ඒ තරුණයෝ දැන් මැදිවියට ඇවිල්ලා. හැබැයි කතාවේ ඉන්න ත්‍රීවීල්කාරයන්ට වයස ගිහිල්ලා නෑ. ඉතින් මෙහෙම පදනමක් නැති කතා කියන එක ශ්‍රම නාස්තියක් නෙවෙයි ද?

 

ත්‍රීවීල් එපා කියලා කියන්නේ ඒවා පාවිච්චි කරන්නේ නැති අය. අපි පුංචි කාලේ කහ පාට වහලක් තියෙන කළු පාට මයිනර් කාර් තමයි ටැක්සි විදිහට දිව්වේ. ඒත් ඒවායේ යන්න සල්ලි අපිට තිබුණේ නෑ. ඒ ලස්සන වාහන ගැන මතකයක් නම් අපේ හිත්වල තවමත් හිතේ රැඳිලා තියෙනවා. ඒක වෙනම කතාවක්. දැන් ත්‍රීවීල්වලින් ගමන් බිමන් යන මිනිස්සු ඉන්නවා. ඒ ගමන් බිමන් යන අයට ත්‍රීවීල්වලින් සේවයක් වෙනවා. එහෙම නැතිනම් මේවා නිකම් ම පාරෙන් අතුගෑවිලා යයි.

 

මේ සේවයට අදාළ ප්‍රශ්න මහ ගොඩක් තියෙනවා තමයි. ඉස්පිරිතාල ළඟ, කොළඹ කොටුව වගේ මහ දුම්රිය ස්ථාන ළඟ ඉන්න ත්‍රීවීල්කාරයෝ කරන මහ අසාධාරණ ගසාකෑම් ගැන අපි දන්නවා. ගුවන් තොටුපොළට අරක් ඇරැගෙන ඉන්න කාර්-වෑන්කාරයෝ කරන්නෙත් මෙහෙම පාතාල සෙල්ලමක් තමයි. හොඳින් බැරි නම් නරකින් හරි මේ පාතාල වැඩ අතුගාලා දාන්න ඕන. ඒ ගැන වාදයක් නෑ. ත්‍රීවීල්කාරයෝ නාගරික මාර්ගවල කරන වෙට්ටු දැමිල්ලත් නවත්තන්න ඕන. මේ අංශයේ වැඩ පිළිවෙළක් කරන්න හොඳ නියාමනයකුත් ඕන.

ත්‍රීවීල් අංශයේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ඒ අයගේ වැඩේට අදාළ හොඳ බිස්නස් මොඩල් එකක් හදලා දීමෙන්. මුළු රට ම ආවරණය වෙන විදිහට මහ බිස්නස් හදන්න ඕන නෑ. මුලින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් මේවා පටන්ගනිමු.

 

මෙහෙම බිස්නස්වලට කරන්න පුළුවන් මගී ප්‍රවාහනය විතරක් නෙවෙයි. කුරියර් වැඩවලට පවා මේවා යොදාගන්න ඕන. ඒ සමාගම්වල වැඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ම නියාමනය කරන්නත් පුළුවන්. ඒ මට්ටමින් වැඩ කරද්දි ටයිකාරයෝ, චක්‍රලේඛනකාරයෝ ඇතිවෙන්නේ නෑ. ප්‍රාදේශීය මට්ටමින් ඇති කරන සමාගම්වල සේවය, ගුණාත්මක බව අගයන ක්‍රමයකුත් හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේ ම, ගුණාත්මකභාවය පදනම් කරගත්ත තරගයකුත් ඇති කරවන්න පුළුවන්. එහෙම ක්‍රම තුළින් තමයි නියාමනයත් ගුණාත්මක බවත් වර්ධනය වෙන්නේ. එහෙම නැතුව බොරුවට ප්‍රඥාප්ති සම්මත කර ගත්තාට වැඩක් වෙන්නේ නෑ. ඒ වගේ ම, මෙහෙම පුංචියට ප්‍රාදේශීය මට්ටමින් හදන සමාගම් පස්සේ ලොකු මහත් කරගන්න එක අමාරු වැඩක් නෙවෙයි කියන එකත් අපි තේරුම්ගන්න ඕන.

 

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

@ඇත්ත පත්තරය