SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බෙත්තාරාමය හැදුවේ රණසිංහ ප්‍රේමදාසය. දවල්ට විතරක් ගහපු ක්‍රිකට් රෑටත් ලයිට් දාගෙන ගහන්න පටන්ගත්තේ ඊට පසුවය. ප්‍රේමදාස ජනපතිට උපහාර පිණිස පසුව එය ප්‍රේමදාස ක්‍රීඩාංගනය විය.

ප්‍රේමදාසගේ පුතාත් ක්‍රිකට් ගැසු බව අපි දැනගත්තේ ලගදීය. ඒ උන්නැහේම ඒ කතාව පාර්ලිමේන්තුවේදී කිව්වාට පසුවය.

 

බොහෝ මන්ත්‍රීවරු එලියේ නොකියන කතා පාර්ලිමේන්තුවේ කියන්නේ නඩු නොවැටෙන නිසා විය යුතුය. සජිත් ලොක්කා ද මෙහෙම "මමත් හොඳ ක්‍රිකටර් කෙනෙක්” කියන්නට පාර්ලිමේන්තුවම තෝරාගත්තේ ඇයි දැයි දන්නේ අප නොව උන්නැහේමය.

 

 

ගමේ ගොඩේ වෙලේ නියරේ පිට්ටනියේ ක්‍රිකට් ගහන්නේ විකට් හිටවලාම නොවේ. එහෙම තැන්වල කොට කලිසම්, දිග කලිසම් විතරක් නොව සරම් පිටින්ද ක්‍රිකට් ගහනවා සුලභය. සජීත් මහත්තයාත් රබර් දාගෙන ක්‍රිකට් ගහනවා අපි දැක්කේ පහුගිය ජනාධිපති ඡන්දය කාලයේදීය.

 

 

කොහොම උනත් ඒෂියන් කප්, වර්ල්ඩ් කප්, ටී ටුවෙන්ටි කප් ගහපු අපි අම්බානෙට කෑවේ ප්‍රේමදාසලාගේ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීය.

 

කුච්ච කුජීතවී මස්ත බාල්දු වී පනහට ඕල් අවුට් වූයේ ඉන්දියාවටය. ඒ පලවෙනි වතාවටය. දෙවැනි වතාවටත් පනස් පහට ඕල් අවුට් වෙනකොට නහුතයට නැග්ගේ ජනතාවටය.

තැටිය රත්වන විට රොටිය බැදගන්නට මාන බැලුවේ ලිට්ල් ප්‍රේමදාසය. විකට් තුනක් නොව විකට් සෙට් දෙකම හිටේව්වේ පාර්ලිමේන්තු පිට්ටනියේ නොව සභා ගර්භයේය.

 

තෙල් මිල, බඩුමිල, ලයිට් බිල, වතුර බිල,බදු බර, වැට් ගැන වගේ වගක් නැතුව විස්සයි විසිහතර බජට් එක ගැන හා හූවක් නැතිව උදේ ඉදන් රෑ වෙනකල් නෙලුවේ ක්‍රිකට් වලටය.

සජිත් ලෝක්කා මෙහෙම එක අන්තයක් පිත්ත හසුරුවන විට අනිත් අන්තයේ පාලු කැපුවේ පොළොන්නරුවේ රොෂාන්ය.

දෙන්නා දෙපැත්තෙන් නෙලපු නෙලිල්ලට පන්දුව වැටුනේ හතරේ සීමාවෙන් එහාට නොව අයිසීසී යේ වහලයට. චියර් කරන්නට ආවේ ධනිෂ් අලීලාය. ස්කෝර් කලේ සජිත්ය. නොකවුට් වූයේ ක්‍රිකට්ය. සස්පෙන්ඩ් වූයේ රටය, අවුට් වූයේ රොෂාන්ය.

 

 

නැති ලකුණකට දුවන්නට ගොස් runout වූයේ අනෙක් අන්තයේ බැට් කල රොෂාන් ය. කෙලවූනේ රොෂාන්ටය.

 

බැට් බෝල හෙල්මට් පෑඩ් පමණක් නොව බෝල්ගාඩ් ද අහිමි කර ගත්තේ රොෂාන්ය. සජිත් සමඟ බැට් කරන්නට ගොස් runout වුයේ රොෂාන් පමණක් නොවේ. ඒ ලැයිස්තුව ටිකක් දිගය.

 

 

ඉස්සෙල්ලම runout වුයේ කරූ ජයසූරියය මහත්තයාය. ඒ සිරිකොතේ තාප්පයත් කඩාගෙන නායකයා තෝරන මැච් එක ගහපු දවසේය.

දෙවැනියා ඩලස්ය. ඒ පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරපු මැච් එක දවසේය.

තුන්වැනියා මුජිබර් රහුමාන්ය. ඒ තාමත් නොපැවැත්වූ නගරාධිපති තෝරන මැච් එකට දින නියම කරපු දවසේය.

හතරවෙනියා පොළොන්නරුවේ රොෂාන් ය. මේ ලැයිස්තුවට ශිරාල් ද, මෛත්‍රීද, තව දෙතුන් දෙනෙකුද එකතුකල යුතු බව මතක් වූයේ දැන්ය.

 

ඊලගට runout කරන්නේ තිස්සද, හර්ෂද, හේෂාද, මරික්කාර්ද, කබීර්ද, මොනරාගල මද්දුමබණ්ඩාර ද, කුරුණෑගල නලීන් බණ්ඩාර ද කියා දන්නේ runout සෙල්ලම ප්‍රගුණ කළ සජිත් ප්‍රේමදාසම මිස වෙන කිසිවකු නොවනු ඇත.

 

මෙහෙම "සුගීගේ සටහන" ලිව්වේ හඬන්න, වැලපෙන්න මෙන්ම ලාමකව සිනාසෙන්නටද නොව හොඳට හිතන්නටය.

සැමටම චිරං ජයතු!!!

මම

සුගත් හේවාපතිරණ.

@සුගීගේ සටහන - Sugeege Satahana

marrikkar

නවතම ලිපි