SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පහත  ලිපිය පලකරන ලද්දේ හරියටම අදින් වසර දෙකකට පෙරය.

ඒ පොහොට්ටු ආණ්ඩුව පැවති සමයේය. අද වන විට ලිපිය තුලින් අප සිදුකල පුරෝකථනය සත්‍ය  වෙමින් පවතී. ‍

 

(09th February 2022 ලිපිය)

ලංකාව තුල ස්ථාපිත වන ප්‍රභූ දේශපාලනයේ නව ස්වරූපය

1004

 

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් තුල ස්ථාපිත වී ඇති වර්තමාන ප්‍රභූ දේශපාලනය යනු නූතනත්වයේ නිෂ්පාදනයකි. ලංකාව වැනි රටවල ප්‍රජාතන්ත්‍රවාදීන් පවසන්නේ ලංකාව තුල හරියාකාරව එම ප්‍රභූ දේශපාලනය ස්ථාපිත වී නොමැත යන්නයි. එනම් සාම්රදායික "වැඩවසම් පවුල් උරුමයන්" (ඔවුන් පවසන පරිදි) තුලින් රටෙහි දේශපාලන අධිකාරීත්වය තීරණය වන බවය. ඇත්තටම ඔවුන් විසින් සඳහන් කරන "වැඩවසම් පවුල් උරුමයන්" යනුද නූතනත්වයේ නිෂ්පාදනයකි.

ප්‍රේමදාස රටේ ජනාධිපති බවට පත්වීම සැලකුවහොත්, එය ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවට අනුව "වැඩවසම් පවුල් උරුමයන්" තුලින් පැමිණි තත්වයක් නොවේ (ප්‍රේමදාස එම අවස්තාව ලබාගත්තේ ඉතා අමාරුවෙනි). නමුත් ප්‍රජාතන්ත්‍රවාදී බුද්ධිමතුන් ප්‍රේමදාසට දැඩිව එරෙහි විය. ඔවුන් ප්‍රේමදාසට එරෙහිව "වැඩවසම් පවුල් උරුමයන්" වෙතින් පැමිණි චන්ද්‍රිකා පාර්ශවය සහ පසුව රනිල් පාර්ශවය වෙත ලැදියාවක් දැක්වීය (අද දවසේද ලාංකීය ප්‍රජාතන්ත්රවාදීන්ගේ සැබෑ නියෝජිතයා වන්නේ සජිත්ට එරෙහි රනිල්ය). එහිදී ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම් වලට රනිල්ගේ පවුල් උරුමය පිළිබඳව ප්‍රශ්නයක් නොමැත. ඒ අනුව ඉතාම පැහැදිලි කරණය වන්නේ ඔවුන්ගේ පවුල් උරුමය වැනි කතා හුදු අවස්තානුකූල ප්‍රලාප පමණක් බවය. එසේ නොමැතිව එය ඔවුන්ගේ "න්‍යායික ස්ථාවරයක්" නොවේ (දෘෂ්ටිවාදය).

ඒ සියල්ල එසේ තිබියදී ප්‍රජාතන්ත්‍රවාදීන් සිදුවිය යුත්ත ලෙස සලකන 'ප්‍රභූවරයා' පවුල් උරුමයෙන් වෙනස්ව 'දක්ෂතාවය' මත සංස්ථාපිත විය යුතුය යන්න ගතහොත්, එසේ වීම, එය නූතනත්වයේ සාම්ප්‍රදායික පවුල් දේශපාලනයෙන් සැබවින්ම වෙනස් ද ?

ප්‍රභූ දේශපාලනයට පැමිණෙන කිසිවෙකුට නූතනවාදී කතිකාව යම්කසි අකාරයකින් හෝ ප්‍රතික්ෂේප කල නොහැකිය. ප්‍රේමදාසට මෙන්ම අනුරට හෝ චම්පිකට ද එය එසේමය. චම්පික විසින් තමන් පිහිටන්නේ ඒබ්‍රහම් ලින්කන්, බිල් ක්ලින්ටන්, ඔබාමා සම්ප්‍රදායේ බව පෙන්වමින් රනිල් සඳහා පොත් රාක්ක වල ෆොටෝස් පල කිරීමට සිදු වන්නේ එබැවිනි. රනිල්ගෙන් නියත විවරණ නොලබා චම්පිකට රටේ නායකයා වීම උගහට බව ඔහු දනී. රනිල්ගෙන් නියත විවරණ ලැබීම යනු ව්‍යාපාරික ප්‍රජාව විසින් චම්පිකගේ සුජාතභාවය පිලිගනීමයි. ඊටත් වඩා ප්‍රධාන කාරණය වී ඇත්තේ චම්පික යනු විද්‍යාත්මක කතිකාව භාරගන්නා (ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව), එම විද්‍යාත්මක කතිකාවේ පිහිටනා කෙනෙකු බව රනිල්ට, ව්‍යාපාරික ප්‍රජාවට, උගතුන්ට මෙන්ම මුළු රටටම ඒත්තු ගැන්විය යුතු වීමයි. එසේ නොමැති වුවහොත් රටෙහි අතිශය බහුතර ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කරනු ඇත. චම්පික විසින් ජනතාවට පෙන්විය යුතු වන්නේ ඔහු සංවර්ධනයේ, දියුණුවේ, අග්‍රස්ථ විද්‍යාත්මක භාවිතයේ එදා මෙදා තුර සිටි කිසිඳු දේශපාලන චරිතයකට වඩා ප්‍රමුඛව, අධ්‍යාපනයෙන් යුතව, ඒ පිළිබඳව දේශපාලන දැනුමෙන් (දේශපාලන විද්‍යාව ඉගන ගන්න අය කලා විෂයන් කල අදක්ෂයින් බැවින් විද්‍යා විෂයන් කල දක්ෂයා ලෙස චම්පිකට එම ස්ථානය නිතැතින්ම හිමි වේ) යුතුව සිටින බවය.

චම්පික වෙත රනිල් විසින් මහා නගර සංවර්ධන ඇමතිකම ලබා දෙන්නේ චම්පික අමාරුවේ දැමීම සඳහා සහ ඔහුව පරීක්ෂා කිරීම සඳහා යන කාරනා දෙකම පෙරදැඩි කරගනිමිනි. රනිල් යනුද ප්‍රභූ දේශපාලනය ලේසියෙන් පවා නොදෙන ශූර ප්‍රභූ චරිතයකි (ඇත්තටම නූතනත්වයේ සැබෑ දේශපාලන උරුමය එයයි. එනම් වැඩවසම් රජකම පාවා නොදෙනාවක් මෙන් නූතනත්වයද පවා නොදෙන අනුප්රාප්තිකයින් බිහි කිරීමේ දෘෂ්ටිවාදය සහ කතිකාවන්ය).

තම නූතනවාදී ප්‍රභූ නායකයා විසින් ලබාදුන් කාර්ය අකුරට ඉටුකරමින් තමා ඊළඟ පරපුරේ (ධනවාධයේ නියම උරුමය වන නිදහස් අධ්‍යාපනයේ) පිවිතුරු අනුප්‍රාප්තිකයා බව චම්පික විසින් පෙන්වා සිටීමට උත්සාහ දරන්නේ එබැවිනි. චම්පික විසින් නොරොච්චෝලේ බලාගාරය, අරුක්කාලේ විද්‍යාත්මක කසල අංගනය, කොට්ටාව බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථානය වැනි දෑ නිර්මාණය කළේ එබැවිනි.

ඒ අනුව චම්පික රටේ මිනිසුන්ට පෙන්වීමට උත්සාහ කරනුයේ තමන් රනිල්ට වඩා උගත්, බුද්ධිමත් දක්ෂයා ය යන්නයි (රනිල් ප්‍රභූ නියෝජිතයා වන විට චම්පික යනු නිර්ප්රභූ, දුක දිනා පැමිණි දක්ෂයා ය. ඔහු පෙන්වීමට උත්සාහ දරනුයේ එයයි. වඩා වටින්නේ ද එයයි). කලා විෂයන් හදාරා පෙරකදොරුවෙකු බවට පත් වූ රනිල්ට වඩා විද්‍යා විෂයන් හදාරා ඉංජිනේරුවෙකු බවට පත්ව ඇති චම්පික රනිල්ට වඩා දක්ෂ මෙන්ම රනිල්ට වඩා සුදුසුය (කලා විෂයන් කරා යන්නේ විද්‍යා විෂයන් කරා යාමට නොහැකි බැවිනි) යන්න "ජනතාව" ද පිළිගනී. එනම් රටේ "ජනතාවට සැප දීම"ට දන්නේ ඔහුය.

රටේ පාලන බලය ලබා ගැනීමට සැරසෙන සියලු දෙනාට සිදුව ඇත්තේ තමන් වඩාත් විද්‍යාත්මක-තාක්ෂණික බව පෙන්විය යුතු වීමය (සජිත්ටද තමන් බොත්තමක් එබූ පසු ලංකාව තුල සිදු වන දේවල් බලා ගත හැකිය වැනි ගොන් කතා කීමට සිදු වන්නේ එබැවිනි).

ප්‍රජාතන්ත්‍රවාදීන් නියෝජනය කරනුයේ නූතනත්වයේ උරුමයයි. "වැඩවසම් පවුල" ලෙස ඔවුන් හඳුන්වන තත්වය මෙන්ම "දක්ෂයා" යන්නද එහි උරුමයන්ය. එකම සම්ප්‍රදාය තුල "දක්ෂයා" පැමිණෙන්නේ වැඩවසම් උරුමය යන්නට විකල්පයක් ලෙස පමණි. "දක්ෂයා"ට (උගතා) හිමි ස්ථානය තහවරු වන සමාජයක් යනු ප්‍රජාතන්ත්‍රවාදය තහවරු වීමයි.

අනුර කුමාර ඉන් වෙනස් ද ? සත්තකින්ම නොමැත. ජවිපෙ විසින් නියෝජනය කරනුයේ ඉහත විස්තර කරන ලද තත්වය එහි සුපිරිසිදුම ආකාරයෙනි. එසේම ඔවුන් ප්‍රතිඤ්ඤා දෙමින් සිටිනුයේ එකී තත්වය දිවි හිමියෙන් ආරක්ෂා කරනුයේ තම පක්ෂය බවය.

පහත දැක්වෙන වීඩියෝවේ සිටින පුද්ගලයා අවධාරණය කරන කාරනාව වන්නේ අපේ රටේ මිනිස්සු සැප නොවිඳින බවය. ඔහුට අනුව ලංකාවේ මිනිසුන්ට සැප විඳීමට ඈති ප්‍රධාන බාධාවක් වන්නේ වාහන මිල අධික වීමය.

https://www.facebook.com/watch/?v=3040783942917121

එම පුද්ගලයා පමණක් නොව ජවිපෙට කැමති සියලු දෙනා හට ප්‍රශ්නයක් වී ඇත්තේ ලංකාවේ වාහන සඳහා අධික බද්දක් අය කිරීමයි (මේ පිළිබඳව දැනගැනීම සඳහා ජවිපෙ පාක්ෂිකයින්ගේ සහ ඡන්ද දායකයින්ගේ Facebook වලට යන්න ).

හෙක්ටෙයාර් 65000ක රක්ෂිත භූමියක් උක් වගාව සඳහා සිංගපූරු සමාගමකට ලබා දීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කරනුයේ ජවිපෙ ඇතුළු පක්ෂ ජනතාවට සැප මදියි කියා කෑ ගසන බැවිනි (ජනතාවට සැප මදි බව පෙන්වීමේ මූල කාර්යභාරය සැමදා ඉටු කරනුයේ ජවිපෙ විසිනි). ඒ අනුව සැප මදි බව ජනතාවට ඒත්තු ගියහොත් රාජපක්ෂලා පරාජය වනු ඇත. එබැවින් පරාජය වීමට අකමැති රාජපක්ෂලා සිංහරාජය විකුණා හෝ බලය රැකගනීමට උත්සාහ දරනු ඇත.

රාජපක්ෂලා මේ වන විට ලංකාව පුරා අධිවේගී මාර්ග ජාලය සම්පූර්ණ කිරීම සඳහා උත්සාහ කරමින් සිටී. එපමණක් නොව සියලු ග්‍රාමීය මාර්ග කාපට් කරමින් පවතී. කාපට් කිරීමට පාරවල් ඉතුරුව නොමැති බැවින් මෑතකදී කොන්ක්‍රීට් කර තිබූ කුඩා අතුරු මාර්ග පවා කාපට් කරමින් තිබේ. දැන් වාහන නොමැති මිනිසුන්ට අවශ්‍යව ඇත්තේ සහන මිලට වාහනයක් මිල දී ගැනීමේ අවශ්‍යතාවයයි.

ආණ්ඩුව විසින් වනාන්තර භූමි හෙක්ටෙයාර් 65000ක් සිංගපූරු සමාගමක් වෙත ලබා දෙනවාට එරෙහි ජවිපෙ කියා සිටිනුයේ එවන් අහිතකර ක්‍රියාමාර්ග නොගෙන රටට ආදායම් ගෙනෙන රට දියුණු කරන, සංවර්ධනය කරන දැනුම තමන් සතු බවය.

"දැන් සැපද" කියල මහින්ද ඇහුවේ යහපාලන ආණ්ඩුව රාජපක්ෂලාට වඩා සැප දේවි කියල හිතන් මිනිස්සුන් විසින් පත්කරගත් නිසාය. දැන් රාජපක්ෂලා ද අසාර්ථක වී, සජිත් ද අසාර්ථක වී, UNPය කුජීතම වී ඇති තත්වයක් තුල ප්‍රධාන දේශපාලන දහරාවට අවතීර්ණ වීමට අලුතින් කණ්ඩායමකට ඉඩ විවරව ඇත. ඒ සඳහා එක සමාන ප්‍රවේශයකින් කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වී තිබේ. ඒ "ජාතික ජනබලවේගය" සහ "43 සේනාංකය"යි.

දෙගොල්ලන්ගේම පදනම වී ඇත්තේ උගත් කමයි. එනම් ඒ, ඒ, විෂය ක්ෂේස්ත්‍රයන් සඳහා සප්‍රමාණික සුදුසුකම් ලද උගතුන්ගෙන් සපිරි ආණ්ඩුවක අවශ්‍යතාවයයි. මෙම දේශපාලන කතිකාව මේ ආකාරයෙන් ආරම්භ කරන ලද්දේ ජවිපෙ විසිනි. ඒ මහාචාර්යවරුන්, ආචාර්යවරුන් එක් කොට ඒ, ඒ, විෂය ක්ෂේස්ත්‍රයන් සඳහා උපදේශක කමිටු පත් කිරීමෙනි (අධ්‍යාපනය, විද්‍යාව, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය වැනි ලෙස...). නමුත් එම ගොඩනැංවීම සාර්ථකව අත්පත්කොට ගැනීමට ගොඨාභයගේ "වියත්මග", "එලිය" වැනි සංවිධාන වලට හැකි වූයේ ජවිපෙට එකතුකොට ගත හැකි උගතුන්ට වඩා උගතුන් ප්‍රමාණයක් ඒවාට එකතුකොට ගැනීමෙන් සහ ජවිපෙ ජාතික ලයිස්තුවේ නොමැති ප්‍රමාණයේ විද්‍යා ක්ෂේස්ත්‍ර උගතුන් විශාල සංඛ්‍යාවක ජාතික ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමෙනි (ජවිපෙ තර්කනය තුල සංසන්දනය කොට බැලුවහොත් ජවිපෙට සිටින උගතුන්ට වඩා ඉහල උගතුන් වත්මන් ආණ්ඩුව තුල ඇත). නමුත් ජවිපෙ තවමත් උත්සාහ දරමින් සිටිනුයේ එම කතිකාව තුලම ස්ථාපිත වීමටය (රාජපක්ෂලා මුලින්ම බලයට පත්වූයේ ජවිපෙ විසින් ඊට පෙර නිර්මාණය කරන ලද "රට රැකගැනීම" කතිකාව මංකොල්ල කෑමෙනි).

ජවිපෙ විසින් ගොඩනගන ලද මෙම වසංගතය දැන් ඊටත් වඩා විභවයකින් (ගොඨාභයට ද වඩා) අත්පත්කොට ගැනීමට උත්සාහ දරනුයේ "43 සේනාංකය"යි. එහි සෙන්පතියා වන චම්පික රණවක අනුර කුමාරට වඩා ඒ සඳහා සුදුසු කම් සපුරා තිබීම ජවිපෙට විශාල අවාසියක් වී ඇත.

"43 සේනාංකය" සහ "ජාතික ජන බලවේගය" මේ වන විට වැඩියෙන් උගතුන් දිනා ගැනීමේ තරඟයකට අවතීර්න වී ඇත.

රටෙහි පාලන බලයට පැමිණි සහ පැමිණීමට බලාපොරොත්තු වූ සාම්ප්‍රදායික ප්‍රභූ වරුන්ගේ සිතීම වූයේ තමන් හට එය අනීවාර්ය ලෙසම හිමි තත්වයක් ලෙසය. ඊට එරෙහි බව පවසමින් පැමිණි වාමාංශික විකල්පය ද ඒ හා සමානය. "බුද්ධිවාදී ප්‍රවේශය" දරා ගත් වාමාංශික පිරිස වූයේ විශේෂයෙන්ම විදේශීය අධ්‍යාපනය ලැබූ ප්‍රභූන්ය. ඔවුන් සාම්ප්‍රදායික ප්‍රභූන් දෙස අවඤ්ඤා සහගත වූයේ ධනවාදයෙන් පසුව පැමිණෙන ඊළඟ අනීවාර්ය සමාජ ක්‍රමය ගැන "විද්‍යාත්මක දැනුම" ඇති සහ එය කුමක්දැයි දන්නා උගතුන් ඔවුන් ලෙස ඉතාම මහේශාක්‍ය ලීලාවෙන් ආඩම්බර වෙමිනි. එය "දැනුම"ට අදාළ ප්‍රභූත්වයකි (මේ වන විට එය අර්බුධයට ගොස් වාමාංශික සහ දක්ෂිනාංශික යන බෙදුම අවසන් වී "දැනුම" යන්න පමණක් අධිනිශ්චය වී ඇත. වත්මන් ප්‍රභූත්වය නිර්මාණය වීමට විලිලමින් තිබෙන්නේ ඒ මතය). එම "දැනුම" තමන් සතුවීම තුල ඔවුන් සිතා සිටියේ ඉදිරි දේශපාලන දිශානතිය තීරණය කිරීමේ අයිතිය (නූතනවාදී ප්‍රභූත්වයේ තවත් අකාරයක්) තමන් සතු බවයි (මෙය ලංකාවට පමණක් සුවිශේෂී තත්වයක් නොවේ. ලොව පුරාම තත්වය එබඳු විය).

පැරණි වමට එරෙහි වෙමින් නිර්මාණය වූ ජවිපෙ නායකත්වය සහ සාමාජිකත්වය සතුව පැවතියේ නිර්ප්රභූ සම්භවයක් වුවද පැරණි වමේ ස්ථාවරය වූ දැනුමේ ස්ථානයෙන් ගැලවීමට ඔවුනට නොහැකි විය. ඒ අනුව ජවිපෙ දේශපාලනය තුල නූතනවාදී ප්‍රභූත්වයේ වාමාංශික අකාරය නිර්ප්රභූ වේශයක් තුලින් සංස්ථාපිත විය. ජවිපෙ අවදානය වැඩිපුරම විශ්ව විද්‍යාල සිසුන් වෙත යොමු වූයේ එබැවිනි. ජවිපෙ සිටි නූගත් සාමාජිකයින් පවා ආඩම්බර වූයේ එය දක්ෂ විශ්ව විද්‍යාල සිදුන්ගේ අනුදැනුම ඇති පක්ෂය ලෙසින් සතුටු වෙමින්ය. පක්ෂය තුල නූගත් සාමාජිකයා නියෝජනය වූයේද ඒ ආකාරයෙනි. මේ වන විට ජවිපෙ එම උරුමයේ වාමාංශික හැව ඉවත්කොට ඇත. දැන් ඍජුවම ඔවුන් ලිබරල් ප්‍රභූ දේශපාලනය පිළිගෙන ඇත.

ඉහත කරුණු දැක්වීම තුල පැහැදිලි කිරීමට උත්සාහ කරනා ප්‍රධානතම කාරණය වන්නේ නූතනවාදී ප්‍රභූත්වයේ කලානුරූප පරිනාමයයි.

එනම්:

බ්‍රිතාන්‍ය ප්‍රභූත්වයේ ආක්‍රමණය සහ ඒ සඳහා ඔවුනට තිබූ අයිතිය පිළිගැනීම> ඒ තුල නිර්මාණය වූ රට පාලනය කිරීමේ අයිතිය තමන් සතු බව පිළිගත් දේශීය ප්‍රභූත්වය>ඊට එරෙහිව ගොඩනැගුන "දැනුම" මත පදනම් වූ වාමාංශික ප්‍රභූත්වය>එම මූල ලක්ෂණ දරා ගනිමින් නූතනවාදී ප්‍රභූත්වයේ වාමාංශික අකාරය නිර්ප්රභූ වේශයක් තුලින් පැමිණීම> වාමාංශික හැව ඉවත් කරන ලද "දැනුම" මත පදනම් වූ වර්තමාන ලිබරල් ප්‍රභූත්වය...

ඉහත සඳහන් කල සියලුම ප්‍රභූත්ව අකාරයන් සඳහා වන මහා පොදු සාධකය වන්නේ රට පාලනය කිරීමට, සියලු දේ පිළිබඳව තීරණ ගැනීමට තමන් හට අයිතියක් හිමිව ඇති බව පිළිගැනීමයි. ඒ අනුව ඉහත සඳහන් කල පිළිවෙල තවත් අකාරයකට මෙසේ ලිවිය හැකිය.

අධිකාරීත්වය සඳහා බ්‍රිතාන්‍ය ප්‍රභූත්වයට ඇති අයිතිය දෙවියන් විසින් ලැබුන වරමකි>දේශීය ප්‍රභූත්වය සතු වූයේද එවන් අවිනිශ්චිත හැඟීමකි>දෙවියන් ප්‍රතික්ෂේප කරමින් දෙවියන්ට එරෙහිව විද්‍යාව පිහිට වීම තුල "දැනුම" තුලින් අධිකාරීත්වයේ අයිතිය හිමි යයි සිතන ප්‍රභූත්වය>"දැනුම" පරමත්වයට නැංවීම මගින් අයිතිය කියාපාන වර්තමාන ප්‍රභූත්වය...

ඉහත සඳහන් කිරීම තුල දෙවියන් වියැකී ගොස් එතනට "දැනුම" ආදේශ වී ඇති බව පෙනුනද ඇත්තටම එය එසේ නොවේ. "දැනුම"ට අදාල තත්වය තුල දෙයාකාරයකින් නැවතත් දෙවියන් මුණගැසේ.

1. "දැනුමට" (ඕනෑම දැනුමකට) අදාළ අවසාන අර්ථය ලෙස දෙවියන් මුණ ගැසීම තුල

2. දැනුම හිමි කරගන්න "දක්ෂයා" (දක්ෂන්ගේ ආරෝහණ පටිපාටිය) අවසාන අර්ථයෙන් දෙවියන්ගේ තීරණයක් ලෙස පෙනී යාම තුල

ඒ අනුව පෙනී යන්නේ අධිකාරීත්ව ප්‍රභූත්වයේ රූපකාය වෙනස් වුවද එහි ඕනෑම සවරූපයක පවතින්නේ එකම ගුණය බවය. එනම් ප්‍රජාතන්ත්‍රවාදය යනු අර්ථකතනීය ව්‍යාජයකි. එය එසේ වුවත් සියලු දෙනා මේ වන විට එය පිළිගෙන ඇත. ඒ කලක රාජකීය ප්‍රභූත්වය මිනිසුන් භාරගත්තක් මෙන්, ඊට එරෙහි දේශීය ප්‍රභූත්වය ද භාරගත්තක් මෙන්, ප්‍රභූ වාම සහ නිර්ප්‍රභූ වාම තත්වයන්ට විශාල පිළිගැනීමක් ලබුනාක් මෙන්ම, දැන් වර්තමාන දක්ෂයින්ගේ ප්‍රභූ ස්වරූපය පිළිගැනීමට ලක්වෙමින් පවතී. ලොව පුරාම තත්වය එයයි. ඊට එරෙහි මෝඩයින් සුළු පිරිස අපය. එබැවින් මේ ලිපිය කියවන බොහෝ දෙනෙක්ද අපට සිනාසෙනු ඇත.

ලංකාව තුල ලිබරල්වාදයේ වර්තමාන ස්වරූපය දැක රනිල් සතුටු වනු ඇත. ඒ රුවන් විජයවර්ධන තම අනුප්‍රාප්තිකයා බවට පත්කිරීමට උත්සාහ කලද ඔහුගේ ඇති කම්මැලි කම හේතුවෙන් එය අසාර්ථක වී ඇති තත්වයක් යටතේ තම පවුල් උරුමයෙන් බලය ගිලිහීමේ කනස්ස්සල්ලද සහිතවය.

ප්‍රභූවාදයේ ආශාව දිශානත වන්නේ වන්නේ රට ගොඩනැංවීම, දියුණු කිරීම, සංවර්ධනය කිරීම, ජනතාවට සැප-ආතල් දීම, දුගී දුප්පත් ජනතාව ඒ දුකෙන් මුදවා ගැනීම වැනි කාරනා වෙතටය. නැවත නැවතත් අවධාරණය කල යුත්තේ ප්‍රභූත්වය සංස්ථාපනය වන්නෙම ඒ අයිතිය සහ සුදුසු කම තමන් සතු බව අවිඥානික බැවිනි.

නමුත් විමුක්ති දේශපාලනය සතුව එකී ආශාව පැවතිය නොහැකිය. එනම් විමුක්ති දේශපාලනය යනු ප්‍රභූවන්තභාවයට අදාළ ඉහත කාරනා අදාළ නොවන, "මානව සංහතිය", "මිනිස් සමාජය" යන්න මගහරින සහ අදාළ කොට නොගන්නා දේශපාලනයයි. තවත් අකාරයකින් පවසන්නේ නම් එවැනි දේශපාලන ප්‍රවේශයක් සතුව ජනතාවට සැප සහ ආතල් දීම, රට රැක ගැනීම, රට දියුණු කිරීම සහ සංවර්ධනය කිරීම, දුගී දුප්පත් ජනයා දුකෙන් මුදවා ගැනීම, මානව සංහතියට සෙත සැලසීම, මිනිස් සමාජය ආරක්ෂා කොට ගැනීම වැනි දෘෂ්ටිවාදී අඩංගූන් තිබිය නොහැකිය.

 

පුටුව

 

2024 වර්ෂයේදී මුලින්ම පැවැත්වෙනුයේ මහා මැතිවරණයයි. ප්‍රභූ දේශපාලනය රැකගැනීම වෙනුවෙන් මෙවර ද ඉදිරියට පැමිණ ඇත්තේ චන්ද්‍රිකාය. මහා මැතිවරණය සඳහා ශ්‍රී.ල.නි.ප.යේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන සන්ධානයේ නායකයා වන්නේ ස්ථිර වශයෙන්ම චම්පික රණවකය. චම්පික නියෝජනය කරනුයේ S.W.R.D. බණ්ඩාරනායක පුනරාගමනයයි. එනම්, එහි අධ්‍යතන ස්වරූපයයි. රනිල් ප්‍රමුඛ UNPය ඊට පූර්ණ සහාය දක්වනු ඇත (බොහෝ විට රනිල් ස්වාධීන වී එසේ කරනු ඇත). පොහොට්ටුවේ කොටස් ද ඊට එකතුවනු ඇත.

 

නමුත් රාජපක්ෂලා ඇතුළු ඔවුන්ගේ සහචරයින් සන්ධානයට වැද්දනොගන්නා අතර බොහෝ විට ඔවුන් වෙනම තරඟ වදිනු ඇත. නැතිනම් මැතිවරණය වර්ජනය කරනු ඇත. එයද ගොඩනැගෙන ප්‍රභූ සන්ධානයේ උපක්‍රමයකි. එසේ කරනුයේ ද රනිල්-චන්ද්‍රිකා ඒකාබද්ධ මෙහෙයුම සාර්ථක කොට ගැනීමෙන් මෙපිට ඔවුනට ද පැවැත්මක් නොමැති හෙයිනි.

නමුත් කොස්සකට ඇත්තේ සජිත්ය. ස.ජ.බ. නමැති සැරව ගෙඩිය පලා සජිත් කොස්ස ඉවත් කිරීම හෝ ඔහු අගමැති තනතුරට එකඟ කරගැනීම සිදුවන්නේ මහා මැතිවරණයෙන් පසුවය. ඒ වැඩි ආසන සංඛයාවක් මාලිමාව හිමි කරගැනීම තුලය.

 

මාලිමාව විසින් වැඩි ආසන සංඛ්‍යාවක් හිමිකරගත්ත ද ආණ්ඩුවක් පිහිටවීමේ හැකියාව ඔවුන්ගෙන් ගිලිහෙනු ඇත යන්න රනිල්-චන්ද්‍රිකා ව්‍යාපෘතියේ තක්සේරුවයි. දැනට තිබෙන තත්වය අනුව බොහෝ දුරට එය එසේ වීමට ඉඩ ඇත. ඒ සුළු ජාතික පක්ෂ ඊට සහාය නොදක්වන බැවිනි (නමුත් අවශ්‍ය නම් ජවිපෙට මෙම තත්වය වෙනස් කල හැකිය. නමුත් ඔවුන් රඟ දක්වනුයේ "හොඳ ළමයාගේ" චරිතය බැවින් රාජ්‍ය බලය ඔවුන් සතු කොට ගැනීමේ හැකියාව ගිලිහී යා හැකිය). ඒ අනුව සිදුවීමට නියමිතව ඇත්තේ සජිත්ගේ ස.ජ.බ.ට ද මහා මැතිවරණයෙන් පසුව ප්‍රභූ සන්ධානයට එකතුවීමට සිදු වීම හෝ සජිත් හැරදමා ස.ජ.බේ. සියලු දෙනාම පාහේ චම්පිකගේ සන්ධානයට එකතුවීමයි. ඉන් පසු ජනාධිපතිවරණයේදී චම්පික සහ අනුර අභිමුඛ වනු ඇත.

 

 

මෙම වසරේ මුල් දිනයේ අප තැබූ සටහන පහත වේ.

2024 වසර ගැන

1002

 

"ජනතාව" වෙනුවෙන් දේශපාලනය කරන ඕනෑම පක්ෂයකට හෝ කණ්ඩායමකට "ධනවාදයට කොච්චර කැමති අකැමැති වුණත් දැනට යන්න තියෙන්නේ බටහිර ධනවාදී ඇමරිකානු ආර්ථික විද්‍යාවේ විතරයි..." (Thamalu Maliththa Piyadigama එසේ පවසා ඇත).

කැමති වුව ද අකමැති වුව ද යථාර්තය එයයි.

එසේ නොමැතිව,

බලයට පැමිණි පසුව, වෙනත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට යන්නේ නම්, එසේ කිරීමට උත්සාහ දරන අදාළ දේශපාලන පක්ෂයට ඉතා ඉක්මනින් බලය අහිමි වීම ස්ථිරවම සිදු වනු ඇත (ගෝඨාභයට සිදු වූ දේ).

2024 වර්ෂයේදී මැතිවරණයක් පැවැත්වුවහොත් ඉන් ජවිපෙ බලයට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇත. එසේ වීම වැලැක්වීම සඳහා ජාත්‍යන්තරය, ප්‍රභූ දේශපාලන තන්ත්‍රය සහ ව්‍යාපාරික ප්‍රජාව ඉදිරියේදී පියවර ගනු ඇත.

UNPය, SLFPය, සහ පොහොට්ටුව කුමන්ත්‍රණකාරී ලෙස ඉදිරියේදී එකතු වනු ඇත. සිරිසේන SLFP නායකයා වුව ද ඔහුට ගත හැකි පියවරක් නොමැත. SLFPයේ ප්‍රධානත්වයෙන් ගොඩනගන සන්ධානයේ පොදු අපේක්ෂකයා වනු ඇත්තේ චම්පික රණවකය. UNPය උපක්‍රමශීලීව ඊට සහය දැක්වීමට නියමිත වන්නේ සජබෙන් කොටසක් හෝ එම පාර්ශවයට එකතුකොට ගැනීම සඳහාය. චම්පික පොදු අපේක්ෂකයා කරගත් සන්ධානය ගොඩනැගෙන විට සජබ නායයාමට බොහෝ දුරට ඉඩ ඇත. එසේ නාය යාම ආරම්භ වුවහොත් සජිත්ට එය වලකා ගැනීමට කිසිසේත්ම නොහැකි වනු ඇත. රනිල්ට ඉෂ්ට කර ගැනීමට අවශ්‍ය වී ඇති ප්‍රධාන කර්තව්‍ය වන්නේ සජබ විනාශකොට ප්‍රේමදාසවාදය මුලින් උපුටා දමා නැවත UNPය ගොඩනගා ගැනීමයි. ඒ ඔහු ගෙන යන වැඩපිළිවෙල හැර වෙනත් වැඩපිළිවෙලක් යථාර්තවාදී නොවන තත්වයක් යටතේ නැවත වටයකින් UNPයට බලය හිමිකොට ගත හැකි බැව් ඔහු දන්නා බැවිනි. ඒ සඳහා අනීවාර්යෙන්ම සිදුවිය යුත්තේ ඉදිරි මැතිවරණයකදී සජිත් පරාජයට පත්වීමයි. චම්පික පොදු අපේක්ෂකයා කිරීමෙන් පසු ජවිපෙ ජයග්‍රහණය කල ද රනිල්ගේ එක් උවමනාවක් ඉෂ්ට වනු ඇත. ඒ සජිත් අතුගා දැමීමට හැකි වීමයි.

ජවිපෙ බලයට පැමිණි පසු එක්කෝ රනිල් විසින් දැනට කරගෙන යන වැඩපිළිවෙලම ඉදිරියට ගෙන යාමට හෝ ඊට එරෙහිව වෙනත් විකල්ප වැඩපිළිවෙලකට යාමට සිදු වේ. එසේ වෙනත් වැඩපිළිවෙලකට ගියහොත් අනීවාර්ය ලෙසම ඔවුන් වෙත විශාල "ජනතා" විරෝධයක් ඉදිරියේදී පැමිණීමට නියමිතය (ඒ මේ වන විට ලුනුයි බතුයි කා, පෙට්‍රල් වලට වියදම් කරමින්, තම වාහන ගමනාගමනය අඩු කොට නැති, වෙහෙස මහන්සියෙන් දරුවෙන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන, "ජනතාවගෙනි").

ජවිපෙ බලයට පැමිණීම ගැන අප සතුටු විය යුත්තේ එබැවිනි. ඒ ඔවුනට බලය රැකගැනීම සඳහා විශාල මර්ධනයක් දියත් කිරීමට සිදුවනු ඇති බැවිනි. හිට්ලර්ගේ ගෙස්ටපෝව වැන්නක් ඔවුන් විසින් නිර්මාණය කරන්නේ නම් අප ඊටත් වඩා සතුටු විය යුතුය.

බලයට පැමිණෙන ඕනෑම දේශපාලන කණ්ඩායමකට සිදු කිරීමට නියමිතව ඇත්තේ UNPයේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනයාම පමණක් නම් විමුක්ති දේශපාලනයේ අර්ථයෙන් කල යුතුව ඇත්තේ කුමක් ද?

කළයුතුව ඇත්තේ "ජනතාව"ට එරෙහි වීමයි.

අප ධනවාදයට එරෙහි නම් අපගේ මූලික කාර්ය විය යුත්තේ 'ධනවාදී කතිකාවෙන්' ඉවත්වීමයි. 'ධනවාදී කතිකාවෙන්' ඉවත් වූ පමණින් ධනවාදයෙන් ඉවත් විය නොහැකි වන අතර ධනවාදයෙන් ඉවත්වීම සඳහා යයි පවසමින් වස විස නැති ගොවිතැන් කිරීම, අල්පේච්ඡතාවයන් වැළඳ ගැනීම, සැම එකාටත් එකා සැමටත් කියමින් ආගමික ප්‍රතිපදාවන් නඩත්තු කිරීම හෝ counter culture වැනි විගඩම් කිරීමට උත්සාහ කිරීම ඊට අදාළ ක්‍රියාවන් නොවේ ('කතිකාව' සහ 'දෘෂ්ටිවාදය' අතර වෙනස හඳුනා නොගත් අය). ධනවාදයට එරෙහිව ශක්තිමත්ව පහර දීමට නම් සියල්ලට ප්‍රථම එම කතිකාවෙන් ඉවත් වූ පිරිසක් එකමුතු විය යුතුය. මේ යුගයේ සිදුනොවන්නේ ද එයයි.

 

@spartacus.lk

නවතම ලිපි