SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ධනය, උප්පත්තිය මත හෝ දේශපාලන අනුබද්ධය මත පදනම් වූ සාම්ප්‍රදායික ප්‍රභූවරු මැකී යමින් සිටිති.

ඔවුන් වෙනුවට පශ්චාත්-දෘෂ්ටිවාදී තාක්ෂණවේදීන්ගේ නව පන්තියක් ආදේශ කෙරෙමින් පවතී. ලොව පුරා එය සිදුවෙමින් පවතී.

ශ්‍රී.නි.පයේ ප්‍රධානත්වයෙන් චම්පික රණවක පොදු අපේක්ෂකයා ලෙස අභිෂේක කිරීමට නියමිතය. ඒ මාලිමාවට එරෙහිවය. අනුර සහ චම්පික යන දෙදෙනාම "විද්යාඥයින්ය" (දැන් මෙහිදී මෙම "විද්යාඥයා" යන වචනය ගැන විමසන බොහෝ දෙනෙකු සිටිනු ඇත) එහිදී තීරණාත්මක සාධකයක් වන්නේ චම්පික අනුරට වඩා විද්යාඥයෙකු වීමයි (චම්පිකගේ උපාධිය සහ අනුරගේ උපාධිය අතර ඇති පරතරය).

 

අනුරට තිබෙනුයේ භෞතික විද්‍යා උපාධියකි. චම්පිකට තිබෙනුයේ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධියකි. අනුර ද "දක්ෂයෙකි". නමුත් චම්පික ඊට වඩා "දක්ෂයෙකි". දෙදෙනාම පැමිණ ඇත්තේ සාමාන්‍ය පවුල් වලිනි. "දක්ෂයා" වඩාත් අර්ථවත් වීමට සහ නියම දක්ෂයෙකු වීමට නම්, ඔහු දුෂ්කර ප්‍රදේශයක දුගී දුප්පත් පවුලකින් පැමිණිය යුතුව ඇත. දුෂ්කරතාවය, දුගී දුප්පත්භාවය, වැඩිවන තරමට අගය වැඩි වනු ඇත. එසේ බලන විට නම් චම්පිකට වඩා අනුර මදක් ඉදිරියෙනි. මින් පෙර කිසි විටක විද්‍යාඥයයෙකු රටේ නායකත්වයට පත්ව නොමැත. මින් පෙර රටේ නායකයින් වූ සියලු දෙනා අතර වැඩිම උනොත් තිබී ඇත්තේ නීති සහ ආර්ථික විද්‍යා උපාධීන්ය. විද්‍යාඥයින් දෙදෙනෙකුම එකවර අභිමුඛ වන්නේ ප්‍රථම වරටය. ඒ ආකාරයෙන් සලකන කල මෙය ලාංකීය දේශපාලනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇත. චම්පිකට මෙන්ම මාලිමාවට ද අවශ්‍යව ඇත්තේ විද්‍යාත්මක ලංකාවක් පිලිබඳ සිහිනයයි.

ඉදිරි මැතිවරණ වලදී චම්පික රණවක පාර්ශවයේ ප්‍රධානතම ඉදිරිපත් කිරීම පදනම් වන්නේ ඉහත විස්තර කල තත්වය පදනම් කොටගෙනය. නූතනත්වයෙන් පසුව මනුෂ්‍යයින්ගේ පුද්ගල අනන්‍යතාවය සම්බන්ධයෙන් ආශාව (ආශාව යනු සම විටම අනෙකාගේ ආශාවයි) ක්‍රියාත්මක වන්නේ ඉහත විස්තර කල තත්වයට අදාලවය.

සියලු දෙනාගේ කැමැත්ත ඇත්තේ "අනෙකාගේ ආශාව රඟ දක්වන්නන්ටය".

"සිතුවිලි සිතුවම්" නමැති සටහනක් සමාජ මාධ්‍ය තුල දැඩි ලෙස මේ දිනවල සංසරණය වෙමින් තිබේ. එය මෙසේය:

 

ප්රභූ 2

 

"අලුතෙන් ආව දොස්තර නෝනා "පරණම ඇටේන්ඩන්ට්" කුසුමක්කාට ආව දවසේ දණගහල වඳිනවා දැකපු ස්ටාෆ් එකම එකම කසුකුසුවක් උනා. අම්මත් ඉන්නවා මාත් එක්ක එකට වැඩ කරන්න.... අම්ම කොච්චර මේ ඉසිරිතාලේ දුක්විඳින්න ඇද්ද... මාත් එක්ක එකට වැඩ කරන්න. දොස්තර නෝනා කියද්දී තමයි නීඩ්ල් එක බිම වැටුනේ."

 

ඒක නිසඳැසක්. ඒ නිසඳැස ලියවෙන්නේ වෛද්‍යවරුන්ට "පහල" (අධ්‍යතන ධනවාදයේ ප්‍රධානතම සාධකයක් වන්නේ මෙම උඩ පහල භේදය පවත්වා ගැනීමයි) සෞඛ්‍ය සේවක වැටුප් අරගලයට වෛද්‍යවරු විරුද්ධ වීම නිසාය. වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කල නිසා "ඊට පහල" සෞඛ්‍ය සේවකයින් ද වැටුප් වැඩි වීමක් ඉල්ලා සිටී. නමුත් එයට වෛද්‍යවරු දැඩිව විරෝධය දක්වයි.

 

මේ නිසඳැස ලියන්නේ හෙදියක් විසිනි ("දොස්තර නෝනා කියද්දී තමයි නීඩ්ල් එක බිම වැටුනේ"). ඒ හෙද හෙදියන්ට වඩා "පහල" ශ්‍රේණියක් වන සාත්තු සේවිකාවකගේ දියණියක් වෛද්‍යවරියක (රෝහල් සේවයට අදාලව "ඉහල") වී සිටියදී ඇගේ අම්මා ද සාත්තු සේවිකාවක් ලෙස එම වාට්ටුවේම සේවය කිරීමක් ගැනය. වෛද්‍යවරයාට පහල සෞඛ්‍ය සේවකයින් නියෝජනය කරමින් හෙදිය පවසා සිටින්නේ අප අතරින්ද වෛද්‍යවරුන් බිහිවිය හැකි බවත්, අප තුල ද වෛද්‍ය ජාන පිහිටා තිබිය හැකි බවත්, එබැවින් අපගේ දුවා දරුවන් ද වෛද්‍ය වෘත්තිය වෙත පිවිසිය හැකි බවත්ය. ඉන් කියවෙන්නේ, ඒ අනුව ඔවුන් ද සමානාත්මතාවාදය තුල සංස්ථාපනය විය යුතු බවය. නමුත් සාත්තු සේවිකාවන් සඳහා ගවුම නිල ඇඳුම කිරීමට එරෙහිව හෙදියන් දැඩි විරෝධයක් දැක්වීය. ඉන් පෙනී යන්නේ සැම විටම තමන්ට වඩා පහල ශ්‍රේනීන් කැපී පෙනෙන අයුරින් පැවතීම අනීවර්යතාවයක් ලෙස ඊට ඉහල ශ්‍රේණිය පිළිගන්නා බවයි.

 

කෙසේ වෙතත් පරණම වෛද්‍යවරියගේ දියණිය කිසි දිනක සාත්තු සේවිකාවක වී පැමිණෙන්නේ හෝ සැබවින්ම එසේ සිදු නොවූවද එවැනි කවියක් හෝ ලියවෙන්නේ ද නැත. එනම් "අනෙකාගේ ආශාව" ක්‍රියාත්මක වන්නේ ඒ දිශාවට නොවේ.

 

අපගේ අනන්‍යතා සහ ආශාවන් හැඩගස්වන භාෂාව, සමාජ ප්‍රතිමානයන් සහ ආයතනවල ක්ෂේත්‍රය පොදුවේ "සංකේත රටාව" ලෙස හැඳින්විය හැකිය. ඉහත නිසඳැසේ උදාහරණයට අදාලව පවසන්නේ නම්, ආර්ථිකමය, දැනුම් දූරාවලිමය සහ සමාජමය වශයෙන්, පහල සහ අඩු වරප්‍රසාද ලත් අවාසි සහගත තත්ත්වය, පවතින අසමානතාවයන් දිගටම පවත්වාගෙන යා හැකිය. ඒ සියලු දෙනා එය පිළිගෙන ඇති බැවිනි (තමන්ට වඩා පහල පන්තීන් හෝ පහත් කොට සලකන ශ්‍රේනීන් පවතිනුයේ ආසන්නතම ලෙස තමන්ට වඩා ඉහල පන්තියක් හා ඉහල ලෙස සලකන ශ්‍රේණියක් සැමවිටම පිළිගන්නා බැවිනි). සියලු දෙනා එය භාරගෙන ඇති අතර කෙසේ හෝ වර්තමාන පන්තිය අභිබවා ඉහලට නැගීම වෙනුවෙන් වෙහෙසෙන අතර, එසේ නොහැකි නම්, තමන් වර්තමානයේ ලතවන තත්වයෙන් තම දරුවන් ඉහලට නගිනු ඇත යන අපේක්ෂාව තුල දිවිගෙවන අතර ඒ වෙනුවෙන් මුළු ජීවිතයම කැප කොට වෙහෙසෙයි (වර්තමාන අර්ථයෙන් පන්ති අරගලය). අනෙක් අතට, දරුවෙකු මෙම අවාසි මඟහරවා ගෙන අධ්‍යාපනය තුළින් සාර්ථක වීම, එනම් එම දරුවාට අදාළ සංකේතීය හඳුනාගැනීම වෙතින් ඔබ්බට ගිය සංතෘෂ්ටියක් වෙනුවෙන්, වර්තමාන සංතෘෂ්ටිය පවා දෙමින්, එනම් අඩු තරමින් ළමයෙකු ලෙස සෙල්ලම් නොකරමින්, ළමුන් අතර සබඳතා වලක්වා ගනිමින්, නිදිවරමින්, රෝගාතුර වෙමින්, තමන්ට කෑමට බීමට ඇති මුදල් අධ්‍යාපනය වෙනුවෙන් වැයකරමින්, අධිකතර වෙහෙසකින් යුතුව ක්‍රියා කොට ("ප්‍රමෝදය") සමාජයේ ඉහලට නැගීමයි (උදාහරණයට අදාලව නම් අටෙන්ඩන්ට්ගේ දුව වෛද්‍යවරියක වීම) මේ අකාරයේ "ප්‍රමෝදය" යනු ලිබරල්වාදය තහවුරු කරන, එය පිළිගැනීමට ලක්කරන යුගයේ දෘෂ්ටිවාදය ශක්තිමත් කරන ධනවාදී කතිකාව ශක්තිමත් කරන්නකි. එනම් තමන් දක්ෂ නම් තමන් හට උපතින් හිමි පන්තිය අභිබවා ඕනෑම අයෙකුට තම දක්ෂතාවයට හිමි ස්ථානය සාක්ෂාත් කරගත හැකිය යන්නයි. නමුත් දැන් සියලු දෙනා හට ප්‍රශ්නය වී ඇත්තේ එසේ සාක්ෂාත් කොට ගත හැකි නිදහස් (ලිබරල්) සමාජයක් නොමැති කමය (ජවිපෙ සහ පෙසප යන පක්ෂ වල කතිකාව තනිකරම ගොඩනැගී ඇත්තේ එම පසුබිමේය). පාලන අධිකාරීත්ව දූරවලියක් තුලින් මිනිසුන් බලාපොරොත්තු වන්නේ එවැනි සමාජයක සංස්ථාපනයකි.

 

WhatsApp Image 2024 02 14 at 17.27.22

 

ආශාව යනු හුදෙක් සංතෘෂ්ටිය සෙවීමක් නොව අඩුවක් සහ අත් කරගත නොහැකි දෙයක් මගින් ධාවනය වන ආශාවකි. දරුවන් බොහෝ විට තම දෙමාපියන්ගේ ආශාවන් සහ අපේක්ෂාවන් හඳුනා ගනී. දෙමව්පියන් විසින් සමාජ සංචලනය සඳහා ඉටු නොවූ අපේක්ෂාවන් ඇති කර ගන්නේ නම්, දරුවාගේ සාර්ථකත්වය වක්‍රව එම ආශාවන් ඉටු කිරීමක් ලෙස සැලකිය හැකිය. මෙම විචිත්‍රවත් ඉටුවීම දෙමාපියන්ගේ ප්‍රශංසාව සහ තෘප්තියට හේතු විය හැක.

 

සමාජයන් සැමවිටම විට දුගී දුක්ඛිතභාවයන්, විපත්, ජය ගැනීම පිළිබඳ තනි පුද්ගල කථා සමරනු ලබයි, මන්ද ඒවා බලාපොරොත්තු ඇති කරන අතර ධනවාදී සමාජ සංචලනය පිළිබඳ විශ්වාසය ශක්තිමත් කරයි. දරුවාගේ සාර්ථකත්වය මෙම ආඛ්‍යානය මූර්තිමත් කිරීම, සමාන තත්වයන් තුළ සිටින අනෙක් අයට බලාපොරොත්තුවේ ආලෝකයක් ලබා දීම, එය සාමූහිකව අගය කළ සහ අපේක්ෂිත ජයග්‍රහණයක් බවට පත් කිරීම ලෙස සැලකිය හැකිය.

 

මෙම රාමුව තුළ දරුවාගේ සාර්ථකත්වය, දෘෂ්ටිවාදයේ වලංගුභාවය තහවුරු කිරීම ලෙස සැලකිය හැකිය. විමුක්ති දේශපාලනය යටපත් කිරීමට ඉඩ සලසන ප්‍රශ්න කිරීම වසන් කරමින් සහ යටපත් කරමින් තනි පුද්ගල ජයග්‍රහණයේ "හොඳින් දැනෙන", සතුට සහ යහපැවැත්ම පිළිබඳ හැඟීමක් ඇති කරන කථාවක් ඒ තුලින් සපයයි (වර්තමානයේ විමුක්ති දේශපාලනය විහිළුවක් බවට පත්ව ඇත්තේ මෙබැවිනි). පවතින ධනවාදී රටාව නඩත්තු කිරීම තුල ඊට අදාළ අලංකරනීයත්වයන් තුල තම ජීවිත සහ ඊළඟ පරපුරේ ද ජීවිත ආයෝජනය කරන සියලු දෙනා හට මෙය අගය කළ හැකිය.

 

තමාට අදාළ සංකේතීය හඳුනාගැනීමෙන් ඔබ්බට ඇති "අතිරික්ත ප්‍රමෝදය" ("surplus jouissance"). අනන්‍යතාවය, පරිභෝජනවාදය සහ ප්‍රේක්ශාව ඇතුළු විවිධ උපක්‍රම හරහා සමාජය මෙම "ප්‍රමෝදය" නියාමනය කර මෙහෙයවයි.

 

මෙවර ජනාධිපති සටනට අභිමුඛ වීමට නියමිතව ඇති එක් අයෙකුගේ ජීවිතය ඉහත නිසඳැසට මැනවින් ගැලපෙනුයේ ඔහු ඉංජිනේරුවෙකු නොවී වෛද්‍යවරයෙකු වූවානම්ය. ඒ ඔහුගේ මව රෝහල් සාත්තු සේවිකාවක බැවිනි. නමුත් ඉහත විශ්ලේෂණය කරන ලද තත්වයට චම්පික සහ අනුර යන දෙදෙනාම මැනවින් ගැලපේ.

 

WhatsApp Image 2024 02 14 at 17.27.18

 

චම්පික රණවකගේ නායකත්වයෙන් "43වන සේනාංකය" ආරම්භ කරනුයේ ඉහත විස්තර කරන ලද, විශ්ලේෂණය කරන ලද, පදනම පිළිගනිමිනි. එනම් නිදහස් අධ්‍යාපනය තුලින් ඉදිරියට පැමිණි දක්ෂයින්ගේ සේනාංකය යන්නයි (මේ පිළිබඳව කලින් ලිපි වල විස්තරාත්මකව ලියා ඇත. මෙහි පළමු කොටස කියවන්න). ජ.වි.පෙ. අන්තර්ගතය තුල ද ඇත්තේ ඊට සමාන ස්ථාවරයකි. අධ්‍යතන ධනවාදයේ ප්‍රධාන දෘෂ්ටිවාදය ලෙස මෙය සැලකිය හැකිය. ඒ අනුව මෙම බලවේග දෙකෙ විසින්ම අධ්‍යතන ධනවාදය වඩාත් හොඳින් තහවුරු කිරීමට නියමිතය. එනම්, අධ්‍යතන ධනවාදයට නොගැලපෙන සාම්ප්‍රදායික ප්‍රභූ දේශපාලනය අභිබවමින් ප්‍රභූත්වයේ නව ස්වරූපය සංස්ථාපනය කිරීමට නියමිතය. නමුත් එය වඩාත් හොඳින් සිදු කිරීමට නියමිතව ඇත්තේ එය න්‍යායිකවම පිළිගෙන, එය සංස්ථාපනය කිරීමේ වගකීම තම දෙවුර මතට ගෙන ඇති චම්පික රණවක බලවේගයයි. "ජාතික ජන බලවේගය" තුල එයටම අවේනික අභ්‍යන්තරික ප්‍රතිවිරෝධතා පවතී. එබැවින් එය චම්පික බලවේගයට වඩා කඩාකපල්කාරී වේ. අවශ්‍ය වන්නේ කඩාකපල්කාරීත්වයයි.

 

 

 

 

@ස්පාර්ටකස් ලිපි

නවතම ලිපි