SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආදරවන්තයන්ගේ දිනයදා හැන්දෑවේ කොලඹ, ලක්ෂ්මන් කදිරගාමර් සම්මන්ත්‍රණ ශාලාව ලංකාවේ විවිධ දේශපාලන පක්‍ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවිල් සංවිධාන නියෝජිතයන් සහ වෘත්තීය සමිති නායකයන් ගෙන් පිරී පැවතුනි.

අදාල අවස්ථාව වූයේ චම්පික රණවක ගේ මූලිකත්වය සහිතව  " දේශය වෙනුවෙන් එක්වන පියවරක් " යන නමින් පොදු අවම වැඩපිලිවෙලක් ජනගත කිරීමයි.

 

මෙහි කවුරුත් කථා බහට ලක්කල  කාරණය වුනේ මේ දිනවල දේශපාලන සමාජය තුල වඩාත් බලපෑම් සහගත චරිතය ලෙස කථා බහ වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය වෙනදා මෙන් පරක්කු නොවී වැඩසටහන පටන් ගන්නා විටම අදාල අවස්ථාව ට සහභාගී වී සිටීමයි.  රැස්වීම් පරිශ්‍රයේ තිබූ දැඩි වාහන තදබදය හමුවේ තමන් පරක්කු වන බව දැනගත් එතුමිය ගේට්ටුව අසලදී තම වාහනයෙන් බැස පා ගමනින් ඇවිද සම්මන්ත්‍රණ භූමියට හනි හනික පැමිණියාය.

 

එමෙන්ම තමා පෙර සිටි කාරක සභා වලට මෙවර තමාව නම් නොකිරීම පිළිබඳව බණ්ඩාරගම ප්‍රාදේශයේ පැවති රැස්වීමක කරුණු දක්වමින් චම්පික රණවක විසින් විපක්ෂ නායකවරයාව විවේචනය කල නිසා මෙම චම්පිකගේ රැස්වීමට ආරාධනා ලැබුනත් සහභාගී නොවන ලෙස සජිත් ප්‍රේමදාස විසින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැඩිව අවවාද කර තිබිණ.  නමුත් සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මෙන්ම හර්ෂ , එරාන්,කබීර් යන සජීත්ට  - නාලක ගොඩහේවා ආරූඪ වීමෙන් කැපීගොස් සිටින මන්ත්‍රීවරුන් පිරිස චම්පික ගේ රැස්වීමට පැමිණ සිටිනු දකින්නට ලැබිණ.

 

ශ්‍රිලනිපය මුල්කරගෙන බිහිවෙනවා යැයි කියන සන්ධානයක් ගැන කසු කුසුවක් යන සමයක ශ්‍රිලනිප හිටපු  මහ ලේකම්  දුමින්ද දිසානායක මෙන්ම වත්මන් මහ ලේකම් දුෂ්මන්ත සාරතී , මෙන්ම මේ සන්ධානයේ හිටපු මහ ලේකම් මහින්ද අමරවීර , ඊට පසු පත් වූ තිලංග සුමතිපාල වගේම දැන් අලුතින්ම එම තනතුරට නම යෝජනා වී සිටින අනුර ප්‍රියදර්ශන යාපාද චම්පික සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ. එමෙන්ම ශ්‍රිලනිපයේ පැරැන්නන් වන කුමාර වෙල්ගම, A.H.M ෆවුසි,  ෆෙරියල් අෂ්රප්,  ලසන්ත අලගියවන්න වැන්නන් පවා මෙම සභාවේ දක්නට ලැබිණ.

 

රාජපක්ෂවරු ප්‍රධාන පොහොට්ටුව අතහරින්න බැරි නම් රනිල් වික්‍රමසිංහ ට සහය නොදෙන බව පසුගිය දා කියා සිටි ලන්සා පිලේ සුසිල් ප්‍රේමජයන්ත ද , අමුතුම ගේමක් ගසමින් ඉන්න රොෂාන් රණසිංහ කණ්ඩායමේ අර්ජුන රණතුංග ද දේශය වෙනුවෙන් එක්වන පියවරට එක්ව සිටියහ.

 

ඩලස් පිලේ ඩලස් අලහප්පෙරුම, චරිත හේරත් , ගුණපාල රත්නසේකර මෙම අවස්‌ථාවට සහභාගී වී සිටියත් ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයා හදීසියේ අසනීප තත්ත්වයට පත්ව ඇති නිසා පැමිණ සිටියේ නැත.

 

හකීම්,මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් එකම පේලියේ එක ලඟ අසුන් ගෙන සිටියෝය  . ඒ ලඟම උන්නේ එජාප මහ ලේකම් රංගේ බණ්ඩාර ය. චම්පික බදු අහිමිවීම් පිලිබඳව කථා කරන විට දැවැන්ත තිරයේ දිස්වෙන දෑ තම ජංගම දුරකථනයෙන් ඡයාරූප වලට හසුකර ගැනීමට රංගේ බණ්ඩාර උත්සුක වනු දක්නට ලැබිණ.

 

මේ ආකාරයට පක්ෂ විපක්ෂ රැසක නමගිය චරිත රැසක් එක්තැනකට ගොනු කිරීමට චම්පික ගේ දේශය වෙනුවෙන් එක්වන පියවරට හැකි ව තිබීම ගැන අදාල අවස්ථාව ට එක්වූ මාධ්‍යවේදීන් තේ පැන් සංග්‍රහය භුක්ති විඳීමින් කථා කලේ  " මොකක්ද මේ චම්පික අල්ලන්න හදන අලව්ව  - ජවිපෙ සහ පොහොට්ටුව හැරුනම ඔක්කොම මෙතන නේ  - හැබැයි මේ සෙට් එකම එක තැනක තියාගන්න සජිත්ටත් බෑ - රනිල් ටත් බෑ  - එහෙව් එකේ චම්පික ඒක කරලනේ  - මේ හැරෙන්නේ වෙන ගේමක් දෙන්න  - දැනටත් ඒක සාර්ථකයි වගේ "  යනුවෙනි.

 

@ලාල්

නවතම ලිපි