SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අර්තාපල් සහ පාන්, දෙකේම අධි ග්ලයිසීමික් අගයක් ඇත.   (80න් එහා)  (High GI) කාපු  ගමන් ලේවල සීනි නගිනවා නහුතෙට. දියවැඩියාව ඇතත් නැතත් අල හොද්දක් එක්ක පාන් හොඳම නෑ. 

බතලවල ග්ලයිසීමික් අගය 50න් පහළ. (Law GI) ඒකට හේතුව බතලවල වැඩිහරියක් තියෙන්නේ ජීර්ණයට ප්‍රතිවිරෝධී පිෂ්ටය. (Resistance starch) කොස්ඇටවලත් වැඩිපුර තියෙන්නේ ඒවා. ඒවා, ආහාරමය තන්තු, කෙදි, fibers  විශේෂයක්.

 

රෙසිස්ටන්ස් ස්ටාර්ච් කුඩා බඩවැලේදී ජලවිච්ජේදනය වෙන්නේ නෑ. ඒ නිසා ඒවායින් සීනි හැදෙන්නෙත් නෑ. ඒවා මහාබඩැලේ එක්කාසු වෙනවා. එහෙම එක්කාසුවුනාම ඒවා මත මහාන්ත්රයේ ජීවත්වන හිතකර ක්ෂද්‍රජීවීන් (Gut bioms/ probiotics) වර්දනය වෙනවා. දැන් ඒ  ප්‍රතිරෝධී පිශ්ටය පැසවීමට ලක්වෙනවා. (Fermentation) ඒ පැසවීමේ ප්‍රතිඑලයක් විදියට කෙටිදාම මේද අම්ල හැදෙනවා. (Short chain fatty acids / (SCFAs) මේ මේද අම්ල වර්ග සෞඛ්‍ය ප්‍රතිලාභ මහගොඩකට  හේතු වෙනව කියල හොයාගෙන තියෙනවා. ඒවා, මහා බඩවැලේ පිලිකා වර්ධනය පාලනය කරන බවත්, දියවැඩියාව, හදවත් රෝග, අධිරුධිර පීඩනය සහ ස්නායු රෝග පාලනය කරන බවත් , ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන බවත් දැනට හොයාගෙන තිබෙනවා.

 

අනෙක් අතට මේ කෙටිදාම මේද අම්ල බඩවැලේ රෝගකාරක බැක්ටීරියා වර්දනය මැඩපවත්වන බවත්, මොළයේ ක්රියාකාරිත්වය යහපත්ව තබා ගැනීමට පුලුල් මෙහෙයක් ඉටු කරන බවත් (විශේෂයෙන් මානසික ආතතිය පාලනය කරන  බවත්) තරබාරුව පාලනය කිරීමට සැලකිය යුතු දායකත්වයක් ලබාදෙන බවත් සොයාගෙන තිබෙනවා.  විශේෂයෙන් රා වල, විනාකිරිවලද තිබෙන ඇසිටික් ඇසිඩ් , (කලින් කියුව ආහාරමය තන්තු පැසවීමෙන්ද නිපදවේ.) දිනපතා පානය කිරීමෙන් තරබාරු  පුද්ගලයන්ගේ බර සැලකිය යුතු ප්රමාණයකින් අඩු කරගන්නට පුලුවන් බව ජපන් පර්යේෂණයකින් හෙළිවෙලා තියෙනවා .

https://www.sciencedirect.com/topics/agricultural-and-biological-sciences/short-chain-fatty-acid

 

අනෙක් අතට බතල, අර්තාපල්වලට වඩා ඉතාමත් පෝෂණීයයි. අර්තාපල්වල විටමින් ඒ නොමැති තරම්වන අතර බතල ග්රෑම් 100 ක (පොඩි අල කෑල්ලක) දවසකටම අවශ්‍ය විටමින් ඒ ප්‍රමාණය තියෙනවා. විටමින් ඌණතාවය ලංකාවේ බරපතල සෞඛ්‍ය ගැටලුවක්. එය ළමයින්ගෙන් , ගර්බනී මවුවරුන්ගෙන් 30%කටත් වඩා වැඩි ප්රතිශතයකටබලපාල තියෙනවා කියලයි අධ්‍යයනවලින් පැවසෙන්නේ. බතලවල වෙනත් වටමින් වර්ග, ඛණිජ ලවන වර්ග සහ ප්‍රතිඔක්සිකාරක වර්ගත් අර්තාපල්වලට වඩා උසස් ය.

 

බතල සෞඛ්‍ය සම්පන්නව ශක්තිය ලබා ගැනීමට ද හොඳ ආහාරයක්. ඒ නිසා කුසගින්නට මන්ඳපෝෂණයට පිළියම් සෙවීමේදී හොඳ ආදේශකයක්.

 

බතලවලට අර්තාපල්වලට මෙන්  අධිකව කෘෂිරසායනික භාවිත කරන්නෙත් නෑ. රෝගවලට, දේශගුණික වෙනස්කම්වලට, පෑවිල්ලට බොහොම ⁣හොඳට ඔරොත්තු දෙනවා.  අර්තාපල් වගාවෙදි මෙන් බතල වගාවේදී සාපේක්ෂව පස සහ ජලය දූෂණය වීම සහ පාංශු හායනය සිද්ද වෙන්නේද අඩුවෙනි. අනික බතල මිලෙන් අඩුයි. ලේසියෙන් වගා කරගන්න පුලුවන් . රෝපන ද්රව්‍ය නොමිලේ සපයා ගන්න පුලුවන් .  නඩත්තුව හරි ලේසියි. අඩු කාලෙකන් වැඩි අස්වැන්නක් ලැබෙනවා. අර්තාපල් භාවිතා කරල හදන සියලුම කෑමවලට ආදේශ කරගන්න පුලුවන් . තව බතලවලින් අයිස්ක්‍රීම් , කේක්, පුඩින්, බිස්කට්, චිප්ස්, වොඩ්කා වගේ අගය එකතු කරපු ආහාර මහගොඩක් හදන්නත් පුලුවන් .

 

දැන් අර්තාපල් කෑමට ගත්තු හුගක් රටවල්වල ඒ වෙනුවට බතල වේගයෙන් ආදේශ කරගනිමින් ඉන්නවා. විශේෂයෙන් යුරෝපයේ වසරින් වසර බතලවලට ඇති ඉල්ලුම වැඩි වෙනවා. බතල යුරෝපයට අපනයනය කරන්නත් පුලුවන්.

 

මෙච්චර ප්‍රතිලාභ මහගොඩක් තියෙන බතල වගා කරන්නට සහ ආහාරයට ගන්නට ලංකාවේ මිනිසුන් එතරම් පෙළඹෙන්නේ, කැමැත්තක් නැත්තේ ඇයි.. ?

 

ඒකට උත්තරය දේශපාලන ආර්ථික විද්‍යාවෙන් තමයි හොයාගන්න වෙන්නේ.

 

අර්තාපල් වගාව මුලුමනින්ම පාහේ බීජ කොම්පැනිවල සහ කෘෂි රසායනික සමාගම්වල ආනුභාවයට නතු වී ඇති බව පෙනී යයි.

 

අර්තාපල් බීජ සැලකිය යුතු ප්‍රමාණයක් ගෙන්වනු ලබන්නේ නෙදර්ලන්තයෙනි. බීජ සත්කාරයේ සිට අස්වනු නෙලීම දක්වා කාල පරාසය තුළ ඉතා අධික වශයෙන් රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්රව්‍ය භාවිත කරන වගාවක් වෙයි. මේවා සියල්ල ගෙන්වනු ලබන්නේ පිටරටිනි.  බහුජාතික සමාගම්වල ලාභ වුවමනාවන් මත රටක ආහාර සම්බන්ධයෙන් වන  හෙජමනිය (අධිපති මතවාද) ක්රියාත්මක වෙයි. අද අප අනුභව කරනු ලබන සෑම ආහාරයක් සඳහාම වන කැමැත්ත , ආසාව , අනුරාගික බැඳීම්, ජනප්රිය  පෝෂණ විද්‍යාත්මක මතවාද , මේ සියල්ල මූල්‍ය වුවමනාවන් විසින් හැසිරවීම ජනතාවගේ පෝෂණය , සෞඛ්‍යආරක්ෂාව සහ පාරිසරියක යහපැවැත්ම බරපතල ලෙස අනතුරේ හෙළනු ලබයි. ලෙහෙසියෙන් වැඩි ලාබයක් ලබන්නට හැකිනම් හිම වැටෙන රටවල්වල වගා කළ හැකි සැලකිය යුතු  පෝෂණ අගයක් නැති ආහාරයක් වුව ආශ්චර්යයමත්, පෝෂණීය ආහාරයක් වනු ඇත. එසේ ලාභ ලබන්නට අසීරු එහෙත් පෝෂණීය නිකන් වීසිකරත් හැදෙන ආහාරයක් වුව තුට්ටු දෙකේ ආහාරයක් වනු ඇත.

 

වර්ථමානය වන විට අතිශයින් දියුණු වූ සංනිවේදන තාක්ෂණය භාවිතයෙන් මිනිස් මනස තුළ ආහාර සම්බන්ධයෙන් රෝපනය කරනු ලබන බොහෝ කාරණා සහ මතවාද අතිශයින්ම මානව විරෝධී ස්වරූපයක් ගෙන ඇති බව පෙනී යයි. එය විශේෂයෙන් ආර්ථික අර්බුදය වලට ගොඳුරු වූ රටවල මානව පෝෂණ අයිතියට සහ ආහාර සුරක්ෂිතතාවයට බරපතල හානියක් සිදුකරන්නට පිළිවන. මක් නිසාද යත් අධික ලාභය ප්රමුඛ කරගත් ආහාර නිෂ්පාදකයින් සහ වෙළෙන්දන් ලාබ සහ බාල ද්‍රව්‍ය යොදා විවිධ අහිතකර රසායනික ද්රව්‍යද එකතු කර නිෂ්පාදනය කරනු ලබන ආහාර ප්රචාරන සංනිවේදන තාක්ෂණය භාවිතයෙන් ඉතා යහපත් ආහාර ලෙස වෙස් ගන්වා කූට ලෙස අලෙවි කිරීමේ අවදානමක් පවතින බැවිනි. එබැවින් ආහාර මත ගොඩනංවා ඇති ජනප්‍රිය අධිපති මතවාදවලට නතු නොවී නිවැරදිව ආහාර තෝරා බේරා ගැනීමේ දැණුම සහ කුසලතාවයන් පාරිභෝගිකයින් විසින් ප්‍රගුණ කළ යුතුව ඇත.

 

@ගැමුණු සාලිය පෙරේරා

මහජන සෞඛ්‍ය පරීක්ෂක

නවතම ලිපි