SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් මහත් ආන්දෝලනයට තුඩු දී අතර

ඒ පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසන්නේ මෛත්‍රී හදන්නේ දේශපාලන මඩක් ගසා ප්‍රසිද්ධියක් ගැනීමක් බවය.

 

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය අද මුළු රටටම විශාල ප්‍රශ්නයක් බව හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ ඊයේ (24 දා) මාධ්‍ය වෙත  පවසා තිබුණි.

 

“ඔහු මෙම ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී සිදු කළා නම් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ඔහුට සහනයක් ලබා ගැනීමට තිබුණා. නීතිමය තත්ත්වය ගැන සැලකිලිමත් නොවී, ඔහු මෙම ප්‍රකාශය කළේ දේශපාලන වශයෙන් මඩ ප්‍රහාරයක් එල්ල කරලා ලොකු ප්‍රසිද්ධියක් ලබා ගන්නයි. නීතිමය තත්ත්වයට ඔහු දැන් මුහුණ දිය යුතුයි”.

මේ අතර පසුගියදා ශ්‍රිලනිපය ගත් තීරණයකට අනුව  පක්ෂයේ සියලු දෙනා කොළඹට කැඳවීමට මෛත්‍රී කටයුතු යොදා තිබුණේ මේ සති අන්තයට ය.


ඒ ඉදිරියේදී බිහිවන්නට සූදානම්ව ඇති නව සන්ධානයේ කටයුතු පිළිබඳ ව වැදගත් තීන්දු කිහිපයක් ගැනීම සඳහාත් සන්දාන අපේක්ෂකයා පිළිබඳ යම් ඉඟියක් සැපයීමත් අරමුණු කරගෙන ය..  


ඒ  අනුව එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන්, විධායක කාරක සභිකයන් ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පක්‍ෂයේ අනුබද්ධ සංවිධානවල නිලධාරීහු මෙම රැස්වීමට ගෙන්වන්නට කටයුතු යොදා තිබුණි.

කෙසේ වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයක් ඉදිරියේදී බිහිකිරීමට නියමිත වුව ද  එය ප්‍රමාද වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ සෘජු තීන්දු නොමැති බව නිසා බව සමීපතමයන්ගේ අදහස වී ඇත.

එවන් කටයුත්තකට සූදානම්ව සිටි මොහොතක මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධව මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම පිළිබඳ දේශපාලන විචාරකයින්ට සැක සංකා එක්කර ඇත.

 

එ‌ක්කෝ මේ පිටුපස රජයේ ප්‍රබලයෙකුගේ සිටින බවත් ඉදිරි මැතිවරණය වෙනුවෙන් පොහොට්ටුව හසුරුවාලීමට හෝ ඉදිරියේ බිහිවිය හැකි සන්දානය කඩා කප්පල් කිරීම හෝ එහි අරමුණ විය හැකි බවත් ඔවුන්ගේ අදහස ය.

 

කෙසේ වුවද පසුගිය 20 වෙනිදින නෙළුම් මාවතේ දී පොහොට්ටු නිර්මාතෘ බැසිල් රාජපක්ෂ කියා තිබුණේ පොහොට්ටු පක්ෂයේ බෙදීම් වලක්වාගැනීමට ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට නොනිල මට්ටමෙන් සහාය ලබා දෙන බව ය.

ඒ සඳහා බැසිල් රාජපක්ෂගේ මතය වී ඇත්තේ දුෂ්කර අවස්ථාවේදී තම පාක්ෂිකයන් ආරක්ෂා කළ රනිල් වික්‍රමසිංහ අමතක කළ නොහැකි බවය.



යම් හෙයකින් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය නොදී වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුයැයි තීරණයක් කළහොත් ප්‍රසන්න රණතුංග ඇතුලු  රනිල් පාක්ෂික කණ්ඩායම පක්ෂයෙන් වෙන්වී යනු ඇතැයි බැසිල් ගේ මතය බව කියැවේ. එහෙත් ඇත්ත වශයෙන්ම ප්‍රසන්නලාගේ ලන්සලාගේ මෙම ක්‍රියාවන් පසුපස සිටින්නේ ද බැසිල් රාජපක්ෂ බවට රහස්‍ය ආරංචිමාර්ග කියා සිටියි.

 

කෙසේ වුවද රනිල් වික්‍රමසිංහගේ අදහස වී තිබුණේ පොහොට්ටුවෙන් කොටසක් හෝ පොහොට්ටුවේම සහාය ලැබුන ද එය  මේ වනවිට ඉතා අඩු  ජනවරමකට සුදුසුකම් කියනු ලබන හෙයින් සමගි ජන බලවේගයෙන් කොටසක් කඩා ගැනීම ය. නොඑසේනම් සජිත් ප්‍රේමදාසට අගමැති අපේක්ෂකත්වය ලබාදෙන බවට එකඟ වී සජබය හා එක්වීමත් නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස පක්ෂ සන්දාන එක්වී මාලිමාවට මුහුණ දී ජය ගැනීමටත් ය.

 

එහෙත් මේ වනවිට සජබය ගැලවීම හෝ එකඟකරවා ගැනීම අසීරු වී ඇති අතර සමගි ජන බලවේගය ග්‍රාමීය මට්ටමින් මාලිමාව ද අභිබවා ඉදිරියට පැමිණ ඇති බවටද ආරංචිමාර්ග කියයි. ඒ අනුව ඉදිරියේදී නගරය කේන්ද්‍ර කරගත් වැඩ සටහන් ඇරඹීමටත් අප්‍රේල්වලින් පසු සමගි ජන බලවේගයේ ප්‍රචාරණ ව්‍යාපාරය වේගවත් කිරීමටත් අරමුණු කර ගෙන ඇත.

 

මෙවන් තත්වයක් යටතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඊළඟ අවදානය යොමුව ඇත්තේ ශ්‍රිලනිපය සහ අළුතින් බිහිවන්නට සූදානම් කර ඇති සන්දානය වෙතය.

 

කාරණා එයාකාර වන විට මෛත්‍රීගේ මෙම ප්‍රකාශයට ඒවායෙහි යම් සම්බන්ධතාවක් පවතින්නේ ද යන්නත්, දැනටමත් වරදකරුවකු වී සිටින ඔහුට සිර දඩුවමක් ලැබේ වී යැයි දැඩි බියකින් පසුවන මෛත්‍රීපාල ජනාධිපතිවරයාව ඉත්තෙකු කරගැනීමේ දේශපාලන උවමනාවක් වන්නේ දැයි අභ්‍යන්තර සාකච්ඡාවන්හි දී විචාරකයින් විවිධ මත පළ කරමින් ඇත.

@සමාරා පරණවිතාන

නවතම ලිපි