SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අවුරුද්දෙන් පසු අප්‍රේල් 17 වැනිදාට යෙදී ඇති  සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනියගේ

108 වැනි ජන්ම දිනය නිමිත්තෙන් කොළඹදී සමරු වැඩසටහනක්  පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් ඇති බව වාර්තා වේ.

 

ශ්‍රිලනිපය මේවනවිට පත්ව ඇති තත්වයන් සලකා බලා පක්ෂයෙන් ඉවත්ව ගගිය සහ ඉවත් කර ඇති සියලුම දෙනා එක්කර ගනිමින් නැවත වතාවක් තම පියා නිර්මාණය කළ සහ මව විසින් ශක්තිමත් කළ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහගෙදර යළී ගොඩනැගීමට මූලිකත්වය ගෙන ඇත්තේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය වේ.

 

ඊයේ (08) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති රැස්වීමෙන් පසු මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්ථිර ලෙසම යළි ගොඩනැඟීමේ අරමුණින් වැඩබලන සභාපතිවරයා ලෙස ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පත් කිරීමට පියවර ගත් බව පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කළාය.

 

මෛත්‍රී ජනපති වී පක්ෂයයි රටයි දෙකම විනාශ කළා

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස සිටි මෛත්‍රිපාල සිරිසේන, 2015 දී ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පක්ෂය සහ රට  විනාශය කරා ගෙනගිය බවට මෙහිදී ඇය චෝදනා කර තිබිණී.

 

“2015 ජනාධිපති ධුරයට ඉල්ලන්න කියලා මට හැමෝම කිව්වා. නමුත් මම බෑ කියලා මහ ලේකම් මෛත්‍රිපාල ඉදිරිපත් කළේ විශාල බලාපොරොත්තු ඇතිවයි. මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් අවුල් කළා. මාව අස්කරලා නැවත අස්කළේ නෑ කියලා ලිපි එව්වා. ඇත්තටම ඔහුට පිස්සු”

යැයි ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වැඩිදුරටත් පැවසීය.

 

මේ අතර හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පවත්වා ඇති රැස්වීම නීති විරෝධී බවත්, ඒ අනුව ගත් තීරණවලට එරෙහිව අධිකරණය හමුවේ කරුණු දක්වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි.

 

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලනිප හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර අදහස් දක්වා තිබු‌ණේ ද ශ්‍රී   ලංකා නිදහස් පක්ෂය ඊයේ (08 දා) පැවැත්වූ දේශපාලන මණ්ඩල රැස්වීම නීත්‍යානුකූල නොවන බවත්  එය පක්ෂ ව්‍යවස්ථාවටද පටහැනි බවත් ය. එසේම මෙම අනීතික දේශපාලන මණ්ඩල රැස්වීමෙන් පක්ෂ ව්‍යවස්ථාවේ දැඩි උත්තරීතරභාවයට ද හානියක් සිදුව ඇති බවත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියා ඇත.

 

එසේ වුවත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා අදාළ නීති රෙගුලාසියට අනුවම කටයුතු කර ඇති අතර මුලින්ම ඔහු ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස සභාපතිවරයා තහනම් නියෝගයකට ලක්ව ඇති අවස්ථාවක දේශපාලන පක්ෂයක් ලෙස නොනැවතී ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා නිසි පියවරයන් අනුගමනය කර ඇති බව දේශපාලන විචාරකයින්ගේ මතය වී ඇත.

 

ඔහු මුලින්ම පක්ෂයේ වැඩ බලන ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ දේශපාලන මණ්ඩලය රැස් කළ යුතු බවය. එහිදී වැඩබලන ලේකම්වරයා එය ප්‍රතික්ෂේප කර ඇත.

 

අනතුරුව ජ්‍යෙෂ්ඨ උපසභාපති විසින් අදාළ දේශපාලන මණ්ඩලයේ රැස්වීම පක්ෂ මූලස්ථානයෙන් බැහැර ස්ථානයක පවත්වා පක්ෂයේ කටයුතු සිදුකරගෙන යෑම සඳහා වැඩබලන සභාපතිවරයෙක් පත්කරගෙන ඇත.

 

මෙහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියන්නේ ඊට අදාළ ප්‍රතිපාදන පක්ෂ ව්‍යවස්ථාවේ නැති බවය.

 

එහෙත් පක්ෂයේ සභාපතිවරයා තහනමට හෝ වෙනත් හේතුවක්/ සිදුවීමක් හේතුවෙන් ඉවත්වී ඇත්නම් එවිට පක්ෂ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැතැයි කියා පක්ෂය රැස්කිරීම කල්දැමිය නොහැක. විශේෂයෙන් දේශපාලන පක්ෂයක් ඒ සඳහා පියවරක් අනුගමනය කිරීම නීති විරෝධී කටයුත්තක් නොවන අතර එවන් අවස්ථාවන් සම්බන්ධව ඉදිරියේදී පක්ෂ ව්‍යවස්ථාවට කටයුතු කළයුතු ආකාරයද ඇතුලත් විය යුතුව ඇති බව විචාරකයින්ගේ මතය වී ඇත.

 

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ අදහස මෙම රැස්වීම සඳහා පක්ෂ ලේකම්වරයා සහභාගි නොවීම මෙන්ම, පක්ෂ සභාපතිගේ සේවය ද අධිකරණය මගින් අත්හිටුවා ඇති බැවින් මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන රැස්වීමක් නොවන බව ය.  

 

කෙසේ වුවද අප්‍රේල් මස 17 වැනි දින පැවැත්වීමට සූදානම්ව ඇති සිරිමාවෝ 108 වැනි ජන්ම දින සැමරුම ශ්‍රිලනිපයේ යළි පිබිදීමක් ඇති කරන්නක් වියහැකි බව පක්ෂ අභ්‍යන්ත ආරංචිමාර්ග පවසයි.

නවතම ලිපි