SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කුමන්ත්‍රණය හැමවිට ම රහසේ කරන දෙයකි.

එහෙත්, කුමන්ත්‍රණයෙන් ලබාදෙන ප්‍රතිඵලය බොහෝවිට රහසක් වන්නේ නැත.

අප බොහෝ විට හසුවන්නේ සතුරෙකුගේ හෝ සතුරෙකු ලෙසින් පෙනී සිටින මිතුරෙකුගේ කුමන්ත්‍රණයකට ය. මෙහිදී කුමන්ත්‍රණය සිදුකරන්නා තනි පුද්ගලයෙකු හෝ පොදු පාර්ශවයක් විය හැකි ය.

 

ඒ කෙසේ වෙතත්, කුමන්ත්‍රණය සාධාරණය ඉටුකර දෙන්නක් නොවේ. ඒ් නිසා, කුමන්ත්‍රණකරුවෙකුගෙන්  හෝ කුමන්ත්‍රණ පාර්ශවයකින් සාධාරණය බලාපොරොත්තු වී වැඩක් නැත.

 

එලෙසම, කුමන්ත්‍රණය ඉතිහාසයේ තර්කයකට අනුව සිදුවන්නක් ද නොවේ. 

මන්ද ක්‍රමන්ත්‍රණය සාංසිද්ධික වේ.

එනයින් ම, එය,  ‌ඉතිහාසයේ පොදු ක්‍රියාදාමය නියෝජනය නොකරයි.

ඒ නිසා කුමන්ත්‍රණය කුමන්ත්‍රණය ම ය.

සිදුවූ පසුව එය සාධාරණ නැතැයි පැවසීමෙන් කිසිදු ඵලක් නැත්තේ ම ය.

 

බටහිර සංවර්ධිත යැයි නිර්දේශ කර ඇති රටක ආයතන පද්ධතිය සමස්තයක් ලෙස යම් ඉතිහාසයක් නියෝජනය කරන නිසා, එවන් රටක දේශපාලන කුමන්ත්‍රණයක් සමස්තමය (Totalistic) නොවේ. ඒ් කියන්නේ, එවන් රටක දේශපාලන කුමන්ත්‍රණයක් සමස්තයෙන් පරිබාහිරව පවතින අවයවයක් (part) ලෙසින් ක්‍රියාත්මක කරනු ලබන්නක් වෙයි.

මන්ද ඔවුන්ට මේ වන විටත් එකිනෙකට අඛන්ඩව සම්බන්ධ ආයතන ගණනකින් සැදි ක්‍රම-පද්ධතියක් (System) ලෙසින් පවතින නිළ භෞතික සමස්තයක් අයිති බැවිනි.   

ඒ නිසා එවන් රටක දී, හැමවිට ම මෙකී ආයතනික සමස්තය කුමන්ත්‍රණයට වඩා විශාල ය.

ඒ නිසා කුමන්ත්‍රණය සමස්තයට යටත් අවයවයක් වැන්නක් බවට පත්‌වෙනවා මිසක, එවන් රටක දී කුමන්ත්‍රණයට සමස්තය අභිබවා යෑමේ හැකියාවක් නැත. යම් හෙයකින් අහඹු ලෙස කුමන්ත්‍රණය විසින් සමස්තය අභිබවා ගියහොත්, එය සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකෙන්නේ ය. ඇමරිකා එක්සත් ජනපදයේ ලෝක වෙලඳපල ගොඩනැගිල්ල පුපුරුවා හැරීම හෙවත් නයින් ඉලෙවන් නැමති සාංසිද්ධිය එවැනි සුවිශේෂී අවස්ථාවකි. නමුත්, ඒ පුපුරුවා හැරීම තාවකාලිකව සමස්තය ඉක්මවා ගිය ද, ඉතා සුළු කාලයක් ඇතුළත නැවත ඇමරිකා එක්සත් ජනපදයේ ආයතනික සමස්තය විසින් තම බලය තහවුරු කරගත්තේ ය.

 

එයින් පෙනී ගියේ ඇමරිකා ඒක්සත් ජනපදයට ආයතනික සමස්තයක් තිබෙන බව ය.

PIC 02

 

ඒ නිසා බටහිර සංවර්ධිත රටක හැමවිට ම කුමන්ත්‍රණය ද්වීතීක සහ පරිවාරික ක්‍රියාකාරකමක් වනවා මිසක ප්‍රාථමික සහ  කේන්ද්‍රීය ක්‍රියාකාරකමක්  වන්නේ නැත.

නමුත් අප ජීවත් වන්නේ බටහිර සංවර්ධිත යැයි නිර්දේශිත රටක නොවන බව අප විසින් නිහතමානීව සිහි එලවා ගත යුතු ය.

 

අප ජීවත් වන්නේ වසර 500ක සෘජු-යටත්-විජිතවාදයකට හසු වී සැබෑ භෞතික අරුතින් තවමත් ඉන් නිදහස් වී නොමැති රටක ය. ජවිපෙ තම නව සාමාජිකයින්ට 1948දී ලැබුනේ නාමික නිදහසක්ය කියා උගන්වනකොට ම කොට ම මේ බව අවිඥානිකව හෝ පිළිගන්නා සංවිධානයක් බව හඳුනාගත  හැකිය.  

 

ඒ නිසා, බටහිරයන් විසින් ලොව පතල කළ නූතනවාදී තර්කය (Logic of Modernism) අපට බටහිර රටක ලෙසින් ම  වලංගු වන්නේ නැත. සමහර සංදර්භ වලදී කොහෙත් ම වලංගු වන්නේ ද නැත. මන්ද, අප රටේ නාමික ආයතන පද්ධතිය, එංගලන්තක සමස්තයේ අවයවයක් ලෙස පැවතී, පසුව එජාප-ශ්‍රීලනිප නැමත් ඩොයිලියානු ඒංගලන්තකවාදී දේශිය අනුරූකාරකයින් විසින් භාරගෙන, 1948න් පසු එතෙක් මෙතෙක් පැවති එක් එක් එජාප-ශ්‍රීලනිප ආණ්ඩු විසින් ක්‍රමයෙන් දශක 07ක තරම් කාලයක් තුළ විකෘතියක් බවට පත් කළක් මිසක සමස්තයක් ලෙස වන ඉතිහාසයක් නියෝජනය කරන්නක් නොවේ. ඒය තවමත් විකෘතියට පත්ව ඌන-සංවර්ධනයට ගොදුරුවෙමින් ඒකතැන පත්වෙන පැරණි නූතනවාදී එංගලන්තක සමස්තයේ අවයවයක් ලෙස ම පවතින බව කිව යුතු ය.

 

PIC 03

 

ඒ නිසා, මෙවන් ඌනසංවර්ධිත රටක දේශපාලන කුමන්ත්‍රණයක් හැමවිට ම බටහිරදී වාගේ අවයවයක් නොවී  සමස්තමය (Totalistic) වේ. ඒ් කියන්නේ, මෙවන් රටක දේශපාලන කුමන්ත්‍රණයක් සමස්තයෙන් පරිබාහිරව පවතින අවයවයක් (part) ලෙසින් ක්‍රියාත්මක කරනු ලබන්නක් නොවෙයි.

මන්ද අප රටට තවමත් ඒ්කාග්‍ර-සමස්තයක් (Integral Totality) නැත.

ඒ නිසා සමස්තමය ක්‍රම-පද්ධතියක් (System) නැත.

ඒ නිසා ම සමස්තමය ආයතන පද්ධතියක් ද නැත.

 

ආයතන සංග්‍රහය කියන ග්‍රන්ථය ක්‍රියාවට නොනැගෙන අකුරු ටිකක් පමණක් වී ඇත්තේ මේ නිසා ය. ඔය ආයතන වල සිටින සියයට 90ක් දෙනා ආයතන සංග්‍රහය කියා පොතක් තියෙනවා ද කියාවත් දන්නේ නැත. අවම තරමින් පරිපාලකයන්ගෙන් සියයට 80ක් පමණ එම පොත හෝ එහි අන්තර්ගත අරුත් සමස්තය දන්නේ නැත.

ඒ නිසා ඒ්කාග්‍ර-සමස්තයක් යනු අනාගතයේ දී ලක්දේශයෙ තුළ ගොඩනගා ගන්නට තිබෙන දෙයක් මිස මේ ගෙවෙන මොහොතේ පවතින දෙයක් නොවේ.  

ඒ නිසා ම එවැනනක් පවතිනවා යැයි සිතීම මුලාවකි. එසේ සිතීම භෞතික විරෝධී ය.  

සමස්ත ආයතන පද්ධතියක් ලෙසින් නාමකරණය වී පමණක් පවතින රූකඩයක් අපි අපේ සමස්ත ආයතන පද්ධතිය ලෙසින් සිතින් පමණක් භාරගෙන සිටින බව සැබැවකි.

භෞතික ඇත්ත යනු ලක්දේශය පිළිබඳව හිත රිදෙන සහ ඇඬෙන කතාවකි.

මන්ද, රූකඩයක් සිතින් ඇත්තක් ලෙස භාරගත් පලියට එය යථා ඇත්තක් වන්නේ නැත.    

 

සමස්ත ආයතන පද්ධතිය ලෙසින් අප මේ වන විට හඳුනාගන්නේ, රට හා භෞතිකව එකිනෙකට අසම්බන්ධව පවතින, කිසිදු සමස්තමය ඒකාග්‍රතාවක් නැති බිල්ඩින් ටිකක්, කරදාසි ටිකක් සහ වැඩට ඇවිත් ආපසු ගෙදර යන ලක් මහ පොලවෙන් වියුක්ත මනුස්ස ශරීර ටිකක් පමණි.

ඉතිං සමස්තමය ක්‍රම-පද්ධතියක් නැති රටක සිදුවන මොන වියුක්ත දේත් කෙටිකාලීනව ඒ් රටේ සමස්තය ම බවට පත් වී නිවී අතුරුදහන්ව යයි. ඒ් නිසා අපිට ඇත්තේ කාලෙන් කාලෙට ඇවිත් පත්තු වී නිවී යන දේශපාලන මැජික් ය.

මන්ද අපගේ ආයතන පද්ධතිය(?) සමස්ත ජන සමාජය සමඟ සංයුක්තව පවතින්නේ නැත. 

 

PIC 04

 

ඒ අනුව ලක්දේශය තුළ කුමන්ත්‍රණයක් යනු සිදුවූ සැනින් සමස්තය බවට පත් වී, එහි මුඛ්‍ය කාර්ය නිමවූ සැනින් නිවී අමතකව යන්නට ද නියමිත සංසිද්ධියකි. ඒ නිසා බටහිර රටක සේ ලක්දේශය තුළ කුමන්ත්‍රණයට ඉහළින් පවතින සමස්තමය වූ සහ ඒ්කාග්‍ර වූ ආයතන පද්ධතියක් අපට නොමැත. එසේ තිබෙනවා යැයි සිතීම අපගේ සිත්වල පවතින මිරිඟුවක් පමණි.

අපට පවතින්නේ, සමස්තයක් නැති රටක බල්ටි ගහන කුමන්ත්‍රණ රොත්තක් පමණි.   

පොලිසිය යන්න පාතාලය නැමති කුමන්ත්‍රණ ඉම් පෙදෙසට ඉහළින් පවතින සමස්තමය ආයතන පද්ධතියක කොටසක් නම්, 1948 සිට අද වනතුරු මෙතරම් කුඩා පාතාලයක් දිගටම අඛණ්ඩව පවතින්නට තවමත් හේතුවක් නොමැත.

 

ඒ නිසා, කුමන්ත්‍රණය යනු පොලිසියට සහ සමස්ත ආයතන පද්ධතියට ඉහළින් පවතින, එය අභිබවා ගිය සමස්ත බලදේශපාලනය ම ආක්‍රමණයට ගන්නා සමාජ ප්‍රපංචයකි. එජාපය හෝ ශ්‍රිලනිපය වෙන වෙන ම හෝ එක්ව කරන කුමන්ත්‍රණ යනු මේ වියුක්ත ආයතන ටිකට ඉහළින් බල්ටි ගසනා ලැයිසන් ලත් අනීතික ප්‍රපංචයකි. එජාප-ශ්‍රීලනිප දෙක එකතුවී කරන කුමන්ත්‍රණය යනු ආයතන පයිසෙකටවත් ගණන් නොගන්නා, නීති රීති අනුව වෙනස් කළ නොහැකි පෙරටත් වඩා ඝනත්වයෙන් වැඩි ප්‍රපංචයකි. මේ ගෙවෙන මොහොතේ ජවිපෙට ඒරෙහිව සංවිධානගතවෙමින් පවතින්නේ, ඒ් අදිසි අසාමාන්‍ය ඝනත්වෙයන් වැඩි විකෘති කුමන්ත්‍රණ ප්‍රපංචයක් ය. ඒ සාධකය ම කුමන්ත්‍රණයක් ජයග්‍රහණ කරවන්නට තරම් ප්‍රමාණවත් බවක් පවතී.                        

 

ඒ් නිසා ලක්දේශයේ පවතින සුවිශේකත්වය වන සමසත්යක් නොමැතිකම අවබෝධ කොට ගෙන කුමන්ත්‍රණයක් පෙර දකින්නට නොදත් උදවිය දේශපාලනය කරනවාට වඩා පාර අයිනේ සරුවත් කඩ කෑල්ලක් දමාගෙන හෝ ජීවිතය පැදගෙන යාම වඩා යෝග්‍ය වන්නේ ය.

 

මන්ද කුමන්ත්‍රණයට භය වී වැඩක් නැත. ඒ කියන්නේ, කුමන්ත්‍රණයට ප්‍රතික්‍රියා දක්වා වැඩක් නැත. කුමන්ත්‍රණයට,  ඒය සිදුවෙන්නට පෙරතියා, පිළිතුරු දිය යතු ය. 

මන්ද, අප භය වුණත් නැතත් අපට එරෙහිව කුමන්ත්‍රණයක් වෙතොත්, එය සිදුවෙනවා ම ය.

භය  කුමන්ත්‍රණයට අදාළ නැත. භය යනු අප විසින් කරනු ලබන මනෝමුලික තෝරාගැනීමකි.

එක ම කුමන්ත්‍රණයට භය වීම හෝ නොවීම වෙන කාගේවත් පාලනයක තිබෙන දෙයක් නොවේ.

භය වීම හෝ නොවීම අපගේ ම පාලනය යටතේ පවතින අපගේ ම ස්වයං-තෝරාගැනීමකි.

එකම සිද්ධියට, එක් අයෙකු භය වන්නටත්, තව අයෙකු භය නොවන්නටත් පුළුවන.

සිද්ධිය එක ම ය.

 

භය අපගේ පුද්ගලික හෝ සාමූහික තොරා ගැනීමක් පමණ ය.       

භය තෝරා ගැනීමෙන්, යම් සීයයට ප්‍රමාණයකින් හෝ සියයට සියයකින් ම හෝ කුමන්ත්‍රණයට මුහුණ දීමට ඇති පියවි සිහිය අහිමි වී යා හැකි ය.

භය තෝරා නොගැනීමෙන් කුමන්ත්‍රණයට මුහුණ දීමට අවැසි වන පියවි සිහිය රැකෙන මුත්, එ් නිසාම කුමන්ත්‍රණය නැවතී යන්නේ හෝ නැතිවී යන්නේ හෝ නැත.

සැලසුම් කරන ලද කුමන්ත්‍රණයක් වෙතොත්, අප කැමති උනත් නැතත් එය සිදුවෙනවා ම ය.

කුමන්ත්‍රණයක් වලකාගැනීමට හෝ ආපසු හරවා යැවීමට නම්, එය පෙරතියා ව්‍යූහාත්මකව-උපකල්පනය  කරගැනීම (Structural Speculation) සහ ඊට අදාළ තොරතුරු හඹා යෑම සහ රැස්කිරීම, කුමන්ත්‍රණයේ ව්‍යූහයට (Structure of Conspiracy) වඩා දියුණු ප්‍රති-කුමන්ත්‍රණ ව්‍යූහයක් (Counter Conspiracy Structure) ගොඩනගා රහස් කාලාවකාශ පදනමක් යටතේ ක්‍රමිකව දියත් කිරීම අත්‍යාවශ්‍ය වෙයි.

PIC 05   

 

එජාප-ශ්‍රීලනිප පක්ෂ දෙක ‌ම ‌ඉතිහාසික සමාජ-බොරුවක් පදනම් කරගෙන බිහි වූ පක්ෂ දෙකකි.

එනයින් ම, එම සමාජ-බොරුව සත්‍ය-යථාවක් (True-Real) ලෙසින් ජනගත කරවන්නට ස්ථාපිත කළ ව්‍යාජ, කෘතිම, විකෘති සහ විකාර-රූපී කතිකාවක් (Discourse) නඩත්තු කිරීමට මේ පක්ෂ දෙක ම පොදු ඒකඟතාවකින් බැ‍ඳී සිටී.

මේ පක්ෂ දෙක අතර කුමන ආකාරයේ අතිරේක වෙනස්කම් තිබුණත්, මොවුන් අතර පවතින කේන්ද්‍රීය සමානකම වන්නේ සමාජ-බොරුවක් පිළිගැනීම හා සම්බන්ධ මේ පොදු ඒකඟතාවය යි.

 

මන්ද, මේ දෙපාර්ශවයේ ම පැවැත්ම රඳාපැවතුනේ සහ රඳාපවතින්නේ, යටකී පොදු එකඟතාවෙන් යුතුව නඩත්තු කරන යටකී කතිකාව විසින් සත්‍ය-යථාවක් ලෙසින් භාරගනු ලැබූ සහ ජනගත කරනු ලැබූ සමාජ-බොරුවක් නිසයි.          

ඒ නිසා එජාප-ශ්‍රීලනිප පක්ෂ දෙකත්, එම මව් පක්ෂ දෙක ඇසුරෙන් ව්‍යුත්පන්න වූ අනෙකුත් පක්ෂ හෝ සංවිධානත් වසර 70කට වැඩි කාලයක් සවිඥානිකව හෝ අවිඥානිකව තම බල-දේශපාලන පැවත්ම තහවුරු කරගෙන සිටියේ, ලක්ජන සමාජ විඥානය මේ සමාජ-බොරුවට දශක ගණනක් තිස්සේ හසුකර බැඳ තබා ගැනීමෙනි.

 

අනෙක් අතින්, එංගලන්තයේ  දී ලිංගික කතිකාවක් බිහිවීමට පාදක වුණු ලිංගික තහංචිය පැන වූ ප්‍රභූ පුද්ගලිය වූ  එංගලන්තක වික්ටෝරියානු රැජිනමත්, තමන් පැනවූ  ඒ ලිංගික තහංචිය පිළිපදින ඊට අදාළ කතිකාවේ ම ගොදුරක් බවට පත් වූවා සේ ම, යටකී ව්‍යාජ ලක් කතිකාව බිහිවීමට පාදක වුණු සමාජ-බොරුව ජනගතකළ එජාප-ශ්‍රීලනිප පක්ෂ දෙකේ ප්‍රභූ ප්‍රධානීන් ද, තමන්ලා  ජනගත කළ මේ සමාජ-බොරුව ඇත්තක් ලෙස භාරගනු ලබන එකී කතිකාවේ ම ගොදුරු බවට පත්ව සිටින්නන් ය.     

එජාප-ශ්‍රීලනිප පක්ෂ දෙකෙහි ‌ම ‌පදනම වූ  මේ ඉතිහාසික සමාජ-බොරුව කුමක් ද?

 

එයනම්, “1948දී ලක්දේශයට නිදහස ලැබුණා” යන සමාජ-බොරුව යි.

 

Pic 07

 

මේ ලෙස, බොරුවක් මත පදනම් වූ පක්ෂයක්, සංවිධානයක් හෝ සමූහගත වීමක් ඒවායේ හරයෙන් ම “කුමන්ත්‍රණය” පදනම් කරගත් දේශපාලනයක නියුතු වීමට ආවේනි

කව බැඳී පවතී. එය ඔවුන්ට අනුව සාමාන්‍ය දෙයක් වන බව අප තේරුම්ගත යුතු ය.  

ඒ කියන්නේ, එජාප-ශ්‍රීලනිපයන් ඒවායේ හරයෙන් ම ඉතිහාස විද්‍යාත්මක පදනමක නොපිහිටන දේශපාලන ක්‍රියාන්විතයක ‌යෙදීමට බැඳී සිටින බව යි. ඒ් නිසා, එබඳු බොරුවක් මත පදනම් වු පක්ෂයක් හෝ සංවිධානයකින්, ඉතිහාස විද්‍යාත්මක පදනමක පිහිටි දේශපාලනික ප්‍රතික්‍රියා, ප්‍රතිචාර හෝ පිළිතුරු ඔවුන්ගේ විරුද්ධ පාක්ෂිකයින් විසින් බලාපොරොත්තු වීම හිතාමතා ම මුළාවේ වැටීමකි.

ඔවුන්ගෙන් බලාපොරාත්තු විය යුත්තේ කුමන්ත්‍රණයක් ම ය.

ජවිපෙ විසින් වරදවා වටහා නොගත යුතු ලක්දේශයට සුවිශේෂී වූ බල-දේශපාලන සංදර්භය මෙය යි.                

 

එනයින් “1948දී ලක්දේශයට නිදහස ලැබුණා” යන සමාජ-බොරුව සත්‍ය-යථාවක් (True-Real) ලෙසින් ජනගත කරවන්නට ස්ථාපිත කළ ව්‍යාජ, කෘතිම, විකෘති සහ විකාර-රූපී කතිකාවක් (Discourse) සවිඥානිකව හෝ අවිඥානිකව නඩත්තු කරන එජාප-ශ්‍රීලනිප පක්ෂ දෙකෙන් හැමවිට ම අදිසි කුමන්ත්‍රණයක් බලාපොරාත්තු වීම යථාර්තවාදී වේ.

 

යම් හෙයකින් අද සිටින චම්පික රණවක අනුව යමින් ජවිපෙ ද “1948දී ලක්දේශයට නිදහස ලැබුණා” යන සමාජ-බොරුව සත්‍ය-යථාවක් ලෙස භාරගන්නේ නම්, ඔවුන් ද යටකී ව්‍යාජ, කෘතිම, විකෘති සහ විකාර-රූපී කතිකාවේ කොටස්කරුවන් බවට ඉබේ ම පත් වී, එජාප-ශ්‍රීලනිප ප්‍රභූ පැලැන්තියේ නෝනලා මහත්තයලා නටන නාඩගමේ ම ගොදුරක් බවට පත්ව, අවසාන විග්‍රයේ දී එජාප-ශ්‍රීලනිප ප්‍රභූන්ට ම ජය භාර දී කරබාගෙන සිටින අසරණ තත්වයට පත්වෙනවා ඇත. මේ ගෙවෙන මොහොතේ චම්පික රණවකට සිදුවෙමින් පවතින්නේ “1948දී ලක්දේශයට නිදහස ලැබුණා” යන්න පිළිගැනීම මත පදනම් වූ එජාප-ශ්‍රීලනිප කතිකාවට ඇතුළු වීමට සිදුවීම නිසා ම එය බොරුවට හෝ ඇත්තක් ලෙස භාරගෙන එහි ම ගොදුරක් බවට පත්වීමේ අභග්ගය යි.

 

ඒ නිසා, පාඨලී චම්පික රණවක ජවිපෙ  සතුරෙකු වන්නේ, ඔහු ජනාධිපති වී හෝ පාර්ලිමේන්තුවේ වැඩි බලය ලබාගෙන හෝ බලයට පත්වන්නට යන නිසා නොවේ. පාඨලී චම්පික රණවක එළඹෙන මැතිවරණවල දී ජවිපෙ තීරණාත්මක සතුරෙකු බවට පත්වන්නේ, “1948දී ලක්දේශයට නිදහස ලැබුණා” යන සමාජ-බොරුව සත්‍ය-යථාවක් (True-Real) ලෙසින් ජනගත කළ සහ ස්ථාපිත කළ ව්‍යාජ, කෘතිම, විකෘති සහ විකාර-රූපී කතිකාවක් (Discourse) සවිඥානිකව හෝ අවිඥානිකව නඩත්තු කරන එජාප-ශ්‍රීලනිප පක්ෂ දෙකේ ඊළඟ අදිසි දේශපාලන කුමන්ත්‍රණය බලවත් කරන්නෙකු වන නිසා ය. චම්පික සියල්ලෝ පැරදී හෝ ඔහුට බලය ලැබෙනවාට කැමති ගණයේ මමත්වයක් ඇති අයෙකි. ඒ ඔහුගේ කෙටි කාලීන කැමැත්ත යි. එසේ නොවුණහොත්, චම්පික එජාප-ශ්‍රීලනිප හවුලක් බලයට පත් වී හෝ ජවිපෙ පරදිනවා නම් කැමති ය. එය ඔහුගේ දීගුකාලීන කැමැත්ත යි.

 

පසුගිය වසර කිහිපයක සිට චම්පික විසින් ජේ.ආර්. ජයවර්ධන සහ බණ්ඩාරනායක නැමති ඩොයිලියානු බෙදුම්වාදී සහ වරිගවාදී නායකයින් තම දේශපාලන වීරයින් ලෙස පිළිගැනිම පිටුපස ඔහු කලින් නියෝජනය කළ රැඩිකල් ජාතිකවාදය දැන් ඔහු විසින් අතහැර ඇති බවත්, මේ වන විට එජාප-ශ්‍රීලනිප ව්‍යාජ ජාතිකවාදය තුළට ඇතුළු වී ඇති බවත් මොනවට පැහැදිලි ය.

 

එජාප-ශ්‍රීලනිප කතිකාවට හසුවීම මොහු පුද්ගලිකව තම උපායක් ලෙසින් සිතන නමුත්, ඔහු එම උපායේ අනවරත ගොදුරකි. එයින්, ඔහු දැන හෝ නොදැන (ඒනම් සවිඥානිකව හෝ අවිඥානිකව), එජාප-ශ්‍රීලනිප පක්ෂ ‌දෙකට ම ඇති ජවිපෙ විරෝධය නියෝජනය කරන්නෙක් බවට පත්වී ඇත. නමුත් ඔහුගේ ඥානවිභාගාත්මක-පදනම (Epistemological Base) එජාප-ශ්‍රීලනිප දේශපාලකයෙකුට වඩා ඉදිරියෙන් පවතින බැවින්, කතිකාමය තලයක දී ඔහු විසින් ජවිපෙට සිදුකළ හැකි අනතුර විශාල ය. එනයින්, ඔහුට, ජවිපෙ නාගරික චන්ද පදනමට තීරණාත්මක අනතුරක් කළ හැකි  දේශපාලන සංදර්භයක් පවතී. මෙය තීරණාත්මක අනතුරක් ද නැති ද යන්න තීරණය වන්නේ එජාප-ශ්‍රීලනිප පූට්ටුව විසින් චන්දය කිට්ටු වී ඔන්න මෙන්න තියා දිගහැර ගෙන එන්නට නියමිත කුමන්ත්‍රණ ව්‍යූහයේ ඝනත්වය මත ය.        

 

PIC 08

 

ඒ් නිසා දිලිත් ජයවීර වැනි සාපේක්ෂව වි-සබුද්ධික (Irrational) ජනාධිපති අපේක්ෂකයෙකුගෙන් බලාපොරොත්තු නොවන අනතුරක් පාඨලී චම්පික රණවකගෙන් ජවිපෙ බලාපොරොත්තු නොවී මඟහැර යන්නේ නම්, 88-89 යුගයේ රන්ජන් විජේරත්නට එගලන්තක වතුපාලක පරපුරක වික්‍රමකාමී පසුබිමක් තිබුනාය යන තොරතුර සම්බන්ධව ජවිපෙ නූගත්ව (Ignorant) සහ අවිඥානිකව සිටීම නිසා සිදුවූ යුධමය පරාජය ම වැනි යමක් මෙවර ද  දේශපාලනිකව අත්කර ගැනීමට සිදුවනු ඇත. ඒ නිසා මේ පොලොං වාංශිකයා නොසලකා හැරීම, ගෙවෙන මොහොතේ සාමාන්‍ය දෙයක් වුවද, පරාජය අත්වන්නට පටන් ගන්නා මොහොතේ පටන් අසාමාන්‍ය අදිසි දෙයක් බව ජවිපෙට අවබෝද වනු ඇත.

එතකොට කෝචිචිය ගොස් හමාර ය.

 

ඉතිහාසය සෝදිසි-නිරීක්ෂා කර බැලුවොත්, මේ ප්‍රභූ පක්ෂ දෙක සහ ඒවායේ හරයෙන් ම ව්‍යුත්පන්න වූ අනෙකුත් පක්ෂ හෝ සංවිධාන ද විසින් ආර්ථික හෙලිදරව් කිරීම් හෝ අරගල වලට එරෙහිව හැමවිටම කරලියට ගෙන ඒමට ඉඩකඩ ඇති දේශපාලන සංදර්භය වන්නේ වරිගවාදී බෙදුම්වාද ය යි. දේශපාලනයේ සුළං කෝඩයට හසුවී පාවෙමින් සිටි යුගයක, චම්පිකගේ අවස්ථාවාදී  මගපෙන්වීම නිසා හදිසියේ ජාතිකවාදීන් ලෙස වේශනිරූපනය වූ හෙවත් අනුරූකරණය වූ  රාජපක්ෂ පවුල, පසුකලෙක එම වරිගවාදය ආගම්වාදී බෙදුම්වාදයක් දක්වා තවදුරටත් වැඩිවර්ධනය කොට රටේ සමස්ත අර්බුදය ව්‍යසනයක් දක්වා ඉදිරියට ගෙන ආවේ ය.

පාස්කු ප්‍රහාරය නැමති ආගම්වාදී බෙදුම්වාදී සංසිද්ධිය විසින් ඇතිකළ විනාශය, එතෙක් රාජපක්ෂලා විසින් ගොඩනැගූ මුස්ලිම් විරෝධී කතිකාව කූටප්‍රාප්තියට පත්වීමකි. එය පාදක කරගනිමින් අතිදැවැන්ත බහුතර චන්දයකින් විධායක බලයට පත්වූයේ තවත් රාජපක්ෂ කෙනෙකු ම  වන බැවින්, මෙම පාස්කු ව්‍යසනයේ කතිකාමය හරයට රාජපක්ෂලා වගකිවයුතු බව ‌නොදරුවෙකුට පවා උපකල්පනය කරගත හැකි ය.       

 

pic 09

 

මැතිවරණයක දී කුමන්ත්‍රණය කර විචල්‍යයෙන් වෙනස් කළ හැකි ප්‍රධාන සාධක 03ක් ලක්දේශයෙහි පවතී.

එයින් ප්‍රධාන සහ පළමුවන සාධකය වන්නේ ලක් ජන-විඥානය යි. දෙවැන්න මැතිවරණ යන්ත්‍රණය යි. තුන්වැන්න අන්තරාකාරී සහ ප්‍රචන්ඩකාරී මැදිහත්වී ම යි.

මෙයින් පෙර තියා විනිශ්චය කිරීමට අසීරු ම සාධකය වන්නේ  ලක් ජන-විඥානය යි.

 

දේශපාලකයා ලක්ජන විඥානය කෙරහි විශ්වාසය තබා තම දේශපාලන ප්‍රචාරණ උපායමාර්ග තෝරාගත යුතු බව සැබෑවකි. මන්ද, එසේ නොකළ හොත් දේශපාලකයාට තම එදිනෙදා නියැලීම් කරගෙන යාමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වයක් නොමැති වී යන නිසාවෙනි. ඒසේ  වුණත්, ලක්දේශය තුළ විශ්වාසය තැබිය නොහැකි ම සාධකය වී ඇත්තේ ලක්ජන විඥානය යි. මා මෙහිදී ලක්ජන විඥානය ගැන අවිශ්වාසය ඇතිකරගෙන දේශපාලනය කරන්නට කියනවා නොවේ. නමුත් ලක්ජන විඥානය විශ්වාස කළ නොහැකි මට්ටමක පවතින අවබෝධ කරගෙන කටයුතු කරන්නට කියනවා පමණි. කොටින් ම ලක්ජන විඥානය මෙසේ කාලගුණය තරමින් විටින් විට වෙනස් වන අස්ථාවර ස්වභාවයක පවතින්නෙ ඇයි ද යන ඉතිහාසික හේතුව සොයාගත යුතු ය.

 

ඕනෑම දියුණු රටක වුවත් ජනවිඥානයෙහි විචල්‍යයක් පවතින බව පවසමින් යමෙකුට තර්කයක් ගොඩනැගිය හැකි ය. නමුත් සියයට ප්‍රමාණය අනුව සලකා බලන කල, ලක්දේශයේ ජන-විඥානයේ ඇති විචල්‍යය නිසා ඉක්මනින් වෙනසට බඳුන් වන ස්වභාවය සියයට ප්‍රමාණය අනුව අන් දියුණු රටවලට වඩා වැඩි ය. මෙය අනුභූතිකව තේරුම්ගෙන, දකුණු ලක්දේශයේ ජනයා ඉක්මනින් සිදුවීම් අමතක කර දමනවා යැයි ප්‍රභාරකරන් කියූ දෙයහි ගැඹුරු ඇත්තක් ඇත. නමුත් සැබෑ තත්වය නම් ලක්දේශයේ දකුණු භාගයේ සේ ම උතුරු නැගෙනහිර දිවි ගෙවන  උදවියගේ ද ඊට වඩා වෙනස් නැති බව ය.

 

ඒනිසා ලක්වැසි ජන විඥානය හැම විටම අදිසි ලෙස විචල්‍යයෙන් වෙනස් වීමට බැඳී සිටින බවක් පෙනේ. ඒ් නිසා ම ලක්වැසි ජන මනස හැම විට ම දේශපාලකයෙකු විසින් කරනු ලබන කුමන්ත්‍රණයකට විවෘත්ත ය. ඒ නිසා ම ඕනෑ ම අනතුරකට පවා විවෘත්ත ය.   

                

මීට ප්‍රධාන හේතුව වන්නේ, බටහිර යටත්විජිතවාදී ආක්‍රමණයන්ගෙන් පසුව ලක් ජනයාට එතෙක් ජීවත් වූ තම සමස්තයෙන් වියුක්ත වූ විසිරී ගිය මානසික ලක්ෂණ සහිත අයාලකාමී (vandalistic) ජන පිරිසක් බවට පත්වීමට සිදුවීම ය. මෙය වසර 500ක තරම් යටත් විජිත සමයක් ද, ඉන්පසුව 1948න් පසුව ගෙවුණ දශක 7ක් තරම් වූ දෙවන නොනිල යටත්විජිත සමයද තරම් දිගු කලක් වර්ධනය වෙමින් පැවති අයාලකාමයක් වුව ද, මෙහි තීරණාත්මක හැරවීම සිදුවන්නේ, 1815දී ලක්දේශයේ රජාවලිය අහෝසි කිරීමත් සමඟ ලක්දේශයට තිබූ යැපුම් ආර්ථිකමය සමස්තයෙන් ගිලිහී ගිය ජනයාගෙන් කොටසකට ඒංගලන්තකයින්ගේ සමස්තයේ අවයවයක් ලෙසින් පැවති පද්ධතියට අනුගත වෙන්නට සිදුවී අනන්‍යතා අර්බුදයකට යාමට සිදුවීමත්, ඉතිරි කොටස ඒංගන්තක සමස්තයටවත්  සම්බන්ධ නැතුව ගම්මානවල වල්මත් වී ජීවත් වීමට සිදුවීමත් නිසා ය.

 

මොවුන්ගේ සිත් සමස්තයක් දෙසට හරවන නූතනවාදී හෝ නව-නූතනවාදී පුනරුද ව්‍යාපාරයක් ලක්දේශයේ නොපැවතියෙන්, ලක්දේශයට 1948දී නිදහස ලබා දුන්නාය කියන එජාපයත්, එහි ම කාසියේ අනෙක් පැත්ත වන ශ්‍රීලනිපයත් වෙත අවසන් මොහොතේ හෝ අදිසි ලෙස හැරී චන්දය දීම ජනයාට අනිච්චානුක වන නිසා ය. මේ ප්‍රපංචය මෙතෙක් පැවතියේ අර්ථකතනයක් සැපයිය නොහැකි කළුකුහරමය උභතෝකෝටිකයක් විදිහට ය. නමුත් මේකට ප්‍රධාන හේතුව, මේ ජනයා නිදහස් අරගලයකින් ගොණුගත කරන සමාජ ව්‍යාපාරයක සමස්තයක් තුළ පන්නරය නොලැබූ, දෙකට බෙදාගෙන ඒජාප සහ ශ්‍රීලනිප පක්ෂවලට චන්දය දෙන්නට හුරු වූ ජනකොටසක් වීම ය.

 

ඒනිසා ජවිපෙ මැතිවරණ ව්‍යාපාරය ම දියත් කළ යුතුව තිබුණේ, මෙකී පුනරුදවාදී සංදර්භයක් තුළ ය. ඊට 1948 වසරේ ලක්දේශය තුළ නිදහස් සටනක් සිදු නොවුණ බව සෘජුව සහ නග්නව බහුජනයාට කියා දැමීමට සිදුවනවා  ඇත. “1948දී ලක්දේශයට නිදහස ලැබුණාය කියන ඒක බොරුවක්” කියා කියූ සැනින් ජවිපෙ ප්‍රධාන ජාතික ජන බලෙව්ගයට හදිසියේ සමස්තයක් ලෙසින් ක්‍රියාන්විත වන පුනරුද ව්‍යාපාරයක් බවට පත්වෙන්නට සිදුවෙනවා ය. පුනරුද ව්‍යාපාරය ජාතික ජන බලවේගයේ අවයවයක් ලෙසින් පැත්තකින් බලුනටුවක් සේ එල්ලා ගැනීමෙන් මේ ජන විඥානික අස්ථාවරභාවයෙන් මිදෙන්නට ජවිපෙ ඇතුළු ජාතික ජනබලවේගයට හැකි වන්නේ නැත.

 

Pic 10

 

 

අනික චන්දයට අදාළ ප්‍රචාරක වැඩකටයුතු ඇතුළු අනෙකුත් ගොඩනැංවීම් කරන්නට ජවිපෙට ඇත්තේ තව මාස 03ක් තරම් ඉතා සුළු කාලයකි. මේ කාලය අතරතුර ජාතික පුනරුද ව්‍යාපාරයක් ලෙස මුළුමනින් රූපාන්තරණය වෙන්නට මහා වෙහෙසක් දැරීමට ද උපායික තලයේ ඉසියුම් තීරණ ගැනීමට ද ඔවුන්ට සිදුවෙනවා ඇත. ජාතික ජනබලවේගයේ බහුතරය මේ වන විට ජනප්‍රියවාදය කෙරෙහි පමණක් විශ්වාසය තැබීමෙන් වෙන්නේ, ඔවුන්ට ලැබෙන්නට නියමිත මේ ජයග්‍රහණයට අනතුරකට විවෘත්ත වීම ය.

ඒ නිසා, ප්‍රචාරක යන්ත්‍රණයට අමතරව වෙනත් අධෝ-ව්‍යුහාත්මක ගොඩනැංවීම් යන්ත්‍රණයක් සහිත නව-ව්‍යුහයක් (පුනරුදවාදී නාගරික යන්ත්‍රණයක්) වහා ස්ථාපිත කළ යුතුව පවතී.

එජාප-ශ්‍රීලනිප දෙක සහ ඒ දෙකෙහි හරය රැගත් අනුරුවවල් බඳු අනෙක් පක්ෂ සංවිධාන තනි සංධානයක් ලෙස කල්ලිගත වන ලකුණු පෙන්නුම් කරන අතර,  මොවුන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය තවමත් සුනංගු වෙමින් පැවතීම තුළ පෙනී යන්නේ, මොවුන් ඝනත්වයෙන් ඉහළ රහස් කුමන්ත්‍රණයකට අර අඳින බව ය. මන්ද, ඔවුන්ට ද විශාල චන්ද ප්‍රචාරක ව්‍යාපාරයක් සිදුකර ලක් ජනයා ඉදිරියට යාමට ඇති කාලය ස්වල්ප වන නිසා ය. ඒ් නිසා ඔවුන්ට ඇති විකල්ප උපායමාර්ගය වන්නේ, අදිසි රහස් කුමන්ත්‍රණය යි. ඒ උපායමාර්ගය තුළ ඔවුන් ලක් ජන -   විඥානයෙහි ඇති විචල්‍යයෙන් වෙනස් වීමට බැඳී සිටින ස්වභාවය යන්න පාවිච්චියට ගන්නට බලා සිටින ප්‍රධාන සාධකයකි. මේ පිළිබඳ  මීට වඩා තොරතුරු හෙළිදරව් කිරීම ජවිපෙට අවාසිදායක වන නිසා මම උපායිකව මේ සාධකය ගැන කතා කිරීම තාවකාලිකව මෙතනින් නවතමි.

මැතිවරණ වාතාවරණය විචල්‍යයෙන් වෙනස් කර කුමන්ත්‍රණයට දොර කවුළු හැරගන්නට යොදාගත හැකි ඊළග දෙවෙනි සාධකය වන්නේ මැතිවරණ යාන්ත්‍රණය ය.

 

ලක්වැසි ජනයා අවසන් චන්ද ප්‍රතිඵලය ලෙස භාරගන්නේ, ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා කිහිපයක් ද, පුවත්පත් අතලොස්සක් ද විසින් ප්‍රකාශ කරන ප්‍රතිඵලය ය. එයින් ඔබ්බට ගොස් හොරයක් සිදුවී ඇති ද යන්න සොයන්නට පොදුජනයා වෙහෙසෙන්නේ නැත. ඒහිදී වඩා බලවන්ත පාර්ශවය කියන දේ නිළ ඇත්ත ලෙසින් භාරගැනීම සෑම අසාධාරන චන්ද ප්‍රතිඵලයකින් පසුව ම සිදුවන්නකි. 80 දශකයේ යාපනේ මුල්ම සංවර්ධන සභා චන්දයේ දී සහ කටානේ ආසනයේ  විජයකුමාරතුංග පරාද කලාය කියන චන්දයේ දී සිදු වූ දෙවල් සේ ම, මෑතක දී ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉල්ලූ චනද්යේ දී  බැසිල් රාජපක්ෂ මැතිවරණ කොමසාරිස් රහස් තැනකට ගෙන ගොස්  පිස්තෝලයක් පෙන්වා බියවැද්දුවාය කියන කටකතාව දක්වා ම වන සියළු පසුබිම් කතා හිත්හි රුවාගෙන සටන් කරන පාර්ශවයක් නෙවී ලක් පොදු ජනයා. ලක් පොදුජනයා යනු දෙන චන්ද ප්‍රතිඵලය භාරගෙන අක්‍රිය වී යන අයාලකාමීන් කොටසක් බව ජවිපෙ තේරුම්ගත යුතව ඇත.

 

මෙහිදි, රාජ්‍ය මැතිවරණ ව්‍යුහය තුළ තම පක්ෂයට සෝදිසි නිරීක්ෂක සහයක් පවතින බව  ජවිපෙට පැවසිය හැකි ය. නමුත් චන්දය පවත්වන, ගණන් කරන සහ ප්‍රතිඵල නිකුත් කරන ක්‍රියාවලිය තුළට ප්‍රචන්ඩකාරී ක්කුමන්ත්‍රණ ව්‍යූහයක් ඇතළු වුවහොත්, එය පාලනය කරගන්නට ජවිපෙට හැකියාව ඇති ද යන්න රඳාපවතින්නේ කුමක් මතද?

 

මන්ද, රනිල් විධායක බලතල අහෝසිකොට සහ තම සේනාධිනාකකම අක්‍රිය කොට චන්දය පවත්වන බව හෝ ඒජාප-ශ්‍රීලනිප සහ ඒ්වා හා බැඳි ඡයා සංවිධාන වලින් සැදුණු පූට්ටුව විසින් තම පාතාල සබඳතා අත්හළ මුනිවරුන් ලෙසින් චන්දයට මුහුණ දෙනවා කියා හෝ  සහතිකයක් නොමැත.     

 

pic 11

 

තුන්වන සාධකය වන අන්තරාකාරී සහ ප්‍රචන්ඩකාරී මැදිහත්වීම සැලකිල්ලට ගතහොත්, 2023දී ඇති වූ  නිර්පාක්ෂික යැයි නාමකරණය කරගත් සාමකාමී අරගලයට මහජන නියෝජිතයින් ඇතුළු පොහොට්ටු මැරයන් විසින් ප්‍රහාර එල්ල කළ විට, හිතවතුන් විසින් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන ලද අතර, එහි අසංවිධානාත්මක ස්වභාව නිසා එය ඔවුන්ගේ පාලනයෙන් ගිලිහී නොදන්නා පාතාලයක් අතට ගොස් දේපල සහ මිනිස් ජීවිත නැති කරන තැනට දුරදිග ගිය පසුව, ඒහි සමස්ත දෝශාරෝපනය ආවේ ජවිපෙ කරපිටට ය. නොපැවැත් වූ පළාත්පාලන මැතිවරණය පවත්වන්නට බලකරන අරගලයක් ජවිපෙන් ක්‍රියාත්මක වන තුරු රනිල් වික්‍රමසිංහ කෙල හලමින් බලාගෙන සිටියේ, දේශපාලනයේ එතෙක් පැවති සමාකාමී සංදර්භය ප්‍රචන්ඩ සංදර්භයක් කරා මාරු කරගන්නට ය. එහිදී, තම පාක්ෂිකයෙකුගේ ජීවිතය ද අහිමි කරගනිමින් ජවිපෙට උපායශීලීව පසුබසින්නට සිදුවිය.

 

නමුත් මැතිවරණයක දී චන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම කියන ක්‍රියාවලිය අතරමැද ඇති වන ප්‍රචන්ඩ ප්‍රහාරයක දී උපායශීලීව පසුබැසීමක් කියා දෙයක් නොමැත. ඇත්තේ, එල්ලවන ප්‍රචන්ඩත්වය පාලනය කරගන්නට හැකි ද නැති ද යන තීරණාත්මක සංදර්භයක් පමණි.  

 

තාක්ෂණිකව, මේ සාධක 03න එකවර හෝ වෙන් වෙන්ව හෝ යොදාගන්නා කුමන්ත්‍රණයක් එළිදකින්නට නියමිතව ඇති බවට ඉවෙන් මෙන් දැනී, ඒ් දැනීම වර්ධනාත්මක ලෙස සංජානනයකට හැරෙන අතර, ඒ එළඹෙන නව මැතිවරණ වාතාවරණ අතරට මිනී කුණු ගඳඟක් ද මුහුවෙන්නට ඉඩ අති බවට වක්‍ර හෝඩුවාවන් වලින් ද මේ වන විටත් වාතලය රත්වෙමින් පවතී.                  

 

සෘජුව හිතට තේරුම් යන සංජානනික හෙවත් පටිසෝතගාමී අදහස් නිදැල්ලේ කියවා  දැමීමට මා පෞද්ගලිකව ප්‍රියකරන නමුත් මේ ඊට නිමේෂය නොවේ.

    

@ අරවින්ද හෙට්ටිආරච්චි

නවතම ලිපි