SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මැයි දිනය නිමා වුනේ සජිත් අනුර හා රනිල් විතරක් නොව රාජපක්ෂලාත් තමන්ගේ හයිරංකාරකම් පෙන්නීම මූලික කරගෙනය.

මාලිමාව සජබ සහ එජාප කඳවුරු තුනම සිය බලය ඇත්තේ කොළඹ විතරක් නොවන බව පෙන්නුවෝය.

 

එජාපය හැමදාමත් මැද කඳුකරයේ ජන්ද කුට්ටිය දිනා ගන්නේ වතු කම්කරුවන්ගේ කතිර මල්ල උඩින් ය. මෙවර අවුලකට තියෙන්නේ සජබ සහ එජාප අතරේ ඒ තීරණාත්මක කතිර කුට්ටිය බෙදී යාමය.

කවදත් වගේ මාලිමාවේ මැයි රැළි ලස්සනය. විචිත්‍ර කථිකයෝ ඔවුන් සතුය.වසර ගණනාවක නඩත්තු කරන ලද කාඩර් සංස්කෘතිය තුල මාලිමාවේ මැයි රැළි විනයානුකූලය.

 

විශේෂ කරුණක් නම් මාලිමාවට ඉදිරි ජන්දයකදී සිය කතිරය ගසන්නට ඉන්නා අයගෙන් ඉහල ප්‍රතිශතයක් ඊයේ ඔවුන්ගේ මැයි රැළි වලට සහභාගී වූ බවය.

එය සජබ සහ එජාපයට සාපේක්ෂව ඉතා ඉහල අගයක් ය.

 

මැයි රැලි වලින් අපට පේනා කාරණා කීපයක් ය.

එකක් නම් අනුර සජිත් රනිල් පාර්ශවයන් එකකටවත් ජනාධිපතිවරණයේදි 50% ගන්නට බැරි වෙන බවය.

එක් පසෙකින් මාලිමාව ඔවුන් බලාපොරොත්තු වූ ජන සහභාගිත්වය ලඟා කරගැනීම ගැන ඉන්නේ සතුටින් ය.

ඒත් ඔවුන් නොසිතූ ප්‍රමාණයේ ජන සහභාගිත්වයක් එජාප සහ සජබයටද ලැබීම ගැන යම් කණස්සල්ලක් ජවිපෙ මූලස්ථානයේ හටගෙන නැතුවා නෙවේය.

අනෙක් විශේෂ කාරණය නම් එජාප සජබ සුසංයෝජනයක් ඇතිවන්නේ නම් පොහොට්ටුව විනාශ වී මාලිමාව ප්‍රධාන විපක්ෂ බලවේගය බවට පත්වෙන එකය.

රනිල් සජිත් දීගය සිදු නොවීම තුල දෙවන මනාපය අනිවාර්ය සාධකයක් වනු ඇත්තේය. එහි වැඩි වාසිය අනුරලාට යන බවත් නොකියා බැරිය.

දකුණේ කඳවුරේ බෙදීම තුල ඇති ඒ අවාසිය කළමනාකරණය කරගත හැකි එකම ක්‍රමය එජාපය මූලික කරගත් සන්ධානයක් හරහා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම විතරය.

 

පාවෙන ජන්ද මිලියන 5ක් පමණ ඉන්නේ සජිත් හෝ අනුර නොවන තැනකය. පොදු අපේක්ෂක සංකල්පය සජබය මූලික කරගත් සන්ධානයකට වලංගු නොවන්නේ ඒ නිසාය.

 

අපේක්ෂකයා සජිත් වූවත් අනෙකෙක් වූවත් වෙනසක් නැත්තේය.

ඒත් රනිල් වෙනුවට එන පොදු අපේක්ෂකයෙක් සහිත දේශපාලන කඳවුරක ගතිකයන් ඊට වෙනස් ය. ඒ හරහා සජබය දුබල වීම නිසැකය. රනිල්ගේ කඳවුරට සජබයෙන් කුට්ටියක් ගැලවෙන්නේ එතකොටය.

 

සජබ ඇතුලේ බහුතරය ප්‍රතික්ෂේප කරන්නේ රනිල්ගේ ප්‍රතිපත්ති නෙවේය. නායකත්වයය.

 

රනිල් දිනන්නට ආසාය. ඊටත් වඩා පරදින්නේ නැතුව ඉන්නට ආසාය. මිනිහා මේ වෙද්දී පමණටත් වඩා පැරදී ඇති අතර හිතන්නට බැරි විදියට දිනලාද ඇත්තේය.

රනිල්ට දැන් ඕනෑ පරදින්නේ නැතුව ඉන්නටය. කවුරු හිතුවේ නැතත් පොදු අපේක්ෂකයා රනිල්ගේ ඔලුවේ හොල්මන් කරන්නේ ඒ නිසාය.

 

@නදීශ ද සිල්වා

නවතම ලිපි