මා ජීවිතයේ වඩාත්ම ප්‍රිය කරන ප්‍රතිවාදීන් දෙදෙනා වන්නේ නලින්ද සිල්වා සහ නිර්මාල් රංජිත් දේවසිරි ය.
ඒ පිළිබඳව ඔවුන් දෙදෙනාට ඉතා කෙටියෙන් හෝ කිව යුතු යැයි කිහිප වරක් කල්පනා වී තිබුණත් එය කියන්නට මෙතෙක් නොහැකි විය. එයින් කෙනෙකු වන නලින් ද සිල්වා මහතා මියගොස් ඇති බව මීට ටික වේලාවකට පෙර අසන්නට ලැබිණ. එයින් මට විශාල කම්පාවක් ඇති විය.
මට අනුව නලින් ද සිල්වා මහතා සිංහල බෞද්ධ ජාතිකවාදයට විශාල අනර්ථයක් කළේය. ඔහුගේ අදහස් වැරදි යැයි මා තීරණය කළේ අඩුම තරමින් 2002 වර්ෂයේදීය. 2004 දී පමණ ඔහුගේ අදහස් විවේචනය කරමින් පේරාදෙනිය විද්‍යා පීඨයේ හෙළ හඬ සංවිධානයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට පැය දෙක තුනක දේශනයක්ද කළෙමි. එහි දිනෙත් මල්ලිකාරච්චිද සිටියේය. ඊට පෙර හා පසුව මා සිටි දේශපාලන ව්‍යාපාරයේ නලින් ද සිල්වාගේ අදහස් නියමින් හා අනියමින් පිළිගත් අය සමගද වාද කළෙමි. එයින් ප්‍රමුඛයකු වන්නේ අතුරලියේ රතන හිමියන්ය. එම අදහස් වඩා වර්ධනය කොට පොතක් සේ පළ කරන්නට කල්පනා කළ බැවින් ඒ සඳහා විශාල කරුණු ප්‍රමාණයක් එක් රැස් කරගෙන සිටිමි.
පසුගිය වසර විසි දෙක පුරාම එය කරන්නට නොහැකි වූයේ ප්‍රධාන හේතු දෙකක් නිසාය. පළමු වැන්න මාගේ සුප්‍රසිද්ධ අලසකමය. දෙවැන්න නලින්ද සිල්වාගේ බුද්ධිමය දැවැන්තකමය. නලින් ද සිල්වා යනු යන එන ගමන් පිළිතුරු දිය හැකි පහසු ප්‍රතිවාදියෙකු නොවේ.
නලින් ද සිල්වා මහතා මියගිය පුවත ඇසුණු සැණින් විශාල කම්පනයක් ඇති විය. ඊට එක හේතුවක් වන්නේ ඔහුගේ විශාලත්වය යැයි සිතමි. පාපොච්චාරණයක් ලෙස සඳහන් කළොත් දෙවැනි හේතුව වන්නේ ඔහු ජීවත්ව සිටියදීම සාර්ථක ලෙස ඔහුට අභියෝග කරන්නට මා තුළ තිබූ ආශාව යැයි සිතමි.
නලීන් ද සිල්වා මහතා සමඟ දෙවරක් රූපවාහිනී සංවාදවලට සහභාගි වී ඇත්තෙමි. දෛවෝපගත ලෙස එම වාර දෙකේදීම නිර්මාල් ද සිටියේය. රසවත් කාරණය වන්නේ එයින් එක විවාදයකදී මම සහ නලින්ද සිල්වා එක පැත්තක සහ නිර්මාල් අනෙක් පැත්තේත්, අනෙක් විවාදයේදී නිර්මාල් සහ මම එක පැත්තක සහ නලින් ද සිල්වා අනෙක් පැත්තේත් ලෙස විවාද කර ගැනීමයි.
එස් බී දිසානායක විසින් 2013 දී මාගේ රැකියාව අහිමි කරන්නට ගත් උත්සාහයේදී නලින් ද සිල්වා මහතා මා වෙනුවෙන් සම්පූර්ණ පිටුවක පුවත්පත් ලිපියක් ලිව්වේය. විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයේ සිටි මට හිතවත්ව මෙන් සිටි සමහර පුද්ගලයන් පවා මට බරපතල ලෙස හතුරුකම් කළ සමයක දේශපාලන වශයෙන් මට විරුද්ධ තැනක සිටි ඔහු මා වෙනුවෙන් ලිවීම ඔහුගේ යහගුණය පිළිබඳ සාක්ෂියකි. ඒ වෙනුවෙන් මම හිත ඇතුලෙන් ඔහුට දහස් වරක් කෘතඥ වුවත් එය ඔහුගේ මුහුණටම වචනයෙන් කියන්නට මට අවස්ථාවක් ලැබුණේ නැත. ඇත්තෙන්ම කිවහොත් එසේ කිව යුතු යැයි මා කල්පනා කර තිබුනේ නැත.
ඊට බොහෝ කලකට පෙර 2006 වර්ෂයේ දී පමණ මම මහරගම සිට විජේරාම හන්දියට එන්නට බස් එකේ සිටිද්දි මට ඉදිරියෙන් තිබූ අසුනක නලින් ද සිල්වා මහතා ඉතා සාමාන්‍ය ලෙස වාඩි වී සිටිනු දක්නට ලැබිණ. ඔහු ටිකට් ලබා ගැනීම සඳහා තම ගමනාන්තය කියූ විට ගැටවර කොන්දොස්තරට එය හරියට ඇහුනේ නැත. ඔහු ඉතාමත්ම ආකාරුණික සහ ගොරෝසු ස්වරයෙන් "කොහේටද?" කියා ඇසුවේය. ඔහු ඉතාමත්ම යටහත් යැයි කිව හැකි අයුරින් තම ගමනාන්තය නැවත ඒ කොන්දොස්තරට කියා තම ටිකට් පත ලබා ගත්තේ ය. නලින් ද සිල්වා යනු කෙතරම් දැවැන්තයෙකුද යන්න මට අවබෝධ වූයේ එතැනදී ය.
ඔහු පුදුම සහගත කැපවීමකින් තම මතය වෙනුවෙන් පෙනී සිටියේය. නිතිපතා ලිව්වේය. රැකියාව අහිමි කරන ලද විට කිසිසේත්ම දීන නොවී සෑහෙන ප්‍රමාණයේ අල්පේච්ඡ ජීවිතයක් ගත කරමින් නම්බුකාර ලෙසින් ජීවත් වූයේය.
නලින් ද සිල්වා ජාතිකවාදියෙකු ලෙස කොයි තරම් වැරදිද යන්න ඔප්පු කර පෙන්වීම පිණිස අවශ්‍ය කරුණු සොයමින් දශක දෙකක් ගත කර ඇත්තෙමි. එය මට ඔහු සිටියදී කියන්නට නොහැකි විය. ලංකාවේ අඩුම තරමින් ඉදිරි දශක පහ තුළ ජීවත්වන කිසිවෙකුට දැන හෝ නොදැන නලින් ද සිල්වා මුණ නොගැසී ජීවත් වන්නට නොහැකි බව ඇත්තක් නමුත් ඔහු තවදුරටත් ජීවත් නොවන බව දැනීම මහා හිස්කමක් වැනි හැඟීමක් ඇති කරයි.
ඒ යෝධ මිනිසාට නිවන් සුව පතමි !
@අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය