SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සීමාසහිත ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම විසින් පැහැර හැර තිබෙන

රුපියල් බිලියන පහයි දශම අටක (5.8) බදු මුදලින්  50% ක් ගෙවන්නේ නම් දැනට අත්හිටුවා ඇති නිෂ්පාදන බලපත්‍රය ලබාදීමේ වැඩපිළිවෙළක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් යෝජනා කර ඇතැයි මාධ්‍ය වාර්තා පළකරයි.

 

 

බදු ගෙවීම පැහැර හැරීම නිසා පසුගිය දෙසැම්බර් 04 වැනිදා සිට එම සමාගමට අයත් බලපත්‍ර 03ක් අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

 

මේ හේතුවෙන් එහි සේවය කළ 600ක පමණ සේවකයන් සහ ඔවුන්ගෙන් යැපෙන 1500ක පමණ පිරිසකගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කිරීම සැලකිල්ලට ගෙන නව යෝජනාව ඉදිරිපත් කළ බව සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා කියයි.

 

කෙසේ වුවද එම යෝජනාව ඉදිරිපත් කර දින කිහිපයක් ගතවී ඇතත් එයට එකඟද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් එම සමාගම විසින් දෙපාර්තමේන්තුව දැනුවත් කර නැතැයි  ඔහු පවසා ඇත.

 

 

හිඟ බදුවලින් සියයට 50ක් ගෙවන්නේ නම් නිෂ්පාදන බලපත්‍රය මාසයකට ලබාදීමටත් ඉතිරි හිඟ බදු සියයට 50 නිෂ්පාදනය කරන නිෂ්පාදනයේ ප්‍රමාණයට බදු හිඟ බදුවලින් කොටසක් සහ හිඟ බදු ගෙවා නිම කිරීමට ලබාදෙන කාලය තුළ ගෙවා නිමකරන බවටත් එකඟ වනවා නම් මාසයෙන් මාසයට බලපත්‍රය ලබාදීමේ හැකියාව ඇතැයි ඔවුන්ට දැනුම් දුන් බව ත් සුරාබදු කොමසාරිස්වරයා කියා ඇත.

 

 

සුරාබදු දෙපාර්තමේන්තුව යනු රජයට බදු ආදායම් ලබාදෙන දේශීය ආදායම්, රේගුව සහ තෙවැනියට පවතින දෙපාර්තමේන්තුව බවත් එම දෙපාර්තමේන්තුවට මුදල් අමාත්‍යාංශය විසින් ලබාදෙන බදු සීමා ඉටු කිරීමට වගකීමක් ඇති බවත් ඔහු පෙන්වා දෙයි. 2024 වර්ෂයට රුපියල් බිලියන 230ක පමණ බදු ඉලක්කයක් රජය ලබාදී තිබූ බවත් ඉන් රුපියල් බිලියන 220කට ආසන්න මුදලක් අය කරගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවට හැකියාව ඇති බවත් ඉතිරි මුදල ද මේ වසර අවසන් වනවිට අය කරගැනීමට වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවත් ඔහු කියයි.

 

කෙසේ වුවද ආරංචිමාර්ග පවසන්නේ සුරාබදු දෙපාර්තමේන්තුව නිසින් මෙන්ඩිස් සමාගමට මෙම යෝජනාව ලිඛිතව නොව වාචිකව පමණක් ලබාදී ඇති බවය.

 

මින් පෙර පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාව හිඟ සුරා බදු නොගෙවන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන ලෙස නිර්දේශ කරන ලද අතර, පසුගිය ජූනි 30 වන විට 2023 වසරේ හිඟබදු අය කර ගන්නා ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවට මීට පෙර නිර්දේශයක් ලබාදී තිබුනද මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් අවශ්‍ය උපදෙස් නොලැබුණ බැවින් අදාළ නිර්දේශය ක්‍රියාත්මක නොකළ බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කාරක සභාව ඉදිරියේ පවසා තිබුනි.

 

එසේ වුවද සමාගම් 5 කින් 4 ක් ම තම හිඟ සුරා බදු ගෙවීම සඳහා කටයුතු කරමින් සිටින පසුබිමක අර්ජුන් ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගම පමණක් දිගින් දිගටම හිඟ බදු ගෙවීම පැහැර හරිමින් සිටිය ද පසුගිය රජය සහ සුරාබදු දෙපාර්තමේන්තුව එම සමාගමට එරෙහිව පියවර ගැනීම වෙනුවට හිතාමතාම කල් මරමින් සිටින ආකාරයක් දක්නට ලැබිණ.

 

 

එමෙන්ම ක්‍රම සහ විධි කාරක සභාවේ නියෝග අනුව වටලන ලද ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතලවලින් බහුතරය ද, මෙන්ඩිස් සමාගම හරහා නිෂ්පාදනය කරන ලද ඒවා බව ඒ දිනවල පුවත් පෙන්වා දෙයි.

 

 

කෙසේ වෙතත්, ජාතික ජන බලවේග ආණ්ඩුව පැමිණි පසු බැඳුම්කර මගඩියට ද සෘජුව සම්බන්ධ අර්ජුන් ඇලෝසියස්ලාගේ මෙන්ඩිස් සමාගමට එරෙහිව දැඩි පියවර ගනු ඇතැයි ජනතාව තුළ අපේක්ෂාවක් පැවතියද, මේ වන විට තත්ත්වය අනුව ඔවුන්ව තවත් හුරතල් කරමින්, ඔවුන්ට කේවල් කිරීමට ඉඩ දෙමින් කල් මැරීමක් මාලිමා ආණ්ඩුව ද සිදු කරන බවක් පෙනෙන්නට තිබේ යැයි සමාජ මාධ්‍යවලින්ද චෝදනා එල්ල වී ඇත.

 

තම මුදල් ප්‍රවාහයන් පෙන්වමින් රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලින් අධිකතර ණය මුදල් ලබා ගෙන තිබෙන මෙන්ඩිස් සමාගමට තම හිඟ සුරා බදු ගෙවීමේ හැකියාවක් නොමැති නම් එම සමාගමේ වත්කම් පවරා ගෙන හෝ එම මුදල් අය කර ගැනීමට ජාතික ජන බලවේග ආණ්ඩුව ක්‍රියා කරනු ඇති බව ජනතාවගේ අපේක්ෂාව වී තිබේ.

 

නමුත් අනෙක් සියලු මත්පැන් ව්‍යාපාරිකයන් නිසි ලෙස හිඟ බදු ගෙවා නිම කරගෙන යද්දී අර්ජුන් ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගම මේ අයුරින් හුරතල් කිරීමට ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ ඇති සුරාබදු දෙපාර්තමේන්තුවත් කටයුතු කරයි නම්? මේක අර්ජුන් ඇලෝසියස්ලාටම ගිය රටක් බව ජනතාවට ඒත්තු යනු ඇත.

 

 

 

Newspedia ඇසුරිනි.