ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, වර්තමානයේ සිංහල ස්වදේශීය සේවයේ අධ්‍යක්ෂ ඉන්දික ජයරත්න රජයේ ප්‍රවෘත්ති වාර්තාකරණ ක්ෂේත්‍රයේ මාධ්‍යවේදියෙකි.
මේ ඔහු විසින් හදිසි ආපදා සෞඛ්‍ය සංනිවේදනය හා කොවිඩ් උවදුර කලමනාකරණය පිළිබඳව ජනමාධ්‍්‍ය හැසිරවීම වර්තමානයේ අසමත්ව ඇති බවයි ඔහුගේ මුහුණු පොතේ දැක්වූ සටහනකින් පෙන්වා දෙන්නේ. ජනතා මුදල් වැය කරමින් පවත්වාගෙන යන රාජ්‍ය මාධ්‍ය ආයතන මගින් රටේ ජනතාවට නිවැරදිව මෙහෙයක් ඉටු වෙනවාද? නැතහොත් ඔවුන් සුපුරුදු පරිදි මේ මොහොතේදීත් තම තනතුරු හා ප්‍රතිලාභ පමණක් අරමුණු කොට ගනිමින් සුපුරුදු ලෙස රාජකාරිය මග හරිනවාද?
කොවිඩ් තෙවන රැල්ල පුරවැසි ජනජීවිතය කෙරෙහි දැඩි සහ තීරණාත්මක බලපෑමක් කර තිබේ.
සෞඛ්‍ය සංනිවේදන පණිවුඩවල ප්‍රබලතාවයන් යටපත් කරමින් අත්තනෝමතික පුද්ගල චර්යාවන් ඉස්මතු වෙමින් පවතී. පුද්ගල හැසිරීම් නිසිපරිදි කලමනාකරණය නොවීම කොවිඩ් උවදුර සාජ ව්‍යාප්තියක් කරා ගමන් කිරීමේ ප්‍රධාන හේතු සාධකයකි.
පුද්ගල චර්යාවන් කලමනාකරණය කිරීම සදහා ඉවහල්වන වැදගත් මෙවලමක් වන්නේ ජනමාධ්‍යයි. නමුත් කොවිඩ් අවදානම පිටුදැකීම සදහා ජනමාධ්‍ය නිසියාකාරයෙන් භාවිත වන ආකාරයත් තවම නිරීක්ෂණය නොවේ.
කොවිඩ් සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර හා දේශීය සිද්ධීන් හා තොරතුරු වාර්ථාකරණය හැරුණු කොට කොවිඩ් උවදුර කලමනාකරණය සදහා මානව චර්යාවන් හා හැසිරීම් රටාවන් වෙනස් කිරීම සදහා වූ මාධ්‍ය දායකත්වයක් තවම පෙන්නට නැත.
ලෝකයේ භෞතික හෝ සෞඛ්‍ය හෝ ස්වභාවික ආපදා තත්වයකදී පුද්ගල හැසිරීම් හා චර්යා රටාවන් වෙනස් කිරීම සදහා පූර්වගාමී කාර්යභාරයක් ඉටුකරන්නේ ජනමාධ්‍යයි.
2004 ඇති වූ විශාලතම ස්වභාවික ආපදාව වූ සුනාමිය කලමනාකරණය සදහා ප්‍රබල දායකත්වයක් ලබා දුන්නේ ජනමාධ්‍ය විසිනි. විනාශ වී ගිය රටක් ඉතාම කොටි කාලයක් තුල ගොඩනැගීමට සේම, ආපදා තොරතුරු සංනිවේදනයේ ද ප්‍රමුඛ වූයේ ජනමාධ්‍යයි .
සුනාමි ව්‍යසනයේ දී , මාධ්‍ය සිදුකල වඩාත්ම වැදගත් මෙහෙවර වූයේ පුද්ගල හැසිරීම් රටාවන් වෙනස් කිරීම සදහා වූ කාර්යභාරයයි. ඒ සදහා මාධ්‍ය තනි හෝ හුදෙකලා ක්‍රමෝපායන් භාවිතා කරනු වෙනුවට ඒකාබද්ධ මාධ්‍ය ක්‍රියාන්විතයක් බලාත්මක වූවා අපට මතකය.
භෞතික ආපදාවක් වූ කොටි ත්‍රස්‍තවාදය , පරාජය කිරීම සදහා වූ " මානුෂිය මෙහෙයුම " තවත් වැදගත් හා ආකර්ශනීය නිදසුනකි. ත්‍රස්‍තවාදය පරාජය කිරීම සදහා සමස්ථ ජන මනසම එකම අරමුණක් වෙනුවෙන් ඒකරාශී කිරීම සදහා වූ ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක වූයේය.
ත්‍රස්‍තවාදය පරාජය කිරීම සඳහා පුරවැසි දායකත්වය වෙනුවෙන් ඔවුන්ගේ හැසිරීම් හා චර්යා රටාවන් වෙනස් කිරීම සදහා වූ කේන්ද්‍රීය කාර්ය ඉටුකලේ ජනමාධ්‍යයි .
දේශීය වශයෙන් ගත් කල්හි ඩොංගු උවදුර පිටුදැකීම සදහා මාධ්‍ය ලබාදුන් දායකත්වය සෞඛ්‍ය ආපදාවකදී ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වයට ආසන්න නිදසුනක් ලෙස පෙන්වා දීමට පුළුවන. ඒ අර්ථයෙන් ගත් කල්හි ගෝලීය කොවිඩ් අවදානමේ තෙවන රැල්ල කලමනාකරණයෙහිලා , පුද්ගල හැසීරීම් රටාවන් වෙනස් කිරීමට මාධ්‍ය නිසිපරිදි උපයෝජනය වී නොමැති බව කණගාටුවෙන් උවත් සදහන් කල යුතුය.
කොවිඩ් අවදානම සම්බන්ධයෙන් වන , විද්‍යුත් , මුද්‍රිත හා සමාජ මාධ්‍ය සංදේශවල අන්තර්ගතවන පණිවුඩ බොහෝමයක් පක්ෂ - ප්‍රතිපක්ෂ දේශපාලන පණිවුඩ වලින් සමන්විත වනවා හැරෙන්නට , එම සංදේශ , කොවිඩ් අවදානම පිටුදැකීම සදහා පුද්ගල හැසිරීම් රටාවන් වෙනස් කිරීමට ඉවහල් වන්නාවූ පණිවුඩ වලින් පොහොසත් නොවීම කණගාටුවට කාරණයකි.
කොවිඩ් අවදානමේ අතිශය සංවේදී හා තීරණාත්මක ඉසව්වකට අපි ප්‍රවේශ වී සිටිමු. නිලවශයෙන් වාර්තාවන රෝගීන් ප්‍රමාණයට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් සමාජයේ ඇත. කොවිඩ් මරණ සම්බන්ධයෙන් වන්නාවූ තත්වය ද එසේ වීමට පුළුවන.
රෝහල් ධාරිතාවය ඉක්මවා ගොස් ඇති අතර , රෝහල් සදහා අමතරව ඉදිකෙරෙන තාවකාලිකව වාට්ටු සංකීර්ණ හෝ ඇදන් ප්‍රමාණය ඉහල නැංවීම කොවිඩ් පාලනය සදහා විද්‍යාත්මක විසදුම නොවන බව විශේෂඥ වෛද්‍ය මතය වී තිබේ.
කොවිඩ් උවදුර කෙතරම් සංකීර්ණ අවධියකට පැමිණ තිබේද යන්න තහවුරු කරන කදිම නිදසුන නම් , බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් නිවෙස්තුලම රදවාගෙන ප්‍රතිකාර කිරීම කෙරෙහි සෞඛ්‍ය අංශවල අවධානය යොමුවීමයි.
සෑම නිවසක්ම රෝහල් පරිශ්‍රයක් බවට පත් කිරීම මෙන්ම නිවසේ සිටින කොවිඩ් රොගියකුට සත්කාර කිරීමට අවශ්‍ය පරිදි නිවැසියන්ගේ (පුද්ගල )චර්යාවන් වෙනස් කිරීම යනු ආවට ගියාවට හෝ අවිද්‍යාත්මකව කලහැක්කක් නොවන්නේය.
මෙවැනි සංවේදී අවස්ථාවන් හීදී , ජනමාධ්‍යට පූරෝගාමී කාර්යභාරයක් පැවරේ. නමුත් ජනමාධ්‍ය ඒ සදහා ප්‍රවේශ වූ බවක් තවම නිරීක්ෂණය නොවීම කණගාටුවට කාරණයකි. සංනිවේදන විශේෂඥයන්, මාධ්‍ය පර්යේෂකයින් පෙන්වා දෙන්නේ මෙවැනි හදිසි සෞඛ්‍ය ආපදා තත්වයකදී කටයුතු කලහැකි, අත් හදා බැලියහැකි සංනිවේදන ආකෘති, සංනිවේදන ක්‍රමෝපායන් පවතින බවයි.
කොවිඩ් උවදුර පිටුදැකීම සදහා විශේෂයෙන් පුද්ගල හැසිරීම් රටාවන් වෙනස් කිරීම වෙනුවෙන් ඒකාබද්ධ සංනිවේදන ක්‍රියාන්විතයක් බලාත්මක කිරීම කාලීන අවශ්‍යතාවයක් බව අවධාරණය කරමු.
ඉන්දික ජයරත්න