SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ දිනවල ලෝකයේ ස්ත්‍රී ක්‍රීඩා කණ්ඩායම් ද්විත්වයක නිල ඇඳුම සම්බන්ධයෙන් ලොව පුරා අවදානය යොමුව ඇත.

ඉතිහාසයේ මෙතුවක් කල් සෑම රටකම පාහේ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන්ට නියමව ඇති නිල ඇඳුම වූයේ බිකිනි හැඩයට කපා ඇති ඇඳුමකි. මෙවර ඔලිම්පික් තරඟයට සහභාගී වුනු ජර්මානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් ඒ වෙනුවට මුළු සිරුරම ආවරණය වන නිල ඇඳුමකින් සැරසී සිටියෝය.

කතාබහට ලක්ව ඇති අනෙක් පිරිස නොර්වේ රටෙහි ස්ත්‍රී වෙරළ-අත්පන්දු කණ්ඩායමයි. ඔවුන්ද මෙතුවක් කල් පැවතුනු සම්ප්‍රදාය සහ නීතිය කඩ කරමින් වෙනදා ඇඳි බිකිනි යටිකය ඇඳුම වෙනුවට කොට කලිසමින් සැරසී යුරෝපා ශූරතා තරඟාවලියේ තරඟ පිටියට පිවිසුනෝය. මේ හේතුවෙන් යුරෝපා අත්පන්දු සම්මේලනය ඔවුනට පවුම් 1500 ක දඩ මුදලක්ද නියම කළේ පුරුෂාධිපත්‍යයේ අධිකාරිය තවදුරටත් විද්‍යාමාන කරමිනි.

 

shyama 2

 

ජර්මානු ජිමාන්ස්ටික් ක්‍රීඩිකාවන්ගේද නෝවේජියානු වෙරළ-අත්පන්දු ක්‍රීඩිකාවන්ගේද මෙම ක්‍රියාවන් මගින් පුරුෂාධිපත්‍යය තුල ස්ත්‍රීන් මුහුණපාන බරපතල ගැටළුවක් වන 'Sexual Objectification' යන්නට එරෙහිව ප්‍රබල ප්‍රකාශනයක් සහ විරෝධතාවයක් ඉදිරිපත් කර ඇත.

Sexual Objectification යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ පොදු කතාබහ තුල තවමත් ඉඩකඩක් ලබා ගැනීමට නොහැකිව ඇති මෙම සංසිද්ධියෙහි සෘජු සිංහල පරිවර්තනය 'ලිංගික වාස්තවිකරණයයි'. නමුත් මෙය අප සැමට තේරෙන අයුරින් පවසන්නේ නම් Sexual Objectification යනු ස්ත්‍රීන්ව ඔවුන්ගේ අඟ පසඟ ලෙස පමණක්, එසේත් නැත්නම් ආත්මයක් නැති ලිංගික වස්තුවක් ලෙස සැලකීමයි. තවද, ස්ත්‍රීන්ගේ සිරුරු අධි-ලිංගිකකරණය, එනම් ස්ත්‍රීන්ගේ සිරුරට පුරුෂයින්ගේ සිරුරට සාපේක්ෂව වඩා වැඩි ලිංගිකත්වයක් ආරෝපණය කිරීමේ සංස්කෘතියද එහි තවත් පැතිකඩකි.

 

shyama 3

 

අද විශේෂයෙන් 'Sex Sells' ධනවාදය තුල මෙම ලක්ෂණ අධික ලෙස, විශේෂයෙන්ම විනෝදාස්වාද ක්ෂේත්‍රය සහ වෙළඳ ප්‍රචාරණය තුල බොහෝ ලෙස දක්නට ලැබෙන්නකි. තවද, මෙය දිගු කාලයක් තිස්සේ ලොව පුරා මනුෂ්‍යය සංස්කෘතියට කිඳා බැස ඇති ස්ත්‍රී-විරෝධය, ස්ත්‍රීන් පහත් කොට සැලකීම, ස්ත්‍රීන්ගේ ප්‍රජනන කාර්යභාරය තුලින් පමණක් ස්ත්‍රීන්ව අර්ථ දැක්වීම වැනි අගතීන් හා සෘජුව ගැටගැසී ඇත.

ජර්මානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන්ද, නෝවේජියානු වෙරළ-අත්පන්දු ක්‍රීඩිකාවන්ද බිකිනිය බැහැර කිරීමේ සඛේතාත්මක වටිනාකම, ලිංගික වාස්තවිකරණයට එරෙහිව ස්ත්‍රීන් තම සිරුරු වසාගත යුතුය යන්න ලෙස වරදවා වටහා නොගත යුතුය. මෙහිදී ඔවුන් පහර ගහන්නේ ස්ත්‍රී ලිංගිකත්වයට නොව ස්ත්‍රී ලිංගිකත්වය පාලනය කරන, ස්ත්‍රී ලිංගිකත්වය මර්දනය කරන පුරුෂාධිපත්‍යයටයි. බිකිනිය බැහැර කිරීමෙන් ඔවුන් සංඛේතවත් කරන්නේ තමන් අඳින ඇඳුම ඔවුන්ගේ අයිතියක් හා තීරණයක් බව සහ එය 'පිරිමි බැල්ම' අනුව තීරණය විය යුතු දෙයක් නොවන බවයි.

 

AA 

 

ස්ත්‍රීන්ගේ අඟ පසඟ නිරාවරණය වී තිබීම ඔවුන්ට වාචික හෝ ශාරීරික හිංසනයන් සිදු කිරීමට අවසරයක් යැයි පවසන කීප දෙනෙකුගේම හඬ මෑතකදී අප රටේ සමාජ මාධ්‍යවල ඇසෙන්නට ලැබුණි. පහත දක්වා ඇති උඩුකය නිරාවරණය වූ ස්ත්‍රී පිළිමය ශ්‍රී ලංකාවෙන් සොයාගෙන ඇති තාරා දේවී ප්‍රතිමාවකි. 'තාරා' බෝසත් ගණයට අයත් දේවතාවියකි. 7 හෝ 8 වැනි සියවසට කාල නිර්ණය කර ඇති මෙම අනර්ඝ ප්‍රතිමාව බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ 'ලෝක ඉතිහාසය කෞතුක භාණ්ඩ සියයකින්' (History of the world in 100 objects) ලෙස නම් කර ඇති කෞතුක භාණ්ඩ එකතුවටද ඇතුලත්ය. ස්ත්‍රී රූපය දෙස, එහි සුන්දරත්වය දෙස අධි-ලිංගිකකරණයෙන් තොර වූ ඇසකින් බලන්නේ කෙසේද යන්නට උදාහරණ බොහොමයක් අප රටේ අතීත කලාකරුවන් විශිෂ්ට ලෙස පෙන්වා දී ඇත.

 

@ ශ්‍යාමා බස්නායක

ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ සාමාජිකා

නවතම ලිපි