SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් නැවත වතාවක්

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (20) දින නිතරඟයෙන් තේරීපත්ව ඇත.

 

ක්‍රම සහ විධි පිළිබඳ කාරකසභා සාමාජිකයන් වන ලසන්ත අලගියවන්න, වසන්ත යාපා බණ්ඩාර, අනුරාධ ජයරත්න, ඩබ්ලිව්.ඩි.ජේ. සෙනවිරත්න, සිසිර ජයකොඩි, උදයන කිරිඳිගොඩ, සංජීව එදිරිමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඒකමතික තීරණය අනුව සභාපති තනතුර සඳහා වසන්ත යාපා බණ්ඩාර මහතා විසින් පාඨලී චම්පික රණවක මහතාගේ නම යෝජනා කර ඇති අතර ලසන්ත අලගියවන්න මන්ත්‍රීවරයා  විසින් එම යෝජනාව ස්ථිර කර තිබේ.

 

පසුගිය සැසි වාරයේ පැවති කමිටුවේදී පාඨලී චම්පික මන්ත්‍රීවරයාගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රම සහ විධි කමිටුව විසින් රටේ ආර්ථිකය ශක්තිමත් වන ලෙස නොගෙවූ බදු අයකරගනිමින් විශාල වැඩකොටසක් සිදුකළ බව ජනාධිපතිවරයා පවා පිලිගෙන තිබුණි. එහෙත් මෙම සැසි වාරය ආරම්භ වූ පසු ක්‍රම සහ විධි පිළිබඳ කාරකසභා සාමාජිකත්වය පවා පාඨලීට නොදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර තිබුනි.

 

මේ අතර  එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකව රාජ්‍ය මුදල් කාරක සභාවේ සාමාජිකයෙකු වශයෙන් ද පත්කර ඇතැයි වාර්තා වේ.

 

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අනුමැතියට යටත්ව පාඨලී චම්පික රණවක ව  මෙම කාරක සභාව සඳහා තෝරා පත්කර ගත් බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් අද (20) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

 

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපතීත්වය හිමිවීමෙන් අනතුරුව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා  මාධ්‍ය වෙත දැක්වූ අදහස් ..

 

"අද දින පාර්ලිමේන්තුවේ රැස්වුණා අලුතෙන් නම් කරන ලද ක්‍රම සහ විධි කාරක සභාව. යම් කාලයක පමාවක් තිබුණා. ඒ ගැටළු සියල්ල විසඳගෙන පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් එකතුවෙලා ක්‍රම සහ විධි කාරක සභාව නැවත ස්ථාපිත කිරීම සඳහා කටයුතු යෙදුණා. මම ස්තූතිවන්ත වෙනවා ආණ්ඩුවෙත් ඒ වගේම විපක්ෂයේත් ඒකමතික තීරණයෙන් එහි සභාපති ධූරයට මාව පත්කර ගැනීමට නැවත වතාවක් ක්‍රියා කිරීම ගැන.

ඒ වගේම ක්‍රම සහ විධි කාරක සභාවේ පළමු වාර්තාව ගිය වසරේ නිකුත් වුණා. දෙවන වාර්තාව අපි ලබන අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තු සැසියට ඉදිරිපත් කිරීමට නියමිතයි. විශේෂයෙන්ම ලංකාවේ ගනුදෙනු, ඉලෙක්ට්‍රොනික පද්ධතියකට ළඟා කරගෙන බදු වැඩි කිරීමකින් තොරව අපගේ ආදායම් දෙගුණ කරගැනීමේ යෝජනා කරලා තියෙනවා.

ඒ වගේම ලංකාවට පිටරටින් ගෙන්වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැදගත් ප්‍රතිපත්ති තීරණ කිහිපයක් එහි තිබෙනවා. අපට පෙනී ගොස් තිබෙනවා. ලංකාවට ගෙන්වන ආනයනික භාණ්ඩ කිරිපිටි, පාන් පිටි, අර්තාපල්, ලොකු ළුණු වැනි දෑ වලින් 300% අධික ලාභ උපයන බව අතිරේක වෙළෙන්දන්. එක පැත්තකින් රේගු දෙපාර්තමේන්තුවට ආදායම් අහිමි වෙනවා. අනිත් පැත්තෙන් මේ රටේ පාරිභෝගිකයන් ඉතා දරුණු ගසා කෑමකට ලක්වෙනවා.

ඒ නිසා ඊළඟ සැසිවාරයේදී ඒ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් ඇති කරගන්න අපි තීරණය කළා එම වාර්තාවත් පදනම් කරගෙන. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීන් සියලු දෙනාටම විවෘත කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා.

ඒ කාරක සභාවේ ගිය වසරේ සාර්ථක ලෙස අපිට පුළුවන් වුණා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි කර ගැනීමට දායක වෙන්න. රේගු දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි කර ගැනීමට දායක වෙන්න.

ඒ වගේම දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු යම් ආකාරයකට පිළිවෙලක් කරන්න. එහිදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ පුළුල් විග්‍රහයක් අපේ පළවෙනි වාර්තාවෙත්, ඒ වගේම දෙවෙනි වාර්තාවෙත් ඊටත් වඩා ඉදිරියට ගිය වැඩ පිළිවෙලක් අපි යෝජනා කරලා තියෙනවා.

ඒ සඳහා පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව සහයෝගය දීපු සියලුම මන්ත්‍රීතුමන්ලාට මගේ ස්තූතිය පිරිනමන අතර, අපක්ෂපාතීව, ස්වාධීනව මේ කමිටුවේ කටයුතු ඉදිරි කාලයේදීත් පවත්වගෙන යාමට අපට හැකියාව ලැබෙන බවට, අපිට විශ්වාසයි. ඒ පිළිබඳව අපි ක්‍රියාකරන්න කැපවෙන බව ප්‍රකාශ කරනවා."

 

@මාධ්‍ය ඒකකය

නවතම ලිපි