SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සුහුරු තාක්ෂණ සේවා මගින් ඩොලර් බිලියන පහක ආර්ථිකයක් නිර්මාණය කළ හැකි බව පාඨලී අවධාරණය කරයි.

සුහුරු තාක්ෂණ සේවා මගින් ඩොලර් බිලියන 5 ක ආර්ථිකයක් නිර්මාණය කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

 

ඒ සඳහා දැනුම් ආර්ථිකය වර්ධනය කළ යුතුය. සාම්ප්‍රදායික ආදායම් උත්පාදන මාර්ගවලට වඩා, නව ක්‍රමවේද මගින් ආර්ථිකය ශක්තිමත් කිරීමේ හැකියාව ලැබේ. එහිදී සුහුරු හෙවත් ස්මාට් තාක්ෂණයට ප්‍රමුඛත්වය හිමිවෙයි. ශ්‍රී ලංකාව ද ඉදිරියේදී නව ආර්ථික ප්‍රවේශ අනුගමනය කළ යුතුය. සුහුරු තාක්ෂණය ඉන් ප්‍රමුඛ වෙයි. ඒ යටතේ ඩොලර් බිලියන පහක ආර්ථිකයක් සැකසිය හැකි බව ජනරජ පෙරමුණේ නායකයා පෙන්වා දුන්නේ, රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනරජ පෙරමුණු සමුළුවේදීය.

 

WhatsApp Image 2024 03 31 at 11.11.03 AM

 

ශ්‍රි ලාංකිකයෝ ලක්ෂ 40 ක් විදේශ වල වෙසෙති. ඔවුන් ඉලක්ක කළ නිෂ්පාදන ක්‍රියාවලියක් සැකසිය යුතුය. එමගින් ආදායම් උත්පාදනය කළ හැකි බව පාඨලීගේ අදහසයි. 2014 දී බලයට පත්වීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එවැනි ක්‍රියාමාර්ගයක නිරත විය. ඉන් ඉන්දීය ආර්ථිකය ශක්තිමත් වී තිබේ. ඉන්දීය ජනගහනයෙන් විදේශගතව ඇත්තේ සියයට 2 කි. එහෙත් ශ්‍රී ලාංකිකයන් සියයට 20 ක් විදේශගතව තිබේ. ඒ අනුව වඩාත් හොඳින් විදේශ වෙළඳපොල ඉලක්ක කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇතැයි ඔහු පෙන්වා දෙයි.

 

මේ අතර ජනතාවට ඇතිවී තිබෙන ආර්ථික පීඩනය, විධිමත් වැඩපිලිවෙලක් යටතේ ඉවත් කළ හැකි බව හෙතෙම අවධාරණය කරයි. විදුලි බිල සියයට 50 කින් අඩු කළ හැකිය. ඩීසල් හා භූමිතෙල් මිල ද අඩු කළ හැකි බව පෙන්වා දෙන පාඨලී කියන්නේ  පාරිභෝගික භාණ්ඩවලින් ව්‍යාපාරිකයන් ලබන අධි ලාභ ඉවත් කළ යුතු බවය.

 

ඇතැම් ව්‍යාපාර සියයට තුන්සියයක් ලාභ ලබන බව හෙළිව තිබේ. උදාහරණයක් ලෙස සියලු බදු ඇතුළත්ව රටට ආනයනය කරන ලොකු ළූණු කිලෝග්‍රෑමයකට ආනයනකරු වැය කරන මුදල රුපියල් 92 කි. එහෙත් සිල්ලර විකුණුම් මිල කිලෝග්‍රෑමයක් රුපියල් 700 ඉක්මවයි. මෙවැනි අධි ලාභ පාලනය කිරීමෙන් භාණ්ඩ මිල අඩු කළ හැකිය. ඊට අවශ්‍යවන්නේ විධිමත් ස්ථාවර වැඩපිළිවෙළකි.

 

ඊට සමගාමීව නිවසේ ආර්ථිකය වර්ධනය කළ යුතුය. වියදම් අඩු කර, ආදායම් වැඩිකිරීම අවශ්‍යතාවකි. ඒ සඳහා නිවැරදි ආර්ථික කළමනාකරණයක් පැවතිය යුතු බව ජනරජ නායකයා කියයි. සම්පත් සහිත කියුබාව, වෙනිසියුලාව, මියන්මාරය ආදී රටවල් ආර්ථික වශයෙන් බිඳ වැටී ඇත්තේ අයහපත් සහ අසංවිධිත ආර්ථික කළමනාකරණයෙනි. එහෙත් සම්පත් නොමැති සිංගප්පූරුව, ඩුබායි ආදී රාජ්‍ය විධිමත්, සංවිධිත කළමනාකරණක් මගින් දියුණු ආර්ථිකයක් නිර්මාණය කරගෙන තිබේ. එවැනි තත්ව අවධානයට ගනිමින් විධිමත්, නිවැරදි ආර්ථික කළමනාකරණයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දිය යුතු බව ඔහු කියයි.

 

රාජ්‍ය සේවයේ කාර්යසාධනය ද ඊට වැදගත් වෙයි. දෙකෝටි විසි ලක්ෂයකට සේවා සැපයීම සඳහා රාජ්‍ය ආයතන 1200 කි. එහෙත් ප්‍රමාණවත් කාර්යක්ෂමතාවක් දක්නට නැත. ඒ නිසා කාර්යසාධන ක්‍රියාවලියක් ඔස්සේ රාජ්‍ය ආයතන සේවා ශක්තිමත් කළ යුතු ය.

සේවකයන් සඳහා කාර්යසාධන දර්ශක හඳුන්වා දිය යුතුය. ඒ මත පදනම්ව වැටුප් වර්ධක සහ උසස්වීම් ආදිය ලබාදීම වඩාත් සාධාරණ ක්‍රමවේදයකි. රාජ්‍ය ආයතන සංඛ්‍යාව අඩු කළ යුතුය. ඇතැම් ඒවා ඒකාබද්ධ කිරීමත්, ප්‍රතිව්‍යුහගත කිරීමත්, පෞද්ගලීකරණයත්, වසා දැමීමත් විසඳුම් ක්‍රියාමාර්ග බව එක්සත් ජනරජ පෙරමුණු නායකයා සඳහන් කරයි.

 

WhatsApp Image 2024 03 31 at 11.11.02 AM

 

මෙම අර්බුද විසඳීමට හැකි යෝජනා මාලාවක් එක්සත් ජනරජ පෙරමුණ සකසා ඉදිරිපත් කර තිබේ. ඒ සම්බන්ධව විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කර ඇත. එහිදී ජනාධිපතිවරණය ආශ්‍රිත තීරණාත්මක ඉදිරි කාල පරිච්ඡේදය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ද පාඨලී චම්පික පවසයි. 2015 සිට වසර 5 ක බල කුමන්ත්‍රණයක් සැලසුම් සහගතව ක්‍රියාත්මක කෙරිණ. එහිදී සිංහල මුස්ලිම්, බෞද්ධ ඉස්ලාම් ගැටුම් වර්ධනයට පියවර ගැනිණ. එම තත්වය ගෝඨාභය බලයට පත්වීම දක්වා ක්‍රියාත්මක වූ බව පෙන්වා දෙන පාඨලී  එවැනි කුමන්ත්‍රණ නැවත උද්ගතවිය හැකි කාලසීමාවක් ඉදිරියේ ද එළඹෙන බව කියයි. ඒ පිළිබඳව ජනතාව අවධානය යොමු කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

 

ඇමරිකා පුරවැසි බැසිල් පාර්ලිමේන්තු මැතිවරණයක් පිළිබඳ අදහස් දැක්වීම ද අවධානයට ලක්විය යුතුය. ඔවුන්ගේ අරමුණ රාජපක්ෂලා  පස්දෙනෙකු නැවත පාර්ලිමේන්තුවට ගෙන ඒම මිස ජනතා ගැටලු විසඳීම නොවන බව පාඨලීගේ අදහසයි. පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍ය බවට බැසිල් යෝජනා කර ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි. එහෙත් ජනාධිපතිවරයා කළයුත්තේ ජූනි මාසය වනවිට ණය ප්‍රතිව්‍යුහගත කර රටේ ආර්ථිකය ස්ථාවර කිරීමයි. විදේශිකයෙකුට අවශ්‍ය පරිදි නැවත රට වෙනස් කිරීමට ජනාධිපති ක්‍රියා නොකළ යුතු යැයි පාඨලී අවධාරණය කරයි.

 

මේ අතර, රටේ අර්බුද විසඳිය හැකි ප්‍රායෝගික වැඩපිළිවෙලක් එක්සත් ජනරජ පෙරමුණ සතු බව රණවක මහතා කියයි. ඒ සඳහා විවිධ පාර්ශව වල සහාය ලබා ගැනේ. දූෂිතයන් ඊට සම්බන්ධ කර නොගන්නා බවට හෙතෙම සහතික වෙයි. වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාව සංවර්ධනය කර, ජනතාවට පීඩනයකින් තොර අනාගතයක් නිර්මාණය කළ හැකි බව ජනරජ පෙරමුණු නායකයා පෙන්වා දුන්නේ රත්නපුර නගර ශාලාවේ පැවති දිස්ත්‍රික් සමුළුවේදී ය.

 

සමුළුවට එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක, වරලත් ඉංජිනේරු සුමේධ රත්නායක, දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, උපදේශක මණ්ඩල සාමාජික ඉනෝකා සත්‍යාංගනී, රත්නපුර දිස්ත්‍රික් කළමනාකාර වෛද්‍ය කේ. රංජිත් රූපසිංහ ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

WhatsApp Image 2024 03 31 at 11.11.01 AMWhatsApp Image 2024 03 31 at 11.11.04 AMWhatsApp Image 2024 03 31 at 11.11.05 AM

 

@මාධ්‍ය ඒකකය

නවතම ලිපි