SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහනායක හිමිවරුන් බැහැ දකින්නට මහනුවර ගිය අවස්ථාවේ සිදුකළ ප්‍රකාශයක් අළලා මේ වනවිට ශ්‍රිලනිපය තුළ පමණක් නොව රටේද,

රටේ පමණක් නොව කලාපයේ භූ දේශපාලනය තුළ ද සැඟවුනු කුණාටුවක් හමමින් තිබෙන්නේ ය.

 

ඇත්ත වශයෙන්ම අප මීට පෙරද සඳහන් කළේ පසුගිය සිද්ධි දාමය සහ ඒ හරහා ඔහු පත්ව ඇති භීතිය හේතු කොටගෙන සිරිසේන ජනාධිපතිවරයා ගේ මානසික පසුබිම යහපත් තත්වයෙන් නොපවතිනවා යැයි  අනුමාන කළ හැකි බව ය.

 

ඒ අතරම පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිවයින පුරා විසිරී සිටින ප්‍රාදේශීය පළාත් සහ ආසන සංවිධායකවරුන් ඩාලි පාරේ පක්ෂ  මූලස්ථානයට ගෙන්වූ අතර එදින මහින්ද අමරවීර, දුමින්ද දිසානායක සහ ලසන්ත අලගියවන්න  පක්ෂය තුළ දැරූ තනතුරු වලින් ඉවත් කළ බවත් පුවත් පළ උනේ ය.

 

slfp 4

 

මුලදී මෙම රැස්වීම යොදාගෙන තිබුණේ ශ්‍රිලනිප මූලිකත්වයෙන් ඇරඹීමට නියමිතව තිබූ මැද සන්දානය පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීමට සහ ජනරජ පක්ෂයේ නායක පාඨලී චම්පික විසින් එළිදක්වා තිබූ දේශය වෙනුවෙන් එක් පියවරක් ප්‍රකාශනය පිළිබඳ පක්ෂයේ සංවිධායකවරුන් වෙත අදහස් දැක්වීමක්  සඳහා ය. ඒ සඳහා පාඨලීට ආරාධනා කොට තිබුණා යැයි කියැවේ.

 

එහෙත් ඊට පෙර සතියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමග නැවත වතාවක් ඔහු සම්බන්ධ විරෝධතාව සමාජයේ කතාබහට ලක්විය.

මේ නිසා දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ චම්පික රණවක එදින වෙනත් කොළඹින් බැහැර කටයුත්තක නියැලී ඇති බවත් ශ්‍රිලනිපය වෙත ලිඛිතවම එදින සහභාගී විය නොහැකි බව දන්වා ඇතැයි කියාය.

 

මේ නිසා පක්ෂයේ සංවිධායකවරුන් පැමිණෙන නිසා ශ්‍රිලනිපයේ ඉතිහාසය පිළිබඳ දේශනයක් සිදුකිරීමට කෙනෙකුව සොයා ගැනීමට සිරිසේන ජනාධිපතිවරයාට අවශ්‍ය විය.

 

slfp 2

 

එහිදී නීතීඥ සංගමයේ සභාපති ධූරයට ගුණරත්න වන්නිනායක පත්වීම නිමිත්තෙන් පැවති සාදයේදී මෛත්‍රීපාල හිටපු ජනාධිපතිවරයාට විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිව හමුවී ඇත.

ඒ හමුවේ ප්‍රතිඵලයක් ලෙසත් විජේදාස රාජපක්ෂ හරහා නීතී සහායය ලබාගැනීමට හැකි යැයි සිතීම නිසාත් විය හැකි ආරාධනයක් හිටපු ජනාධිපතිවරයා විසින් සිදු කර තිබුණි.

ඒ ඩාලි පාරේ පක්ෂ රැස්වීමට පැමිණ ශ්‍රිලනිපයේ ඉතිහාසය ගැන දෙසන්නට ය.

 

මෙවන් අවස්ථාවන් මග හැර නොයන්නෙකු ලෙස ප්‍රසිද්ධ අධීකරණ ඇමතිවරයාට දෙසුමක් පවත්වන්නට අවස්ථාවක් ලැබුණා පමණක් නොව සතියක් පුරාම ශ්‍රිලනිපයේ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුස්සෙක් ලෙස ඉදිරිපත් වීමට නියමිත බවටත් පුවත් මවන්නට හැකිවිය.

 

කොසේ වුවත් විජේදාස රාජපක්ෂගේ මෙම සහභාගීවීමට ශ්‍රිලනිපයේ පාර්ශ්ව ගණනාවක විරෝධයක් තිබුනද තමාට එරෙහිවන්නන්ට පක්ෂයේ තීන්දු තීරණයන්හිදී යටින් උගුල් අටවන්නෙකු බවට පත්ව සිටින ශ්‍රිලනිප සභාපතිවරයා එය වෙනත් ලෙසකින් පක්ෂයේ තවත් අර්බූධයක් කරා දක්කා ඇත. මෛත්‍රීගේ  මෙවැනි ක්‍රියාකලාපයන්  ගැන දන්නා නිසාම චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියද මේ වනවිට මැද සන්දානය සංවිධානය කිරීමේ කාර්යයෙන් ඈත්ව ඇති බවද ආරංචිමාර්ග පසුගිය දිනවල සඳහන් කර තිබුණි.

 

විශේෂයෙන්ම අනුර යාපා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ටයින් මෛත්‍රීව විශ්වාස කළ නොහැකි අයෙක් යැයි කියා ඔහු කොයි මොහොතේ කුමක් කරාවිද යන්න අවිනිශ්චිත නිසාත්  ඔහුව නායකත්ව මණ්ඩලයේ තබාගත නොහැකි බවට තරයේම කියා ඇත.

 

කෙසේ වුවද චම්පික රණවක මන්ත්‍රීවරයා එදා එම වැඩසටහනට පැමිණියා වුවද පක්ෂයේ ජ්‍යෙෂ්ටයින් තිදෙනෙකුව ඉන් ඉවත්කිරීමේ අරමුණ තුළ ‌සභාපතිවරයා තුළ තිබී ඇත. එසේ වූවා නම් ඉවත් කළ ජ්‍යෙෂ්ටයින්ට පාඨලී සම්බන්ධයෙන් වැරදි අදහසක් ඇතිකරලීමටත් එය  හේතුවක් වනු ඇත. ඒ අනුව පාඨලීගේ හිතවතුන්ගේ  මතය වන්නේ පාඨලී උගුලකින් ගැලවුනු බව ය. නැතහොත් මාරක අපලයකින් අනූනවයෙන් බේරුනු බව ය.

 

කෙසේ වුවද මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් බොහෝ දේශපාලකයන්ගේ මහගෙදර වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාස කරමින් සිටින බව පක්ෂයේ හිතවතුන්ගේ අදහස ය.

ඔහුගේ නඩු හාරසිය ගණන මෙන්ම කෝටි ගණනක වන්දි පිළිබඳව නොසලකා හැරියද පාස්කු සිද්ධිය පිළිබඳව වරින්වර ඔහු ගෙන එන විවිධ කතා විසින් ඔහුගේම විනාශය පක්ෂයේ විනාශය බවට පත්කිරීමට පියවර ගනිමින් සිටුනු දැකිය හැකි ය යන්නයි  කලක් සමීපව සිටි හිතවතුන්ගේ මතය වී ඇත්තේ.

 

slfp 3

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු තවත් එක් දේශපාලන පක්ෂයක් නොවී මනෝභාවයක් වන්නේ ඇයි?

 

යූඇන්පීය දියකර වෙනත් පක්ෂයක් ගොඩනැගිය හැකි වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු මහගෙදරක් ලෙස එළියට යන අය වුවද නැවත ඒ සමග එක්වන්නට පැමිණෙන පක්ෂ මනෝභාවයකි.

එනිසා තම තනතුරුවලින් ඉවත්කර තිබියදීත් මහින්ද අමරවීරලා විසින් තම හදවතේ පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  හැර දමා වෙනත් කිසිදු පක්ෂයකට නොයන බව කියන්නේ ය.

විශේෂයෙන් ලංකාවේ ඔිනෑම පක්ෂයක  සිටින්නෙකුට ඇතුල් විය හැකි එකඟ විය හැකි මැද මාවතේ ජාතිකවාදී පක්ෂයක් ලෙස එය පවතින්නකි.

එහෙත් මෛත්‍රී තවදුරටත් ශ්‍රිලනිපය තුළ රැඳී සිටියහොත් පක්ෂය කිසිදා ගොඩ නොනැගෙනු ඇතැයි යන්න පොදු මතයක් ව ඇත.

මන්ද මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කව්රුන් මත හෝ යැපී තමාට එරෙහිව ඇති පාස්කු ප්‍රහාරයේ වරදින් ගැලවෙන්නට නිරන්තර උත්සාහයක නියැලෙන්නේ ය. ඒ සඳහා ඔහු පක්ෂය පාවිච්චියට ගනු ලබන්නේ ය.

 

slfp 5

 

එහිදී මුල සිටම මෛත්‍රී සිදුකළ වැරදි කිහිපයක් ඉතිහාසය තුළ අප දැක ඇත්තෙමු.

 

යහපාලන රජයේ විධායක ජනාධිපතිවරයා බවට පත්ව සිටියදී ඔහු අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ආරක්ෂා වීම සඳහා තම ප්‍රතිවාදීන්ගේ පිහිට පැතීය.

එහිදී ශිරන්ති සහ නාමල් පැමිණ මෛත්‍රී හමුවී මහින්ද රාජපක්ෂව අගමැති කරන ලෙසත් ඒ වෙනුවෙන් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීට දෙන බවටත් පොරොන්දු වී තිබුණි. ඒ පොරොන්දුව මත දින 51 ආණ්ඩුව බිහිවූ අතර ව්‍යවස්ථා විරෝධී එම පත්කිරීම් අධීකරණය මගින් පරාජයට පත් කෙරිනි.

නැවත වරක් විධායක ජනාධිපති පුටුවට පත්වීමට ඔහුට තිබුණේ සිහිනයකි. ඒ සිහිනය ඉෂ්ට සිද්ධ කරගැනීම වෙනුවෙන් රාජ්‍ය නායකයා ලෙස විය යුතු වගකීම්, ජාතික ආරක්ෂාව සම්බන්ධව  ඔහුගෙන් මගහැර යාමක් වූයේ නම් ඒ යළිත් බලයට පත්වීමේ උවමනාව මතම පමණක් යැයි හැඟිය හැකිය.

දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවූ පාස්කු ප්‍රහාරය නිසා සිදුවූයේ රාජපක්ෂ පවුලේ අයෙකු කෙරෙහි ජනතා විශ්වාසය යළි සකස්වීම පමණි. ගෝඨාභය සිංහල සමාජයේ ඡන්දවලින් 69 ලක්ෂයක ජන වරමක් හිමි කරගත්තේ ද පාස්කු ප්‍රහාරය සමග ඇතිව තිබූ ජාතික ආරක්ෂාව පිළිබඳ අර්බූධයට පිළියම් සෙ බව විචාරකයින්ගේ මතය විය.

 

කෙසේ හෝ වර්තමාන ප්‍රකාශයන් හා ඉන්දියාවට ලැබී ඇති චෝදනාවන් සමග අවසානයේ ශ්‍රිලනියට සම්බන්ධ අයට වීසා වත් නොලැබෙනු ඇති බව හිතවතුන්ගේ අදහස වී ඇත.

 

ඉන්දියාව යනු හැමවිටම ලංකාවටත් වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිත්‍රශීලී සහ හිතවත් රටක් විය.

 

මෛත්‍රී විශ්‍රාම ගත යුත්තේ ඔහු නායකත්වයේ තවදුරටත් සිටීමෙන් තම ආතතිය වර්ධනය වනවා පමණක් නොව එදිරිවාදීන් ද වැඩි වන බැවිනි.

එසේම මෛත්‍රී විශ්‍රාම යා යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුණු කොල්ලයට විකුණා විනාශ කර දැමිය හැකි නිසා ය.

මෛත්‍රී විශ්‍රාම ගත යුත්තේ තවදුරටත් බලයේ රැඳී සිටිමින් භීතියෙන් කල් ගෙවනවාට වඩා සාමකාමී සන්ද්‍යාවක් ගත කිරීම තම සෞඛ්‍යයට හිතකර වන නිසා ය.

 

@Political Gossip

සමාරා පරණවිතාන

නවතම ලිපි