SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පැවැත්වීමට මේ අවස්ථාවේ නොහැකි බව මැතිවරණ කොමිසම පවසයි. 

එහි ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු පැවසුවේ, මෙරට මැතිවරණ පැවැත්වීමේ ක්‍රමවේදය අනුව එය ප්‍රායෝගික නොවන බවයි.

 

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පැවැත්වීමේ සූදානමක් පවතින බවට දේශපාලන පක්ෂ නියෝජිතයින් සිදු කරන අදහස් දැක්වීම් පිළිබඳව මාධ්‍ය විසින් කළ  විමසීමකදී මැතිවරණ කොමිසම මේ බව පැවසුවේ ය. 

 

ජනාධිපතිවරණය සඳහා නිකුත් කෙරෙන්නේ මුළු දිවයිනටම එක් නිල ඡන්ද පත්‍රිකාවක් පමණක් බවත් මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික් 22 ක සඳහා ඡන්ද පත්‍රිකා 22 ක් නිකුත් කිරීමට සිදුවන බවත් නිළධාරියා විසින් පෙන්වා දෙයි. 

 

එමෙන්ම මැතිවරණ දෙකක් එක් අවස්ථාවක පැවැත්වීම හා එහිදි ඡන්දය ප්‍රකාශ කිරිම පිළිබඳ මෙරට ඡන්ද දායකයින්ට නිසි දැනුමක් නොමැති වීමද ප්‍රධාන ගැටලුවක් බව කොමිසම පවසයි.

 

එමෙන්ම ඇතැම් දේශපාලන පක්ෂ  මහ මැතිවරණය සඳහා තරග කළද  ජනාධිපතිවරණයේදී ඔවුන් වෙනත් අපේක්ෂකයෙකුට සහය පල කර තරඟ නොකර සිටීම හේතුවෙන්ද යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත විය හැකි බව ඔවුන්ගේ අදහස වී ඇත.

 

ඒ අනුව මැතිවරණ කොමිසම පවසන්නේ මෙවැනි ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එක් දිනක පැවැත්වීම සිදු කළ නොහැකි බවයි. 

 

එමෙන්ම ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එක් දිනක පැවැත්වීම සඳහා මෙතෙක් කිසිදු පාර්ශ්වයක් තමන්ගෙන් ඉල්ලීමක් නොකළ බවද  මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශ කරයි.

නවතම ලිපි