SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉරානය සහ ඉරාකයේත් යේමනයේත් සිටින ඉරාන හිතවාදී සටන්කාමීන් පසුගිය 14 වැනිදා

ඊශ්‍රායලයට මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යානා 300 ක් යොදා ගනිමින් කළ ප්‍රහාරයට දිනක් ගතවී ඇත. සුපුරුදු ලෙස මෙම ප්‍රහාරය  හෙලා දකිමින් ලෝක නායකයන් පණිවුඩ නිකුත් කරමින් පවතී.

 

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් සහ යුරෝපා සංගමය වෙනුවෙන් එහි ප්‍රධාන රාජන්‍ තාන්ත්‍රිකයකු වන ජොසෙප් බොරෙල් විසින් ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය ඔවුන් හෙලා දකින අතර එය කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවත් දන්වයි.

 

ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් න්‍යෂ්ටික අවි යොදාගනිමින් සිදුකරන  ප්‍රහාරයන් වල සාධාරණ අසාධාරකම් වර්ග කරන්නෝ වී ඇත. එ‌සේ නැතහොත් යටින් උගුල් අටවා මතුපිටින් ඒ පිළිබඳ කණගාටුවද පළ කරති.

 

ඊශ්‍රායලය විසින් ගාසාවට නොනවත්වා ප්‍රහාර එල්ල කරමින් නිරායුධ දරුවන්, ගැහැණුන් සහ මහල්ලන් බුරුතු පිටින් මරද්දී, තුවාල වෙද්දී, නිරාහාරව අධික  සීතලෙන්  මියයද්දී දෙයාකාරයකින් ප්‍රජාතන්ත්‍රවාදය දේශනා කරමින් කල් ගනිමින් ඇත.

 

මේ අතර යුක්ක්‍රේනය හා යුධ වදින රුසියාව මෙන්ම අනාගතයේ එළැඹීමට නියමිත විනාශයකට පුරෝගාමියෙක් විය හැකි   චීනය ද  ප්‍රහාරය සම්බන්ධයෙන් සිය  කනගාටුව පළ කරමින් කියන්නේ  හටගත් අර්බුදය තවත් දුරදිග යෑමට ඉඩ නොතැබීමට සියලු පාර්ශ්ව වගබලාගත යුතු බවය.

 

මේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ඊනියා මානවවාදයේ තවත් පැතිකඩක් හරහා  කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඉරාන ප්‍රහාරය හෙලා දකිමින් ඊශ්‍රායලයට දිගින් දිගටම සහාය දෙන බව අවධාරණය කර ඇත. ගාසා තීරය අද එකම මළගමක් කරන්නට මූලික වන ලෝක බලවතුන් මොවුන් ය.

 

මේ අතර ජාවාරම් ලෝකයේ හැම දිසාවකින්ම මෙම ප්‍රහාරයන් සම්බන්ධව විවිධ ප්‍රකාශ නිකුත් වෙමින් ඇත. ඊශ්‍රායලයට ඉරානය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ශුද්ධෝත්තම පාප්තුමන් ද සිය කනස්සල්ල පළ කර ඇත. එහිදී  මැදපෙරදිග කලාපයේ හටගත් ගැටුම්කාරී තත්ත්වය කඩිනමින් අවසන් විය යුතු බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් කියා ඇත.

 

මෙහිදී ඉරාකයේ පිළිතුර වන්නේ වෙනත් තරවටුවකි.

ඉරානයට නැවත වරක් පහර දීමට ඊශ්‍රායලයට ඇමෙරිකාව සහාය ලබාදුනහොත් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මොහොම්මඩ් බගේරි ප්‍රකාශ කර ඇත.

 

එමෙන්ම ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් නැවතත් ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් වඩාත් දරුණු ලෙස එම ප්‍රහාර වලට පිළිතුරු ලබාදෙන බව මොහොම්මඩ් බගේරි අනතුරු ඇඟවයි.

එය  ඩ්‍රෝන සහ මිසයිල 300 කට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කරමින් පසුගිය සෙනසුරාදා එල්ල කළ ප්‍රහාරයට වඩා විශාල එකක් වනු ඇති බව මේජර් ජෙනරාල්වරයා ගේ අදහස ය.

 

ඊශ්‍රායලයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට දින කීපයකට පෙර කලාපීය අසල්වැසියන්ට ප්‍රහාරය පිළිබඳ දැනුම් දුන් බවත් සිය රටේ ආරක්ෂාව වෙනුවෙන් සීමාවන් සහිත ප්‍රහාරයක් ඊශ්‍රායලයට එල්ල කරන බව ඇමෙරිකාවටද දින කීපයකට පෙර දැනුම් දුන් බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් එරට සිටින තානාපතිවරුන් අමතමින් ප්‍රකාශ කර ඇත.

 

ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා කියන්නේ ඊශ්‍රායල ප්‍රහාරයට පිළිතුරු ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවත් නැවතත් ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල නොකළහොත් මෙම අර්බුදය මෙතනින් අවසන් වන බව ය.

 

එහෙත් යුද්ධය නැමැති පුරුෂ උවමනාවට අනුව මෙය මෙතෙකින් අවසන් නොවන අතර සිදුවන විනාශය කොතෙක් විනාශ වුවද පලිගැනීම සහ යටත් නොවීම, තම යුධමය ඉතිහාසයට කැළලක් ලෙස සැලකීම වැනි මුග්ධ උවමනාවන් සංතෘප්ත කරගැනීම වෙනුවෙන් මෙම අමනයන් විශාල ප්‍රාණීන් සංඛ්‍යාවක් බිලි දෙනු නිසැක ය. ඒ සඳහා ලොව ප්‍රභලම වර්ගයේ න්‍යෂ්ටික මෙවලුම් භාවිතා වනු ඇත.

 

තෙවන ලෝක යුද්ධයකින් මඩි තර කර ගැනීමට මගබලා සිටින ඊනියා ලෝක බලවතුන් ඇස් දල්වාගෙන බලා සිටින්නේ ඒ සමාරම්භය දෙස ය.

පසුගිය සෙනසුරාදා එල්ල කළ ප්‍රහාරයේදී සියයට 99 ඩ්‍රෝන සහ මිසයිල බිම දැමීමට ජෝර්දානයේ, ඇමෙරිකාවේ සහ එක්සත් රාජධානියේ සහාය ඇතිව ඊශ්‍රායලයට හැකියාව ලැබුණත් ඇතැම් බැල්ස්ටික් මිසයිල ඊශ්‍රායලයට පතිත විය.

එම ප්‍රහාරයෙන් ගුවන් හමුදා කඳවුරකට හානි සිදු වූ අතර ඊශ්‍රායල දැරියක්ද ප්‍රහාරයෙන් තුවාල ලැබුවාය.

කාරනය නම් ඉරාන ප්‍රහාරයට පිළිතුරු ලබාදෙන ආකාරය සාකච්ඡා කිරීමට ඊශ්‍රායලය යුද කැබිනට්ටුව රැස්වීමට නියමිතව තිබීම ය.

 

@සමාරා පරණවිතාන

නවතම ලිපි