SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම

ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර  ඇතැයි ඇමෙරිකානු බලධාරීහු තහවුරු කළහ.



ඉදිරි දිනවලදී ඉරානයට පහර දෙන බව ඊශ්‍රායලය කල් තියා දැනුම් දුන් බවත් ඇමෙරිකාව එම තීරණය දිරිමත් නොකෙරූ බවත් ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කළහ.

 

ප්‍රහාරය පිළිබඳ දැනුම් දුන් අවස්ථාවේ ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත හෝ ජනාකීර්ණ ප්‍රදේශවෙත පහර නොදෙනු ඇතැයි ඇමෙරිකාව බලාපොරොත්තු වූ බව එරට බලධාරීහු පැවසුහ.

ඊශ්‍රායලය ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් ඊට යෙදිය හැකි උපරිම ශක්තිය යොදා පිළිතුරු දෙන බවට ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් අනතුරු අඟවා පැය කීපයක් යන්නට මත්තෙන් ඊශ්‍රායලය මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

 

මධ්‍යම ඉරානයේ ඉස්ෆහාන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසලට සහ ඉස්ෆහාන් නගරයට නැගෙනහිර ප්‍රදේශයකට මෙම මිසයිල එල්ල වී ඇති බවත් විදෙස් මාධ්‍ය තහවුරු කළේය. ප්‍රහාරය එල්ල වීමත් සමඟ ඉරානයේ ගුවන් ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක කර ඇති අතර මෙතෙක් එම ස්ථාන දෙකේ සිදුවූ පිපිරීම් වලින් සිදුවූ හානි පිළිබඳව වාර්තා වී නොමැත.

 

ඊශ්‍රායල හමුදාව ප්‍රහාරය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කිරීමද මෙම අවස්ථාවේ ප්‍රතික්ෂේප කර ඇත.  ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරයත් සමඟ ඉතා ඉක්මණින් කලාපයේ ආරක්ෂක තත්වය නරක අතට හැරිය හැකි බැවින් ආරක්ෂිතව පිටවිය හැකිනම් වහාම ඊශ්‍රායලයෙන් සහ ගසා තීරයෙන් ඉවත්වන ලෙස ඕස්ට්‍රේලියාව සිය පුරවැසියන්ට අනතුරු අඟවා තිබේ.

 

ඉරානය පහර දුනහොත් ගුවන් සීමා වසා දැමීමට ලක්විය හැකි බවත් ගුවන් ගමන් අවලංගු විය හැකි බවත් ඕස්ට්‍රේලියා රජය අනතුරු අඟවා ඇත. ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරානයේ ජාතික සයිබර් අවකාශ මධ්‍යස්ථානයේ ප්‍රකාශක හොසේන් ඩලිරියන් ප්‍රකාශ කර සිටියේ ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ඩ්‍රෝන යානා 3 ක් ඉරාන ආරක්ෂක අංශ විනාශ කර දැමූ බවත් මිසයිල ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු වාර්තා වී නොමැති බවත්ය.

 

එසේම ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කර නොමැති බවද ඔහු පැවැසුවේය.

 

ප්‍රහාරයට පෙර ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරන්නේ ඉරානයේ හමුදා ඉලක්ක වලට පමණක් බවත් න්‍යෂ්ටික බලාගාර සහ ජනතාව බහුලව ගැවසෙන ප්‍රදේශ වෙත ප්‍රහාර එල්ල නොකරන බවත් ඊශ්‍රායලය ඇමෙරිකාවට දැනුම් දී තිබූ බව ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පත වෙත වාර්තා කළේය.

 

@ විමුක්ති එස් රුද්‍රිගු

lankadeepa