SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රත්නපුර ප්‍රදේශයේ දී පසුගිය දිනක එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් සිදු කරන ලදැයි ඩිජිටල් මාධ්‍යයේ පළ කෙරුණු, ප්‍රකාශයක් සම්බන්ධයෙන්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරන විමර්ශනයකට අදාළ ව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා 2024.04.30 වන දින පෙ.ව. 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත කැඳවා තිබිණ.

 

එම ප්‍රකාශය ලබා දීමට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වූ රණවක;

 

"අද දිනයේ රහස් පොලිසියේ පරිගණක අංශයෙන් මට ලියුමක් ලැබුණා 24 වෙනිදා. නමුත් 24 වෙනිදා පාර්ලිමේන්තුව අවසන් වුණා. අපි දැනුම් දුන්නා අපිට මේ රත්නපුර ප්‍රදේශයේ මා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන්. ඒ ප්‍රකාශය මොකක්ද? ඒකෙන් සිද්ධ වෙච්ච අපරාධමය වරද මොකක්ද කියන එක අපට දැනුම් දෙන්න කියලා. ඒක අදටත් අපට දැනුම් දීලා නෑ. ඉතින් අපි හිතනවා ඒ රත්නපුර ප්‍රදේශයේ දි මම කිව්වා. මේ රටේ බදු වංචාකාරයෝ ගැන. මේ රටේ බදු වංචාකාරයෝ කෝටි ලක්ෂයක් බදු වංචා කරලා තියෙනවා. එහෙම තිබියදී තමයි මේ දුගී දුප්පත් මිනිස්සුන්ට සීනි වලට කිරිපිටි වලට, ඩීසල් වලට, පෙට්‍රල් වලට, විදුලි බිලට බදු ගහලා තියෙන්නෙ. ඉතින් සමහරවිට ඒ බදු වංචාකාරයෝ ගැන මගෙන් විමසන්න වෙන්න ඕනේ,   

 

මොකද යුක්ති සහගත නීතිගරුක සමාජයක් වෙනුවෙන් පෙනී සිටින, අපේ පොලිසිය මේක කරනවා ඇත්තේ. ඒ වගේම මම නිතරම ප්‍රකාශ කරපු දෙයක් තමයි, මේ බැංකුවලට, පොලු තියපු අය. මේ ළඟදි වාර්තා වුණා බැංකුවලින් විශේෂයෙන්ම එහි තැන්පත් කරුවන්ගෙන් සියයට හැටක්ම, ඉතාම දුගී දුප්පත් තැන්පත්කරුවෝ රුපියල් වගේ තැන්පත් තමයි තියෙන්නේ කියලා. නමුත් මිලියන ගණන්, බිලියන ගණන් පොලු තියපු අය ඉන්නවා. ඇමතිවරුත් ඉන්නවා. ඒ පොලු තියපු අය අතරේ. ඉතින් සමහර විට ඒ ලැයිස්තුව අපි ඉල්ලලා තිබුණා. ඒ ලැයිස්තුව දීලා නැහැ තාම. පාර්ලිමේන්තුවටවත් කොහෙටවත්. ඒක ගැන මගෙන් විමසන්නද කියන්න බැහැ.

 

ඒ වගේම අපි දැක්කා මේ මෑතදී විශේෂයෙන්ම අවුරුදු සමයේ ලොකු ළූණු, හාල්මැස්සෝ, කිරිපිටි, පාන් පිටි, මේ හැම එකකින්ම ඉතාමත්ම භයානක ලාභ උපයනවා. පසුගිය වසරේ පමණක් කෝටි අටදාහක් ලොකු ළූණු වලින් ලාභ උපයලා තියෙනවා කියලා රේගුවම කියනවා. ඒ හින්දා ඒ කවුද කියලා ඒ ලයිස්තුව කවුද කියලා ඔවුන්ගෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුවට ආදායම් බදු අය කරගන්න කියලා අපි නියෝගයක් දීලා තියෙනවා. සමහරවිට ඒ ලයිස්තුව හොයා ගැනීමේ පරමාර්ථයෙන් දන්නෑ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මට එන්න කියලා තියෙනවා. ඉතින් කොහොම වුණත් එකක් ඉතා පැහැදිලියි. මේ රටේ ව්‍යවස්ථාවේ මානව හිමිකම, මූලික අයිතිවාසිකම ස්ථාපිත කරලා තියෙනවා දහතුන්වෙනි වගන්තියෙන්. නඩු විභාගයකින් තොරව කිසිම කෙනෙකුට මරණ දණ්ඩනය නියම කරන්න අයිතියක් නැහැ.

 

නමුත් මේ රටේ නීතිය, සාමය ඇමතිවරයා, නීතිය අතට අරගෙන, මරණ දණ්ඩනය ලබා දෙන්න කියලා පොලිසියට කියනවා.

 

නීතීඥ සංගමය තමන්ගේ මතය ප්‍රකාශ කරලා ඔහුට වහාම ඉල්ලා අස්වෙන්න කියලා තියෙනවා. මේ රටේ නීතිගරුක පුරවැසියන්ගෙන් අපි ඉල්ලා සිටිනවා අවිනීතික ක්‍රියාවලීන්ට එරෙහිව, විශේෂයෙන්ම මේ නීතිය, සාමය පිළිබඳ ඇමතිවරයාගේ අවිනීතික ක්‍රියාවලීන්වලට එරෙහිව, නීතිය අතට අරගෙන, ඔහුගේ පුද්ගලික හමුදාවක් බවට මේ පොලීසිය පත්කිරීමට එරෙහිව, නිත්‍යානුකූලව කටයුතු කිරීමට, අප හා එක්වන ලෙස. සමහරු ඇතැම් අය මේවට පැකිලෙනවා වෙන්න පුළුවන්. නමුත් අපි ඒ ගැන කිසිම පැකිලීමක් නැහැ. තරාතිරම නොබලා ඔවුන්ට ක්‍රියා කරන්න අපි ක්‍රියා කරනවා. එය ඊළඟ මැතිවරණය දක්වාම අපි ඒ අරගලය ගෙනයනවා.

 

ඔබතුමා අත්අඩංගුවට ගැනීමක් සිදුවෙයි කියලා හිතනවද?

අත්අඩංගුවට ගන්න තරම් අපි වරදක් කරලා නෑනේ. මේ රටේ හොරු හෙළිදරව් කිරීමට කටයුතු කිරීම නිසා නම් ඒක වෙන්නේ. ඒ ගැන අපි ඉතාම සතුටුයි. ඒ වගේම ඉතින් රටේ මිනිස්සුන්ව පාරේ මරන්න, පොලිසියට පුළුවන්, පව් පින් බලන්නේ නැතුව කියලා ප්‍රකාශ කරන ඇමතිවරයෙක් යටතේ මේවට එච්චර පුදුම වෙන්න දේකුත් නෑ.

 

දැන් මේ මැයි දිනයත් කට මුල තියාගෙන ඔබතුමා ගෙන්නන්නේ මොකක් හරි එකක්..?

මෙහෙමයි මේ ඊළඟ මැතිවරණයේ දී දූෂිත බලවේග සියලු දෙනාම බයෙන් ඉන්නේ බලය ගිලිහීම පිළිබඳව. ඉතින් ඒ නිසා ඒ ගොල්ලෝ නොයෙක් දේවල් කරනවා ඇති. අපිත් ඉතින් මේ දේශපාලනය ඇවිල්ලා තියෙන්නේ අපේ තාත්තලා, අම්මලා, අපි ඔක්කෙ ගහගෙන ඇවිල්ලා වාඩි කරලා නෙවෙයි. මහපොළොවේ අරගලයෙන් අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි ඒවාට කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. ඒවාට මුහුණ දෙනවා විතරක් නෙමෙයි. ඊළඟ ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය කවර හෝ මැතිවරණයකදී මේ දූෂිත ජාවාරම්කාර පැලැන්තිය පලවා හැරීම සඳහා අපේ කැපවීම අපි කරනවා.

 

කොහොමද මැයි දිනය වෙනුවෙන් ඔබතුමාගේ සහභාගිත්වය?

මැයි දිනය වෙනුවෙන් අපේ පක්ෂයෙන් කිසිම මැයි දින සමරුවක් කරන්නේ නෑ.  විශේෂයෙන්ම වැඩ කරන ජනතාව අද මේ ආර්ථික අර්බුදයෙන් දරුණු පීඩාවකට ලක්වෙලා තියෙනවා. මොකද ඔවුන් වැටුප් ලබන්නෝ හැටියට ඔවුන්ට තමන්ගේ වැටුප වැඩි කරගන්න සොයන්න බෑ. ව්‍යාපාරිකයින්ට එහෙම පුළුවන්. වෘත්තීයවේදීන්ට එහෙම පුළුවන්. නමුත් වැඩකරන ජනතාව ඉතාමත් පීඩාවට පත්වෙලා තියෙනවා මේ ආර්ථික අර්බුදය හමුවේ. ජීවන වියදම තුන් ගුණයකින් පමණ වැඩිවෙලා තියෙනවා අවුරුදු තුනක පමණ කාලය ඇතුළත. වැටුප් වැඩිවෙලා නෑ. ඒ නිසා ඒ ජනතාවගේ පීඩනය, ඒ වගේම රැකියා අහිමි වෙච්ච, ලක්ෂ හයකට අධික මේ රටේ වැඩකරන ජනතාව වෙනුවෙන්, මැයි දිනය දේශපාලන භේදයෙන් තොරව යොදාගත යුතු දෙයක් හැටියට තමයි අපි දකින්නේ.

 

@ලෙෂාන් විදානගමාච්චි

මාධ්‍ය ඒකකය