SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන ගව සරම්ප රෝගය පාලනය සදහා අවශ්‍ය එන්නත් ලබා දීමට

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය  දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල කියයි.

 

ගව සරම්ප රෝගය වැලදී ඇති සතුන්ගේ කිරි හා මස් පරිභෝජනයෙන් කිසිදු සෞඛ්‍ය ගැටළුවක් උද්ගත නොවන බවත් මෙම රෝගය මිනිසුන්ට වැලදීමේ අවදානමක් නොමැති බවත් වෛද්‍ය හේමාලි කොතලාවල වැඩිදුරටත් සඳහන් කරයි.

 

රෝගය පාලනය සඳහා වහාම අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර අධ්‍යක්ෂ ජනරාල්වරියට උපදෙස් දී ඇතැයි පැවසේ.

 

මෙම රෝගය මීට මාස කිහිපයකට පෙර යාපනය ප්‍රදේශයෙන් ද වාර්තා වූ අතර එළදෙනුන්  සඳහා එන්නත් කිරීම ආරම්භ කළ නිසා එම රෝග තත්ත්වය පාලනය කිරීමට හැකි වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 

එමෙන්ම දැනට මෙම රෝගය පාලනය සඳහා ඇති එන්නත් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන්නේ නම් හදිසි අවශ්‍යතාවය යටතේ මිල දී ගැනීමට පියවර ගන්නා බව අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්මකීර්ති සඳහන් කළේය.

 

ගව සරම්ප රෝගය නිසා කිරි දෙනුන් උණ රෝගයට ගොදුරුවන අතර මේ නිසා එම සතුන්ගේ දෛනික කිරි ප්‍රමාණයේ අඩුවීමක් සිදුව ඇත.

 

ගව සරම්ප රෝගය නිසා මාස හයකදී මධ්‍යම පළාතේ ගවයින් 135ක් පමණ මරණයට පත්වී ඇති බවට වාර්තා වී ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.