SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රොහාන් පෙරේරා හෙවත් නිෂාර් මොහොමඩ් ෆස්ලි සිදුකළ ආසියාතික බෞද්ධ ස්ත්‍රිය හමුවේ ඩෙරීඩා විසංයෝජනය පිළිබඳ සාකච්ඡාවේ 02 කොටස : මෙවර ලෙනින්ගේ බිරිය නදීෂ්ඩා කෘප්ස්කයා පිළිබඳව..

 

කෘප්ස්කයා ප්‍රතිගාමීද !

ඔව්, එක සීමාවක!

krupskaya 1

නදීෂ්ඩා කෘප්ස්කයා

 

කෘප්ස්කයා රුසියානු විප්ලවයෙන් මතුවුනොත් විප්ලවයේ දාර්ශනික බව නැති වෙනවා. දාර්ශනික බව නැති වුනොත් සමාජ විපර්යාසයේ පුරුෂ මූලික බව නැති වෙනවා. රුසියානු විප්ලවය කාලයේ ගත්තු බෙහෝ ඡායාරූපවල කාලයෙන් කාලයට පුද්ගලයන් අතුරුදහන් වෙනවා. මේක හරිම සරල උපායක්, නිශ්චිත සිදු වීම් වලට නිශ්චිත අරුත් දෙන්න නිශ්චිත දේවල් තහනම් වෙනවා.

 

මේ ප්‍රතිසංස්කරණ ඡායාරූප අතර තියෙනවා, ලෙනිනුයි කෘප්ස්කයායි පුටු දෙකක වාඩි වෙලා ගිමන් හරින එකක්. පසු කාලීනව කෘප්ස්කයා නැතිව ලෙනින් විතරක් ගිමන් හරිනවා: විප්ලවයේ ඒක පුද්ගල වීරයා ගිමන් හරියි! ලෙනින් ලඟ කුදු ගැහිලා, දෙකට නැවිලා ගත්තු කෘස්කයාගේ ඡායාරූප තොග ගනනක් රුසියානු විප්ලවයට තිබෙනවා. ඔව්! ලෙනින් නැමැති වීරයා රුසියානු විප්ලවය සඳහා සම්බන්ධ කරගත් (පාවිච්චි කල) අය. විප්ලවයේ අර්බුදය වෙලාවේ කෘප්ස්කයාගේ ඔඩොක්කුවේ හුරතල් වුන ලෙනින්ගේ ඡායාරූපයක් තියෙන්න පුළුවන්ද? ලෙනින්ගේ නිරුවත් ඡායාරූපයක් තරමට මේක අසභ්‍යයයි. මේක මොන තරම් විකට රූපයක්ද?

 

රුසියානු විප්ලවය නොවෙයි. ශිෂ්ටාචාරයේ ආරම්භයේ ඉඳන් අද වන තෙක්, පුරුෂයින්ගේ ජීවිතයේ මේවා සාමාන්‍ය සිදුවීම් බව නොදන්නා කෙනෙක් නැහැ. එහෙත් දාර්ශනික ලෝකයේ අහල ගං හතකවත් මේ ගැන නිනව්වක් නැහැ. අනේ ඉතිං අනුකම්පා කළ යුතු තත්වයක් මේක. පිළිවෙලකට ඇඳගත්තු, සෘජු පුරුෂයෙකුට විතරක් ගැලපෙන වේදිකාවකට දාර්ශනික භාවිතය කියනවා. මේ මහත්තයාව නිර්මාණය කරපු කුදු ගැහැණිය, ප්‍රේමය සහ තව.......... දේවල් වේදිකාවේදී වෙඩි තියලා දානවා, දාර්ශනික නොවන ලෝකයේ දී නැවත මුණගැහෙන චේතනාවෙන්.................... කොහොමද සෙල්ලම !

 

krupskaya 2

 

ඉතිං, මහා දාර්ශනික සොක්‍රටීස්. ඔව්! ගැහැණු දේවෝවලට ආස කරපු ගැහැනියක් වගේ ජීවිතයක් විතරයි. පුරුෂ ශරීරයේ හිරකාරයෙක් නිසා ගැහැණු නොවන සිතුවිලි විශේෂයක් එයා සතුයි. ඒ එක කාරණයකටවත් ගැහැණු නොවන දේවල් එක්ක පැවැත්මක් නැහැ. එහෙත් ඉතිං ඒවාගේ කියලා සිහින මවන අය එක්තරා සීලයක් රකිනවා. එපමණයි. පව්.

මේ පවුකාර සීලය රැකීම තුළ ලෝකයේ, ස්ත්‍රීන්ගේ මොනතරම් ජීවයන් ඝාතනය වෙලාද කියලා අපි සොයාගමු. අපට පුළුවන් සීලය උපරිමයෙන් රකින විශ්වවිද්‍යාල බිත්ති ඇතුළතින්ම මේ සීල - විරෝධී - ව්‍යාපාරය ආරම්භ කරන්න. හැබැයි, හිරිකිතයක් දැනේවි. කරන්න දෙයක් නැහැ.

 

විශ්ව විද්‍යාල බිත්ති ඇතුළේ දර්ශනවාදයේ ආබාධිත නිරුවත

 

“අප ඇතුළ් වූ විගස .............. මොහොතේ විලංගුවලින් නිදහස් වූ සොක්‍රටීස්ව අපි දුටුවා. ඔහුගේ භාර්යාව ෂෙන්තිප්පේ - ඔබ ඇයව දනී - ඔහුගේ එක් දරුවෙක්ව වඩාගෙන ඔහු අසලම සිටියා. ඇය අප දුටු වහාම ස්ත්‍රීන්ට අවැසි පරිදිම ලතෝනි දිදී විලාප නගන්න පටන් ගත්තා. " අහෝ සොක්‍රටීස්, මෙන්න ඔබේ මිතුරන් ............. අවසන් වරට ඔවුන් ඔබව හා ඔබ ඔවුන්ව දැකීමට පැමිණ සිටිනවා!'' ඒ සමගම ක්‍රිටෝ දෙස බැලු සොක්‍රටීස් " කවුරුන් හෝ ඇයව නිවසට රැගෙන යන්න" යයි කීවේය. කෑ ගසා හඬමින් පපුවට ගසා ගන්නා ඇයව ක්‍රිටෝගේ සේවකයන් කිහිප දෙනෙක් ඉවතට රැගෙන ගියහ'.

(ප්ලේටෝ ඩයලොග්ස් - ද පීඩෝ - ඉංග්‍රීසි පරිවර්තනය විලියම් - චර්චිල් ලන්ඩන් - 1892- පිටු 128)

 

socratis

 

ගොරව ගොරව නිදාගෙන ඉඳලා යන්තම් ඇස් ඇරලා කියෙව්වම මේ ඡේදයේ කිසිම දෝෂයක් නැහැ. සොක්‍රටීස් නැමති මහා දාර්ශනිකයා සම්බන්ධ සිද්ධියක් අපට විස්තර කෙරෙනවා. ඓතිහාසිකව සිදු වූ දෙයක් විස්තර කෙරෙනවා. එපමණයි? නැහැ එපමණක් නොවෙයි: ඓතිහාසික සිද්ධිය " විස්තර කෙරෙන්නේ' (මේ ක්‍රියාවලිය ස්වයංක්‍රීයව සිද්ධ වෙන්නේ නැහැ, මිනිස්සු මේකේ " නිරත '' වෙන්න ඕනේ.) ක්‍රි.පූ. 3 වැනි සියවසේ හිටපු සොක්‍රටීස්ගේ සිතැඟි ඉටුවන පරිදියි. අපි ඉන්නේ 20 වන ශත වර්ෂයේ. ඒ වුනාට 3 වන සියවසේ ග්‍රීක රාජ්‍යයට පුළුවන් අපි හිතන හැටි අණ කරන්න. (බලපාන්න). සුන්දර යක්ෂයෝ දෙන්නෙක් මෙතැන ක්‍රියාත්මක වෙනවා.

 

එක් පැත්තකින් නිශ්චිත මිථ්‍යාවන් ටිකක අපි හිරකාරයෝ නිසාම මේ ඡේදයේ දෝෂ පෙනෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් නිශ්චිත මිථ්‍යාවන් ටිකක හෝඩිය අපට ඉගැන්වෙන නිසාම මේ ඡේදයේ දෝෂ පෙනෙන්නේ නැහැ. ඒ ඓතිහාසික සිදුවීමම " විස්තර කරන්න " පුළුවන් තවත් ක්‍රම කිහිපයක් අත්හදා බලමු. ඊට පස්සේ ඒවා කියෙව්වාම අපේ කුමන ඉන්ද්‍රියන් වෙව්ලනවද කියලා හඳුනගෙන. ඒ වෙව්ලීමේ විද්‍යාව සොයා ගමු. හැඟීම සොයා ගනිමු.

 

1. " අපි කාමරයට යන කොට සොක්‍රටීස්ගේ (සිරිසේනගේ) මාංචු ගලවලා වැඩි වෙලා ගිහින් නැහැ. ඕ ගොල්ලෝ දන්නවා ඇතිනේ සිරිසේනගේ ගෑනි (ෂෙන්ති) රොසලින් ළමයෙක් වඩාගෙන එතැන හිටියා. අපි දැක්ක ගමන් ගෑනු ගතිය අනුවම '' අනේ දෙයියනේ සිරිසේන, මේ ඔයාගේ යාළුවෝ අන්තිම වාරයට ඔයාව බලන්න ඇවිත්" කියලා මර ලතෝනි දෙන්න ගත්තා. එතකොට පෑලිස් (ක්‍රීටෝ) දිහා බලපු සිරිසේන '' කවුරු හරි මේ ගෑනිව අරගෙන යන්න " කීවා. ඊට පස්සේ පපුවට ගහමින් කෑ ගහපු ගැහැණිය පෑලිගේ සේවකයෙක් ඇදගෙන ( පපුවට ගහගහ කෑ ගගා අඬන කෙනෙක්ව ඇදගෙන මිසක් හොඳින් එක්ක යන්න බැහැනේ.) ගියා "

2. " අප ඇතුල් වූ විගස ............ ඇගේ දරුවෙක් වඩාගෙන සිටින ෂෙන්තිප්පේව අප දුටුවා. ඇගේ ස්වාමියා සොක්‍රටීස් - ඔබ ඔහුව දනී - ඇය අසලම සිටියා. සොක්‍රටීස්ගේ මාංචු ගලවා තිබුනේ ඒ මොහොතේයි. අප බලාපොරොත්තු වූ පරිදිම (අපේ කැමැත්ත, ආශාව පරිදි) අප දුටු වහාම ඇය හඬන්නට පටන් ගත්තා..........ඇගේ වැලපීම දැක වාවා ගැනීමට පවා ශක්තියක් නැති සොක්‍රටීස් (ඇයට වැලපීමට පවා ශක්තියක් තිබූ අතර සොක්‍රටීස්ට එය නිකම් බලා සිටීමට හෝ ශක්තියක් නොවීය.) ක්‍රිටෝට ඇයව එතැනින් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය. තමන්ට දරාගත නොහැකි සියළු දේ වලින් ගැලවෙන සොක්‍රටීස් සුපුරුදු පරිදි ෂෙන්තිප්පුව වෙනතක

3. " අපි කාමරයට යන කොට.............. රොසලින් ඒකිගේ ළමයෙක් වඩාගෙන හිටියා. එයාගේ මිනිහා සිරිසේනත්, ඕගොල්ලන් එයාව දන්නවා ඇතිනේ - ඒකි ගාවම හිටියා. උගේ මාංචු ගලවලත් වැඩි වෙලාවක් නැහැ. අපි ප්‍රාර්ථනා කරගෙන ගිය විදියටම ඒකි අපිව දැක්ක ගමන් අඬන්න ගත්තා. (අපේ ප්‍රාර්ථනාව ඉෂ්ට උනා නිසා සැහැල්ලුවක් දැනුනා.) ඔය වගේ දේවල් බලාගෙන ඉන්න තරම් සිරිසේන හයියක් ඇති එකා නෙමෙයි නේ. ඉති " දෙවියනේ දෙවියනේ මට ඉන්න දීපල්ලා, මේකිව ඇදගෙන පලයල්ලා" කියලා කෑහැහුවා. ඉතිං රොසලින්ව ඇදගෙන ගියා.

4. " අප ඇතුල් වූ විගය........... . . . තිප්පෙව වැළඳ ගෙන විලාප දෙමින් සිටින සොක්‍රටීස්ව අප දුටුවා. අප දුටු ගමන් ඔහු තවත් හයියෙන් විලාප දෙන්න ගත්තා. මෙය බලා සිටීමට ශක්තියක් නොමැති අපි ඔහුට ඉවතට රැගෙන ගියා".

5. '' අපි කාමරයට යනකොට ................ සිරිසේන්. රොසලින්ව බදාගෙන විලාප දිදී සිටියා. අපි දැක්ක ගමන් උගේ විලාපය වැඩි වුනා. අපිට අමාරු නිසා අපි ඌව වෙන තැනකට ඇදගෙන ගියා "

 

" තව කියන්න තියෙන්නේ...................... ඒකිගෙ දරුවෙක් ඒකිගෙ අතේ හිටියා- සිරිසේන ඒකිගේ මිනිහා-

සිරිසේනගේ මාංචු ගලවලා තිබුනෙත් එනකොටමයි "

 

" මහා ඓතිහාසික සිදුවීම ' අපට ඕන විදියටත් විස්තර කර ගත්ත නිසා දැන් අපට පුළුවන් එලිපිට නටන්න. අපේ අංක 1 විස්තරයේ තියෙන්නේ ග්‍රීසියේ මුල් පිටපතේ සිවිල් උපායන් ටික අරන් දාපු විස්තරයක්. අපේ අංක 2 විස්තරයේ තියෙන්නේ ග්‍රීසියේ මුල් පිටපතේ පුරුෂවාදී උපායන් ටික අරන් දාපු විස්තරයක්. අපේ අංක 3 විස්තරයේ තියෙන්නේ ග්‍රීසියේ මුල් පිටපතේ සිවිල් පුරුෂවාදී උපායන් ටික අරන්දපු විස්තරයක්. අපේ අංක 4 විස්තරයේ තියෙන්නේ ග්‍රීසියේ මුල් පිටපතේ සත්‍යයේ උපායන් ටික අරන්දාපු (අපි අසත්‍ය ප්‍රකාශ කරනවා විය හැකියි. නමුත් මේක සංසාරයේ කවදාවත් තහවුරු කරන්න බැහැ. සොක්‍රටීස් ෂෙන් තිප්පේව වැළඳගෙන ඇඩුව ද, ෂෙන්තිප්පේ සොක්‍රටීස්ව වැළඳගෙන ඇඩුවද යන්න කවදාවත් විසඳන්න බැහැ. නමුත් ග්‍රීසියේ ඓතිහාසික සත්‍ය තුල තියෙන්නේ ඒ අය කැමති එක වගට සිථීරයි. එහෙම නම් අපි කැමති එක අපේ සත්‍ය හැටියට බාර ගැනීම ප්‍රශ්න කරන්න භාවිතයක් නැහැ.) විස්තරයක්. අපේ අංක 5 විස්තරයේ තියෙන්නේ ග්‍රීසියේ මුල් පිටපතේ සිවිල් - පුරුෂවදී - සත්‍යයේ උපායන් ටික අරන් දාපු විස්තරයක්. ඉතිං එදා ඇත්තටම ග්‍රීසියේ වෙලා තියෙන්නේ මොකක්ද කියලා සොයන නිකාඩෝ සෙල්ලමට වඩා, එදා ග්‍රීසියේ සිදු වීමක් අද අපට ඇත්තටම කරන්නේ මොකක්ද කියලා සොයා ගන්න පුලුවන්.

 

ශුද්ධ වූ ඓතිහාසික සත්‍යයක් සන්නිවේදනය කරන්න වචන ගැලපුවාම ඒ ඇතුලට යක්ෂයාගේ උවමනාවට රිංගපු සංකල්ප ටික හොයා ගමු. තල ගණනාවක මේක හඳුන ගන්න පුළුවන්. අපි මතුපිට ඉඳන් අභ්‍යන්තරයට යමු. මුල් පිටපත අනුව ඇය වඩා ගෙන ඉඳලා තියෙන්නේ '' ඔහුගේ දරුවෙක්ව". ජාත්‍යයන්තර ගැහැණු පිරිමි සදාචාරයේ ඉඳන් සිරි අයියාගේ ළමා ගීතය දක්වා හැමෝම පිළිගන්නවා දරුවෝ අයිති දෙන්නාටම කියලා. ඒත් ඉතිං ඊට එහා මිනුම් දණ්ඩක් අවශ්‍ය නිසා රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, මනෝ විද්‍යාව, නීතිය හෝ හුණුවටයේ කථාව භාවිතා කලහම අයිතිය වැඩිපුර යන්නේ ගැහැණියට. නමුත් මෙතැන දී කාටදෝ ඕන කරලා කිබිලා තියෙනවා කියන්න............සොක්‍රටීස් කියලා මහ මොකක්ද එකක් තියෙනවා, ඒ මොකක්ද එකේ කුඩා එක තමයි දරුවා............. ෂෙන්තිප්පේ කියන්නේ මහා දාර්ශනිකයාගේ කුඩා එක නිර්මාණය කරනය යන්න ........... ෂෙතිප්පේ ඒ දරුවව වඩාගෙන ඉන්නේ ෂෙන් තිප්පේ, සොක්‍රථිස්ගේ සේවිකාව නිසා. (ආදරණීය අම්මා කෙනෙක් තමන්ගේම ආදරණීය දරුවව වඩාගෙන නොවෙයි.........ඊලඟට මේ ෂෙන් තිප්පේ ලතෝනි දිදී අඩලා තියෙන්නේ දුකටවත්, වෙන මොකකටවත් නෙවෙයි.

 

ලතෝනි දී දී ඇඬීම " ගැහැණු ගතියක් " .....'' ස්ත්‍රීන්ට ඇවසි පරිදි................සා. පිරිමි මේවා හොඳට දන්නවා. ඒ නිසාමයි ඒ අයව දැක්ක ගමන් ස්ත්‍රීන්ට ඇවසි පරිදි ෂෙන්තිප්පේ බෙරිහන් දෙන්න ගත්තේ. ලතෝනි දී දී ඇඬීම ගැහැණුන්ට පවරනවා නම් අඩුම තරමින් අරක්කු බෝතල් වල ඉතිහාසය 95% කින් වත් අහෝසි කරන්න වෙනවා. හැං හරිම සරලව ( මතු පිටින්) පෙනෙනවා ශුද්ධ වූ ඓතිහාසික සත්‍යයට උවමනා වෙලා තියෙන්නේ අව්‍යාජ පනිවිඩ හුවමාරුවක් කරන්න විතරක් නෙවෙයි. ගැහැණු ගති කියලා දේවල් තහවුරු කරන්නත් උවමනාවක් තියෙනවා. පුරුෂ හැඩ තලයන් ආධිපත්‍යයික වූ ලෝකයක ගැහැනිය ගේ ස්ථානයට නීති රීති පනවන්න උවමනාවකුත් තියෙනවා. කොහොමද ඓතිහාසික සත්‍යයේ ශුද්ධ වන්ත කම!

 

හැං අපි තව තලයකින් අභ්‍යන්තරයට යමු. කොහොමත් සොක්‍රටීස් ගැන කියැවෙන ඡේද අතර මේ ඡේදයේ මානුෂික බවක් අපට වටහා ගන්න පුළුවන්. මොකද, දර්ශනවාදයේ බැරිකමේ අදෝනාවත් සියුම්ව මතු වන නිසා. සොක්‍රටීස් කියලා මහා දර්ශනිකයෙක් ඉන්නවා. ඒ දාර්ශනිකයාට විලංගු වලින් පවා ගාම්භීරත්වයක් ලැබෙනවා. ( ගලවලා හිටියත්, ඇඳගෙන සිටියත්.) ඉතිං, දාර්ශනික ලෝකයට ගැලපෙන්නේ නැති.

 

1993 අප්‍රේල් -

මැද වදන

 

නැති....... කියල වචනයකින් 1993 අප්‍රේල් වලදී මගේ ප්‍රවාදය ඇනහිටුණා. මගේ අත් පිටපතේ " නැති " කියන වචනය තියෙන්නේ 17 වැනි පිටුවේ. හෙලන් ෂිශෝගේ උධෘතයක් උපුටලා තියෙන අංක 20 පිටුව අදත් මා ගාව තියෙනවා. එතකොට මා සතුව නැත්තේ ‪18 - 19 සළකුණු වෙලා තියෙන පිටුවයි. මේ පිටුව පොතෙන් වෙන් කරලා සාකච්ඡාවට අරන් අපි කිහිප දෙනෙකුගේ අතින් නැති වුණේ 1993 අප්‍රේල් වලදීමයි. එදා ඉඳන් " නැති " කියන වචනයයි, හෙලන් ෂිශෝගේ උධෘතයයි අතර සම්බන්ධය ගොඩනගන්න මොන තරම් උත්සාහ කළත් මම අසමත් වුණා. 18-19 පිටුවේ නිර්මාණාත්මක ප්‍රදේශය මට හොඳට මතකයේ තිබුණත් ඒ හිඩැස නිර්මාණාත්මකව පුරවන්න අදත් මම අසමත්. ඉතින් නැති කියලා ඉවරවුණු තැන නැතිම වුණා වේ.

 

දළදාවේ පත්තිරිප්පුව කඩාගෙන වැටෙන කොට මුක්කුවක් ගහන එක, එක ක්‍රියාවලියක්. දළදාව ආරක්ෂා කරන්න රන් වියනක් හදන එක තවත් ක්‍රියාවලියක්. පළවැනි එකට මම ආසයි. දෙවැනි එක මට අපුලයි. ඉතිං මගේ නිර්මාණාත්මක ප්‍රදේශය තුළම මේ ප්‍රවාදය ඉවර කරන්න උවමනාවකින් ආයෙමත් මම ලියනවා.

 

මේ. 1994 ඔක්තෝම්බර්.

 

මේ ආබාධිත නිරුවතක් තියෙන විශ්ව විද්‍යාල බිත්ති ඇතුලේ දර්ශනවාදය හරියට හොල්මනක් වැහුණු ජීවියෙක් වගේ. ඇයි, බිත්ති ඇතුලේ තියෙන ජීවිතය හරිම යහපත් එකක්. යහපත් නෙවෙයි ගාම්භීර ( " දාර්ශනික ¨ එකක්. ඒ ජීවිතයට වැහිලා තියෙන හොල්මන පෙනෙන්නේ පිටතින් ඉන්න ගැහැණු ඇහැකට විතරයි. ඝනීභවනය වුණු දර්ශනවාදියෙක්ගේ ආබාධිත නිරුවත, පුංචිම පුංචි ගැහැණු ඇහැකින් විසඳන්න අමාරුයි. ඒ ඇරත් ෆ්‍රොයිඩ් වගේ යතුරු හිල් අස්සෙන් බලලා කරන විග්‍රහයක් ගැහැණු ජීවිතයෙ නැතිම තරම් නිසා අවිචාරවත් ගැහැණු විධියක්ම උචිත වේවි.

 

ගාම්භීර සොක්‍රටීස්, ගාම්භීර බිත්ති ඇතුලේ, ගාම්භීර දර්ශනවාදයක් ගැන කථා කරනවා. එක පාරටම ෂෙන්තිප්පේ බිත්තිය කඩාගෙන ඇතුලට එනවා. ෂෙන් තිප්පෙගේ උකුලේ පුංචි දරුවෙක්. දැන් අපි හැමෝම දන්නවා සොක්‍රටීස්ට අනුව ෂෙන් තිප්පේ කරලා තියෙන්නේ අවලං ක්‍රියාවක්. තමන්ගේ ජීවන චක්‍රයට බාධාවක්. ෂෙන් තිප්පෙ අනුව දරුවව උකුලේ තියාගෙන විශ්ව විද්‍යාල බිත්ති නෙමෙයි, අපායට යන එකත් තමන්ගේ " ජීවන චක්‍රයේම '' කොටසක්. ඒ චක්‍රයේ කොටසකම ලේ මස් එක්ක ඉඳලා මේ බිත්ති අස්සට ඇවිත් සොක්‍රටීස් කරන මේ සෝබන රඟපෑම ෂෙන් තිප්ප්පෙට අනිත් උකුලේ ඉන්න තවත් ළමයෙක් ක්ගෙ හැසිරීමක් විතරයි. ඉතිං, ෂෙන් තිස්පේට අනුව දර්ශන වාදය කියන්නේ පිරිමින්ගේ සෝබනේට. දර්ශනවාදයට අනුව (සොක්‍රටීස්ට අනුව) ගැහැණු කියන්නේ අවලං ජාතියකට. කවුරු හරි ද කියන එක පැන පොඩි විසඳුම කරලා කැමති කෙනෙක් විසඳ ගත්තාවේ ! අපි ගොඩාක් ඉගෙන ගන්න උත්සාහ කරමු. පුදුම ලැජ්ජාවක් දැනේවි නොදන්න කම ගැන. එහෙත් ඒක ගණන් නොගෙන ඉගෙන ගන්න බලමු.

 

දර්ශනවාදී ඇබ්බැහිය නිසා ෂෙන්තිපේගේ කථාවක් නිරීක්ෂණය කරන්න, එයාව සියුම්ව දකින්න සොක්‍රටීස් අසමත්. මේ කාරණය අතිශය වැදගත්. ඒ තමයි හැකි තරම් නිදහස්ව නැරඹීමේ උත්සාහය.

 

මුලින්ම E ගැන කථා කරන ෂෙන් කිප්පේ " එක පාරට " X ගැන කථා කරනවා. මේ එක පාරට කියන වචනයේ ගැස්ම තියෙන්නේ දර්ශනවාදයට විතරයි. ඒ ගැස්ම ජීවිතයේ නැහැ. ෂෙන් තිප්පේ කථා කරන්නේ පිටස්තර දර්ශනවාදය නෙමෙයි, අභ්‍යන්තර ජීවිතය. ෂෙන්තිප්පෙට ගැස්සෙන්න දෙයක් නැහැ. එයාට ගැස්සෙන්න තියෙන්නේ දර්ශන වාදය එක්ක විතරයි. ෂෙන්තිප්පෙ ගේ කථා කරන්නේ ජීවිතය. ෂෙන්තිප්ප්පෙගේ කථා කරන්නේ ශරීරය. ෂෙන්තිප්ප්පෙට කථාවේදී පෙන්නන්න බාහිර දෙයක් නැහැ. පෙන්නන්න ගැස්සෙන දෙයක් නැහැ. ෂෙන්තිප්පෙගෙ කථා කරන්නේ ශරීරයමයි. ෂෙන්තිප්පෙ පෙන්නන්නේ ශරීරයමයි. උකුලේ ඉන්න දරුවත් ශරීරයේ කොටසක් විතරයි. තමන්ගේ හරි අඩකින් සෝබනං මත යැපෙන, විශේෂයෙන් විශ්ව විද්‍යාලය ඇතුලේ මුළුමනින්ම සෝබනේ මත යැපෙන, සොක්‍රටීස් අනිවාර්යයෙන්ම ෂෙන්තිප්පේගේ පැමිණීමත් එක්ක ගැස්සෙනවා. දරුවා උකුලේ ඉන්න කොට ගැස්සෙනවා. ෂෙන්තිප්පෙගේ කලවා පෙදෙස එලියට පෙණුනොත් වෙව්ලන්න ගන්නවා.

 

ඇත්තටම අපි සාහසික වෙන්න නරකයි, මේ හැම සිදුවීමකටම දර්ශනවාදය ඇතුලේ පිළිවෙලක් තියෙනවා. ඒ තමයි උකුලේ ඉන්න දරුවව ගෙදර අයට දීලා, කලවා නොපෙනෙන ඇඳුමක් ඇඳගෙන බිත්ති කඩාගෙන එන්නේ නැතිව පිළිවෙලකට දොරකින් ඇතුල් '' වෙලා " පැත්තකට " වෙලා " වාඩි වෙලා ඉන්න එක. ඉතින් ඔන්න සොක්‍රටීස් දාර්ශනික වැඩේ කරගෙන යනවා. ඉඳලා හිටලා එක්කෝ (1) ෂෙන්තිප්පෙව් කාට හරි අඳුන්වලා දෙනවා. එහෙම නැත්තම් (2) ඉඳලා හිටලා මුණ බලලා හිනා වෙනවා. මේ දෙකේම දාර්ශනික අරුත එකයි.

 

"මේ තියෙන්නේ මම මිලදී ගත්ත මටම අයිති මගේම යෝනි මාර්ගය '

ගල් ගැහුණු විශ්ව විද්‍යාල බිත්ති, විහිළුවකින් මිසක් දියකරන්න හරිම අමාරුයි. දැ අපි යම් මට්ටමකට විහිළුව අත හැරලා කල්පනා කරමු.

 

තවත් ෂේන් තිප්පේ කෙනෙක් කියාපු කථාවකින් අපි පටන් ගනිමු.

"තර්කයට '' විශාලතම සහය දෙන්නේ ඇගේම ශරීරයයි. ඇගේ මාංශ, සත්‍ය කථා කරයි. ඇය ඇයව නිරුවත් වීමට ඉඩ හරියි. සැබවින්ම, ඇය සිතන දේ භෞතිකව තහවුරු කරයි, ශරීරය තුලින් ඇය එය හඟවයි. කථාවේදී තමන්ගේ නොහික්මුණු අභ්‍යන්තර ආවේග වලට ඇති කොටස ඇය ප්‍රතික්ෂේප නොකරන හෙයින්ම, එක්තරා ක්‍රමයකට ඇය කියන දේ තහවුරු කරයි. ඇගේ කථාව දේශපාලනික හෝ " න්‍යායික" වූ විටදී පවා විෂයීකරණිත, රේඛීය හෝ සාමාන්‍යය කරණිත නැහැ. ඇගේ ජීවිත කථාව ඉතිහාසය තුලට ඇය ඈඳා ගනී ". (හෙලන් ෂිශෝ - ද ලාග් ඔෆ් මෙඩුසා - චිකාගෝ විශ්ව විද්‍යාල මුද්‍රණාලය 1975)

* මාංශ සත්‍යය කථා කරයි.

* නිරුවත් වීමට ඉඩ හරියි.

* ශරීරය තුලින් එය හඟවයි.

* නොහික්මුණු අභ්‍යන්තර ආවේගවල කොටස ප්‍රතික්ෂේප නොකරයි.

* ජීවිත කථාව හා ඉතිහාසය වෙන් වීමට ඉඩ නොතබයි.

ජිවිතයයි, සමාජයයි ගැන දන්න හැමෝම ඉහත කාරණාත් දන්නවා. දැන ගත්තාම එක්තරා දුෂ්ට ප්‍රමිතියකට අනුව ඒ කාරණා ටික විලාසිතාගත වෙනවා. අපි ඒක පරීක්ෂා කරමු.

 

ඕනෑම ශරීරයකට ඉහත කාරණා නැත්නම් එහෙම සමාජයේ හුස්ම ගන්නවත් ලැබෙන්නේ නැහැ. නිදසුනකට අභ්‍යන්තර ආවේග කියලා ජාතියක් නැති වුණා නම් කව්රුවත් සමාජ ක්‍රියාකාරීත්වයට එන්නේ නැහැ. ප්‍රශ්නය තියෙන්නේ සමාජ ක්‍රියාකාරීත්වය කියන්නේ ආවේග නැති විධියේ විලාසිතාවක් ගොඩ නගන එකක් වීමයි. ඉතිං, තමන්ගේ අභ්‍යන්තරයට නීති නොදාන බහුතරයක් ගැහැණු ශරීර සමාජයට ගැලපෙන්නේ නැහැ. ඒ ගොල්ලන් හොඳ සාමාජීය පිරිමින්ට ගෙදරදී ආශ්‍රය කරන්නයි. බහුතරයක් පිරිමි ශරීර උපන් ගෙයින්ම සමාජයට ගැලපෙන අය. ඒ ගොල්ලං කඳුළු පිටකරන්නේ ගෙදරදී විතරයි. සමාජයේ දී ගස් ගල් වගේ. පොඩි ළමයි කථා කරන්නේ ශරීර වශයෙන්. ඉතින් මේ අයත් සාමාජීය නැහැ. " සමාජයට එන්න ඉන්න අය ". තව ගත්තොත් බීපු පිරිමියි, අසනීප පිරිමියි ශරීරය වශයෙන් කථා කරනවා. එනකොට යම් ගැහැණු කෙනෙක්ට අයිතිකාරයෙක් හිටියොත් එයා කියලා දෙනවා " සමාජයේ " හොඳ නරක ගැන.

 

පිරිමි සමාජයක කූටප්‍රාප්තිය දැන් හොඳටම පැහැදිලියි. ඒ කූටප්‍රාප්තියේ,

* කඳුළු තහනම්

* පොඩි ළමයි තහනම්

* අසනීප තහනම්...........

අපි දන්නවා දාර්ශනික සමාජය, පිරිමි සමාජයෙත් කූටප්‍රාප්තියක් කියලා. අන්න ඒ වගේ බහුබූත ලෝකයකට සාමාන්‍ය ශරීරයක් කරන කථාව කියන්න ගියාම තමයි හෙලන් ෂි ශෝට ඉහත ඡේදය නිර්මාණය වෙන්නේ. ඇයි, දර්ශන වාදයේදී ශරීර කථාව තහනම්, අභ්‍යන්තර ආවේග තහනම්.......... ඉතින් මේ පෝලියෝ සමාජයට සාමාන්‍යතාවය ඉදිරිපත් වෙන්නේ මැජික් ප්‍රවේශයකින් විතරයි.

 

@රොහාන් පෙරේරාගේ ලියවිලිවලින් උපුටාගති.

මතු සම්බන්ධයි.