පාඨලී චම්පික රණවක විසින් රචිත ස්වයං ලිඛිත චරිතාපදානය වූ
“පටිසෝතගාමී තිස් වසක්” කෘතියේ හයවන පරිච්ඡේදය.
මහින්දාගමනය :
2004 මහා මැතිවරණය ශ්‍රී ලාංකික සමාජයේ ජාතිකවාදී උද්වේගය පෙන්නුම් කළේය. ජාතික හෙළ උරුමය ලබාගත්තේ ඡන්ද ලක්ෂ පහමාරක් වුවත් එය උගත් මතවාදි නායකත්වයක් සහිත මාධ්‍යමික සමාජයේ ඡන්දයක් විය. විශේෂයෙන්ම වෘත්තීයවේදීන්, වෛද්‍ය, නීති, ඉංජිනේරූ, කළමනාකරණ හා ව්‍යාපාරික ක්ෂේත්‍රවල ඡන්දය එයට ලැබිණි. මෙය කිසිවෙකුට මගහැරිය නොහැකි සිංහල බෞද්ධ බලය සමාජගත වීමක් විය. සන්ධානයේ ලයිස්තුවල ජ.වි.පෙ අපේක්ෂකයින් මුල්තැනට ඒමත්, ඔවුනට මිලියන 02ක පමණ ජනයා මනාපය පළකිරීමත්, ශ්‍රී.ල.නි.පය පක්ෂයක් ලෙස දුර්වල වීමත් ඒ සමගම සිදුවිය. කොටි සංවිධානයේ බලය යෙදවීමෙන් ඡන්ද ලක්ෂ හයක් ලබාගෙන දෙමළ සන්ධානය ආසන 22ක් ලබාගත්තේය. අනුපාත ක්‍රමයේ විකෘතිය එයින්, පෙනිණි. සිංහලයෙකුට පාර්ලිමේන්තු නියෝජනයක් සඳහා ඡන්ද 60,000 ඉක්මවා අවශ්‍ය වෙත්දී දමිළයෙකුට පාර්ලිමේන්තු නියෝජනයක් සඳහා අවශ්‍ය වූයේ ඡන්ද 27,000ක් පමණි. උතුරු හා නැගෙනහිර නොපවතින ව්‍යාජ ඡන්දත් (ආසන්නයෙන් 50%ක්) කොටි සංවිධානයේ බලහත්කාරයත්, එයට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව දැක්වූ බයාදු යටත්වීමත් නිසා ප්‍රජාතන්ත්‍රවාදය විකෘති කෙරිණි.
මැතිවරණය අහවර වූ වහාම කවර පක්ෂයකට හෝ නොබැදී අපි මධ්‍යස්ථව සිටිය යුතුයැයි උත්තර සංඝ මණ්ඩලය ද හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව ද තීරණය කළේය. උත්තර සංඝ මණ්ඩලයේ (ප්‍රධාන භික්ෂූන් වහන්සේ සය නම) තීරණ ගැනුණේ ඒකමතිකවය. කෙසේ වෙතත්, එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට බහුතරය නොවීය. චන්ද්‍රිකා මැතිණිය පැමිණ ධම්මාලෝක හිමියන්ගේ අසපුවේ දී අපේ හිමිවරු මුණගැසුනාය. මේ අතර, ඇයගේ උපදේශකයින් විටින් විට අපව ද මුණ ගැසිණි. එහි දී අප දැනගත්තේ අගමැති පදවිය සඳහා ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාව ජ.වි.පෙ විසින් යෝජනා කර ඇති බවය. රනිල්ගේ ආණ්ඩුව පෙරළීම සඳහා කදිර්ගාමර් මහතා එකඟ කරගෙන ඇත්තේ ද මේ පොරොන්දුව ඉදිරියට දමාගෙනය. ජ.වි.පෙ ඉලක්කය වූයේ මහින්ද රාජපක්ෂ අගමැති ධුරය ලබාගැනීම වැළැක්වීමය. හම්බන්තොට ප්‍රාදේශීය දේශපාලනයේ සිට ජාතික දේශපාලනය දක්වා මහින්ද රාජපක්ෂ හා ජවිපෙ අතර, මතුපිටින් නොපෙනෙන ගැටුමක් විය. තමනට අභියෝගයක් වියහැකි චරිත ජ.වි.පෙ ඉවසුයේ නැත.
අපි මහින්ද රාජපක්ෂට අගමැතිකම දෙන ලෙස ඉල්ලූවෙමු. එමෙන්ම කථානායක තරගයේ දී නිහඩව සිටින්නට ද තීරණය කළෙමු. මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිකම දුන්නේ හෙළ උරුමය සතුටු කරන්නට බව පසුව එස්.බී.දිසානායක සිය කෘතියක ලියා තිබුණේය. එය ජ.වි.පෙ උපාය මාර්ගය පීලි පැන්නවීමක් විය. අගමැති ධුරය කදිර්ගාමර්ට දිය නොහැකි නම් අඩුතරමින් එය මෛත්‍රීපාල සිරිසේනට හෝ දෙන ලෙස ජ.වි.පෙ ඉල්ලා තිබූ බව පසුව වාර්තා විය. ජ.වි.පෙ උපාය මාර්ගය මහින්ද රාජපක්ෂ අගමැතිවීමෙන් අවුල් වී ගියේය.
චන්ද්‍රිකා, මහින්ද රාජපක්ෂ අගමැති කළේ ජනාධිපති ධුරය ඊලග දෙවසර තුළ අහෝසි කර තමන් එතැනට ඒම සඳහාය. විජේදාස රාජපක්ෂ ලවා කඩිමුඩියේ ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කරනා ලදී. මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයක දී කථානායක පදවිය තීරණාත්මක විය.
මේ අතර, නැගෙනහිර යුදබිමේ නව තත්ත්වයක් ඇති විය. නැගෙනහිර කොටි නායක කරුණා, රනිල්ගේ ආණ්ඩුවටත්, පසුව චන්ද්‍රිකාගේ ආණ්ඩුවටත්, යෝජනා කර සිටියේ තමන් සමග වෙනම සාම ගිවිසුමක් ඇතිකර ගැනීමටත්, කරුණා සහ සගයින් 3000ක් හමුදාවට එක්වීමටත්ය. කරුණා අප්‍රියෙල් 04 මහා මැතිවරණයේ දී සිය නියෝජිතයන් 05 දෙනෙකු පත්කර ගන්නට ද ඡන්දය ‘පාවිච්චි’ කර තිබිණි. ප්‍රභාකරන් එවැනි යෝජනාවක් තමනට මාරක බව දැනගත්තේය. එමිල් කාන්තන් චන්ද්‍රිකාගේ උපදේශකයින් සමග සාකච්ඡා ආරම්භ කළේය. පවාදීම ඇරැඹිණි. අප්‍රියෙල් 10 දා හදිසි ප්‍රහාරයකින් වෙරුගල් හා වාකරේ අල්ලාගත් කොටි, කරුණාගේ සොයුරා වූ රෙජී මරා දමා වැලිකන්ද පාර පැන කරදියනාරු ප්‍රදේශයට ඇතුළු වූහ. ඒ අතර, බාලසිංහම් හා විදේශගත කොටි සාකච්ඡා අරඹා තිබිණි. අවි අතහැර පිරිස විසුරුවා කරුණා සහ හිතවතුන් කොළඹට පළා එන ලදි. කොළඹදී ද ඔවුන් අතරමං කරනා ලදි. ආරක්ෂක හමුදාවල, බුද්ධි අංශවල හා සිංහල සමාජයේ දේශප්‍රේමීන් අතළොස්සක් නොවන්නට කොළඹ දී හා නැගෙනහිර දී ඔවුන් අතුගෑවී යන්නට ඉඩ තිබිණි.
ප්‍රභාකරන් එකක් දැනගත්තේය. එනම්, ශ්‍රී.ල.නි.ප - ජ.වි.පෙ සන්ධානය තමන් සමග යුද කිරීමට බිය බවය. ඔවුනට කිසිම යුද දේශපාලනික සැලැස්මක් නැති බවය. කරුණා පරාජය කිරීමෙන් පසු ප්‍රභාකරන් චන්ද්‍රිකාට ද කොකා පෙන්වීය. ඒ කථානායක තරගයේ දී යූඑන්පී අපේක්ෂකයාට ඡන්දය දීමෙනි.
දින දෙකක සමුළුවක් සඳහා විදේශගතවීමෙන් පසු මා ලංකාවට පැමිණියේ අප්‍රියෙල් 18 දා උදෑසනය. උදයෙන්ම ගොස් පළමුවරට පාර්ලිමේන්තුවට වඩිනා හිමිවරුන්ගේ ගමනට ආශීර්වාද කළෙමු. හිමිවරු ගිහි කථානායක එත්දී අසුන්වලින් නැගිටීම, අසුන්වලට ඇතිරිලි දැමීම, දානය ලබාගැනීම ආදී විනයානූකූල කටයුතු සඳහා අපි විශේෂ වැඩසටහනක් යොදා ගතිමු. ගෙදර ගොස් නිදාගත්තේ සන්ධානයේ අයෙක් කථානායක වනු ඇති බවත්, අපට ඊළ`ග සටන ඇතිවන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සිදුවනවිටදී බවත් සිහිකරලමිනි. නමුත් උදේ වරුවේ හදිසියේ නිවසට කඩා වැදුණු උදය මා සමග කීවේ, කථානායක ඡන්ද ප්‍රමාණය සම වී ඇති බවත්, කතළුවේ හිමි හා අපරැක්කේ හිමිගේ ඡන්දය ආණ්ඩුව සඳහා පාවිච්චි කර ඇති බවත්ය. කතළුවේ හිමි හා අපරැක්කේ හිමි ආණ්ඩුව විසින්, රඳවාගෙන සිටි ස්ථාන දෙක පිළිබඳව අප දැන සිටියත් ගැටුම් මගහරවා ගෙන සිටිය යුතු බව වටහාගෙන කිසිවක් නොකර සිටියෙමු. නමුත් මේ සිදුවූ සිදුවීම අප කෝප කරවන්නක් විය. උදයත් මාත් පාර්ලිමේන්තුවට ගොස් අගමැති මහින්දගේ කාර්යාලයට ගියෙමු. බැසිල් රාජපක්ෂ මහතාත් ලලිත් වීරතුංග මහතාත්, එහි විය. අපේ ස්වාමින් වහන්සේලා සමග සාකච්ඡාවෙන් පසු නැවත මෙවැනි බලහත්කාරකම් නොකරන්නට ඡන්ද දෙක නිෂේධ කිරීමට තීරණය කළෙමු. වි.ජ.මූ ජයගත්තේය. අගමැති වී තවත් වසර හයක් බලයේ සිටීමට උත්සාහ කළ චන්ද්‍රිකාගේ සැලසුම ව්‍යර්ථ විය. අපි කොටින් සමග පාර්ලිමේන්තුවේ දී එක්වූවා යැයි කියමින් ජ.වි.පෙ හා මංගල දැවැන්ත ප්‍රචාරක යුද්ධයක් ආරම්භ කළේය. අපි එයට මුහුණ දුන්නෙමු. මෙය ආණ්ඩුවේ මෝඩ උපක්‍රමයක් විය. පහර දී බියකළ හැකි පිරිසක් නොවේ අපි. කථානායක තරගයෙන් මංගල- චන්ද්‍රිකා හා ජවිපෙ දෙවැනි උපායික පරාජය ලබාගත්හ.
ඊළඟ ගැටුම ඇතිවූයේ කතළුවේ හිමි සම්බන්ධයෙනි. උන්වහන්සේ කොළොන්නාවේ හිමියන්ගේ අතිජාත මිත්‍රයෙකු විය. කතළුවේ හිමි ඉල්ලා අස්වීමට කැමති බව කොළඹ විශ්ව විද්‍යාලයේ සේවය කළ දායක සභාවේ අයෙක් අපට දැන්වීය. අපි ඒ අනුව කතළුවේ හිමි සමග සාකච්ඡාවක් ඇතිකර ගත්තෙමු. තියුණු කාල සැලසුමකින් පසු සිකුරාදා දිනයක පාර්ලිමේන්තුවේ දී ඉල්ලා අස්වෙන්නටත් එදිනම නව මන්ත්‍රිවරයා මැතිවරණ කොමසාරිස් ලවා ගැසට් කරවා ගන්නටත්, ඊළඟ සතියේ අඟහරුවාදා නව මන්ත්‍රී ලෙස දයාරතන හිමි දිවුරුම් දෙවීමටත්, අපට හැකි විය. මනාප පොරයට නොයෑමේ ප්‍රතිඵලයක් ලෙස මෙය මුලින්ම මතු වූයේ ජවිපෙටය. ඒ 1994 දීය. ඒ අවස්ථාවේදී ආණ්ඩුව එය කොල්ලකන්නට ගියවිට ජ.වි.පෙ සහායට අපිත් ඉදිරිපත් වීමු. හම්බන්තොට ජයග්‍රහණය කළ අය අස්වී ගලප්පත්ති පත්වුණේ එලෙසය. දැන් අපේ ඡන්දය කොල්ලකෑම සඳහා ජවිපෙ හා මංගල, ශ්‍රීපති, ජෙයරාජ් වැනි කීප දෙනෙක් විවෘතව ක්‍රියාකරමින් සිටියෝය. ආණ්ඩුවේ සියලූ ආරක්ෂක විධිවිධාන ඔත්තුසේවා නොමග යවමින් අපි දයාරතන හිමියන් දිවුරුම් දෙන තැනට ගෙන ආවෙමු. එයට පෙරදින උසාවියෙන් ඒ සඳහා අතුරු තහනමක් ගන්නට විෙජ්දාස රාජපක්ෂ මහතා සමත්වුව ද උසාවියේ සාමාන්‍ය ක්‍රමයට අනුව නිවේදනය අතට පත්වීමට පෙර දිවුරුම් දීමට දයාරතන හිමි සමත්විය. හැබැයි ඒ ශ්‍රී.ල.නි.ප - ජ.වි.පෙ සමාජිකයන් පාර්ලිමේන්තුව තුළ අපේ හිමිවරුන්ට පීඩා කරත්දීය. හැමතැනම මෙන් එතැනත් මර්වින් සිල්වා කැපී පෙනුණේය.
අපි කළුතර සිට දැවැන්ත විරෝධතා පෙරහරක් පැවැත්වූ අතර, එය තමන්ගේ දේශපාලන අවශ්‍යතාවයට යොදාගන්නට යූ.එන්.පීය ගත් උත්සාහය නිසා එය ද කෙළවර වුණේ කකුල් අමාරුවලට අමතරව හිතේ අමාරුවලිනි. ගැටුම්වලට මැදිකර අපේ ප්‍රශ්න පුළුල් කර අප දියකර හැරීමේ ආණ්ඩුවේ උපක්‍රමය පළදරනා බව මට පළමුවරට හැඟී ගියේය. ඒ නිසා අපරැක්කේ හිමි ඔහේ සිටියදී පක්ෂ යන්ත්‍රය පිළිසකර කරගැනීමට අපි යොමු වුනෙමු. බොහෝ අපහසුවෙන් පක්ෂ සමුළුවක් පවත්වා නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගතිමු. ඒ දිනය ද බොහෝ කලබලකාරී දිනයක් විය. මන්ද කතළුවේ හිමි සම්බන්ධ සිද්ධියකට අපට උසාවි යෑමට සිදුව තිබූ නිසාය. මේ අතර, ශ්‍රීපතිගේ ආරක්ෂකයෙකු වූ ආමි රොෂාන් නැමැත්තා ඝාතනය කළා යැයි චෝදනාවක් මංගල සමරවීර අප වෙත එල්ල කළේය. මරා දැමුණු පුද්ගලයාගේ ඥාතියෙකු මා හමුවී ශ්‍රීපතිට චෝදනා කර ශ්‍රීපතිගේ පාතාල සබඳතා ගැන බොහෝ වටිනා තොරතුරු රැසක් ලබාදුන්නේය. ඝාතනය තමන්ට පාරාවළල්ලක් වන බව දැක ශ්‍රීපති ආපසු හැරුණේය.
පක්ෂ සමුළුවේදී තිලක් කරුණාරත්න මහතාගේ ඉල්ලා අස්වීම අපට සිදු වූ මහත් පාඩුවක් විය. පක්ෂයේ ලේකම් මැතිවරණ කොමසාරිස් දන්නා එකම පාක්ෂිකයා නිසා තිලක් ඒ පදවියේ තබන්නට ඇතැම් හිමිවරුන් කැමති වූයේ නැත. එය බොරු බියකි. තිලක් ඒ පදවියට සුදුසු බව තවත් හිමිවරු පිරිසකගේ හා අපේ අදහස විය. පීඩනය මැද ඔහු ඉවත්විය. ඊළඟට ඔහු යූඑන්පීයට ගියේ අප මවිත කරවමිනි. රනිල් හා කරු, තිලක්ගේ කලකිරීම ප්‍රයෝජනයට ගත්තෝය. නමුත් ඒකීය භාවය පිටුදැක යූඑන්පීයේ ෆෙඩරල් ක්‍රමය වර්ණනා කරනා තැනට ඊළඟ ජනාධිපතිවරණයේ දී තිලක් කරුණාරත්න මහතා පත්වූ විට එතුමා ගැන තිබූ ගෞරවය බොහෝ බොඳවී ගියේය.
පක්ෂ සංවිධානය සඳහා සියල්ලන් යොමු කරවන්නට අපි වෙහෙස ගත්තේ ආණ්ඩුවෙන් හා යූඑන්පීයෙන් එල්ලවුණු පීඩනය ඉතා බරපතල වූ නිසාය. ඒ තත්ත්වය තුළ කොළොන්නාවේ සුමංගල හිමියන් ද ඉල්ලා අස්වූහ. උන්වහන්සේගේ ශාසනික කටයුතුවලට ද දේශපාලනය මහත් නරක ආකාරයට බලපා තිබිණි. ඊලගට ධම්මාලෝක හිමියෝ ද ස්වාධීන වූහ. මේ මගින් අපට ඇති වූ පසුබෑම ඉතා විශාල විය. මාධ්‍යවල ඇති වූ නරක ප්‍රතිචාර බොහෝ බලවත් විය. මේ සියල්ල යටපත් කරගත් අපි 2000 සිහළ උරුමයේ පාඩම් ද සිතට ගෙන බොහෝ සීරුවෙන් ඉවසා සිටියෙමු. සියලූ සබඳතා එකට එකක් බැඳී ඇති නිසා කාලය ඇතැම් ප්‍රශ්න විසඳන බව බෞද්ධයින් ලෙස දැන සිටීම ප්‍රයෝජනවත් විය.
2004 දෙසැම්බර් පොහොය දින උදෑසන ගෙදර පුවත්පත් බලනාවිට බිම් දෙදරීමක් මට දැනිණි. අපේ ලොකු දුවට ද එය දැනී තිබිණි. විනාඩි ගණනකට පසු ගාල්ලෙන් මට දුරකතන ඇමතුමක් ලැබිණි. ගාල්ල නගරය මුහුදට යටවී යන බව අපේ හිතවතා කීවේය. මට එය නුහුරු දෙයක් විය. ඊළඟට තංගල්ලෙන්, හික්කඩුවෙන්, බේරුවලින් සෑම තැනින්ම ඇමතුම් ආවේය. මම මේ ගැන රතන හිමියන්ට පවසා ඊළඟට අගමැති මහින්දට දැන්වූයෙමි. ඔවුන් මට වඩා තත්ත්වය ගැන දැනුවත් වී සිටියෝය. සුනාමිය නම් ව්‍යසනයක් පැමිණ තිබිණි. අපේ නිවස අසල ඇළ (වැල්ලවත්ත) උතුරා යන්නට සූදානම් වූ අතර, හෝමාගම නිවසට යෑම සඳහා දරුවන් සූදානම් කරගත්තෙමි. පැය කීපයකින් සිදුවූ ව්‍යසනය පිළිබඳ නිවැරදි තොරතුරු ලැබීමෙන් පසු ආහාර හා ඖෂධ රැගෙන බේරුවලට හා හික්කඩුවට පිටත්ව ගියෙමි.
සුනාමි ව්‍යසනය නැවත අප සියල්ලන් එක් කළේය. ශ්‍රී ලංකාවේ සමාජ සංයුතියේ භික්ෂුවගේ ශාසන කාර්ය භාරය මෙන්ම සමාජ කාර්ය භාරය ද නැවත සහතික විය. භික්ෂුව සහ බෞද්ධ දායකයින්ගේ පරිත්‍යාග නොවන්නට සුනාමි ව්‍යසනයෙන් සිදුවිය හැකිව තිබූ ඛේදවාචකය තවත්, දරුණු වන්නට ඉඩ තිබිණි. එක්සත් ජනපදයේ කැට්රිනා කුණාටුවේදී මෙන් සාගින්නෙන් මියයෑම්, ආහාර මංකොල්ලකෑම්, ඝාතන ආදී කිසිවක් සිදුවූයේ නැත. රජයේ යාන්ත්‍රණයට කලින් බෞද්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක විය. පයාගල පිරිවෙනේ වූයේ කිතුනුවන්ය. අම්පාර පිරිවෙනේ වූයේ දමිළයන්ය. මුසුල්මානුවන්ට පානම පන්සලේ රැකවරණය ලැබිණි. බෞද්ධ කෘතවේදීත්වය එහිදී ලොවටම පැහැදිලි විය.
සුනාමියේ දී ජාතික හෙළ උරුමයට මහා පිටුබලයක් වූයේ ඕමල්පේ සෝභිත හිමියන්ය. උන්වහන්සේගේ නැගෙනහිර ආසියානු සබඳතාවලින් පළමු ස්ථීර නිවාස ඉදිකිරීම මසක් ඇතුළත කරන්නට (පානදුරේදී) අපට හැකිවිය. ඒ සියල්ලේ අධීක්ෂණ කටයුතු පළමු මාස හතර තුළ කළේ මාය. ගොඩනැගිලි ඉදිකිරීම ගැන මගේ ඇඟ ඇතුළේ වූ වාස්තු විද්‍යාඥයා අවදි විය. සෝභිත හිමියන් නිවාස 650ක් පමණ රට වටාම ඉදි කළේය. මුළු පක්ෂ යාන්ත්‍රණයම නන් අයුරින් දායක වෙමින් එකට එක්විය.
කදිර්ගාමර් මහතා ඝාතනය වූයේ ද (2004) ඒ අතරය. මෙය ප්‍රභාකරන්ගේ අග්නි පරීක්ෂාවක් විය. ජ.වි.පෙ - ශ්‍රී.ල.නි.ප එක්සත් සන්ධානය දක්වන ප්‍රතිචාරය බලාගැනීමට අමතරව ජාත්‍යන්තර වශයෙන් කොටින්ට ඇති පිළිගැනීම දුරුකිරීමට හැකි ශක්තිමත් චරිත ඉවත් කිරීම ඝාතනයේ අරමුණ විය. ආණ්ඩුව තවත් නිවට විය. කිසිලෙස සිංහලයින් තමනට රැහැනිව නැඟී නොසිටින බවට ප්‍රභාකරන් නිගමනයකට ආවේය. දැන් ඔහුට ඉතුරුව තිබුණේ ජාත්‍යන්තර පිළිගැනීම සහතික කරගැනීම පමණි.
මේ අතර, ආණ්ඩුව තුළ ජවිපෙ ඉතා අපහසුවට පත්ව සිටියේය. දැවැන්ත ප්‍රචාරක රැල්ලක් මගින් වසාගෙන තිබුණ ද අමාත්‍යාංශ පාලනයේ දී ඔවුන් අසාර්ථක විය. එයට හේතූ වූයේ චන්ද්‍රිකාගේ නිලධාරීන් එක් අතකින් ද පක්ෂයේ නිලධාරීන් අනෙක් අතින්ද ජවිපෙ ඇමැතිවරුනට සීමා පැනවීමත්, තමන්ම තනාගත් කොටුවල සිට ක්‍රියාකිරීමට සිදුවීමත්ය. ජ.වි.පෙ වැඩිම වුණොත් අවුරුදු දෙකක් ආණ්ඩුවේ සිටිවීය යන්න මුලසිටම මගේ ස්ථාවරය විය. එය එසේම වන බවට තොරතුරු ජවිපෙ තුළින්ම ගලා ආවේය.
සුනාමිය සඳහා මහනුවරදී පැවැත්වූ ජාත්‍යන්තර ආධාර කණ්ඩායමේ රැස්වීමේ දී රතන හිමියන් ජනාධිපතිනිය හා ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කිරීමත් එයට සමාජයෙන් ලැබුණු අනගි ප්‍රතිචාරයත් අපේ විශ්වාසය දියුණු කළේය. ජ.වි.පෙ සිටියේ සසල වෙමිනි. ඊළඟට චන්ද්‍රිකා කිසි පැකිලීමකින් තොරව සුනාමි සහන මණ්ඩලය ගෙන ආවාය. එහි අරමුණ වූයේ නැගෙනහිර වෙරළ තීරය කොටි සංවිධානයට නීත්‍යානූකූලව ලබාදීමත් ඔවුනට ඝෘජු විදේශ ආධාර නීත්‍යානූකූලව ලැබීමට සැලැස්වීමත්ය. 1776 දී ලන්දේසි ප්ලැක් හා සිංහලේ රජු රාජසිංහ අතර මෙවැනිම එකඟතාවයක් වෙරළ තීරය සඳහා ඇතිවිය. ඒ වෙරළ තීරය නැවත අපට ආපසු ලැබුණේ නැත. 1654 දී ඩේන්වරු සමග නෝර්විජියානුවන් ද ලංකාවට පැමිණි අතර, ඔවුනගේ ඉලක්කය වූයේ ද වෙරළ තීරයයි. දැන් මේ උතුරු යුරෝපීය බෝල්ටික් ජාතීන් කොටි සංවිධානය ලවා අපගේ නැගෙනහිර වෙරළ අත්පත් කර ගන්නට යන බවත්, මෙයට ඉඩදුනහොත් සදහටම එය ඔවුන් සන්තක වන බවත්, අපට පැහැදිලි විය. මේ වනවිට නොර්වේජියානු TGS නොපෙක් සමාගමේ තෙල් ගවේෂණ දත්ත (මන්නාරම් ද්‍රෝණිය) ලැබී තිබූ අතර, එහි රුසියානු උප කොන්ත්‍රාත් සමාගමේ සේවය කළ ලාංකීය ඉංජිනේරුවෙක් මා හට පුද්ගලිකව දැනුම් දුන්නේ තෙල් හා විශේෂයෙන් ස්වාභාවික ගෑස් සම්පතත් තෝරියම් නිෂ්කාසනය සඳහාත් අවශ්‍ය දත්ත රහසේ සැකසෙන බවය. දෙවැනි ලෝක (යුරෝපා) යුද්ධයේ දී කොන්ගෝවට සිදුවූවා සේ අපේ දුර්ලභ සම්පත් සඳහා මහා පරිමාණ අරගලයක් ඇරඹෙන්නට යනවාදෝයි සැකයක් ද ඇතිවිය. තීරක ප්‍රහාරයක් චන්ද්‍රිකාට එල්ලකරන්නට අපි තීරණය කළෙමු.
චන්ද්‍රිකාගේ එක් ගුණාංගයක් එනම් හදවතින්ම දෙමළ ජාතිවාදීන්ගේ තර්ක විශ්වාස කිරීමත්, ඒ අනුව ක්‍රියාකිරීමත් නිසා ඇය යූඑන්පී නායකයින්ටත් වඩා දුෂ්ඨ චරිතයක් ලෙස හඳුනාගතිමු. ජේ.ආර්. හෝ ප්‍රේමදාස කොටි සමග සාකච්ඡා ආදියට ගිය ද ඔවුන් දෙමළ ජාතිවාදී මතය හිසට ගෙන තිබුණේ නැත. එමෙන්ම මේ රටේ බහුතර සිංහල මතයට කන්දීමේ අවශ්‍යතාවය ද දැන සිටියහ.
මාරාන්තික උපවාසයක් මගින් ජාතියම අවදි කළයුතු බව තීරණය කළෙමු. එල්ලාවල හිමියන් රෝහල් ගතවී සිටි නිසා ඕමල්පේ හිමි, කොටපොළ හිමි, රතන හිමි සහ අපගේ සෙසු හිමිවරු උදෑසනම දළදා මාලිගයට ගොස් ශ්‍රී දළදාව වැඳපුදාගත්හ. ඕමල්පේ හිමි සියරට පැමිණියේ එදින පාන්දර ජාමයේය. මාළිගය දක්වා යන ගමනේදී ශ්‍රී ලංකික ආර්යදේව භික්ෂුවගේ තර්ක විලාසය ගැනත් නාගර්ජුනගේ ශූන්‍යවාදයේ පදනම් ගැනත් සාකච්ඡා කරමින් ගියෙමු. දන්තධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසු පාත්‍ර ධාතූව තැන්පත් කර ඇති ස්ථානයට පැමිණ කාටවත් අවහිර නොවන ලෙස එහි එරමිනියා ගොතා ගෙන තැන්පත් වූ ඕමල්පේ හිමියෝ සිය ජීවිතය දළදා හිමිට කැපකර උපවාසය ආරම්භ කළේ අප සැමගේ නෙත්වල කඳුළු නංවමිනි.
දළදා මාලිගයට මෙය අවමානයක් යැයි කියමින් ඇතැමුන් මේ උපවාසයට අවමන් කිරීමට තැත් කළ ද දියවඩන නිලමේ සමග සාකච්ඡා කර දළදා මන්දිරය ඉදිරිපිටට ස්වාමීන් වහන්සේ වැඩම කරන ලදි. රටම අවදි කිරීම අපේ පරමාර්ථය වූ අතර, දහස් ගණන් ක්‍රියාකාරීන් රටපුරා පන්සල් හා සේවා ස්ථාන කරා පිටත් කරවීමු. තුන්වන දිනය වනවිට ජ.වි.පෙ ආණ්ඩුවෙන් එළියට ආ අතර, වෙනම උපවාසයක් ආරම්භ කළේය. කපටි චන්ද්‍රිකා සුනාමි සහන මණ්ඩල (PTOM) යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවේ අගමැති මහින්ද හරහාය. ඒ එතුමා වෙතට ජාතික බලවේගවල වෛරය තල්ලූ කර හරින්ටය. උපවාසයේ තුන්වැනි දින තම පැරැණි මිත්‍රයා වූ සෝභිත හිමියන් බැලීමට අගමැති මහින්ද උපවාස භූමියට පැමිණියේය. ඕමල්පේ හිමියන් සමග සාමීචියේ යෙදී ආපසු ගියේය. මහානායක හිමිවරුන් සිව්නම එකට එකතු වී ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළ අතර, චන්ද්‍රිකා සිය නියෝජිතයන් ලෙස රෝහිත බෝගොල්ලාගම හා විජේදාස රාජපක්ෂ නුවරට එව්වාය.
මහා සංඝයාගේ අනුමැතියෙන් තොරව සුනාමි සහන මණ්ඩලය ක්‍රියාත්මක නොකරන බව චන්ද්‍රිකාගේ ලිඛිත පොරොන්දුව විය. මේ වනවිට රටම මහා උද්වේගයකට පත්වී තිබූ අතර, කොටුව, පිටකොටුව ජනාධිපති මන්දිරයටම උද්ඝෝෂණයේ උණුසුම රැගෙන ගියෙමු. කොටපොළ හිමියන් ද විහාර මහා දේවී උද්‍යානයේ උපවාසයක් ඇරැඹීමට සූදානම පළකළේය.
මහානායක හිමිවරු සතර නම වෙනුවෙන් මල්වතු මහානායක හිමියන් ජනාධිපතිනියගේ පොරොන්දුවේ වගකීම භාරගත් අතර, අපි උපවාසය අත්හළෙමු. අප පසුපස දිගින් දිගටම ජාතිකවාදය කොපි කරමින් පැමිණි ජවිපෙහි උපවාසය අන්තිමට අවසන් වූයේ පොලීසියේ පැමිණිල්ලක් කර හිමිවරුන් පොලීසිය ලවා උපවාස බිමෙන් ඉවත්කරලීමෙනි. ‘චම්පිකගේ දහංගැටයට’ ජවිපෙ යළි අසුවී ඇතැයි මාධ්‍ය වාර්තා කළේය.
චන්ද්‍රිකා මහනාහිමිවරුන්ට දුන් පොරොන්දුව කඩ කළාය. අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතූයෙමු. අගවිනිසුරු ප්‍රමුඛ විනිසුරු මඩුල්ල සුනාමි සහන මණ්ඩලයේ මූල්‍ය පදනම ඉවත් කළහ. එය එතැණින්ම ඉතිහාසයට එක්විය පසු කලෙක (2009 මාර්තු) අපේ ආරක්ෂක හමුදා චූන්ඩිකුලමේ සිට මුලතිව් දක්වා වෙරළ තීරය අල්ලා ගත්විට එදා සිදුවීමට ගිය දෙය පැහැදිලි විය. සබ්මැරීන, ටෝර්පිඩෝ, මුහුදු යට උමං පද්ධතිවලින් සමන්විත නවීන මුහුදු කොටි කඳවුරු සංකීර්ණයක් සුනාමියට මුවා වී විදේශීය විශේෂඥයෝ ඉදිකරමින් සිටි බව වාර්තා විය. ඉතින් සුනාමි සහන මණ්ඩලය ආවානම් මුළු නැගෙනහිරම සිදුවන්නේ ඒ ක්‍රියාදාමයය.
උතුර හා නැගෙනහිර වෙන්කිරීමට අගවිනිසුරු දුන් තීන්දුව ද ඓතිහාසික එකක් විය. උතුර හා නැගෙනහිර එක්කළේ හදිසි නීතිය යටතේ නිසාත් එය හදිසි නීතිය අවසන් වනවිට අවසන් විය යුතුය ලෙස තර්කයක් විය. නමුත් විමසිල්ලෙන් එකී ඒකාබද්ධතාවය විමසීමේ දී පෙනී ගියේ අවි සියල්ල ත්‍රස්තවාදීන් භාරදීමෙන් පසු එකී ඒකාබද්ධතාවය වලංගු වන බවය. නමුත් පසුව අවි භාරදීම පිළිබඳ කොන්දේසිය අවි භාරදීම සඳහා මෙහෙයුම් සිදුකරනා බවට ජනාධිපති සෑහීමකට පත්වී ඇතිවිට ලෙස සියුම්ව වෙනස්කර තිබුණි. උතුර හා නැගෙනහිර එක්කර වසර ගණනාවක් ගතවී ඇති නිසා මූලික අයිතිවාසිකම් පෙත්සමකින් එය වෙන්කළ නොහැකි බවත්, මූලික අයිතීන් පිළිබඳ පෙත්සමක් සිද්ධිය සිදුවී මසක් ඇතුළත ඉදිරිපත් විය යුතුයැයි නියමයක් තිඛෙනා බවත්, අපේ නීතිඥමතය විය. අපි මේ නිසා කොටපොළ අමරකිත්ති හිමි නමින් උතුර හා නැගෙනහිර වෙන්කිරීම සඳහා පනත් කෙටුම්පතක් ගෙන ආවෙමු. එයට හේතූ වූයේ පළාත් සභා පනත යටතේ ඕනෑම මොහොතක ඕනෑම පළාත් දෙකකට ස්ව කැමැත්තෙන් එක්වීමට හැකියැයි කියා නීතිමය ප්‍රතිපාදනයක් තිබීමය. සුනාමි මණ්ඩල නඩුවේදී ද මූලික අයිතීන් පිළිබඳ රාමුව පුළුල් කෙරිණි. අපි සුනාමි සහන මණ්ඩලයට එරෙහි මූලික අයිතීන් නඩුව පැවරුවේ සුනාමියට ගොදුරු වූ නැගෙනහිර පුද්ගලයින් තිදෙනෙකු මගිනි. ජවිපෙ දේශපාලන වාසිය තකා එය සිය මන්ත්‍රීවරුන්ගේ පෙත්සමක් කළේය. එහිදී මූලික විරෝධයක් ගොඩනැගුණේ එයට ඝෘජු ලෙස බලපෑමට හසුනොවූවන් මූලික අයිතීන් පිළිබඳ නඩුවක් ගොනු කරන්නේ කෙසේ ද ලෙසය. එවකට සිටි අගවිනිසුරුතුමා එකී තර්කය ද ප්‍රතික්ෂේප කළේය. මේ හෙයින් එතුමා මූලික අයිතීන් පිළිබඳ සංකල්ප පුළුල් කළේය. එය ඇතැමුන්ගේ දැඩි විවේචනයට ලක්විය. විශේෂයෙන්ම එතුමා උතුරු හා නැගෙනහිර තාවකාලික එක්වීම වෙන්කළේ ඊනියා සාම සම සභාපතිවරු මෙන්ම ඉන්දියාව හා ආණ්ඩුවේ ඇතැම් පිරිස්වල ද විරෝධය මතය. ඔහු ගත් ඒ පියවර දෙකම ඓතිහාසික විය.
ජනාධිපතිවරණය 2005ට නොතබා ව්‍යවස්ථා සංශෝධනයක් මගින් එය අහෝසිකර අගමැති ධුරයට පත්වීම සඳහා චන්ද්‍රිකා ව්‍යවස්ථා සංශෝධනයක් විජේදාස රාජපක්ෂ හරහා ගෙන ආවාය. ඒ අතර, යූඑන්පීය 1999 මෙන් ජනබල මෙහෙයුමක් ආරම්භ කළේය. එහි පිටට පෙන්වූ අරමුණ වූයේ 2005ට ජනාධිපතිවරණය දිනාගැනීමයි. එහෙත් යටින් වූ අරමුණ වූයේ චන්ද්‍රිකා ප්‍රකෝපකර ඝාතන සිදුවීම් ඇතිකර පාර්ලිමේන්තුව විසුරුවා ගැනීමයි. පළමුව අගමැති වී පසුව ජනපති වීම කවදත් ඝෘජු සටනට අකමැති රනිල්ගෙ උපක්‍රමික තේරීම විය.
ජනාධිපතිවරණය 2005ට ලබාගත යුතුයැයි අපි තීරණය කළෙමු. සුනාමි මණ්ඩල සටනින් ජාතික බලවේග ජයග්‍රාහීව රත්වී ඇති නිසා ඒ රස්නය මගින් ජාතික න්‍යාය පත්‍රයක් යටතට ජනාධිපතිවරණය ගැනීම අපේ උපාය මාර්ගය විය. අපි නඩුමගට ගියෙමු. එයට පෙරාතුව පාර්ලිමේන්තුවේ පුස්තකාලයට ගොස් 1982 දී සිව් වසරකට පසු ජනාධිපතිවරණයක් කැඳවීමට ජනාධිපතිට බලය දුන් ව්‍යවස්ථා සංශෝධන විවාදය කියවා පිටපත් කර ගතිමි. නීතිවේදී මනෝහාර ද සිල්වා, උදය ගම්මන්පිල හා මා අතර, සාකච්ඡා වට කීපයක් ඇතිවිය. 1982 ව්‍යවස්ථාව සංශෝධනය කර තිබුණේ තම සිව්වෙනි වසර අවසන් වීමෙන් පසු (1982 පෙබරවාරී 04) ජනාධිපතිවරණයක් කැඳවීමට ජයවර්ධනට හැකිවන ලෙසය. නමුත්, 1999 දී චන්ද්‍රිකා එය පාවිච්චි කර තිබුණේ සිය පස්වන වසරට පසුය. අපි මේ විසංවාදය නඩු නිමිත්ත කරගතිමු. එමෙන්ම ඇයගේ ධුර කාලය (මෙය ව්‍යවස්ථාවේ වැරැදි ලෙස සඳහන් වී ඇත්තේ දුර කාලය ලෙසය) ඇයගේ කලින් දිවුරුම් දිනයේ සිට ඇරැඹෙන්නේ ද, නව දිවුරුමේ සිට ඇරැඹෙන්නේ ද, දෙවන වර දිවුරුමක් අවශ්‍යය ද යන තර්ක ගොඩනැගිනි. ඇය මිය යනු ඇතැයි බියෙන් තවත් ජනාධිපතිවරණයක් වළක්වා ගැනීම සඳහා නියමිත දිනයට පෙර ඇය දිවුරුම් දී තිබිණි.
අපේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට ගත්තේය. එවකට අගමැති මහින්ද රාජපක්ෂගේ සමීපතම ආධාරකරුවන්ගේ අදහස වූයේ එතුමා අගමැති වී වසරක් පමණක් නිසා තව වැඩකර ඡන්දයට යා යුතු බවය. තවත් වසරක් ගියහොත් ජනතාවට ආණ්ඩුව සහමුලින් එපා වී කවුරුන් ඉදිරිපත් වුවත් ජයගත නොහැකි වනු ඇති බව අපේ තර්කය විය. එයට එක වූයේ බැසිල් රාජපක්ෂ මහතා පමණි. චන්ද්‍රිකා මෙයට තරයේ එරෙහි වූවාය. මෙය තමන්ගේ ව්‍යවස්ථා සංශෝධන උපාය මාර්ගය අවුල් කරන්නක් ලෙස ඇය දුටුවාය. අපට විරුද්ධව ශ්‍රීලනිප ලේකම් මෛත්‍රීපාල සිරිසේන උසාවි ගිය අතර, අනුර බණ්ඩාරනායක ද උසාවියට පැමිණියේය. රනිල් මේ මගින් සිය පළමුව අගමැති දෙවනුව ජනපති උපාය වැරැදී යන නිසා අපෙන් ආයාචනය කළේ නඩුව ඉවත් කරගන්නා ලෙසය. නඩුව දා ජනාධිපතිවරණය 2005ට පැමිණි විට යූඑන්පී ආධාරකරුවන් දැවැන්ත රතිඤ්ඤා සංදර්ශනයක් පැවැත්වූ නමුත් රනිල්ගේ මුහුණේ එළියක් නොවීය. එය අගවිනිසුරු දුන් තවත් ඓතිහාසික තීන්දුවක් විය. චන්ද්‍රිකාගේ ඉරණම තීරණය වූ අතර, රනිල්ගේ ඉරණම තීන්දු කිරීම ජනාධිපතිවරණයට භාර කෙරිණි.
ජනාධිපතිවරණය දිනාගැනීමත් සමග මොහොතක් පමා නොවූ අපි ජනාධිපතිවරණයට සහාය දීම සඳහා පංච ධර්ම ප්‍රතිපත්තියක් (2005 සැප්තැම්බර්) නුගේගොඩ පංච පද්ම පූජාවකදී ඉදරිපත් කළෙමු. ත්‍රස්තවාදය මැඩලීම, රටේ ඒකීය භාවය සුරක්ෂිත කිරීම, ජාතික ආර්ථීකය ආදිය එහි තේමාව විය. අපි අපේ යෝජනා සමග මුලින්ම රනිල් හමුවුනෙමු. රනිල් සුපුරුදු ලෙස කීවේ තමන් බටහිර රටවලට ෆෙඩරල් ක්‍රමයක් ගෙනඒමට පොරොන්දු වී අති නිසාත්, ශ්‍රී ලංකා රජයට සටන් විරාමයෙන් ඉවත් විය නොහැකි නිසාත්, තමනට එය කළ නොහැකි බවය. රනිල්ගේ අවංක ප්‍රකාශය ගැන අපි එක අතකින් සතුටු වූ අතර, රටේ ජාතික ශාසනික බලවේග පිළිබඳ ඔහුට තක්සේරුවක් නොවීම ගැන කනගාටු වීමු. ඔහු කියා සිටියේ කෝට්ටේ ප්‍රභූ භික්ෂූන් කීප දෙනෙකු මගින් බෞද්ධයින් අන්දවා ගතහැකි බවය.
ඊළඟට අපි අගමැති මහින්ද හමුවුනෙමු. එතුමා අපේ තත්ත්වය තේරුම් ගත්තේය. නමුත් ශ්‍රීලනිපයේ බලය චන්ද්‍රිකා සතුවූ නිසා ඒකීයභාවය පිළිබඳව ස්ථාවරයක් ගැනීම ගැන උපාය මාර්ගයක් යෝජනා කරනා ලෙස ඉල්ලා සිටියේය. රනිල් සමග කොහොමත් සුළු ජාතික පක්ෂ යන නිසා ජාතික හෙළ උරුමය හා ජවිපෙට උචිත ප්‍රතිපත්තිය ගැනීමට ශ්‍රීලනිපයට සිදුවන බවත්, එවිට ඉබේම ජයග්‍රහණය ස්ථීර වන බවත්, පෙන්නා දීමෙන් පසු එකඟතාවය පළවිය.
අගමැති මහින්ද මුලින්ම අත්සන් කළේ කරුණු දොළහකින් යුතු හෙළ උරුමය - එල්ලාවල මේධානන්ද නාහිමියන් සමග එකඟතාවයය. අපි එය රහසක් ලෙස තබාගත්තේ එය ජවිපෙ සමග එකඟතාවයට බාධාවක් වේයැයි සිතාය. සිරිමාවෝ සමග 1988 දී අසාර්ථක වූ සාකච්ඡා පිළිබඳ හොල්මන් මගේ සිතේ නිරතුරු රඟ දැක්විණි. එමෙන්ම ජවිපෙ අභ්‍යන්තර ආරංචි මාර්ග කීවේ තනියෙන් ඡන්දය ඉල්ලිය යුතු බවට කණ්ඩායමක් තරයේ ප්‍රකාශ කරනා බවය. හෙළ උරුමයේ ද නායක මට්ටමේ ප්‍රබල පිරිසක් මොනම හේතූවක් නිසා හෝ ශ්‍රීලනිපයට, මහින්ද රාජපක්ෂට එක්නොවිය යුතු බව ප්‍රකාශ කළෝය. අපි විහාර මහා දේවී උද්‍යානයට සාමාජිකයන් කැඳවා සිය මතය සඳහා ඡන්දයක් ගත්තෙමු. වරක් විශ්ව විද්‍යාලයේදී ද වර්ජනය දිග්ගැස්සීම සඳහා ඡන්දයක් ගත් අතර, දීර්ඝ කතාවකින් පසු මනස වෙනස් කිරීමේ හැකියාව පිළිබඳ මට ලොකු ආත්ම විශ්වාසයක් එදා සිට ඇතිවිය. අපි පාක්ෂික බහුතර කැමැත්ත ද දිනාගත්තෙමු. මුලදී ජවිපෙ ඒකීයභාවය අවධාරණය නොකළේය. ඔවුන් 2004 සන්ධානයේදී ද එය අවධාරණය කළේ නැත. නමුත් අපේ ගිවිසුමේ එය තිඛෙනු බව දැක එය ඇතුළු කරගත්හ. ඒ ගැන මුළු ලකුණු ඔවුන් දමාගැනීම ගැන අපේ විරෝධයක් තිබුණේ නැත. මන්ද විජාතික සල්ලිවලින් ගෙන යන රනිල්ගේ ජනාධිපතිවරණය දිනන්නට ජවිපෙ කාඩරය අත්‍යවශ්‍ය බව අප දැන සිටි නිසාත්, ඒ ශ්‍රීලනිපය ඡන්දය මගහරිනා බව අපට හොඳින්ම පැහැදිලි වී තිබූ නිසාත්ය. මුලදී ශ්‍රීලනිප නායකයින්ගෙන් ඝෘජුව ඉදිරියට ආවේ මංගල, ජෙයරාජ්, ශ්‍රීපති පමණි. රූපවාහිනී වාද විවාදවලට යන්නට සිටියේ ශ්‍රීපති පමණි. පසුව එකා දෙන්නා ප්‍රවාහයට එක්විය. බිම් මට්ටමේ ජනයා නම් පැකිලීමකින් තොරව එක්විය.
ජනාධිපතිවරණය මෙහෙයවීම සඳහා ජාතික මට්ටමේ කමිටුවක් පිහිටුවිණි. මංගල සමරවීර මහතා එහි නිල මෙහෙයුම්කරු වූ අතර, බැසිල් රාපක්ෂ එහි නොනිල මෙහෙයුම්කරු විය. ඩලස් අලහප්පෙරුම එහි සාමාජිකයෙකු වූ අතර, චන්ද්‍රිකා ගැන අවිශ්වාසයෙන් යුතුව විදේශ ගතවී සිටි ඔහු ආපසු පැමිණියේ මහින්ද රාජපක්ෂ මහතා ස්ථීරව ඡන්දය සඳහා යෝජනා වීමෙන් පසුවය. විමල් වීරවංශ හා අනුර දිසානායක මහත්වරුන් මාරුවෙන් මාරුවට එය නියෝජනය කළේය. ජනාධිපතිවරණයක් මෙහෙයවන ජාතික කමිටුවක මා සිටියේ පළමුවරටය. නමුත් මහ මැතිවරණ තුනක් ජාතික මට්ටමෙන් මෙහෙයවීම විසින්, මට ලැබී තිබුණු අත්දැකීම් බොහෝ ප්‍රයෝජනවත් විය. විවිධ සාධක දිනාගැනීම, මැතිවරණයේ තීරක මොහොතවල් තීරණය කිරීම උපාය මාර්ග හා උපක්‍රම නිර්මාණය, ජාතික ප්‍රචාරක ව්‍යාපාරයක් සැලසුම් කිරීම විශේෂයෙන් මාධ්‍ය ප්‍රචාරණය පිළිබඳ නව උපාමං සැකසීම සිදුවිය. අපට මහත් ප්‍රයෝජනයක් වූයේ වරින් වර ලැබුණු සමීක්ෂණ වාර්තාවන් හා අරලියගහ මන්දිරයට වගකියනා නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරුය. ඒ අනුව උපායික ක්‍රියා සැලසුම්කරනා ලදී.
හෙළ උරුමයෙන් ජාතික ප්‍රචාරක රැලිවලට දායක වූයේ මා පමණය. මගේ දායකත්වය ද බස්නාහිර පළාතට සීමා විය. නමුත් අපි ජාතික හෙළ උරුමය ලෙස මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වෙනම බොදු හමු පැවැත්වීමු. පැවැත්වූ දැවැන්ත භික්ෂු හමුවකදී ඒකීය රාජ්‍යය දිනවීම පිණිස යෝජනාවක් ද සම්මත කරගතිමු. පසුව ඇතැම් නායක හිමිවරු තමන් එහි නොසිටි බව කියන්නට වුව ද එමගින් සාතිශය බහුතරයක් භික්ෂු පරපුරේ අනුමැතිය ජනපති මහින්දට ලැබිණි. ජාතික හෙළ උරුමයට 2004 දී ලැබුණු ඡන්දයෙන් 65%ක් මහින්ද රාජපක්ෂට ලබාගැනීම අපේ ඉලක්කය විය. ලක්ෂ 48 සීමාව පැනගතහොත් ජයග්‍රාහකයා මහින්ද රාජපක්ෂ බව අපේ ස්ථාවරය විය. අපි ඒ ඉලක්කයට වැඩකරන්නට වීමු.
මෙහිදී ඇතැම් ප්‍රභූ භික්ෂූන් වහන්සේලා රනිල් වික්‍රමසිංහ මහතා සමග සිංහල විරෝධී, බෞද්ධ විරෝධී පිරිස් පොදිගැසී සිටිනා බව දැන දැනම ඔහුට සහාය දෙන්නට විය. ඒ බොහෝ දෙනා කොළඹ වැඩ වාසය කළ සර්ව ආගමික සමුළු ආදිය පවත්වමින් විජාතික න්‍යායපත්‍රවලට වැඩකළ එයින් යැපුණු අය වූහ. ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ පුද්ගලික ජීවිතය පෙන්වා උන්වහන්සේලා බියවද්දා තිබිණි. දැන් අරලියගහ මන්දිරයේ නිතර නිතර බණට වඩින ප්‍රකට හිමිනමක් දෙහිවල විහාරස්ථානයක පැවැති බෞද්ධ උත්සවයකදී ප්‍රසිද්ධියේ මගෙන් ප්‍රශ්න කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වන්නේ වීරකැටිය ප්‍රාදේශීය සභාවට ද කියාය. උන්වහන්සේගේ උපහාසයේ තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා විදේශගත අධ්‍යාපනය නොලැබූ අයෙක් නිසා ඔහුට විදේශ රටවල් කළමනාකරණය කළ හැකි ද යන්නය. ජනාධිපති බවට පත්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය පළමු දේශනය විදේශ තානාපතීන් අරභයා කළේ සිංහලයෙනි. එතුමා වරක් සිංහල භාෂාවෙන් එක්සත් ජාතීන් (2007) ඇමැතූ අතර, එහි තිබූ ඇතැම් අඩුපාඩු අන්තිම මොහොතේ සකස් කළේ මාය. ඊළඟ අවස්ථාවේ එතුමා දෙමළ භාෂාවෙන් ද එක්සත් ජාතීන් ඇමැතුයේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී මානව හිමිකම් සභාවලදී අපට එරෙහිව බලගතු රටවල් පෙනී සිටියදී ඒවායේ බහුතර බලය ජයගන්නට අපි සමත්වීමු. ගමේ මිනිසුන් ගැන නගරයේ ඇතමුන් මොනතරම් හෑල්ලූවට සිතනවාද කියා මට ඒ ජනාධිපතිවරණයේ දී තදින් දැනිණි. එයින් මාගේ අධිෂ්ඨානය තවත් දැඩි වූයේය.
මහින්ද රාජපක්ෂ මහතාට සහාය දෙන පක්ෂ 26ක් විය. ඒ අතර, එතුමා ජාතික හෙළ උරුමය සමග හා ජවිපෙ සමග වෙන වෙනම ජාතික එකගතා ඇතිකරගෙන තිබිණි. ශ්‍රීලනිපයේ තවමත් නායිකාව වූයේ චන්ද්‍රිකාය. මේ නිසා ඒකීය රාජ්‍යය වැනි සංකල්පයකට ඇයගේ අනුමැතිය ගැනීම ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමටත් වඩා දුෂ්කර කාර්යයක් විය. 2004 මහා මැතිවරණයේ දී ජවිපෙට පවා ශ්‍රීලනිපය ඒකීයභාවයට ගත නොහැකි විය. මේ සියලූදෙනා එක්කර එක ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තැනීම අතිශය දුෂ්කර කාර්යයක් විය. ශ්‍රීලනිපයේ ප්‍රතිපත්තිය ලෙස ඒකීය ද - එක්සත් ද කියා කිසිවක් සඳහන් නොවන ලියවිල්ලක් ද වරක් ඩලස් මා වෙත යොමුකර තිබිණි. පොදු ප්‍රතිපත්තිය තැනීම සඳහා ශ්‍රීලනිපයට හිතවත් විශ්ව විද්‍යාල ඇදුරන් කීපදෙනෙකු පත්කර තිබුණු අතර, ප්‍රායෝගිකව එය ලිවීම සඳහා ලලිතසිරි ගුණරුවන්, අජිත් කබ්රාල් හා ජගත් වැල්ලවත්ත යන මහත්වරු ක්‍රියා කළහ. සියලූ පක්ෂ ඔවුන්ගේ යෝජනා ලබාදී තිබිණි. දින සති ගතවුන ද ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් වූයේ නැත. ඒ අතරේ සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොටස් යූඑන්පීය අතට පත්වී එය රනිල්ගේ ප්‍රතිපත්තියට එක්වී ඇති බව ද වාර්තා විය. අපේ ප්‍රතිපත්ති භාරදීමට ගියවිට මා දුටුවේ ප්‍රකාශන කීපයක්ම තනා ඇති බවය. එහි තිබූ මුළු පිටු ගණන 713ක් විය. (එය තවම මා සතුව ඇත) මේ පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ මහත්වරුන් සමග වරක් සාකච්ඡාවක් ඇති වූ අතර, මෙලෙස සියලූදෙනා තෘප්තිමත් වන ප්‍රතිපත්ති ප්‍රකාශයන් තැනීම කළ නොහැකි කාර්යයක් ලෙස පෙන්නා දුනිමි. එවිට අගමැතිතුමා මට යෝජනා කළේ සුදුසු පරිදි හැකි ඉක්මණින් සියල්ලන්ට ගැලපෙන දෙයක් පිටපත් කරනා ලෙසය. ඒ අනුව එක් දිනක් ගෙන සියලූ යෝජනා කියවීමි. එහි දළ සාරංශයක් ලබා ගතිමි. පසුදින බැසිල් රාජපක්ෂ මහතා සමග අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවුනෙමි. එය කදිම ගොඩනැගිල්ලකි. එය මා එහි ගිය පළමු වතාවය. වරක් මට නීතිවේදී චූලා ද සිල්වාගේ ඥාතිවරියක වූ නෙලූෆර් මැඩෝන්සා කීවේ එය ඔවුන්ගේ මහ ගෙදර ලෙස කලක් වැජඹුණු බවයි. කෙලින් වැඩකරනා ගැහැනියක් ලෙස නෙලූෆර් ජනප්‍රිය වූ අතර, වරක් යුක්තිය පුවත්පතේ ඇය ත්‍රස්ත විරෝධී ව්‍යාපාරයේ පත්‍රිකා ඛෙදන දර්ශනයක් පළකර ලියා තිබුණේ කොළඹ නෝනා හාමුලාගේ සිංහල දේශපාලනය ලෙසයි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ මා සිත් ගත්තේ එහි ඇමැති මණ්ඩල කාර්යාලයයි. එය මගේ ප්‍රියතම සිත්තරකු වන ජයසිරි සේමගේ ගේ චිත්‍රවලින් අලංකාර වී තිබිණි. වරක් අපේ රතන හිමියන්ගේ ගමේ හිතවතෙකු වූ මොටාගෙදර වනිගරත්න සිත්තරා කීවේ සේමගේ අනුකරණය කරන්නේ සිය ශෛලිය බවය. එහි ඇත්තක් තිබිණි. නමුත් සේමගේ මොටාගෙදරගේ සම්ප්‍රදාය වඩාත් සුකුමාල ලිහිල් සරල මෙන්ම තැන්පත් රටාවක් බවට පත්කළේය. ප්‍රේමදාස මහතාගේ රුචිකත්වය ගැන යම්කිසි ඉවක් තිබුණු මට ඔහු සේමගේ තෝරාගැනීම ගැන පුදුමයක් ඇතිවිය.
මේ වනවිට කුමන ආකාරයක සැකැස්මක් ප්‍රතිපත්ති ප්‍රකාශනයට තිබිය යුතු ද යන්න ගැන අදහසක් මට තිබිණි. එය සම්ප්‍රදායෙන් මිදී, ‘මා’උක්ත කර නවකතාවක ස්වරූපයෙන් ලිවිය යුතු බවත්, එවිට පක්ෂවලට කිසිවක් කිවනොහැකි බවත්, සියලූදෙනා වට වී ඇත්තේ මහින්ද රාජපක්ෂ නම් පුද්ගලයා වටා බවත්, මම බැසිල් රාජපක්ෂ මහතාට පැහැදිලි කළෙමි. එක් කොටසක් ලියා පෙන්වන්නැයි ඔහු ඉල්ලා සිටියේය. අමාරුම කොටස වන ත්‍රස්තවාදය සම්බන්ධ කොටස ලියන්නට තීරණය කළෙමි. ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ වූ විශේෂ කාමරයකට (එය මංගල සමරවීර මහතා පරිහරණය කළ කාර්යාලයක් විය) ගොස් පැයක් ඇතුළත ලියවිල්ල ලියා ගෙන ආවෙමි. නොඛෙඳුණු රටක්, බහුතර සම්මුතියක්, ගෞරවනීය සාමයක් තේමාව සහිත පරිච්ඡේදය ලියැවුණේ එලෙසය. බැසිල් මහතා එය රැගෙන ගොස් පසුව අගමැතිතුමා සමග සාකච්ඡාවක් පැවැත්වීය. විවිධ ප්‍රශ්න මගෙන් අසනු ලැබූ අතර, සියලූදේට පිළිතුරු දුනිමි. එදිනම එය අනුර දිසානායක මහතා හරහා ජවිපෙට යැවිනි. ඔවුන් වෙනස්කම් දෙකක් කළේය. එකක් නම් මා උතුරු හා නැගෙනහිර ප්‍රශ්නය ලෙස නම්කර තිබූ ‘සංසිද්ධිය’ ඔවුන්, ‘ජාතික ප්‍රශ්නය’ ලෙස නම්කිරීමයි. ජනවාර්ගික අර්බුදය, ජාතික ගැටලූව වැනි වදන්වලට ජනවර්ග දෙකක හෝ ජාතීන් දෙකක ප්‍රශ්නයක් හැඟවෙන නිසා ඒවා භාවිතයෙන් වැළකී සිටීම මගේ ස්ථාවරය විය. ඇන්ටන් බාලසිංහම් පවා ශ්‍රීලංකාවේ ගැටලූව ජාතික ප්‍රශ්නයක් (National Question) ලෙස ගත්තේ එය ජාතීන් දෙකක් අතර ප්‍රශ්නයක් ලෙස, හුවා දක්වන්නටය. අකමැත්තෙන් වුව එය යොදන්නට සිදුවිය. දෙවැනි කරුණ වූයේ “පුද්ගලයාට බලය බෙදීම” යන සංකල්පය ගෙනඒමයි. එයට නම් කිසිඳු විරෝධතාවයක් නොවීය. දීර්ඝ සාකච්ඡාවකින් පසු එකී ශෛලියෙන්ම සෙසු පරිච්ඡේදයන් ද ලිවීමට තීරණය කෙරිණි. කුඩා අනුමාතෘකා අංග ද සහිතව දින දෙකකින් පිටු සියයකට ආසන්න මුළු ලියැවිල්ලම සකස් කළෙමි. මෙහිදී ගැමි ප්‍රබෝධය පිළිබඳව වූ ‘ගම නැගුම’ වැඩ පිළිවෙළ ගැන වරක් රාත්‍රියේ සාකච්ඡාවක් විය. අගමැති මහින්ද හා බැසිල් රාජපක්ෂ යන දෙපොලම සිය ගම ගැන කළ කතාවන්ගෙන් මට හැඟී ගියේ අපි තෙත් කලාපයේ ජීවත් වූවද, ඔවුන් කටුක වියළි කලාපයේ ජීවත් වූව ද, වයස් කාණ්ඩ දෙකකට අයත් වූව ද අත්දැකීම් බොහෝවිට එකක් බවයි. මගේ කුඩාකල සිහිනය වූයේ සෝවියට් පන්නයේ සාමුහික ගමක් හා පොදු පහසුකම් සැපයීම සිදුකිරීමයි. පසුව මම ඒ අදහස වෙනස්කර ගත්තෙමි.
ගම ගොඩනැගීම සිදුකරන්නේ කෙසේද යන්න අපේ ප්‍රධාන තේමාවක් විය. ජල සංරක්ෂණය, පාංශු රක්ෂණය පොදු පහසුකම්, පරිසර හිතවාදය ඇතුළත්වූ ගම නැගුම හා ජාතික සවිය වැඩසටහන් නිර්මාණය වූයේ එසේය.
ගම නැගුම යටතේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස පසුව අපේ ගම ද ගොඩනගා එය ජනතාවට පැවරීමට හැකිවීම මා ලද මහත් භාග්‍යයක් විය. ගම නැගුම බොහෝ උත්සවවලදී මට නිම් නැති සතුටක් ඇතිවන්නේ එදා රාත්‍රීයේ අපි කළ සුහද කතාබහ යථාර්ථයක් වනු දැකීමෙනි.
ඒ දිනවල දිනක් මම හිතවත් නාවුක ඉංජිනේරුවෙකුගේ ගෙදර ගියේ පරිගණක මෘදුකාංගයක් ඉල්ලා ගැනීමටය. කිරුළපන පදිංචිව සිටි ඔහු හා බිරිඳ මට කීවේ ඔවුනට කුඩුකාරයින්ගෙන් බොහෝ කරදර ඇති බවයි. වැලක රෙද්දක් එළන්නත් බැරි බවය. ‘අනේ ඔය ජනාධිපතිවරණයේදීවත් මේ මතට තිත තියන්නකෝ’ කියා ඒ දෙපොළ මාගෙන් ඉල්ලා සිටියහ. “මතට තිත” වැඩපිළිවෙළට සංකල්පය ආවේ එලෙසය. පසුව අමද්‍යප සමිති එක්වී ඕමල්පේ සෝභිත හිමියන් හරහා පාර්ලිමේන්තුවට පනතක් ගෙනඑන ලදි. එය පසුව සෞඛ්‍ය ඇමැතිතුමා විසින්ම ඉදිරිපත් කරනා ලද අතර, අගවිනිසුරු සරත් සිල්වා බියර් මුදලාලිලාගේ ඉල්ලීම තඹයකට නොගෙන පනත සම්මත කිරීමට ඉඩහසර තනාදුන්නේය. ශ්‍රී ලංකාවේ බියර් ව්‍යාප්තියට වැඩිම සේවය කෙරුණේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙනි. පසුව මත්ද්‍රව්‍ය අධිකාරියක් පිහිටුවා රට පුරා “මතට තිත” වැඩ පිළිවෙළ දියත් කළේ අතුරලියේ රතන හිමියන්ගේ ප්‍රදානත්වයෙන් අපේ ස්වාමින් වහන්සේලා විසිනි. මඩිහේ හිමි, සෝම හිමි, මාදුළුවාවේ හිමි ආදී හිමිවරු සිංහයා බියර්වලට යොදාගැනීම ගැන ගෙනගිය සටන ජයග්‍රහණයෙන් කෙළවර කරගන්නට අපට හැකිවිය. තරුණ පරපුර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිකර දුර්වල ජාතියක් ඇතිකිරීම සඳහා වැඩපිළිවෙළක් බෞද්ධ විරෝධීන් සූක්ෂමව ගෙනයන බව ද කලින් සඳහන් කළෙමි. ඉංග්‍රීසින් විසින්, ඇතිකළ මේ දුර්ගුණය නිසා ඕස්ට්‍රේලියාවේ නිජබිම හිමි ඇබෝර්ජින්වරු විඳිනා දුක දුටුවිට සිංහල-දෙමළ මිනිසුනට ඔවුන් සිදුකර ඇත්තේ එතරම් අපරාධයක් නොවන බව හැඟී ගියේය. ජාතික සවිය, නැගෙනහිර නවෝදය වැනි ව්‍යාපෘතිවල නම් ඇසෙනා සැමවිටම මට දැනෙන්නේ පිටු සිය ගණනක මහා ප්‍රතිපත්ති ප්‍රකාශනය සංස්කරණය කිරීමට මා දැරූ වෑයමයි. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කටයුතු සිදුවේදැයි සෙවීමට පසු විපරම් සභාවක අවශ්‍යතාවය පසුව මතු වූ අතර, එය සකස්කරගෙන ආවේ උදය ගම්මන්පිල විසිනි. ගුණරුවන් හා ජගත්, ආචාර්ය ජයසුන්දර සමග වාද වෙමින් බොහෝ ආර්ථීක සහනාධාරවල ප්‍රායෝගික පැත්ත ගැන සොයාබලා සටහන් කරනා ලදි. ආචාර්ය ජයසුන්දරට රටේ ආර්ථීකයේ ඉලක්කම් ගැන තිබුණා වූ අවබෝධය ගැන සතුටු වුනෙමි. වරක් එතුමා අප අමාත්‍යාංශයේ උඩුමහලක් විවෘත කිරීමට පැමිණීමේ උත්සවයක ඡායාරූපයක් දැකීමෙන් පසු හිටපු අගවිනිසුරුතුමා මා සමග අමනාප වූ බවක් ද වාර්තා විය. ප්‍රතිඵලය වූයේ අපේ පරිසර සංරක්ෂණ බදු පනත හෙතෙම අධිකරණ ක්‍රියාවකින් කලකට අත්හිටුවීමයි. එය සම්මත කරගැනීම සඳහා බොහෝ කරුණු අධිකරණයට කීමට අපට සිදුවිය. උත්සවයක් හා පුද්ගලික ආරවුලක් ජාතික ප්‍රශ්නයක් වූයේ එසේය.
රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපට කලින් නිකුත් විය. එය දුර්වල එකක් විය. එහි ඇති ඇතැම් කරුණුවලට ද පිළිතුරු දෙමින් අංගසම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සැකසූවෙමු. අජිත් කබ්රාල් මහතා සුදුසු ලෙස සංශෝධනය කරමින් එය ඉංග්‍රීසියට නැගුයේය. මෙයට චන්ද්‍රිකාගේ අනුමැතිය ගැනීම දුෂ්කර විය හැකි බව මේ පිළිබඳව උනන්දුවෙන් කටයුතු කළ ශ්‍රීපතිගේ අදහස විය. මෙය පක්ෂයේ නොව මහින්ද රාජපක්ෂගේ පුද්ගලික අදහස බව මාගේ තර්කය විය. ජනාධිපති අපේක්ෂකත්වය ගත්තා සේ මෙයත්, ලොක්කීගෙන් අනුමත කරගන්නා බව සිනාමුසු මුහුණින් අගමැතිතුමා කීවේය. සිය ආර්යාව සමග එහි ගොස් සුහද තේ පානයකින් පසු එතුමා ජයග්‍රාහීව ආපසු ආවේය.
අපි ප්‍රතිපත්ති ප්‍රකාශනය මුද්‍රණයට යැව්වෙමු. රාත්‍රීයේ කවුදෝ චන්ද්‍රිකාට “ඒකීය භාවය” ශ්‍රීලනිපය පිළිගෙන ඇතැයි දන්වා තිබේ. එවිට ඇය සැමදා මෙන්ම පමා වැඩි වී සිටියාය. මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනය මිලියන 04ක් මුද්‍රණය කෙරිණි. ඒ සඳහා උපකාරී වූයේ ප්‍රසිද්ධ පුවත්පත් සමාගමකි. එය ඛෙදාහැරීමේ දී තීරක කාර්යභාරය කළේ ජවිපෙයි. අපේ ජාලයන් හරහා ද ලක්ෂ 03කට ආසන්න ප්‍රමාණයක් ඛෙදා හැරිමුත් අතිවිශාල බහුතරයක් ප්‍රතිපත්ති ප්‍රකාශන ජනතාව අතරට ගියේ ජ.වි.පෙ කාඩරය මගිනි. චන්ද්‍රිකා ඉතා දක්ෂ ලෙස ශ්‍රීලනිප යාන්ත්‍රණය අඩපන කර තිබුණාය. ඇතැම් මැති ඇමැතිවරු විදේශ ගතවූ අතර, තවත් අය චන්ද්‍රිකා සමග සාප්පු සවාරි යන දර්ශන ද පළවිය.
විද්‍යූත් මාධ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූයේ පුදුමාකාර පසුබෑමකි. අගමැති මහින්ද වෙනුවෙන් ඝෘජුව පෙනී සිටියේ ස්වාධීන රූපවාහිනිය පමණි. වාණිජ කලා මාධ්‍ය මගින් ජනතාව ආකර්ශනය කර තිබූ පුද්ගලික රූපවාහිනී කෙලින්ම වික්‍රමසිංහ මහතාගේ ප්‍රචාරක මාධ්‍ය බවට හැරවිණි. ආණ්ඩුවේ ජාතික රූපවාහිනිය පවා යම් දුරකට අක්‍රීය වී තිබිණි. එමෙන්ම ඉතා කාර්යක්ෂම ලෙස විද්‍යූත් පරිගණක ජාලයන් හා ජංගම දුරකතන ජාලයන් ද විපක්ෂය විසින් යොදා ගැනිණි. විශේෂයෙන් නව තරුණ පරපුර හා වෘත්තීයවේදීන් එහි ඉලක්කය විය. මෙහි බලපෑම අපට දැනුණේ මැතිවරණ ප්‍රතිඵලයේදීය. මගේ තක්සේරුව වූයේ ජනවාර්ගික හා ආගමික ලෙස ඛෙදී ගිය ජනාධිපතිවරණයේ දී බෞද්ධයින්ගෙන් 65%ක් එනම් තුනෙන් දෙකක් මහින්ද රාජපක්ෂට ඡන්දය දෙනු ඇති බවයි. එමෙන්ම මුස්ලිම්, දෙමළ, කතෝලික ආදී ජාතික, ආගමික කණ්ඩායම්වල සාතිශය බහුතරය රනිල් වික්‍රමසිංහයන්ට ලැබෙනා බවයි. බිෂොප්වරු, මූලධර්මවාදී කිතුණුවන්, ඉස්ලාම් මූලධර්මවාදී බලවේග, දෙමළ ජාතිවාදී බලවේග සියලූදෙනා ඉතා තීරණාත්මක ලෙස ක්‍රියාත්මක වී තිබිණි. කෙසේවෙතත්, අපේ ඉලක්කය තිබුණේ ඡන්ද ලක්ෂ 04කින් පමණ ඉදිරියට එන්නටත් ඡන්ද ලක්ෂ 48 ඉක්මවීමත්ය. සන්ධානයේ ලක්ෂ 42 හා ජාතික හෙළ උරුමයේ ලක්ෂ 3½ ක් ද, නව ඡන්ද ලක්ෂයක් පමණ ද අපි බලාපොරොත්තු වූයේ සංගණන ප්‍රතිඵල දෙස ද බලමිනි. නමුත් අධික ලෙස යෙදවුණු විපක්ෂයේ විද්‍යූත් මාධ්‍ය පෙළහර විසින්, අළුතින් ඡන්දපොළට කැඳවුනු ලැබූ 05%ක පමණ පිරිසෙන් සාතිශය බහුතරය (70%ක් පමණ) විපක්ෂ නායකවරයාට කැමැත්ත පළකර තිබිණි. සාමාන්‍යයෙන් ජයග්‍රාහී රැල්ලකදී 5-7% අතර ද, ඡන්ද දායක විචලනයන් ඇතිවන බව අපේ ජාතික මැතිවරණ ප්‍රතිඵල විග්‍රහයකදී පෙනී යයි. නමුත්, මාධ්‍ය සංග්‍රාමයකින් මෙවැනි ප්‍රතිඵල වෙනසක් ඇතිවේයැයි අපි සිතා තිබුණේ නැත.
නැගෙනහිර දෙමළ ප්‍රදේශවල ඡන්දය සඳහා අපි වැඩපිළිවෙළක් යෙදුවෙමු. නමුත් අපි නොසිතූ ලෙස කරුණාගේ හිතවතුන් ලෙස, මැතිවරණය ජයග්‍රහණය කළවුන් පවා විපක්ෂ නායකයාගේ ඡන්ද ව්‍යාපාරයට කැපවී තිබූ අයුරු දැකගන්නට තිබිණි. නැගෙනහිර මුස්ලිම් ජනයාගේ බලපෑම ද දෙමළ, සිංහල ඡන්ද දායකයාට බලපා තිබිණි. මෙය මධ්‍යම පළාතේ ද සිදුවූ “ආසන්න ප්‍රදේශයේ උණුසුම” පිටතට ගලායෑමේ ප්‍රතිඵලයයි. නැගෙනහිර කරුණා සමග සිටි පිරිස්වල ඉතුරුවී සිටි පිරිස් යොදාගෙන සිදුකරලීමට උත්සාහ කළ ඡන්ද ව්‍යාපාරය ද චන්ද්‍රිකාගේ අණ පරිදි ආරක්ෂක අංශ අවුල් කරනා ලදි. අපි යාපනයේ ද එවැනි උත්සාහයක් දැරුවෙමු. මන්ද වසර 2000 දී කොටි යාපනයේ දොරකඩ සිටිය දී චන්ද්‍රිකා ඡන්ද 52,000ක් ගෙන යාපනය ජයග්‍රහණය කර තමන් ඝාතනය කිරීමට තැත්කළ කොටින්ට පාඩමක් කියාදුන් නිසාය. ඩග්ලස්ගේ සහායයෙන් දියත්කිරීමට ගිය වැඩපිළිවෙළට චන්ද්‍රිකා ආරක්ෂක අවසරය නොදීමෙන් සම්පූර්ණයෙන් අවුල් කළාය. වන්නියේ හා නැගෙනහිර ඇතැම් කොටි ප්‍රදේශවල ඡන්ද ලක්ෂ දෙකක් පමණ බලහත්කාරයෙන් ඡන්ද පෙට්ටිවලට වැටීම වැළැක්වීම පිණිස ඡන්ද පෙට්ටි ආරක්ෂක හමුදා බලප්‍රදේශවල පමණක් තැබිය යුතුයැයි කියා අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද තීන්දුවක් ගත්තෙමු. විපක්ෂය බලයේ සිටියදී (2002- 04) ආරක්ෂක හමුදා පත්කර තිබූ නින්දිත තත්ත්වය නිසා ආරක්ෂක හමුදාවල නම් යම් පිබිදීමක් ඇති වී තිබිණි. ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ ක්‍රියාදාමයට එක්වීමත් සමග කලකිරී සිටි හමුදා පිරිස් මෙන්ම යුද්ධය වෙනුවෙන් කැපකිරීම් කළ ආබාධිත සොල්දාදුවන් ද, මියගිය සෙබළුන්ගේ පවුල්වල ද පිබිදීමක් ඇතිකිරීමට හිටපු හමුදා නායකයින් වූ එම්.ඩී. ප්‍රනාන්දු, ශාන්ත ජයතිලක වැනි අය සමත්වූහ.
ප්‍රභාකරන් ඡන්දය දැමීම වැළැක්වීමට මෙවර ද ක්‍රියාකරනා බව ඡන්දයට පෙරදා හමුදා බුද්ධි අංශ මගින් දැන ගතිමු. 2004 ඡන්දයේ දී බස් රථ යොදවාගෙන කළ ඡන්ද මංකොල්ලය වෙනුවට බලහත්කාරය යාපනය වැනි ප්‍රදේශවල ද යෙදවී තිබිණි. දෙමළ ජනයාගේ මේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය උදුරාගැනීම ගැන සම්පූර්ණ වගකීම 2002-04 ආණ්ඩුවේ ත්‍රස්තවාදයට නිරායුද ජනයා බිලිදුන් ‘පොංගුතමිල්’ වැඩපිළිවෙළ භාර ගතයුතුය. පසුව රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන චෝදනාව වූයේ මහින්ද රාජපක්ෂ ප්‍රභාකරන් සමග ගිවිසුමක් ගසා ඡන්ද වැළැක්වූයේය යන මතය ප්‍රචාරණය කිරීමය.
1982 සිට පවත්වන ලද සියලූ ජනාධිපතිවරණ සිය ශක්ති ප්‍රමාණයේ හැටියට වේලූපිල්ලේ වර්ජනය කළේය. එයට හේතූව තමිල් ඊළාමයේ ජනාධිපති තමාය යන හැඟීමය. 2005 ජනාධිපතිවරණයේ දී එය යාපනය වැනි හමුදාව සතුව තිබූ ප්‍රදේශවලට ද ව්‍යාප්ත වූයේ ආණ්ඩුවේ මුග්ද සාමය නිසාවෙනි. අනෙක් අතින් හමුදා බලප්‍රදේශවල පවත්වන මැතිවරණයක දී තමනට සිතූ හැටියේ ඡන්ද පෙට්ටි පිරවීමට කොටින්ට හැකිවන්නේ ද නැත. පෙරළා දකුණ, බස්නාහිර, උතුරු මැද, වයඹ, සබරගමුව වැනි සිංහල ප්‍රදේශ අතිවිශාල වැඩි ඡන්දයකින් දිනා ඒ ප්‍රතිඵලය වන්නියේ දෙමළ ඡන්දවලින් ආපසු හැරුණා නම් රට තුළ ඇතිවන්නේ කැරැල්ලකි. එමෙන්ම විපක්ෂයේ චෝදනාව ඇත්ත යැයි ගත්ත ද වේලූපිල්ලේ ප්‍රභාකරන් ප්‍රථමවතාවට රැවටීමේ ශූරකම, මහින්ද රාජපක්ෂට ලැඛෙන්නේය. මන් ද එයට පෙර ඔහු ගනුදෙනු කළ සියල්ලෝම ඔහු විසින්, රැවටීමට ලක්කර මරාදමා හෝ මරාදැමීමට තැත්කර හෝ තිබුණු හෙයිනි.
ජනාධිපතිවරණ ප්‍රතිඵලය රාත්‍රියේ නිදිවරා ඇසීමටත් මට අවශ්‍යතාවයක් නොවීය. ප්‍රතිඵලය එතරම්ම ස්ථීරවී තිබිණි. ඡන්දය දී ඡන්ද මධ්‍යස්ථාන කීපයකට ගොස් ඡන්ද ගණන් කිරීම සඳහා අප පොරොන්දු වූ නියෝජිතයන් යැවීමෙන් පසු ගෙදර ගොස් නිදා ගතිමි. උදෑසන මා අවදි කළ අපේ පක්ෂයේ සගයෙකු කීවේ රනිල් ළඟටම ඇවිත් ඇති බවත්, ඇතැම්විට ජයග්‍රහණය කිරීමට පවා ඉඩ ඇති බවත්ය. දුරකතනය ක්‍රියාත්මක කළවිට පළමු ඇමතුම ආවේ රත්නපුරයෙනි. අගමැතිතුමා පරාද බව ඇත්තදැයි එහි ව්‍යාපාරිකයෙක් මගෙන් ඇසීය. අගමැතිතුමා ජය ලබනා බව කී විට ඔහු විශ්වාස නොකළේය. ඔහු සමග ඡන්ද ඔට්ටුවක් ද දමා අරලිය ගහ මන්දිරයට ගියවිට දුටුවේ ඇතැමුන්ගේ මුහුණ මැළ වී ඇති බවය. දැනට ඇති වී ඇති ප්‍රතිඵල ගැන වහාම සංඛ්‍යාලේඛන විග්‍රහයක් කරගතිමි. අම්පාර ඡන්ද ප්‍රතිඵලය පිළිබඳ දළ අදහසක් ඩලස් ප්‍රකාශ කළේය. ඒ අනුව කළ ගණනය කිරීමෙන් අපි අනූනවයෙන් 50% ඉක්මවා ඇති බව දැන ගතිමි. අගමැති මහින්ද ජනපති මහින්ද වී ඇති බව දැනගැනීමෙන් පසු එතුමාට සුභ උපන්දිනයක් පතන්නට අරලිය ගහ මන්දිරයේ උඩුමහලට ගියෙමි.
අගමැති පදවිය හා ඇමැති පදවි ඛෙදීමේ දී සුපුරුදු ලෙස හිත් අමනාපකම් ඇතිවිය. මංගල - ශ්‍රීපති ජනාධිපතිවරණයට අතිශයින් කැපවූවත් පළමු පියවරේදීම හිත් අමනාපකම් ඇතිවිය. ඉල්ලා අස්වූ ශ්‍රීපති අස්වසා ඔහුට ඇමැති ධුරයක් ලබාදීමට ද අගමැති ධුරය ඇතුළු තවත් ඇමැති ධුර තීරණය කිරීමට සහාය වීමට ද මැදිහත් වන්නට මට සිදුවිය. ජ.වි.පෙ ඇමැති ධුර ලබාදී ඇතුළට දමා ගතයුතු වුවත් එය ද සිදුවූයේ නැත. ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ජ.වි.පෙ එකඟතාවය ද ගෙන මහා මැතිවරණයක් තබනා ලෙස අප ඉල්ලා සිටියත් නොයෙක් හේතූ මත එය ඉටුවූයේ ද නැත. 2007 ඇතිවන ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණය ගැන මට කලින්ම තේරුම් ගියේය.
ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වූ පළාත් පාලන ඡන්දයේ දී ජාතික හෙළ උරුමය එතරම් සාර්ථක වූයේ නැත. පණිවුඩය මෙන්ම පණිවුඩකරු ද වැදගත් බව අපේ නොයෙක් දෙනා තේරුම් නොගැනීම එයට හේතූ විය. ජ.වි.පෙ නම් සාර්ථක විය. ඡන්ද මිලියනයකට වඩා ඔවුන් ලබාගත් නමුත්, පළාත් පාලන ආයතන 25ක් පමණ ජය ගැනීමේ ඔවුනගේ අභ්‍යන්තර ඉලක්කය පරාජය විය. ඒ සමගම අභ්‍යන්තර ප්‍රශ්න ජවිපෙ තුළ ඇතිවී ඇති බව දැන ගත්තෙමි.
සුභවාදී ලෙස පෙනුණු එකම දෙය ආරක්ෂක අමාත්‍යාංශයේ සිදුවූ පෙරළියයි. ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්විය. එහි උපදේශකයින් ලෙස එම්.ඩී.ප්‍රනාන්දු හා එච්.එම්.ජී.බී.කොටකදෙණිය මහත්වරු පත්වූහ. හමුදාපති ලෙස සරත් ෆොන්සේකා මහතා පත්විය. මේ සියලූදෙනාම ප්‍රතිපත්තිගරුක දේශප්‍රේමීන් වූහ. අප බලාපොරොත්තුවන ඉලක්කය කරා හමුදාව ගමන් කරනු ඇතැයි දැඩි විශ්වාසයක් ඇතිවිය. ඊළඟට සිදුවූ ක්‍රියාදාමයන්ගෙන් පෙනී ගියේ එය සිදුවෙමින් පවතින බවය.
කොටි සමග සාකච්ඡා ඇරැඹීමේ උත්සාහයක් ද දැරිණි. අපේ ස්ථාවරය වූයේ විධිමත් ලෙස සූදානම් වීමට කල්ගන්නා අතර, සාකච්ඡා ‘සාම සාකච්ඡා’ නොව සටන් විරාමයේ පවතින දුර්වලතා මගහරවා ගැනීම සඳහා වූ සාකච්ඡා විය යුතු බවය. දේශප්‍රේමි නීතිවේදීන් වූ එච්.එල් ද සිල්වා හා ගෝමින් දයාසිරි එකී සාකච්ඡාවලට සහභාගී වූහ. නමුත් කුමන හේතුවක් නිසා හෝ සටන් විරාම ගිවිසුම ආණ්ඩුව පිළිගන්නා බවට එකගතාවයක් ඇතිවිය. අපි මෙයට අපගේ විරුද්ධත්වය පළ කළෙමු. විදේශ බලවේග ආණ්ඩුව පරාජය කිරීමට කළහැකි සියල්ල කර දැන් එය දියකර හැරීමට තැත් දරනා බව පෙනී ගියේය. වට කීපයකින් පසු සාකච්ඡා ඇණහිටිනි. ශ්‍රි ලංකා හමුදා තමන් සමග යුද්ධ කිරීමට නිර්භය නොවනු ඇතැයි ප්‍රභාකරන් කල්පනා කළ ද අපේ දේශප්‍රේමී යුද නායකයෝ ඒ සඳහා සූදානම් වෙමින් සිටියහ.
මා විසින්ම නම් තබනා ලද ජාතික සවිය වැඩසටහන සඳහා සම්බන්ධ වන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ආරාධනා කළ ද ඒ පිළිබඳ හැදෑරීමකින් පසු කොටි උතුරු හා නැගෙනහිර ආධිපත්‍යය උසුලනතාක් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ නොහැකි බව අවබෝධ කරගතිමි. පසුව ප්‍රධාන ආර්ථීක මර්මස්ථාන පාලනය වන උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය (SEMA) සමග එක්වීමි. රාජ්‍ය බැංකු, වරාය, ගුවන්තොට, තෙල් හා විදුලිය, වැවිලි වැනි ක්ෂේත්‍රවල පවතින මූල්‍ය තත්ත්වය පිළිබඳ කදිම අවබෝධයක් එහි සිටි කෙටිකල ඇතුළත ලබාගතිමි. සාමාන්‍යයෙන් සමාජයේ සිදුවන අල්ලස් ගැනීම්, වංචා දූෂණ පිළබඳව මහජන පිළිකුලක් තිබුණ ද රාජ්‍ය සැලසුම්කරණයේ දී නිලධාරීන් හා දේශපාලකයින් ගන්නා තීන්දු ගැන මහජනයා නොදැන සිටීම ගැන මට අපේ සමාජ දේහය ගැන පිළිකුලක් ඇතිවිය. සුළු සුළු අල්ලස් නිසා රට බංකොළොත් වන්නේ නැත. නමුත් සැලසුම්කරණයේ දී සිදුවන ක්‍රියාවන් නිසා රටක් බංකොළොත් විය හැකිබව දැන ගතිමි. හිතවත් ව්‍යාපාරිකයෙක් විසින්, මට ආර්ථීක ප්‍රහාරකයා (Economic Hit Man) නම් කෘතිය ලබාදුන් අතර, එමගින් ලෝකයේ බලවත් ධනවත් රටවල් ගෙනයන සූක්ෂම මූල්‍ය උගුල් පිළිබඳ කදිම දැනුමක් ලබා ගතිමි. ඒ අනුව ඊළඟට එකී මූලධර්මයන් යොදාගෙන ලංකාවේ උපාය මාර්ගික වැදගත්කමක් ඇති රාජ්‍ය ආයතනවල තත්ත්වය විමසන්නට වීමි. රටේ ආර්ථීකයේ සාරය ගැන කදිම අත්දැකීමක් එමගින් මට ලැබිණි. වරක් ලංකාවේ කීර්තිධර ඉංජිනේරුවෙකු වූ ඒ.එන්.එස්. කුලසිංහ (එතුමාට නිල විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් නොවීය. අනුභවික දැනුම පදනම් වූ ශ්‍රී ලංකාවේ මෑත කාලීන විශිෂ්ඨතම ඉංජිනේරු නිර්මාණ ඔහුගේ විය). වරක් මහවැලි කඩිනම් ව්‍යාපාරයට අයත්, ජලාශයක් පිළිබඳව දේශීය ඉංජිනේරුවන් විමසා වියදම පිළිබඳව ගණනයක් කර ඇත. එය 1978 වර්ෂයේදී රු. මිලියන 750ක් විය. මේ ඇස්තමේන්තුව මුදල් ආමාත්‍යාංශයට ගියකල රොනී ද මැල්ගේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ එතරම් මුදලක් ලබාදිය නොහැකි බවය. ඒ අනුව යෝජනාව ජනාධිපති ජයවර්ධනට ගියේය. කුලසිංහ, සිරිල් මැතිව් සමග 1977 මැතිවරණ ජයග්‍රහණය සඳහා කැපවී වැඩකළ ජාතිකවාදියෙකු විය. ඒ බව දැන සිටි ජයවර්ධන ජනාධිපති අදාළ නිලධාරීන් විමසා කුලසිංහ මහතාට කියා ඇත්තේ ඒ සඳහා බටහිර රටක සහන ණයක් ලබාදෙන අතර, මුළු වියදම රුපියල් මිලියන 3000ක් පමණ විය හැකි බවත්, එයින් මිලියන 2150ක් අදාළ බටහිර රට ද, ඉතිරි 850 භාණ්ඩාගාරය ද යොදනා බවත්, එයට එකඟව ක්‍රියාකරනා ලෙසත්ය. කුලසිංහ පුදුමයටත්, කලකිරීමටත් පත්වී ඇත. මන්ද මිලියන 750ක් නැතැයි කී මුදල් අමාත්‍යාංශය දැන් දේශීය දායකත්වය ලෙස මිලියන 850ක්ම යෙදවීමට යන නිසාය. ජයවර්ධන සමග තර්ක කිරීම පදවිය නැතිවන වැඩක් බව දැනගත් කුලසිංහ සිය ඉංජිනේරු ගෝලයින්ට තත්ත්වය වාර්තා කර ඇත්තේ ‘ඉතින්, රටේ රජාට වඩා අපිට දේශප්‍රේමී වෙන්න බැහැනේ’ කියමිනි. මහවැලි ව්‍යාපාරයේ එවැනි අධික වියදම් සහිතව කරවූ ව්‍යාපෘති ගණනාවක් ගැන විස්තර එහි සේවය කළ ගාමිණී සෙනෙවිරත්න මහතා පසුව හෙළිකර තිබිණි. ඔහුට අනුව එක් මහවැලි ජලාශයක් සඳහා සහමුලින්ම වැයවූ මුදලට සමාන මුදලක් බටහිර රටක උපදේශකයින් ඔවුනගේ පවුල්, ගුවන් හා හෝටල් ගාස්තු සඳහා ලංකාව ගෙවා තිබේ. ගාමිණී සෙනවිරත්න සුන්දර ඉංග්‍රීසි කවියෙකි. පේරාදෙණිය සරසවියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කලා විෂයන් කළ ‘කඩුමෙඩ්ඩෝ’ නමින්, ප්‍රචලිතව සිටියදී හඳුනාගන්නා ලද මාලින්ද ඔහුගේ පුත්‍රයාය. අපූරූ ඉංග්‍රීසි ලිවීමේ හැකියාවක් ද නිදහස් චින්තනයක් හා හැසිරීමක් ද ඔහුට විය. ඔහුගේ අයියා වූ අර්ජුන ද එසේමය. වරක් මාලින්දට හෙළ උරුමයෙන් ලබාදෙන පරිවර්තන තොගය ගැන පැමිණිලි කරමින් ඔහු කීවේ ක්‍රිස්තියානි මූලධර්මවාදයට හරි ගිහිල්ලා මේ බරින් නිදහස් විය යුතු බවය.
කඩිනම් මහවැලිය ආර්ථීක ප්‍රහාරකයින්ගේ වැඩකි. තවමත් එහි ණය අපි ගෙවමු. එය ආර්ථීක අතින් ඵලදායක ව්‍යාපෘතියක් නොවන්නේ අධික ව්‍යාපෘති මිල ගණන් නිසාය. තිස් අවුරුදු වැඩපිළිවෙළ තිබුණා නම් එය රටට උකහා ගතහැකි වැඩ පිළිවෙළක් වන්නට ඉඩ තිබිණි. සුනිල් බැස්ටියන් විසින්, රචනා කර ඇති විදේශ ආධාරවල දේශපාලනය නම් කෘතිය හා විශ්ලේෂණය මේ පිළිබඳව කදිම විවරණයක් කර ඇත. මගේ ගණන් බැලීම්වලට අනුව 1978-2000 කාලය තුළ එක්සත් ජනපදයෙන් අපට ඩොලර් මිලියන 68ක් ලැබී ඇති අතර, 2000න් පසු සතයක් ලැබී නැත. නමුත්, 2000-2008 අතර, පමණක් අපි ආපසු ගෙවා ඇති ණය ප්‍රමාණය මිලියන 314කි. තවත් මිලියන 560ක ප්‍රමාණයක් ගෙවීමට ඇත. සහන ණයවල ණය උගුල එයයි.
සුසාන් ජෝර්ජ් විසින්, රචිත ‘ඉරණම ණය බරට වඩා ශෝචනීයි’. (Fate is worse than debt) කෘතිය ලොව පුරා විශේෂයෙන් අප්‍රිකාවේ මේ ඛේදවාචකය පෙන්නා දී ඇත. දේශීය ඉංජිනේරුවන් තැනූ මව්ආර, වේලිඔය, වෙහෙරගල, රඹකැන්ඔය ආදී ජලාශ පෙන්නා දුන්නේ අඩු වියදමින් අපටම අපේ වාරි කර්මාන්ත කරගත හැකි බවය. වෙහෙරගල තැනූ ගුණවර්ධන ලේකම්තුමා හා ගුණදාස (අපේ විශ්ව විද්‍යාල මිතුරෙකි) ඉංජිනේරු මහතා සමග දින ගණනක් ලූණුගම් වෙහෙර උද්‍යානයේ සිට රටේ වාරි කර්මාන්තය ගැන වැදගත් කතාවන් රැසක් කළෙමු. වියළි ගොස් තිබූ මැණික් ගඟ දිනපතාම තෙත බරිත කර ලූණුගම්වෙහෙර අංගසම්පූර්ණ උද්‍යානයක් කළේ ඔවුන්ය. ගැමි සිරිත් දන්නා චමල් ඇමැතිතුමා නිතරම අපට ඇප උපකාර කළේය. ඉදිරි කාලගුණ විපර්යාසවලට මුහුණදීමට නම් රටේ ගංඟා 103 අරභයාම ජල සංරක්ෂණ ක්‍රමවේදයක් ඉදිරි දශකයේ දී රටට අත්‍යවශ්‍ය බව වටහා ගතිමි. නැත්නම් අතීතයේ දී මෙන් රජරට ශිෂ්ටාචාරය නැවත බිඳවැටීමට ඉඩ ඇත්තේය.
වාරි ක්ෂේත්‍රවල පමණක් නොව අධික වියදම් පෙන්වා (Inflated Costs) සංඛ්‍යා විජ්ජාවන්ගෙන් මුදල් ඉපයීම සියලූ ක්ෂේත්‍රවල සිදුවේ. වරක් කොළඹ චිරප්‍රසිද්ධ සුඛෝපභෝගී තට්ටු නිවාස ව්‍යාපෘතියක් සඳහා නැගෙනහිර ආසියානු රටක ආයෝජකයෙක් ඉදිරිපත් විය. ඔහුගේ ආයෝජනය රුපියල් මිලියන 900ක් වූ අතර, තවත් මිලියන 960ක් ඔහු දේශීය බැංකුවකින් ලබාගත්තේය. එකී ව්‍යාපෘතියේ වියදම් විස්තරය එහි වැඩකළ අප හිතවත් ඉංජිනේරුවෙක් මා අත තැබුවේය. එහි විවිධ වියදම් යටතේ පමණක් වියදමෙන් හරිඅඩක් මිලියන 930ක් දමා තිබිණි. මගේ ඉංජිනේරු මිතුරාගේ අදහස නම් එය බොරුවක් බවය. ආයෝජකයා මුදල් පෙන්නා දේශීය බැංකු මගින්ම ව්‍යාපෘතිය නිමකර තවත් කීයක් හරි විදේශ ගිණුමකට දමාගෙන ඇති බවය. විවිධ රාජ්‍ය ආයතනවලින් මේ ව්‍යාපෘති අනුමත වන්නේ ඒවායේ නිලධාරීන්ගේ අනුහසිනි. දූෂණය ගැන දේශපාලකයාටම දොස් කීමෙන් පලක් නැත.
ලංකාවේ විදුලිබල සැලැස්ම 1991 සිට ක්‍රියාවිරහිත කොට තෙල්වලින් විදුලිය නිපදවන රටක් බවට පත්වී ලෝකයේ අධිකතම විදුලිය මිල ගණන් ඇතිකර ගැනීමත්, හෙජින් ගනුදෙනුවෙන් රට තෙල් මිලෙහි සිරකරුවෙකු කිරීමත්, ලංකාවේ ආර්ථීක ප්‍රහාරකයන්ගේ වැඩ ලෙස සලකමි. ඇතැම් නිලධාරීන් මේ නිසා උරණ වී පරිසර ඇමැති නිසා රට අඳුරේ ලෙස වූ මාධ්‍ය වාර්තා පවා සකස් කළ බව දනිමි.
ගෝලීයකරණය හා විදේශ ණය ක්‍රියාත්මක වන ආකාරය ගැන කදිම කෘතීන් දෙකක් නොඛෙල් ත්‍යාගලාභී ලෝක බැංකුවේ හිටපු සභාපතිවරයෙක් ද වන ජෝශප් ස්ටිග්ලිට්ස් (Joseph E Stiglitz) ලියා ඇත. (GLOBALIZATION AND ITS DISCONTENTS – MAKING GLOBALIZATIOION WORK) මේ කෘති කියවීමෙන් ලෝක මූල්‍ය ක්‍රමය හැසිරෙන ආකාරය හා අපි එහිදී ක්‍රියා කළ යුතු ආකාරය ගැන කදිම දැනුමක් ඕනෑම අයෙකුට ලබාගත හැක. ස්ටිග්ලිට්ස් අපේ හිටපු විදේශ ලේකම් පාලිත කොහොනගේ හිතවතෙකි. පාරිසරික ණය හා ගෝලීය උණුසුම පාලනය කිරීම සඳහා වෙළෙඳපොළ ක්‍රමය විසින් යොදාගත යුතු උපක්‍රම ගැන පාලිත හරහා ඔහුගෙන් කදිම උපදෙසාවලියක් ද ලබාගතිමි. කුලසිංහ මහතා කිව්වාසේ රජා පමණක් නොව සියලූ ඇමැතිවරු දේශප්‍රේමී වන අතරේ ජාත්‍යන්තර ක්‍රියාදාමයන් පිළිබඳ අවබෝධයක් ද ලබා සිටිය යුතුය. නැත්නම් රට ආර්ථීක බිම්බෝම්බවලට හා ක්ලේමෝ ප්‍රහාරවලට පහසුවෙන් ගොදුරු විය හැකිය.
@මතු සම්බන්ධයි..