SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

චරිත් අසලංක සහ කමිඳු මෙන්ඩිස් සටනක් දෙමින් ගොඩනැඟූ ශ්‍රී ලංකා ඉනිමට

සාර්ථක පිළිතුරක් දුන් බ්‍රෙන්ඩන් කිං සහ එවින් ලුවිස් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ රාත්‍රියේ පැවති පළමු විස්සයි20 තරගයේදී සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 5ක ජයග්‍රහණ කරා රැගෙන ගියහ.

 

 

මේ සමඟ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද සංචාරකයන්ට හැකි විණි.

 

නියමිත වේලාවට කාසියේ වාසිය උරගා බැලුවත් පිටියේ තෙත සහිත ස්වාභාවය හේතුවෙන් ආරම්භය මිනිත්තු 30කින් පමා වූ මේ තරගයේ කොදෙව් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 179ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් පිල පන්දු 5ක් ඉතිරිව තිබියදී ජය හිමි කර ගත්තේ කඩුලු 5ක් දැවී තිබිදීය.

 

කොදෙව් ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් බ්‍රැන්ඩන් කිං සහ එවින් ලුවිස් පළමු කඩුල්ලට වේගවත් ලකුණු 107ක් එක් කළේ පන්දු 55ක් පමණක් වැය කරමිනි. ඔවුන් දෙදෙනාම පන්දු 27කින් සිය අර්ධ ශතක රැස් කළ අතර, මතීෂ පතිරණ හමුවේ ලුවිස් පළමු කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 28කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟ ලකුණු 50ක් රැස් කර තිබිණි. කමිඳු මෙන්ඩිස් හමුවේ තෙවැනි කඩුල්ල ලෙස කිං දැවී ගියේ හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟ පන්දු 33කින් ලකුණු 63ක් රැස් කර තිබියදීය. ඉන් පසු කොදෙව් දෙසට හැරී තිබූ තරගය දෙපිලට දෝලනය වුවත් රොස්ටන් චේස් (19) සහ නායක රොව්මන් පවෙල් (13) සහ ෂර්ෆාන් රදර්ෆර්ඩ් (14) කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

 

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 2 ලකුණු 27ක් තුළ බිඳ වැටුණේ පැතුම් නිශ්ශංක ලකුණු 11ක සහ කුසල් ජනිත් ලකුණු 6කට දැවී යෑමෙනි. එහෙත් මුළු ලකුණු 27දී එක් වූ මෙන්ඩිස් යුගලය (කුසල් සහ කමිඳු) ලකුණු 31ක් එක් කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 58 දක්වා ඉදිරියට ගෙන ගිය අතර ගුඩකේෂ් මෝටිගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් පන්දු 16කින් ලකුණු 19ක් රැස් ලබා සිටි කුසල් දැවී යෑමෙන් එම සබඳතාව නිමා විය. අනතුරුව ඉනිමේ සාර්ථකම සබඳතාව ගොඩනැඟු කමිඳු සහ නායක චරිත් අසලංක පන්දු 52කින් ලකුණු 82ක් එක් කළ අතර, ඊයේ කමිඳු 2 වැනි සහ අසලංක 6 වැනි විස්සයි20 අර්ධ ශතක වාර්තා කළහ. පන්දු 40කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 51ක් රැස් කර සිටි කමිඳු දැවී යමෙන් එම සබඳතාව නිමා වූ අතර, ලකුණු 163දී අසලංක දැවී ගියේ හතරේ පහර 9ක් සමඟ පන්දු 35කින් ලකුණු 59ක් රැස් කර සිටියදීය. භානුක රාජපක්ෂ (17) සහ වනිඳු හසරංග (1) ද දැවී ගිය පිතිකරුවන් අතරට එක් වෙමින් ලකුණු 12ක් තුළ කඩුලු 2ක් බිඳ වැටීමෙන් ශ්‍රී ලංකාවේ ලකුණු වේගය අඩාල විය.

 

දෙපිල අතර දෙවැනි විස්සයි20 තරගය ඉදිරි  17 දින  දඹුල්ලේදීම පැවැත්වේ.

 

ශ්‍රී ලංකාව

පැතුම් නිශ්ශංක ඇ.හෝප් ප.ෂෙපර්ඩ් 11

කුසල් මෙන්ඩිස් ප.මෝටි 19

කුසල් පෙරේරා ප.ෂමර් 6

කමිඳු මෙන්ඩිස් ඇ.චේස් ප.ස්ප්‍රිංගර් 51

චරිත් අසලංක ඇ.ලුවිස් ප.අල්සාරි 59

භානුක රාජපක්ෂ ඇ.මෝටි ප.ෂෙපර්ඩ් 17

වනිඳු හසරංග දුවද්දි දැවී ගියා 1

චමිඳු වික්‍රමසිංහ නොදැවී 4

මහීෂ් තීක්ෂණ නොදැවී 4

අතිරේක 7

එකතුව කඩුලු 7ක් දැවී (ඕවර 20) 179

කඩුලු බිඳ වැටීම: 1-20, 2-27, 3-58, 4-140, 5-163, 6-171, 7-175

පන්දු යැවීම: අල්සාරි 4-0-40-1, ෂමර් 4-0-27-1, ෂෙපර්ඩ් 4-0-39-2, චේස් 4-0-29-0, මෝටි 2-0-16-1, ස්ප්‍රිංගර් 2-0-25-1.

බටහිර ඉන්දීය කොදෙව්

බ්‍රැන්ඩන් කිං ඇ.පෙරේරා ප.කමිඳු 63

එවින් ලුවිස් ඇ.චමිඳු ප.පතිරණ 50

ෂායි හෝප් ඇ. සහ ප.හසරංග 7

රොස්ටන් චේස් ඇ.මෙන්ඩිස් ප.පතිරණ 19

රොව්මන් පවෙල් ඇ.හසරංග ප.තීක්ෂණ 13

ෂර්ෆාන් රදර්ෆර්ඩ් නොදැවී 14

රොමාරියෝ ෂෙපර්ඩ් නොදැවී 1

අතිරේක 13

එකතුව කඩුලු 5ක් දැවී (ඕවර 19.1) 180

කඩුලු බිඳ වැටීම: 1-107, 2-114, 3-128, 4-160, 5-167

පන්දු යැවීම: චමිඳු 2-0-27-0, අසිත 4-0-37-0, තීක්ෂණ 4-0-31-1, හසරංග 4-0-38-1, පතිරණ 3.1-0-27-2, කමිඳු 2-0-14-1.

 

@නිරෝෂාන් ප්‍රියංකර

Dinamina

marrikkar

නවතම ලිපි