අප කුඩාකල නැරඹූ ‘වෙද හාමිනේ’ ඔබට මතක ඇතුවාට සැකයක් නෑ. එය ජයන්ත චන්ද්‍රසිරි විසින් සිදුකළ නිර්මාණයක්.
මීට අමතරව ඔහු විසින් අධ්‍යක්ෂණය කළ 'දඬුබස්නාමානය' සහ 'අකාල සන්ධ්‍යා' විශිෂ්ට ගණයේ ටෙලි නිර්මාණ ලෙස සැලකෙනවා. 'දඬුබස්නාමානය' ටෙලි නිර්මාණය ගත්තොත් ඒ ගැන නම් වෙනම ම කතා කරන්න වෙනවා. 2002 වර්ෂයේදී සිංහල සිනමා වංශ කතාවට එක්වුනු නොමැකෙන සටහනක් තැබූ ජයන්ත චන්ද්‍රසිරි විසින් කුළුදුලේම අධ්‍යක්ෂණය කළ 'අග්නිදාහය' චිත්‍රපටය ඔහුගේ දැවැන්තම සිනමා නිර්මාණයක් ලෙස හඳුන්වන්නට පුලුවන්.
'අග්නිදාහය' චිත්‍රපටයේ කතාන්දරය වර්ෂ 1664 දී ජීවත් වූ අඹන්වෙල රාල, පුංචිරාල, සොබනා, කිරිමැණිකේ, හේරත් මුදියන්සේ ආදී චරිත මුහුණ දුන් ජීවන ප්‍රවෘත්තියක් වෙත අපව කැන්දාගෙන යන්නට සමත් වෙනවා. ජයන්ත චන්ද්‍රසිරි වස්තු විෂය කරගන්නා, ඓතිහාසික කාල රාමුව තුළ ඔබ්බවන පුංචිරාල, කිරිමැණිකා, සොබනා මෙම තුන්කොන් ප්‍රේමය රාගයෙන්, රොමාන්තිකයෙන් අපව මුසපත් කරයි.
ඈ කිරිමැණිකා ය. දුටුවන් පිරිමින් වශීකරන රූපකායකින් ඈ සමන්විත ය. මුළු ගම්තුලානේම සිටින පිරිමින් වශී කරන රූපසොබාවක් ඇති කිරිමැණිකාව ඩැහැගන්නට ගමේ සිටින සොබනාත්, පුංචිරාලත් මාන බලති. කිරිමැණිකා විවාහපත්ව සිටින්නේ හේරත් මුදියාන්සේ සමඟ ය. සොබනාට කිරිමැණිකා අයිති කරගන්නට බාධාව එයයි. පුංචිරාලගේ සිතේ කිරිමැණිකා ගැන ආලවන්තකමක් උපද්දවන්නේ හේරත් මුදියන්සේ ය. පිරිමි අවිඥානිකව තම ගැහැනිය අන් පිරිමියෙකු ඩැහැගනීයයි සිතා අනවබෝධයෙන් කටයුතු කරති. අවසානයේ කිරිමැණිකා හිමිවන්නේ සොබනාට ය. කුරුළු කුඩුවක් විනාශ කර ගිනි අවුළුවා කෙසේ හෝ තම ආශාව ඉෂ්ට කරගන්නට සොබනා සමත් වේ. චිත්‍රපටය තුළ බොහෝ සෙයින් කතා කරන ජනවිඥාණය තුළ මුල්බැසගත් ඉපැරැණි වශී ගුරුකම් මඟින් ස්ත්‍රීයකගේ කැමැත්ත දිනාගන්නට ඇති හැකියාව පිළිබඳ ප්‍රශ්න කරති. ජයන්ත චන්ද්‍රසිරි මේ වශී ගුරුකම් පිළිබඳ අරපරෙස්සමට චිත්‍රපටය තුළ අභියෝගයට ලක් කරයි.
සිනමාපටය එක් තැනක හේරත් මුදියන්සේ පුංචිරාලට අභියෝගයට ලක් කළ අවස්ථාවේ කිරිමැණිකා හතිදාගෙන සොයා ආවේ පුංචිරාල ද, එසේත් නැතිනම් හේරත් මුදියාන්සේ ද? යන්න පිළිබඳව කුතුහලයක් ජනිත කරයි. හේරත් මුදියන්සේ සහ කිරිමැණිකාගේ විවාහ බන්ධනය කඩා දැමෙන්නේ පුංචිරාල කිරිමැණිකාගේ ගෙලෙහි බැඳි සුරය නිසාවෙන්ද? අධ්‍යක්ෂවරයා සීරුමාරුවට ප්‍රේක්ෂකයා වෙත එල්ල කරන මේ ප්‍රශ්න ගැඹුරින් සිතා බලන්නට බල කරයි.
හේරත් මුදියන්සේ කෙරෙහි පවතින කුකුස සහ අවිඥානිකව හටගත් ඊර්ෂ්‍යාව ඉස්මතු වන්නේ මෙම සුරය කිරිමැණිකාගේ ගෙලෙහි පැළන්දායින් පසුවය.
කිරිමැණිකා ද අවිඥානිකව සුරය නමැති වස්තුව කෙරෙහි බැඳෙන්නට පටන් ගනී. සුරය නමැති අනියම් පිරිමියාගේ සංකේතය තුළ පුංචිරාලගේ සේයාව දැක්වෙයි. දරුඵල රහිත කිරිමැණිකාට අන් පිරිමියකුගේ ආශාව(desire) මෙහිදි ඉස්මතු වෙයි. ගැහැණියට තවදුරටත් පිරිමියාට දියහැකි යහපත්ම මරණය උදා කර දෙන්නට පුලුවන්. ඒක වෙඩි උණ්ඩයට වඩා, වස කුප්පියට වඩා, කඩු පහරකට වඩා දහස් ගුණයකින් හොඳයි.
ගැහැණිය විසින් මරණය සෞන්දර්යයක් විදියට ගෙනාවට ඒක අපේ සිනමාවේදීන්ට තේරෙන්නෙ වෙනත් විදියක. සමහරවිට පුංචිරාල යනු උන්මන්තකයකු විය හැකි බව ප්‍රේක්ෂකයාට තේරුම් යා හැකි ය. මට නම් පුංචිරාල යනු නියම පිරිමියෙකි. ඔහුට ඊළඟ ආත්මයක් ගැන තැකීමක් නොකරයි. ආගම අදාළ නොවේ. පින් පව් පිළිබඳ කිසිවක් සිතන්නේද නැත. පුංචිරාලට අවශ්‍ය වන්නේ සෞන්දර්යයීය මරණයකි. ඒ සෞන්දර්යයීය මරණය වඩාත් අවශ්‍ය කරන්නේ නුතනයට ය. චිත්‍රපටයේ අවසන් රූප රාමුව තුළ සිටින කිරිමැණිකා සහ සොබනා දෙදෙනාගේ මුහුණු වෙත ජේදනය වෙයි. කිරිමැණිකා අත සුදු රෙදි කඩකින් වැසු පුංචි රාලගේ මිනී අළු බඳුන ය. සොබනා ඔරුව හබල් ගායි. පසුබිම වෙළාගත් පාළු - මුසල අහසක සේයාවකි. දිවියේ අස්ථිරත්වය සහ නිස්සාරත්වය පැහැදිලිව එහි ලියවී ඇත.
එකල උඩරට විවාහ චාරිත්‍ර තුළ පැවති බින්න විවාහය, එකගෙයි කෑම ආදිය පිළිබඳවත්, එහි කුටුම්භමය ප්‍රතිඵල පිළිබඳවත් චිත්‍රපටය තුළින් ප්‍රේක්ෂකයාගේ අවධානයට ලක් වෙයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස යශෝධා විමලධර්ම, ජැක්සන් ඇන්තනී, කමල් අද්දරආරච්චි, බුද්ධදාස විතානාරච්චි මේ සිව් රංගනයගේ අති විශිෂ්ට රංගනය නම් සදා නොමැකෙයි.
විශේෂයෙන් පුංචිරාල ලෙස ජැක්සන්ගේ අධි රංගනය නම් චිත්‍රපටය පුරාවටම ආධිපත්‍යය පතුරවයි. අනෙක් අතට ප්‍රේමසිරි කේමදාසයන්ගේ චිත්‍රපට පසුබිම සංගීතය චිත්‍රපටයට සපයන්නේ මනා ආලෝකයකි. චිත්‍රපටය සඳහා කාන්නු ගොයියක්' කියන ගීතය විශේෂ ගීතයකි. මෙය ජන සංගීතයේ එන 'පෙරළුම් කවි' ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද්දක්. නව සංගීත සංයෝජනය හරහා අපුර්වතයක් ජනිත කරනවා, මින් පෙර සිංහල සිනමාව තුළ නොදුටු අන්දමින්. ජයන්ත චන්ද්‍රසිරිගේ තිරපිටපත තුළ මනා චරිත සංවර්ධනය සහ නාට්‍යයෝචිත අවස්ථා බහුලයි. ස්ත්‍රිය, බලය, චර්යාව, කුලය, විවාහය ආදී සියලු කරුණුවලදි ප්‍රේක්ෂකයා වෙත ගැඹුරු අර්ථකථනයක් ලබාදෙන්නට "අග්නිදාහය" චිත්‍රපටය සමත්කම් දක්වති.
@ මලින්ත විතානගේ.