SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගාමිණී වියන්ගොඩ විසින් පරිවර්තනය කරනු ලැබ ලාංකේය පාඨකයන් අතරට පැමිණි ‘අනුන්ගෙ ලේ’ කෘතිය

Blood of Others ලෙස ලියනු ලැබුවේ ‘සිමොන් ද බෝවා’ නමැති ප‍්‍රකට ප‍්‍රංශ සමාජ ක‍්‍රියාකාරිනියක හා ලේඛිකාවක විසිනි. එහිදී සමාජ අරගලයේ වගකීම හා මිනිස් ක‍්‍රියාකාරීත්වයේ හැඟීම්බර බව එකිනෙක ගැටෙන සංවාදයකි. එම සාකච්ඡාව නැවත සමාජ අවධානයට ගැනීමේ අවශ්‍යතාවක් මෙම ලිපියේදී ලේඛකයා විසින් ගෙන එයි.

ප‍්‍රංශ ලේඛිකා සිමොන් ද බෝවා විසින් රචිත ‘Blood of Others’ නවකතාව ප‍්‍රකාශයට පත්වන්නේ 1945 දී, එනම් දෙවැනි ලෝක යුද්ධය අවසානයේ දීය. මෙම නවකතාව විමුක්ති දේශපාලනය තුළ මතු වන ආචාර ධාර්මික සංකීර්ණතාව පිළිබඳ ප‍්‍රකාශනයක් ලෙස වර්තමානයට ද අතිශයින් අදාළ වන්නකි.

 

blood 2

 

දේශපාලනයේ දී අනුන්ගේ ලේ සම්බන්ධව අපට තිබෙන වගකීම කුමක්ද? ස්වකීය අරමුණු ඉෂ්ට කරගැනීමේ ‘මාධ්‍යයක්’ වශයෙන් දේශපාලන ව්‍යාපාරයකට මිනිසුන් යොදාගැනීමට පුළුවන්ද? වියුක්ත සදාචාරවාදී ආස්ථානයක සිට පිළිතුරු දෙන්නේ නම් ඉහත ප‍්‍රශ්නයට නිසැක පිළිතුරු ‘නැත’ යන්න විය හැක. එහෙත් ප‍්‍රශ්නය සහ පිළිතුර එතරම් සරල නැත.

සිමොන් ද බෝවාගේ වියමනෙහි ප‍්‍රධාන චරිතය වන ජොන් බ්ලොමා පූර්ව දෙවැනි ලෝක යුද ප‍්‍රංශයේ ජීවත් වූ ඉහළ මධ්‍යම පාන්තික ව්‍යාපාරිකයෙක්ගේ පුත‍්‍රයෙකි. ස්වකීය සුඛෝපභෝගී වරප‍්‍රසාදිත ජීවිතය පිළිබඳ කලකිරීමෙන් යුක්තව ඔහු එම ජීවිතයෙන් කැඩෙන්ට තීරණය කරයි. ඒ අනුව ඔහු ප‍්‍රංශ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වන්නේය. තම වරප‍්‍රසාදිත මධ්‍යම පාන්තික නිවෙස අත්හැර, පියා සමඟ ගැටුමක් ද ඇති කරගෙන හෙතෙම කම්කරු පන්ති ප‍්‍රදේශයක කාමරයක් කුලියට ගෙන එහි පදිංචියට යයි. මධ්‍යම පාන්තිකයෙක් ලෙස ඔහු විමුක්ති දේශපාලනයට සම්බන්ධ වන්නේ ආචාර ධාර්මික තැනකිනි. එනම් ඔහුව කම්කරු පන්ති දේශපාලනයට පොලඹවනු ලබන්නේ පෞද්ගලිකව ඔහු අත් විඳින පීඩනයක් නොව සමාජ අසාධාරණය පිළිබඳ ඔහු තුළ ඇති වන ආචාර ධාර්මික කෝපයයි. බ්ලොමාගේ පෙලඹවීම උඩ ඔහුගේ මිත‍්‍රයෙක්ගේ සොහොයුරෙක් වන ජැක් ද පක්ෂයට සම්බන්ධ වන්නේය.

 

blood 6

 

වීදියක දී ඇති වූ ගැටුමක දී නව යොවුන් වියේ පසු වූ ජැක් මිය යයි. පක්ෂයට මෙම මරණය තවත් එක් ‘දිවි පිදීමකි’. එම මරණයට පසු පක්ෂය පෙර පරිදිම වැඩ කරගෙන යයි. මේ ගැන කලකිරෙන බ්ලොමා පක්ෂය හැර යන්නේය. කොමියුනිස්ට් පක්ෂය මිනිසුන්ට සලකන ආකාරය පිළිබඳ තමා තුළ වූ හැඟීම පසුව ඔහු විචිත‍්‍ර උපමාවකින් පැහැදිලි කරයි.

ඔහුට අනුව පක්ෂයට මිනිසුන් යනු චෙස් පෙතක ඉත්තන් සමූහයකි. පක්ෂයට වැදගත් කොහොම හරි තරගය දිනන එකය. ඒ ඒ ‘ඉත්තන්’ ගේ අනන්‍ය වටිනාකමක් පක්ෂයට නැත.

කොමියුනිස්ට් පක්ෂය අත්හරින බ්ලොමා ඉක්බිති වෘත්තීය සමිති කටයුතුවල නිරත වෙන එක්තරා විදිහක අරාජිකවාදියෙක් බවට පත් වන්නේය. මා පිළිබඳ තීරණ ගත යුත්තේ මාය. එය අනෙකා සම්බන්ධව ද සත්‍යයකි. අනෙකාගේ ජීවිතය පිළිබඳ තීරණ ගැනීමට මට අයිතියක් නොමැත. එනයින් අනෙකාගේ ලේ සම්බන්ධයෙන් මට තීරණ ගත නොහැක. බ්ලොමා මෙහෙයවෙන්නේ පුද්ගල ස්වඡන්දතාව පිළිබඳ මෙම දාර්ශනික ආස්ථානයෙනි.

 

blood 5

 

කොමියුනිස්ට් පක්ෂය වෑයම් කරන්නේ දේශපාලන විඥානය කම්කරු පන්තියට ‘පිටින්’ එන්නත් කිරීමටය. වෘත්තීය සමිති වැඩ කරද්දී බ්ලොමා මේ අදහස එහෙම් පිටින්ම බැහැර කරන අතර කම්කරුවන් තුළට කිසිදු අදහසක් ‘බලෙන්’ ඒත්තු ගැන්වීමට තමා ක‍්‍රියා නොකරන බව ඔහු දරන ආස්ථානයයි. හෙලන් නමැති තරුණියක හා හාද වන ඔහු එක්තරා විදිහක ස්වයං තෘප්ත ජීවිතයකට ඇතුළු වන්නේය.

මේ යුරෝපය තුළ ෆැසිස්ට්වාදය නැඟී එන යුගයයි. ජර්මනියේ දී හිට්ලර් බලය අල්ලා ගනී. ෆැසිස්ට් ආක‍්‍රමණයක තර්ජනය යුරෝපය වසා ගැනීම පටන් ගනී. බ්ලොමාගේ කොමියුනිස්ට් පක්ෂ හිතවතෙක් වන පෝල් බ්ලොමා මුණගැසී ෆැසිස්ට් යුද අන්තරායට එරෙහි වැඩවර්ජනයකට කම්කරුවන් පෙලඹවීම සඳහා ඔහුගෙන් ආධාර ඉල්ලා සිටී. බ්ලොමා ඒ අදහස ප‍්‍රතික්ෂේප කරන්නේය. දේශපාලන වැඩවර්ජනය පිළිබඳ අදහස කම්කරුවන් තුළින්ම මතු වී ආවොත් විනා එය පිටින් සිට ‘එන්නත් කිරීමේ’ අදහස බ්ලොමාගේ දේශපාලන දර්ශනයට පටහැණිය.

 

blood 1

 

කෙසේවුවද දෙවැනි ලෝක යුද්ධයේ සම්ප‍්‍රාප්තිය බ්ලොමාගේ සාමකාමී වෘත්තීය සමිති ජීවිතය මත අකුණු පහරක් එල්ල කරයි. නාසි ජර්මනියේ ආක‍්‍රමණික හමුදා ප‍්‍රංශය ස්වකීය ග‍්‍රහණයට ගනී. ෆැසිස්ට්වාදයේ තිරිසන් ආත්මය ජීවමාන යථාර්ථයක් ලෙස ප‍්‍රංශ ජාතිකයා ඉදිරියේ පෙනී සිටින්නේය. ජර්මානු ආක‍්‍රමණය ඉදිරියේ ගතයුතු ස්ථාවරය මත ප‍්‍රංශය දෙකට බෙදුණේය. ප‍්‍රංශයේ ධනපති පන්තියේ කොටසක් ජර්මානු ආක‍්‍රමණිකයා සමඟ හවුලකට යමින් නාසිවාදය සමඟ සන්ධානයක් ඇති කරගත්තේය. මීට සමගාමීව නාසි ආක‍්‍රමණයට එරෙහි ප‍්‍රතිවිරෝධය පෑමේ ව්‍යාපාරයක් ද ප‍්‍රංශය තුළ පැන නැංගේය. මෙම ප‍්‍රතිවිරෝධතා ව්‍යාපාරයේ ඉතාම සටන්කාමී පාර්ශ්වය වූයේ කොමියුනිස්ට් පක්ෂයයි. යුද්ධය, තීරණයක් ගැනීමේ අවස්ථාව බ්ලොමා ඉදිරියේ තැබීය. බ්ලොමා ප‍්‍රතිවිරෝධතා ව්‍යාපාරයේ සටන්කාමියෙක් ලෙස ඊට සම්බන්ධ වේ.

නාසි ආක‍්‍රමණිකයාට එරෙහි බෝම්බ පිපිරවීම් ඇතුළු කඩාකප්පල් කිරීමේ කටයුතු සංවිධානය කිරීමට බ්ලොමා සක‍්‍රීයව සම්බන්ධ වන්නේය. මෙම ව්‍යාපාරයට ඔහු තුළ වූ කැපවීම කොතෙක් ද යත් තමන්ගේ සම්බන්ධකම් පාවිච්චි කොට බ්ලොමාව යුද අන්තරාය නැති ප‍්‍රදේශයකට මාරු කිරීමට උත්සාහ කළ නිසා සිය පෙම්වතිය වූ හෙලන් සමඟ වූ සම්බන්ධය ද බ්ලොමා බිඳ දමයි. ප‍්‍රංශයේ වාඩි ලා ගන්නා නාසිවාදීහු ප‍්‍රංශය තුළ ද යුදෙව් සංහාරය අරඹති. මරා දැමීම සඳහා මහමඟ දී යුදෙව්වන් පෙළගස්වන අන්දම දැක කම්පනයට පත්වන තරුණ හෙලන් පසුව බ්ලොමාගේ ව්‍යාපාරය සමඟ සම්බන්ධ විය යුතු යැයි තීරණය කරන්නීය. බෝම්බ පිපිරවීම් ඇතුළු ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල බ්ලොමාගේ කණ්ඩායම නියුතු වන්නේය. එක්තරා අවස්ථාවක ප‍්‍රසිද්ධ ස්ථානවල බෝම්බ පිපිරවීම සහ ඒ නිසා ප‍්‍රංශ ජාතිකයන් මියයාම ගැන බ්ලොමාගේ මව ඔහුගෙන් ප‍්‍රශ්න කරන්නීය.

 

blood 4

 

‘අපේම අයගේ ලේ හැලීම’ ඇය දකින්නේ වරදක් ලෙසය. බ්ලොමා ඊට දෙන්නේ ඍජු පිළිතුරකි. ඔහුට අනුව එලෙස ලේ හැලෙන එක හොඳය. මන්ද ඒ විදිහට ලේ හැලෙන විට තවදුරටත් නාසිවාදීන් සමඟ හාදකම් පැවැත්වීම ප‍්‍රංශ ප‍්‍රතිගාමීන්ටඅසීරුවන නිසාය.

 කම්කරුවන් සිය දේශපාලන අරමුණු සඳහා ‘මාධ්‍යයක්’ කරගැනීමට අකමැති යැයි කියා ෆැසිස්ට් විරෝධී දේශපාලන වැඩවර්ජනයක් දියත් කිරීම ප‍්‍රතික්ෂේප කළ වෘත්තීය සමිති ක‍්‍රියාධරයා යුදමය සන්දර්භය පැමිණි විට ‘අනුන්ගේ ලේ හැලීම’ සම්බන්ධ ස්වකීය ආස්ථානය වෙනස් කරගෙන තිබෙන්නේ එසේය.

ප‍්‍රතිවිරෝධතා ව්‍යාපාරයේ කටයුතු අතර වෙඩි වැදී තුවාල ලැබ බ්ලොමාගේ පෙම්වතිය, හෙලන් මිය යන්නීය. ඇය අවසන් හුස්ම හෙලන අවස්ථාවේ බ්ලොමා ඇය හා කාමරයේ සිටී. ඇය අවසන් හුස්ම හෙළුෑ ඉක්බිති තීරණයක් ගැනීමට ඔහුට සිදුවන්නේය. හෙලන් මිය ගියේ ඇය සන්නද්ධ අරගලයට සම්බන්ධ වූ නිසාය. එම සන්නද්ධ අරගලය තුළ තවදුරටත් නියැලෙනවාද? ඉන් ඉවත් වනවාද? ජොන් බ්ලොමාගේ තීරණය වන්නේ නැවත සටන් බිමට යාමය. තරුණ කොමියුනිස්ට්වාදියෙක්ව සිටිය දී සිය මිතුරාගේ මරණය නිසා ඇති වූ ආචාර ධාර්මික කලකිරීම මත කොමියුනිස්ට් පක්ෂය හැර යන බ්ලොමා අවසානයේ සිය පෙම්වතිය මිය ගිය පසු ගන්නා තීරණය වන්නේ ව්‍යාපාරය හැරයාම වෙනුවට දිගටම සන්නද්ධ අරගලය තුළ රැඳී සිටීමය.

 

blood 3

 

ස්වකීය අරමුණු මුදුන්පත් කරගැනීමේ ‘මාධ්‍යයක් ’ ලෙස සංවිධානය වූ දේශපාලන ක‍්‍රියාකාරීන් පිරිසක් බහුජනයා දැකීම ආචාර ධාර්මිකද? සදාචාරය පිළිබඳ කාන්ටියානු දැක්ම සදාචාරය සම්බන්ධ වියුක්ත මූලධර්ම ඉදිරිපත් කරයි. ඒ අනුව ගොස් ඉහත ප‍්‍රශ්නයට ‘නැත’ කියා අපි පිළිතුරු දෙන්නෙමු නම්, නාසිවාදයට එරෙහි ප‍්‍රංශ ප‍්‍රතිවිරෝධතා ව්‍යාපාරය කළ යුතුව තිබුණේ කුමක්ද යන ප‍්‍රශ්නය අනිත් පැත්තට මතු කිරීමට සිදු වේ.

විප්ලවවාදී පක්ෂය පිළිබඳ ලෙනින්වාදී අදහස තුළ එක්තරා විදිහකට තිබෙන්නේ සංවිධානාත්මක වූ ක‍්‍රියාකාරීන් සමූහයක් විසින් පොදු සමාජය ‘මෙහෙයවීමකි’. ඒ අනුව චෙස් පෙත පිළිබඳ බ්ලොමාගේ රූපකය සාවද්‍ය නැත. එහෙත් එසේ කියා අප එම අදහස අත්හරින්නේ නම් අපට අභිමුඛ වන්නේ කුමක්ද? බ්ලොමාට අභිමුඛ වූයේ ජර්මානු නාසිවාදයයි. අපට අභිමුඛ වනු ඇත්තේ පීඩනය ආයතනගත වූ පවතින සමාජ පර්යාය නොවෙනස් ලෙස ගලාගෙන යාමේ ඉරණමයි.

වියුක්ත සදාචාරමය වටිනාකම් මත අපගේ ක‍්‍රියාවන්හි යුක්ති යුක්තභාවය විනිශ්චය කිරීමට සපුරා එරෙහි වූ සාන්දෘෂ්ටිකවාදය යම් ක‍්‍රියාවක විනිශ්චය එය සිදුවන සන්දර්භය තුළ වටහාගත යුතු බවට යෝජනා කළේය. මිනිසුන් නිදහස්ය. එහෙත් නිදහස් මිනිසාගේ තීරණ සෙසු මිනිසුන්ගේ පැවැත්ම සමඟ වෙළී තිබෙන නිසා එම නිදහස වගකීම්සහගත විය යුතුය. යම් ක‍්‍රියාවක ‘වගකීම් සහගතභාවය’ විනිශ්චය කළ යුත්තේ අදාළ ක‍්‍රියාව සිදු වූ සන්දර්භය අනුව මිස සදාචාරය පිළිබඳ යම් ‘උත්තරීතර’ වටිනාකමක් මත නොවේ. විප්ලවවාදී පක්ෂය පිළිබඳ ලෙනින්වාදී සංකල්පනයට තිබෙන ඓතිහාසික වලංගුතාව වූ කලී එය විසින් නිශ්චිත ඓතිහාසික සන්දර්භයක් තුළ ඉටු කරන භූමිකාවයි. (සියවස් ගණන් පැරණි පන්ති ධූරාවලින් කඩා බිඳ දැමීමේ ඓතිහාසික ක‍්‍රියාව) එහෙත් එම ලෙනින්වාදී සංකල්පනය තුළ බ්ලොමාගේ චෙස් පෙතෙහි යථාර්ථය ද ගැබ්ව පවතී.

 

blood 7

 

ලෙනින්වාදී පක්ෂය යනු විප්ලවය සඳහා උපයෝගී කරගැනීමට සිදුවන අත්‍යවශ්‍ය නපුරක්ද? එය තාවකාලිකද? චෙස් තරගය හා චෙස් ඉත්තන් අතර ගනුදෙනුව විප්ලවයෙන් පසුවත් ක‍්‍රියාත්මක වන්නේද? එසේ නම් විප්ලවය විසින් ඇති කරන විමුක්තියට අර්ථයක් තිබේද? ‘අනුන්ගේ ලේ’ වියමන අප ඉදිරියේ එලෙස ප‍්‍රශ්න සමූහයක් තබයි.

 

@ රමිඳු ලක්ඛික පෙරේරා