ජනවාරි 14. චන්ද්‍රමාස ක්‍රමයට බැලුවොත් දුරුතු මස පුර දොළොස්වක.
පුර පසළොස්වකට දවස් තුනයි. මේ දවස්වල රෑට අහසේ ලස්සනට හඳ පායනවා. "පාලු අඳුරු නිල් අහස" නොවේ.
මහගමසේකර මියගියේ 1976 ජනවාරි 14. මහගමසේකර ගැන නොකියා නූතන සිංහල කවිය ගීතය ගැන කතා කරන්න අමාරුයි. පරම්පරාවකම සෞන්දර්ය චින්තනයට විශාල බලපෑම් කළ කලා කරුවෙක්.
හැම කවියෙකුට වගේම අහසේ පායන හඳ සේකරගේත් වස්තු විෂය වුනා. කිහිප ආකරයකින්ම. නිර්මාණ කෘති කිහිපයකම.
කවුරුත් දන්න හඳුණන අතිශයින් ජනප්‍රිය වුන නිර්මාණය තමයි 'අන්න බලන් සඳ රන් තැටියෙන් සුදු සීත ගගුල් ගලනා' ගීතය.
මේ ගීතය තිබෙන්නේ සේකර ලියපු 'කුණ්ඩලකේසි'නාට්‍යයේ. මේ නාටකය මුලින්ම රඟදක්වලා තිබෙන්නේ 'චෝර පබ්බත' නමින්. පස්සේ තමයි කුණ්ඩලකේසි වුනේ. නමුත් මේ ගීතයේ එන සමහර යෙදුම් සේකර මීටත් කලින් ලියපු නාටකයකටත් යොදාගෙන තිබෙනවා..
ඒ මේ ආකාරයට...
පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ
මාරුතයේ හැපිලා
සුගන්දේ ආනන්දේ ගෙන එන්නේ.....
චන්දන පල්ලව කෝකිල කූජන සංගීතයේපැටලී
නැලවෙන්නේ සැනසෙන්නේ වන ගුල්මේ
සහන මන මංගල ගී ගයලා......
ගුණදාස අමරසේකරගේ කලා නිර්මාණ ගැන අපට මොන ගෞරවය තිබුනත් අමරසේකර මහගමසේකර ගැන කියන එක කරුණකට අපට එකඟ වෙන්න බෑ. අමරසේකර මහගමසේකරව දකින්නේ ගීත ලියන්න ගිහින් කවිකම නැති කරගත් කවියකු ලෙසයි. අපට නම් සේකර විශිෂ්ට කවියෙක්. වගේම විශිෂ්ට ගීත රචකයෙක්. ඔහුගේ ගීය වගේම කවියත් කලාවෙන් කලාව මෝරා ඇවිදින් පරිපූර්ණ වූ කවියක්. අමරසේකර යෝජනා කරපු 'හද බස'කවියේ වස්තු විෂයට අනුව හොඳින්ම ගලපා ගත් කවියා තමයි සේකර.
සේකරගේ දීර්ඝ කාව්‍ය සාහිත්‍ය නිර්මාණ ඇතුළේ අපට අපේ ජීවිත වගේම සේකරගෙ ජීවිතයත් පෙනෙනවා.
තුංමංහන්දියේ අබිලි සිඤ්ඤෝගේ මනෝ මන්දිරයේ සිරිසේනගේ, රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත කාව්‍යයේ ලයනල්ගේ, නොමියෙමි හි අමරෙගේ, බෝඩිමේ ගීතසාරගේ සහ අවසාන වශයෙන් ප්‍රබුද්ධ පොතේ කතා නායකයා වන ප්‍රබුද්ධගේ චරිතයේ ඉන්නේ මහගමසේකරම නේද කියලා අපට හිතෙනවා..
සේකර මියගියේ අප කුඩා ළමුන්ව සිටි කාලයේදී.
අධ්‍යාපන දෙපාර්තමේන්තුව පළ කරපු ඉස්කෝල පාඩම් පොත් ටිකත් මිහිර පත්තරෙත් ඇරෙන්න අපට කියවන්න පොත පත එතරම් තිබුනේ නෑ.
ඒ කාලේ තිබුන ඉස්කෝල පොතකට මහගමසේකර කවියක්/ ගීතයක් ලියලා තිබුණා ළමයින්ට.
වැස්ස වගේ අකාසේ වහින්න මට ආසයි...
වතුර වගේ වැව් විල් වල පිරෙන්න මට ආසයි...
සේකරත් වැස්ස වගේ වැහැපු කවියෙක්. වතුර වගේ වැව් විල් පුරෝපු කවියෙක්.