අඩි හත්දාහක් උඩ තනිව ජීවත්වන මිනිස්සු ඉන්න ලංකාවේ උසින්ම පිහිටි එක් ගම්මානයක් "නැග්රක් ගම්මානය"
ගල්පොත්තැන්න ග්‍රාම නිලධාරී වසමට අයත් නන්පේරියල් ප්‍රදේශයට ආසන්නතම නගරය බෙලිහුල් ඔය වේලනන්පේරියල් වතු යායේ කොටස් හතරක ගම්මාන හතරක ජනයා ජීවත්වන අතර ඔවුන්ගෙන් කොටස් 3ක් පමණ සිටින්නේ හතරවටින් කඳු වලින් වටවූ මහා පාතාලයකය.
ඊට අමතරව පිහිටි නැග්රැක් ගම්මානය ඇත්තේ එම ගම්මානවලටත් වඩා අඩි දහස්ගණනකින් උසැති ලෝකාන්ත බෑවුමේ ඉහළ කෙළවරකය. ස්වභාවිකවම කොළ වර්ණයේ විවිධ ප්‍රභේද වලින් ඔප් නැංවුනු කඳු වැටි රාශියක් තිබෙන අතර ඉන් ඉතාමත් දිගින් පිහිටි උසම කඳු වැටිය නම් හෝර්ටන් තැන්න පිහිටි උස් බිමයි. මහා ලෝකාන්තයෙන් පහළ බලන සැමට පෙනෙන්නේ සුන්දර වූ උග්ගල්දූව වතු නිවාස වන අතර අප අද දිනයේ සැබවින්ම අප දකින සුන්දරත්වයේ ප්‍රායෝගික වූ අසුන්දර බව දැක විඳ ගත්තෙමු.
ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ ලංකාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ තේ වගාව නිසා ලංකාවට ඉන්දියානු දමිළ වැසියන් බොහෝමයක් සංක්‍රමණය වුණි. තේ දල්ල හා බැඳි දමිළ ජන ජිවිත අද වනවිටත් පාරම්පරිකව එසේම ගලාගෙන යයි. 21 වැනි ශතවර්ෂයත් පසු වුවද ඔවුන් තවමත් පොදු පහසුකම්, නාගරීකරණ සැප සම්පත් නුදුටු ජන කොට්ඨාසයක් බව ඔබ නොදන්නවා ඇත. බෙලිහුල්ඔය නගරය සමනල වැව හා හිරිකටු ඔය මගින් ජල අවශ්‍යතාවය සපුරණ අතර එම ජල මුලාශ්‍ර ගලාගෙන එන්නේ නන්පේරියල් ඉහළ කොටස් හා හෝර්ටන් තැන්නේ නොඉඳුල් දිය උල්පත් වලිනි. නන්පේරියල් වතුයායේ සියලුම වැසියන් පානීය හා දෛනික ජල අවශ්‍යතා සපුරා ගන්නේ මෙම ජල මුලාශ්‍ර වලිනි. නන්පේරියල් මාර්ගයේ සිට හාගල කඳු පන්තිය හා තවත් දැවැන්ත කඳු වැටි පසුකරමින් කි.මි. 10 ක් පමණ ආපසු ප්‍රධාන වශයෙන් අතුරු මාර්ග බෙදීම පටන් ගනියි. කර්මාන්තශාලා කොටසින් ඉහළට ගිය පසු උග්ගල්දූව, ඉහළ කොටස හා නන්පේරියල් කොටස්වලට මාර්ගය තැනින් තැන බෙදේ.
හරිත පැහැයේ විවිධ වර්ණ අවස්ථා වලින් සමන්විත සුමට පා වියන් සේ දිදුලන කඳු වැටි කිහිපයක් මාර්ගයේ වම් අත තිබෙන අතර චිරි චිරියේ ගලායන කිරිකැටි ඔයට ඉහළින් පිහිටි අති දැවැන්ත කඳු පන්තිය කිලෝමීටර ගණනක් ඈතට දිවයයි. අඟල් 3 ක් 4 ක් පමණ උසැති වළවල් මතින් බයිසිකලයේ රෝද හැපි හැපී ගල් බොරළු පිරි ලිස්සන මාර්ගයේ ඉහළට ඇදෙන විට දිය ඇලි සහ දිය අගල් රාශියක් මුණ ගැසුණි. අහිංසක හිනාවකින් මුව සරසාගෙන, අප යන විට මග දෙපසට වී අප සමඟ නෙතගින් කථා කරන ඔවුන්ගේ දෙපා කොතරම් කටුක ගමන් වලට මුහුණ දී ඇත්දැයි අපට සිතුණි. මෙම මාර්ගයේ නැග්රැක් කොටසකට යනතුරු වැලමිට වංගු 32 ක් පමණ හමුවේ. සංචාරක ජීප් රථ, ලොරි, ත්‍රීරෝද රථ හැරුණු කොට වෙනත් වාහන වලට මෙම මගේ ගමන් ගැනීම දුෂ්කර හා අනතුරුදායකය.
බේකර්ස් වංගුව පසුකර තවත් ඉදිරියෙන් ඇති කඳු පන්තිය මුදුනට මාර්ගය ඇති බව අප දුටුවේ උදැහැනැක්කෙම වැඩ පල සඳහා මිනිසුන් ගෙන යන ටිපර් රථය මගිනි. කඳු වැටිය ඉහත්තාවේ මීදුම් රොද කැරකෙමින් පවතියි. කොයි මොහොතේ හෝ සුදු පුළුන් වළාකුළු සමස්ත කඳුයායම වසාගන්නා බව අපට දකින්නට ලැබෙන බව දැන සිටියෙමු.
කෙසේ හෝ නැග්රැක් ගම්මානයට පිවිසුම පිහිටි වංගුවේ ගලින් ලියූ නාමපුවරුවක් ඇත. එහි එතැන උස අඩි 6990ක් බව සඳහන්ය. එම ස්ථානයට පිටුපසින් පිහිටියේ දැවැන්ත හෙලක් සහිත විවෘත වපසරියකි. එනම් බලංගොඩ දක්වා පිහිටි ප්‍රදේශයයි. එලෙසම ඉදිරියෙන්ද අප ආ මාර්ගයේ දැවැන්ත හෙල විය. මෙම ස්ථානය කන්දේ මුදුනතත් වන අතර එක්තරා ආකාරයක කපොල්ලක් බඳුය. මෙතැන සිට තවත් ඉහළට අප යා යුතු අතර එහි අවසානය නැගරැක් නිවාඩු නිකේතනයයි. මාර්ගය බොහෝ අබලන් වන අතර දිය අගලක් වම් පසින් දිවෙයි. ගල් බොරළු පිරි මග ලිස්සන සුළු වන අතර එවැනි ලිස්සීමක් මාරාන්තික හෙලකට වැටීමක් වන අතර මරණය පවා සිදු විය හැක.
මීට වසර කීහිපයකට පෙර අරඹන ලද පාසල පිහිටියේ කන්ද නැගීම පටන් ගන්නා ඉසව්වටත් පෙරය. වත්තේ සියලුම දරු දැරියන් එම පාසලට යන අතර නැග්රැක් දරුවන්ට කි.මී. 12 ක් අතිශය දුෂ්කර කඳු නැගීමක් හා බැසීමක් මගින් පාසලට යා යුතුය. එම නිසාම එම දරුවන්ව පාසලේ නේවාසිකව නවතා ඇත්තේ දෙමාපියන්ට ගමනාගමන පහසුකම් හෝ පොදු ප්‍රවාහන පහසුකම් එම ස්ථානයට නොමැති නිසාවෙනි. පඹහින්න සිට නන්පේරියල් දක්වා එන ලංගම බස් රථය කඳු ගැටය නගින්නේ නැත. එමනිසාම නැග්රැක් ජනතාවට උදේ හවා තම දෛනික වුවමනා සඳහා අවම වශයෙන් කිලෝමීටර් 8ක් පමණ දැවැන්ත කඳුතරණයක්, බැසීමක් කළ යුතුමය. මාර්ගයේ සමහර ස්ථානවල කොන්ක්‍රීට් අතුරා තිබුණත් බොහෝ ස්ථාන දැඩි ලෙස අබලන්ය. ගල් පතුරු ගැලවී බොරුළු පිරි කටුක මාර්ගයකි. සමහර වැඩිහිටි උදවිය නිරුවත් දෙපයින්ම මෙම මාර්ගයේ ගමන් කරන අතර ඔවුන්ගේ ගතද හිතද ඒ දුෂ්කර බවට හොඳින් පදම් වී හමාරය.
තවද මෙම වත්තට තැපැල් හලක් නොමැති අතර සිල්ලර වෙළඳ සැල්ද අතලොස්සක් පමණක් දක්නට ලැබේ. ප්‍රදේශයේ තිබෙන එකම රෝහලත් ඇත්තේ කන්ද නැගීම ආසන්නයේ වන නිසා හදිසි රෝගියෙකුට වුව පෙර කී අබලන් මගේ ගමන් කළ යුතුමයි. මේ වන විට නිහ්චිත වෛද්‍යවරයෙකු ස්ථිර ලෙස එම රෝහලේ නොමැති අතර බොහෝ මහලු උදවියට හා ගැබිණි මවුවරුන්ට මුහුණ දිය යුතු රෝගී තත්ත්වයන්වලදී එම ජනතාව බොහෝ ලෙස පීඩා විඳිති. ප්‍රදේශයට ජලයෙන් අඩුවක් නොමැති අතර ඔවුන් එය ඉතා ක්‍රමවත් ලෙස ප්‍රයෝජනයට ගනු ලබයි. වැසි සමයට කූඩැල්ලන්ගෙන් පීඩා විදීම ඔවුනට අරුමයක් නොවූවත් ඉහළ කොටසේ සමහර ස්ථානවල ගැවසුනු බල්ලන්ව හෝර්ටන් තැන්නේ වෙසෙන දිවියන් දඩයම් කිරීම විටෙක ඔවුන්ට තර්ජනයක් වී ඇත. බොහෝවිට දිවියා මිනිසාට පහරදීමට නොපෙළඹුනත් ගවයන්, බල්ලන් වැනි ගෘහස්ථ සතුන් දඩයම් කරගෙන නැවතත් කැලයට පලා යයි.
එම අසුන්දර බවේ තවත් පැතිකඩක් නම් නිවාස ප්‍රශ්නයයි. තවමත් අඩි 10 ං 10 ලැයිම් කාමරවල හිරවුණු ඔවුන්ට විදුලිය පිළිබඳ සිහිනයක් ඇස් ඉදිරියටම පැමිණ නැවතී සිටින්නේ දැනට වසරක පමණ කාලයක සිටය. පෙට්‍රල් මැෂිම, කුප්පිලාම්පුව මගින් රැය එළිය කර ගන්නා මොවුන්ට තවමත් විදුලිය ලැබී නැත. පහළ සමහර කොටස්වලට විදුලිය ලැබී ඇති අතර නැග්රැක් ජනතාවගේ නිවාස අසලටම විදුලි කණු ඇද තිබේ. පසුගිය රජය සමයේ එලෙස සිදුවු අතර තවමත් ඔවුන්ට විදුලිය ලබාදී නැත. වසර පහකින් පමණ නැවත ගෙවිය හැකි ලෙස සමෘද්ධි ණය මත අවශ්‍ය මුලික පදනම දමා ගත් මොවුන් විදුලි කණු දෙස බලා සිටින්නේ දුක් මුසුවෙනි.
විදුලිය ලබා ගැනීමට පවා මෙම ජනතාව ඉතා දැඩිලෙස කැපවී කණු, වයර් ඉහළට ගෙන ගොස් ඇති අතර වයර් හා කණු නිසිලෙස සිටුවාද තිබේ. නමුත් කෑලි කපන අඳුරත් මීදුමත් එළිය කිරීමට විදුලිය නොමැති වීම මොවුන්ට බලවත් ගැටළුවක් වී ඇත. රාත්‍රී කාලයේ පවතින අධික සීතලට එකට ගුලිවී පුංචි ඉඩෙහි නිදාගන්නා කම්කරු පවුල්වල නිවාස ඇතුළත පවා බොහෝ වෙනස්ය. මුළුතැන් ගෙය, නිදන කාමරය සියල්ලම එකම ප්‍රදේශයකි. වැඩිහිටියන්ගේ ගතේ සවියත් හිතේ ධෛර්යයත් නිසා මොවුන් මෙලෙස අඩි 7000 ක් උඩක සිට තම පවුල් ජීවිතය සාමකාමීව කරගෙන යයි.
මේ කථාබහ අතරතුර අප ඉහළ කොටසේද සංචාරයක යෙදුනෙමු. සැබැවින්ම මොවුන්ගේ දිවි පෙවෙතේ කටුක බව විඳීමට නම් නගරයේ සැප කාමර වල සිටින උදවියට නොහැකි බව අප දුටුවෙමු. පරණ ලැයිම් කාමර පේළියේ සැමටම පොදු එළිමහනේ සැමටම නොහැකි බව අප දුටුවෙමු. පරණ ලැයිම් කාමර පේළියේ සැමටම පොදු එළිමහනේ සැමටම පොදු නාන පීල්ලයට දුෂ්කරව කල් ගෙවන මොවුන් එම දුක අප සමග බෙදාගත්තේ දැඩි අපේක්‍ෂාවකිනි. එනම් ඔවුන්ගේ ජීවිත වල යහපැවැත්ම උදෙසාත් ඔවුන්ගේ දරුවන්ට සුරක්‍ෂිත හෙට දවසක් උදා කරනු වස් උදෙසාත්ය.
මහා ලෝකාන්තයෙන් එබී බලන විට හරි අපූරුවට උග්ගල්දූව කොටස පෙනුනද ඔවුන්ගේ සැබෑ දුක දැනගැනීමට නම් නන්පේරියල් ආ යුතුමය. ලෝකාන්ත ප්‍රපාතයට යෑමට බොහෝ කාලයක් ගතවන අතර එහි තිබෙන අනතුරුදායක බවද වැඩිය.
කෙසේ හෝ අඩි 7000 ත් උඩ දිවි ගෙවන නැග්රැක් ගම්මානය අලංකාර වනුයේ නැග්රැක් බංගලාව නිසාවෙනි. නමුත් නිරන්තරයෙන් සොබාදහම සමග හරි හරියට හැප්පෙන ඔවුන්ට අව්ව වැස්ස හොඳහැටි පුරුදුය. අවසාන වශයෙන් අපටද සිතුනේ මෙම ප්‍රදේශයේ තිබෙන මාර්ග කොන්ක්‍රීට් කරදීමෙන් හා අතරමග නැවතුන විදුලිය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවූවහොත් නැග්රැක් මිනිසුන්ගේ මුවගටත් සිනහවක් එන බවය.
උදේ හවා ප්‍රධාන මං මාවත්වල රථ වාහන දකින ඔබ අපට රිසිසේ ආහාර පාන ගෘහස්ථ ද්‍රව්‍ය ලබා ගත හැකි වෙළඳසැල් බොහෝමයක් තිබෙන ඔබ අපට වඩා දවසේ පැය 24ම කඳු, දියඇළි හා සුදු මීදුම පමණක් දකින මිනිසුන්ගේ හා දරුවන්ගේ ජීවිතය කෙසේ විය හැකිද? නැග්රැක් බංගලාවට යන පිටස්තර පුද්ගලයන් හා ඔවුන්ගේ වාහන දකින විට ඔවුන්ටද සතුටු ය. මන්ද ඒවා කලාතුරකින් දකින නිසාවෙනි. ඔබ අපට සේම බෙලිහුල් ඔය වැසියන්ටද පොදු පහසුකම්, කාපට් ඇතිරූ සුපිරි මං මාවත් තිබෙන නමුත් අඩි 7000 ක් උසට කන්දක් නගින ජනතාවගේ සිතේ කෙතරම් ආශා තිබිය හැකිද? නිරුවත් දෙපයින් ඇවිදින විට කකුළේ හටගන්නා කරගැට තැලුම් රිදුම් පාසා ගෙවීයන ඔවුන්ගේ දුෂ්කර බව තුළ ඔවුන්ව සැමදා තැබිය යුතුද?
එසේනම් නැග්රැක් ජනතාවටත් ඔබ අප මෙන් සරල සාමාන්‍ය සමාජ රටාවක්, සමාජ වටපිටාවක් උරුම කර දිය යුතුය. මධ්‍යහ්න 12ටත් පොදියට කඳු වළල්ල වසාගෙන සිටින මීදුම මැද අප නිවෙස් බලා එන්නට පිටත් වීමු. ලිස්සන සුළු මාර්ගයේ නැවත පැමිණෙන විට අනතුරුදායක බව අධික වන අතර තිරිංග පද්ධතියේ ශක්තිමත් බව මෙහිදී ඔබටද වැටහෙනු ඇත.
තවත් දිනයක හිරිකටුඔය දිගේ නන්පේරියල් අඳුරු නිම්නය තුළින් තවමත් මිනිස් පය නොතැබූ ඉසව්වක් කරා යෑමේ අදිටනින් යුතුව අපේ ගමන නිමාවට පත් කළෙමු.