SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලොව ප්‍රථම න්‍යෂ්ටික ආයුධ පිපිරුම (ට්‍රිනිටි පරීක්ෂණය) අත්හදා බලා ජූලි 16 වැනිදා ට අවුරුදු 78 ක් සපිරෙනවා. ඉන් දින පහකට පසු ක්‍රිස්ටෝෆර් නෝලන් ගේ "Oppenheimer" චිත්‍රපටය සිනමාශාලා වලට නිකුත් වීමට නියමිත යි.

ට්‍රිනිටි පරීක්ෂණයේ ඉතිහාසගත කරුණු සහ රොබට් ඕපන්හයිමර් මෙම ව්‍යාපෘතිය සඳහා දායක වූ අන්දම විස්තර කිරීම ලිපියේ අරමුණ නොවෙයි. ඒ සියළු කරුණු අපිට තව සතියකින් සිනමාත්මකව අත්දකින්න පුළුවන්. මේ ලිපිය පදනම් වෙන්නේ මූලික ගැටළු දෙකක් මුල්කර ගෙන යි.

නෝලන් ට මේ වගේ චරිතාපදාන කතාවක් හදන්න හිතුණේ ඇයි?

CGI නොමැති ව ට්‍රිනිටි පිපිරුම නිර්මාණය කළේ කොහොම ද?

 

“The danger never goes away”

 

චිත්‍රපටය ට අවැසි තිර රචනය ලිවීම සඳහා නෝලන් "American Prometheus" ග්‍රන්ථය පාදක කරගෙන තිබෙනවා. එය පුලිට්සර් සම්මානය පවා දිනාගැනීමට සමත් වූ කෘතියක්. ට්‍රිනිටි පරීක්ෂණය සිදු වී දශක කිහිපයක් ගත වූ පසු "Oppenheimer" වැනි චිත්‍රපටයක් නිර්මාණය කිරීම කාලෝචිත වනු ඇතැයි නෝලන් සිතුවේ නැහැ. ඒ විවේචනය ඔහු ගේ පුත්‍රයෙකු ගෙන් පවා එල්ල වී තිබුණා.

 

christoper 2

(J. Robert Oppenheimer's Defense of Humanity – WSJ)

“යොවුන් වියේ පසුවන මගේ එක පුත්‍රයෙක් සමඟ චිත්‍රපටය සම්බන්ධයෙන් සංවාදයක් පැවැත්වූවා. න්‍යෂ්ටික ආයුධ යනු තවදුරටත් කරදර විය යුතු දෙයක් ද? ඇත්තට ම න්‍යෂ්ටික ආයුධ ලෝකයේ සැළකිය යුතු දෙයක් ද? කියලා ඔහු මගෙන් ඇසුවා.

මම කිව්වා, හොඳයි, සමහරවිට ඒක චිත්‍රපටයක් හදන්න හොඳ හේතුවක් වෙන්න පුළුවන්. නමුත්, ඊටත් එහාට ගිහින් එය (ට්‍රිනිටි පරීක්ෂණය) අපේ ලෝකය සඳහට ම වෙනස් කළ ආකාර‍ය ගැනත් කතා වෙනවා කියලා. අවුරුදු දෙකකට පස්සේ තවදුරටත් එයා මගෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. ඔහු විතරක් නොවෙයි, කොතරම් අයහපත් හේතු තිබුණත්, කිසිවෙකු න්‍යෂ්ටික ආයුධ ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. එය න්‍යෂ්ටික අවි සහ න්‍යෂ්ටික සමූල ඝා?තන තර්ජන සමඟ අපේ සබැඳියාවේ ඇති රෝග ලක්ෂණයක්. භූ දේශපාලනික මාරුවීම් සමඟ මේ ප්‍රශ්න නොකිරීම (රෝග ලක්ෂණය) ගලා යනවා. එය නොවිය යුතු දෙයක්. අනතුර කවදාවත් පහව යන්නේ නැහැ. ඒක තමයි මගේ අදහස.”

 

christoper 3

(Ask a Scientist: Scientists and Arms Control from Oppenheimer to Today)

 

චිත්‍රපටය නරඹන අතරතුර නෝලන් ගේ රසිකයන් බහුතරයක් ට්‍රිනිටි පරීක්ෂණය CGI වලින් තොරව නිර්මාණය කිරීමට දරා ඇති උත්සාහය කෙරෙහි අවධානය යොමු කිරීමට ඉඩ තිබෙනවා. නමුත්, නෝලන් ඊටත් වඩා අවධානය යොමුකර ඇති ස්ථාන නිර්මාණයේ තිබෙන බව ඉහත සංවාදයෙන් හැඟී යනවා. සරලව ම ඉතිහාසය යනු නැවත පුනරාවර්තනය විය හැකි දෙයක්.

 

CGI කියන්නේ ආරක්ෂිත හැඟීමක්!

 

නෝලන් යනු හැකිතාක් අවමයෙන් CGI භාවිත කරමින් නිර්මාණකරණයේ යෙදෙන අධ්‍යක්ෂකවරයෙක්. සිනමා අත්දැකීම අව්‍යාජ වන තරමටම ප්‍රේක්ෂකයා ඉදිරියේ සිදුකළ හැකි දෘශ්‍යමය බලපෑම ප්‍රබල බව ඔහු ගේ විශ්වාසය යි. බොහෝ දර්ශන කැමරාවට හසුකර ගැනීමෙන් අනතුරු ව අවැසි නම් පමණක් CGI භාවිතයෙන් එම දර්ශන වැඩි දියුණු කිරීම පමණ යි ඔහු සිදු කරන්නේ. ට්‍රිනිටි පරීක්ෂණයේ න්‍යෂ්ටික පිපිරුම CGI භාවිතයෙන් තොරව සිදු කළ බව ප්‍රසිද්ධ වූ විට "Oppenheimer" මත ඇති ප්‍රේක්ෂක අපේක්ෂාව තදුරටත් ඉහළ ගියා. CGI භාවිත කළහොත්, පරීක්ෂණයේ ප්‍රතිනිර්මාණය නරඹන ප්‍රේක්ෂකයා හට අනතුරුදායක හැඟීමකට වඩා ආරක්ෂිත හැඟීමක් දැනේවියැ යි නෝලන් විශ්වාස කළ බව සඳහන්.

 

"මගේ දෘෂ්‍ය ප්‍රයෝග අධීක්ෂකවරයා, ඇන්ඩෲ ජැක්සන්, මුල් අවදියේ සිට ම මාත් සමඟ සිටියා. අපි ක්වන්ටම් ගතිකත්වය සහ විද්‍යාව නියෝජනය කිරීමේ සිට ට්‍රිනිටි පරීක්ෂණය ප්‍රතිනිර්මාණය කිරීම දක්වා විවිධ දෘෂ්‍ය අංග ග්‍රහණය කර ගැනීමේ ප්‍රායෝගික ප්‍රවේශ ගවේෂණය කළා. කණ්ඩායම සමඟ අසාමාන්‍ය කාලගුණික තත්ත්ව යටතේ නිව් මෙක්සිකෝවේ ලොස් ඇලමෝස් වල මේ කටයුතු ප්‍රතිනිර්මාණය කරන්න මට සිද්ධ වුණා."

christoper 4

No, Christopher Nolan's 'Oppenheimer' Has Not Been Delayed

මෑත ඉතිහාසයේ සිදුවීමක් නිසාත්, ඒ අවස්ථාවට මුහුණ දුන් කණ්ඩායමේ අත්දැකීම්, හැඟීම්, ඉතා සවිස්තරාත්මකව අද දක්වා පවතින නිසාත්, ට්‍රිනිටි පරීක්ෂණයේ ප්‍රතිනිර්මාණය සැබෑ අභියෝගයක් බව නෝලන් වටහා ගෙන තිබුණා. සරලවම පරීක්ෂණය සිදු කරන අවස්ථාවේ දී ලොස් ඇලමෝස් අවට පැවති කාලගුණික තත්ත්වය පවා ඔහු සැළකිල්ලට ගත යුතු යි.

 

"Forced Perspective"

කැළඹිලි සහිත කාලගුණය මධ්‍යයේ "Oppenheimer" කාර්ය මණ්ඩලය කෙසේ හෝ ට්‍රිනිටි පිපිරුම ප්‍රතිනිර්මාණය කළ අතර, ඔවුන් කුඩා පරිමාණ ආකෘති භාවිත කරමින් "Forced Perspective" නමැති සාම්ප්‍රදායික ක්‍රමවේදයක් යටතේ රූගත කිරීම් සිදු කළා. "Forced Perspective" යනු වස්තූන් සැබෑ ප්‍රමාණයට සාපේක්ෂ ව විශාල, කුඩා, දුරින් හෝ සමීපව පෙනෙන පරිදි භාවිතා කරන දෘෂ්‍ය ප්‍රයෝග ක්‍රමයක්. මෙම ක්‍රමවේදය ඡායාරූපකරණයේ පවා දැකිය හැකි යි.

 

"Forced Perspective" ක්‍රමවේදයේ දී කැමරාවට හෝ නරඹන්නාට අදාළ ව වස්තුව ප්‍රවේශමෙන් ස්ථානගත කිරීමෙන් වස්තුවේ දුර, ප්‍රමාණය, පිළිබඳ ව ව්‍යාජ සංජානනයක් ලබා දෙනවා. ෆේස්බුක් වල පවා "Forced Perspective" හි මූලික කරුණු පදනම් කර ගනිමින් ගත් ඡායාරූප දකින්න පුළුවන්. අයිෆල් කුළුණ, පීසා හි ඇලවුණු කුළුණ වැනි විශාල වස්තු සිය ඇඟිලි තුඩු වලින් රඳවා ගෙන සිටින අන්දමේ ඡායාරූප ඒ සඳහා ප්‍රාථමික උදාහරණ කිහිපයක්. ඉතින්, මෙතැන දී නෝලන් සිදු කර ඇත්තේ සරල ක්‍රමවේදයක් මත පදනම් වූ සංකීර්ණ කැමරා හරඹයක්.

නමුත්, විශේෂ ප්‍රයෝග කණ්ඩායමේ නායකයා, ස්කොට් ෆිෂර්, ට්‍රිනිටි පරීක්ෂණය වෙනුවෙන් තැනු ආකෘති "කුඩා පරිමාණ ආකෘති" ලෙස හැඳින්වීමට කැමති වුණේ නැහැ. ඔහු ඒ සඳහා "විශාල හැඩතල" යන අදහසට සමාන යෙදුමක් භාවිතා කළා. කළමණාකරණය කළ හැකි උපරිම සීමාව දක්වා විශාල ලෙස එම ආකෘති තැනීම ඊට හේතුව යි.

 

ගැසොලීන් සහ ප්‍රොපේන්

 

bulk franger gas truck home

 

ට්‍රිනිටි පිපිරුමේ ස්වභාවය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා කාර්ය මණ්ඩලය මූලික ව යොදාගත්තේ ගැසොලීන් සහ ප්‍රොපේන් බව සඳහන්. ඒවා ඒකාබද්ධ කිරීමෙන් ඉහළ බලශක්තියක් නිපදවා ගැනීමට ෆිෂර් ඇතුළු කාර්ය මණ්ඩලයේ අරමුණ වූ අතර, න්‍යෂ්ටික පිපිරීමක දී නිර්මාණය වෙනවායැ යි පැවසෙන ක්ෂණික දීප්තිය උපදවා ගැනීම සඳහා ඇලුමීනියම් කුඩු සහ මැග්නීසියම් භාවිත කර තිබුණා. සත්‍ය න්‍යෂ්ටික පිපිරුමක දී දක්නට ලැබෙන කල් පවත්නා දීප්තිය ප්‍රේක්ෂකයා ට හැකිතාක් සමීපව අත් විඳීමට ඉඩ සැලැස්වීම චිත්‍රපටයේ ඒකායන අරමුණක්. ඒ සඳහා ඔවුන් "Forced Perspective" ක්‍රමවේදය මඟින් පිපිරුමේ සෑම අඟලක් ම විශාල පරිමාණයෙන් ප්‍රේක්ෂකයා ගේ දර්ශන පථය වසා දැමීමට උත්සහ කර ඇති බව යි පැවසෙන්නේ.

 

90895950 edb4 11ed b6f3 506e0025153a

 

නෝලන් මෙම ප්‍රතිනිර්මාණය හඳුන්වා ඇත්තේ මහා පරිමාණ අත්හදා බැලීමක් සහ කුඩා තොරතුරු වල සම්මිශ්‍රණයක් ලෙස යි. ඇලුමීනියම් කුඩු වල පිපිරීම, මැග්නීසියම් වල දීප්තිමත් ගිනිදැල්, විවිධ දාහක (Combustible) අංශු අතර අන්තර්ක්‍රියා යන සියළු සංකලන ඇතුළත් පර්යේෂණාත්මක ජයග්‍රහණයක් ලෙස ට්‍රිනිටි ප්‍රතිනිර්මාණය ඔහු සාරාංශගත කර තිබෙනවා. පිපිරුමේ ගතිකත්වය පවත්වා ගැනීම, අභ්‍යන්තර බලපෑම සහ පිපිරුම පාලනය කිරීම සඳහා මූලද්‍රව්‍ය වල තෝරා ගැනීම සිදු වුණෙත් ප්‍රවේශම් සහගතව යි.

 

කෙසේ නමුත්, පිපිරුමේ ස්වභාවය ප්‍රතිනිර්මාණය කිරීමෙන් පමණක් අභියෝගය අවසන් වන්නේ නැහැ. න්‍යෂ්ටික පිපිරුමක සාමාන්‍යයෙන් සිදුවන "බිම්මල් ආකාරයේ වළාකුළ (mushroom cloud)" සෑදීම අභියෝගයේ ඊළඟ පියවර යි. එය ජය ගැනීම සඳහා TNT භාවිතයෙන් සිදුකළ පාලිත පිපිරුමක් විවිධ කෝණ ඔස්සේ ඡායාරූපගත කළ අතර, පරිගණකය හරහා ඡායාරූප ඒකාබද්ධ කරමින් පිපිරුමට බහු ස්ථර එකතු කිරීම සිදු කළා.

 

බැලූ බැල්මට ම Interstellar චිත්‍රපටයේ කළු කුහරයට වඩා ට්‍රිනිටි පරීක්ෂණය සඳහා නෝලන් භාවිත කර ඇත්තේ සරල ක්‍රියාවලියක්. නමුත්, කළු කුහරයට වඩා ට්‍රිනිටි පරීක්ෂණයේ ප්‍රායෝගික ප්‍රවේශය ඉහළ යි. එය මිනිසා සැබෑ ලෙසම අත්දුටු දෙයක් නිසා Visualizing information වල ගුණාත්මකභාවය ඉහළින් ම තිබිය යුතු යි.

 

{Interstellar චිත්‍රපටයේ කළු කුහරය නිර්මාණය කිරීම සම්බන්ධ ලිපියක් මේ ලින්ක් එකෙන් කියවන්න පුළුවන්. ඒත්, අවුරුදු කිහිපයකට පස්සේ ඒ ලිපිය ආපහු කියවන මට අඩුපාඩු ටිකක් වැඩියෙන් දැනෙනවා. (https://web.facebook.com/.../permalink/1225004144506650/ )

කිලියන් මර්ෆි

අවසාන වශයෙන් කිලියන් මර්ෆි ගැනත් යමක් පැවසිය යුතු යි. ඕපන්හයිමර් ගේ චරිතයට ආශක්ත වීම සඳහා ස්වභාවයෙන් ම සිහින් සිරුරක් ඇති කිලියන් මර්ෆි හට තවදුරටත් බර අඩුකර ගැනීමට සිදු වුණා. චිත්‍රපටය පුරා විද්‍යාත්මක කරුණු අරබයා සිදුවන දෙබස් කණ්ඩ වල කේන්ද්‍රය කිලියන් වන බැවින්, ක්වන්ටම් භෞතික විද්‍යාවේ මූලික කරුණු ඉගෙන ගැනීමටත් ඔහු ට සිදු වුණා. නමුත්, ඔහු යම් සීමාවක සිටියා. ක්වන්ටම් දැනුමෙන් සන්නද්ධ වූ ඕපන්හයිමර්ට වඩා මැන්හැටන් ව්‍යාපෘතිය පුරා පීඩනයෙන් සිටි ඕපන්හයිමර් ගේ මානසික ස්වභාවය කිලියන් ට වැදගත් වුණා. රූගත කිරීම් අතරතුර උපදේශනය සඳහා සිටි විද්‍යාඥයන් ගේ සංකීර්ණ කතා ඔහුටත් ඕනෑ තරම් අසන්න ලැබුණා.

 

“මේ සියලු දක්ෂයින් සමඟ තමයි මම රාත්‍රී ආහාරය ගත්තේ. මම කවදාවත් ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව තේරුම් ගන්නේ නැහැ. නමුත්, විද්‍යාව ඔවුන් ගේ ඉදිරි දර්ශනයට සිදු කරන දේ ගැන මම උනන්දු වුණා. මට මතකයි එක විද්‍යාඥයෙක් කිව්වා, මම ආදරය විශ්වාස කරන්නේ නැහැ. ඒක ජීව විද්‍යාත්මක සංසිද්ධියක් හෝ ගැහැණු පිරිමි අතර සිදුවන හෝමෝන හුවමාරුවක් එච්චරයි කියලා. ආදරය කියන්නේ විකාරයක් කියලත් කිව්වා. පැහැදිලිව ම මට ඒවත් එක්ක එකඟ වෙන්න බැහැ."

 

ඉතින්, මෙවැනි ආකල්ප ඇති රංගන ශිල්පියෙක් නෝලන් මඟ හරින්නේ කොහොමද!

එහෙනම්, වසරේ වඩාත් ම බලාපොරොත්තු සහගත සිනමා අත්දැකීමකට සුභ පැතුම්..

 

@Milan Perera