SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ක්‍රීඩා ගැසට් එක ගැන හරීන් කියන කතාව

“ක්‍රීඩා අමාත්‍යංශය කියන්නෙ ක්‍රිකට් නෙමෙයි. ක්‍රීඩා අමාත්‍යංශයට ක්‍රීඩා 73 ක් තියෙනවා. එම ක්‍රීඩාවලට ඊයේ පෙරේදා රෙගුලාසියක් දැම්මා. ඒ රෙගුලාසිය අනුව ජාතික ක්‍රීඩා සංගමයක විධායක කමිටුවේ අවුරුදු 16 ක් හිටියොත් එයාට සභාපති වෙන්නත් බෑ. මට ශම්මි සිල්වා කෙනෙක්ගේ කිසිම ප්‍රශ්නයක් නෑ. මම දන්න තරමින් ශම්මි සිල්වා අවුරුදු 16 ක් ඉඳලත් ඉවරයි. ඊළඟ නිලවරණයේදී එතුමාට ඉල්ලන්නත් බෑ. මේ තියෙන්නේ පෞද්ගලික වෛරයක් සහ තරහක්” යැයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.

 

ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු අංක 2382/32 - 2024 මැයි මස 03 වැනි සිකුරාදා නිකුත් කළ ජාතික ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ගේ ධූර කාලය සම්බන්ධයෙන් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා එසේ පැවසීය. ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ගේ ධූර කාලය පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු නිකුත් කළ එම අතිවිශේෂ ගැසට් නිවේදනය පිළිබඳව පසුගිය සතිය වන විට කතාබහක් නිර්මාණ වී තිබුණි. 


එම ගැසට් නිවේදනයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ ධූර කාලය ඉහළ යන්නේ යැයි පවසමින් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අතර ඇතැම් මන්ත්‍රීවරු විශේෂ මාධ්‍ය හමු පවත්වමින් එම ගැසට් නිවේදනය විවේචනය කළහ.

 

එම ගැසට් නිවේදනය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාගේ සහ ලේකම්වරයාගේ ධූර කාලය වසර අටක් දක්වා දීර්ඝ කර ඇති බවට චෝදනා එල්ල වන අතර ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන නිලධාරීන්ගේ සේවා කාලය තවත් වසර හතරකින් දීර්ඝ වන බවට පැවසේ.

 

“මෙම නව රෙගුලාසියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට සහ ලේකම්වරයාට අවුරුදු අටක් තනතුරු දැරීමේ අවස්ථාව ලැබී තියෙනවා. එම ධූරවලින් ඉවත් වීමෙන් පසුව තවත් අවුරුදු 16ක් විධායක සභිකයන් ලෙස කටයුතු කරන්න පුළුවන්” යැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල මාධ්‍ය හමුවකදී පවසා තිබුණි. 

 

සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් පත්වූ විගස එම ගැසට් නිවේදනය බලරහිත කරන බවද එහිදී ලක්‍ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් පවසා තිබුණි.

 

ශ්‍රී ලංකා ක්‍රීඩා පරිපාලනයේ වසර 30 කට අධික කාලයක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු මෙන්ම ජාතික ක්‍රීඩා පාලක සභාවේ හිටපු ලේකම්වරයකුගෙන් නව ගැසට් නිවේදනය පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ අදාළ ගැසට් නිවේදනයේ ප්‍රතිපාදනවලින් සභාපති සහ ලේකම් ධූර වසර අටක් දැරීමේ අවස්ථාව හිමිවන බවය. එම ගැසට් නිවේදනයේ දෙවැනි කොටසේ 5 වැනි වගන්තියේ දෙවැනි ඡේදයේ නිලධාරීන් සම්බන්ධ රෙගුලාසි සඳහන්ව ඇති බවත් එහි (ඇ) වගන්තියේ “වසර දහසයක (16) කාලයක් ධූරය දරා ඇත්නම්, එවැනි තැනැත්තකු විධායක කමිටුවේ සාමාජිකයකු ලෙස තෝරා පත්කර ගැනීමට කිසිදු ලෙසකින් සුදුසුකම් නොලබන්නේය” ලෙස සඳහන්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් කීය.  

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ විවිධ දේ නොලැබුණු පුද්ගලයන් පිරිසක් ක්‍රිකට් නිලධාරීන් සමඟ වෛරයකින් පසුවන බවත් වර්තමාන ක්‍රිකට් නිලධාරීන් එම ධූර කාලය පිළිබඳ නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඔවුන්ට නොමැති බවත්ය.

 

“ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සම්බන්ධයෙන් ගැටලුවක් තියෙන පිරිසක් ඉන්නවා. ඒ අයට තමයි ඔය ප්‍රශ්නය තියෙන්නේ. මොකද ඔවුන් හිතනවා ශම්මි සිල්වා එලෙව්වම ඔවුන්ට ඕනෑ දේවල් කරන්න පුළුවන් කියලා” යැයි එම නිලධාරියා කීය.  

 

@යොහාන් භාසුර

deshaya

නවතම ලිපි