SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කොට බලවත් ආණ්ඩුවක් පිහිටුවීමට සුදානම් වේ.

එම ප්‍රතිපලයේ වැදගත් ම යටි අරුත නම් රටේ අතිවිශාල බහුතර ජනතාව කිසිදු වාද භේදයකින් තොරව ප්‍රකාශ කොට ඇති මතය තේරුම් ගැනීමයි...

 

 

ජනතාව තම මතය පළකොට තිබේ...

 

එම මතය, නැතහොත් ජන්මයෙන් ප්‍රකාශ වනුයේ කුමක්ද?...එය මෙසේ තේරුම් ගත හැකිද..?

 

1.වංශාධිපති, පවුල්වාදී හා ධන ව්‍යාපාරවාදී දේශපාලන නායකත්වය කෙරේ දැන් අපගේ විශ්වාසයක් නොමැත. වඩා පාරිශුද්ධ, කැපවීමක් සහිත විනයානුකූල අලුත් පිරිසක් රට පාලනයට අවශ්‍යය. එබැවින් ඔවුන් රට බාරගෙන රටේ පිළිවෙල, විනය හා ක්‍රමය ගොඩනැගිය යුතුය. දූෂණය හා වංචාවෙන් තොර රාජ්‍ය පාලනයක් රටට අවශ්‍යය.

 

2. අපි ගෙවන බදු මුදලින් බලය දරණ වුන් වරප්‍රසාද භුක්ති විඳීම නතර විය යුතුය. බදු මුදල් රටේ සැමගේ සුභ සිද්ධිය වෙනුවෙන් ක්‍රියාවේ යෙදවිය යුතු අතර එය සියළු දෙනාට දැනෙන දෙයක් විය යුතුය. යුක්තිය හා සාධාරණත්වය මෙන්ම සමානාත්මතාවය එහි ප්‍රධානම සංරචක විය යුතුව ඇත.

 

3. රාජ්‍ය මූල්‍යය සහ වත්කම් සොරා කෑ කවරෙකු හෝ වේ නම් ඔවුන්ට නීතියේ ඉදිරියේ දඩුවම් නියම විය යුතුය. එම සොරා කෑ ධනය යළි රාජ්‍යයට පවරා ගත යුතුය. යළිත් එවැනි රාජ්‍ය ධන මංකොල්ලයක් කිසිදා නොවිය යුතුය. රාජ්‍ය ආයතන පාඩු නොලබන කාර්යක්ෂම ආයතන පද්ධතියක් මෙන්ම මහජන සේවයට උපරිම ලෙස දායක විය යුතුය.

 

4. ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුවන සමාජ යක් බිහිවිය යුතුය. මිනිසුන් ලෙස අප බලාපොරොත්තුවන සංවර්ධනය එයයි. ගමට, නගරයට එවැනි සරල සංවර්ධනයක් ඉටුකරන අතර නාස්තිය හා දුෂණය පිටුදකින සමාජ වටිනාකම් තහවුරු විය යුතුව ඇත.

 

5. ජාතිය හා ආගම මුල් කොට ගත් අන්තවාදී අදහස් පිටුදැක, එම අන්තවාදී අදහස් ජයග්‍රහණය කිරීමට දේශපාලනය යොදා ගැනීම නතර විය යුතුය. සැමගේ මූලික මානව අයිතීන් රැකෙන ජනවාර්ගික හා සංස්කෘතික විවිධත්වය රැකෙන සමානතා සමාජයක් උතුරෙත්, දකුණෙත්, නැගෙනහිරත්, බස්නාහිරත් සහ කන්ද උඩරටත් දැන් බිහිකර ගත යුතුය. අන්තවාදය පිටු දැක තිබේ.

 

6. ආර්ථික පීඩාව කෙලෙස හෝ දුරු කළ යුතුය. ඒ සදහා ගත හැකි ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම ජනතාවගේ ජීවන බර අඩුකරන විසඳුම් අවශ්‍ය ය. වැඩි වැටුප්, බදු බර අඩු, සේවා ගාස්තු දැරිය හැකි මට්ටමක පවත්වා ගත යුතුය.

 

7. නීතියේ ආධිපත්‍යය සැමට එක සමානවත්, වරප්‍රසාද නොමැති කුසලතාව අගයන සමාජයක් හා පාලනයක් ස්ථාපිත විය යුතුව ඇත.

 

වම ද, දකුණ ද යන බේදයකින් තොරව ජනතාව බලාපොරොත්තු තබා තිබෙන මෙම සාධාරණ හා යුක්තියුක්ත සමාජය සාක්ෂාත් කිරීමට ඒ ජනතා පැතුම තේරුම් ගනිමු.

 

එවැනි ප්‍රාර්ථනා කෙරේ ජනතාව විශ්වාසය තැබුවේ මෙවර පමණක් නොව, නමුත් එම බලාපොරොත්තු වංශවත්, පවුල්වාදී හා අධිකාරීවාදී මෙන්ම සහචරවාදී පාලන තන්ත්‍ර විසින් ම සුනු විසුනු කළේය. එසේ නොවන්නට ඇති එකම බලාපොරොත්තුව අලුත් පක්ෂයක් අලුත් කණ්ඩායමක් සහ දේශපාලනයේ අත්දැකීම් සහිත අසූවේ පරපුරක් ඉදිරිපත් වීම පමණකි.

 

දෙවනුව, එය ප්‍රමාණවත් ද? නැතහොත් ලැදියාවන් ඉතා අරාජික හා ආනාදී ලෙස බලපැවැත්වෙන ලෝක ප්‍රවණතා මැද, ගැඹුරු දේශපාලන න්‍යායික හා පරිචයක් දෘෂ්ඨිවාදී ලෙස තහවුරු විය යුතුද...? පොදු මහජනතාවට නම් එය එතරම් ම වැදගත් කරුණක් නොවෙනු ඇත.

 

පූසා මොකෙන් හැදුවත් මොකෝ මීයෝ අල්ලනව නම්......

 

@බන්දුල චන්ද්‍රසේකර

නවතම ලිපි