SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තරගයක් නැති තැන නිතරගයෙන් දිනීම සාමාන්‍ය සිදුවීමකි.

එම සාමාන්‍ය මෙවරත් අසාමාන්‍ය විදිහට සිදු වී හමාරය. සිවුවැනි වරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ෂම්මි සිල්වාම පත් වී ඇත. තවත් දෙවසරක් බලය ෂම්මි සතුය.

 

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 කාලයට නිලධාරීන් තෝරා පත් කර ගැනීම මාර්තු මස 31 වැනිදා සිදුවිය.

 

 

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය යනු මෙරට පාර්ලිමේන්තු මැතිවරණයට වඩා බලගතු දෙයකි. විටෙක ක්‍රිකට් සභාපති රටේ ජනපතිට වඩා කෙරුමෙකි. එවන් වටපිටාවක් ක්‍රිකට් නිලවරණ ඉතිහාසය පුරා හොඳින් පෙන්නුම් කර ඇත.

 

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු ධන නිධානයෙකි. ඒ ධනයට ඇල්ම, බැල්ම දමන්නට බහිරවයකු වීම ඉබේම සිද්ධ වන්නෙ ඕනෑම කට්ටඬියකුට එහා මෙහා කළ නොහැකි අයුරිනි. ජනපති, මැති ඇමැතිවරු මෙන්ම ව්‍යාපාරිකයෝද මේ ක්‍රිකට් පුටුවට ඉව ඇල්ලුවේ මේ රහ නිසාවෙනි. ගිනි අවි සහ ගිනි කෙළිද එකල නිලවරණ පවත්වන විට යහමෙන් විය. පාතාලයෝ පවා තරගයට සහාය දුන්නෝය. නියම සූදුව ක්‍රිකට් බව ඔප්පු කළේ තිලංග සුමතිපාලය. ක්‍රිකට් කප්පිත්තකු වූ අර්ජුනද තිලංගගේ යෝකර් ළඟ දණ බිම ඇණ ගත්තේ කඩුල්ලද පූජා කරමිනි.

 

 

ක්‍රිකට් බෝඩ් එක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වූයේද එහි ව්‍යුහය කණපිට ගැසුණේද මේ තරගය තරගයක් නැතිව කෙරෙන්නටය. සියල්ල එලෙසම විය. මෙරට ප්‍රබල ව්‍යාපාරිකයෝ නියම ව්‍යාපාරය ක්‍රිකට් කියා සහසුද්දෙන්ම දැන ගත්තො වූ නිසාම ක්‍රිකට් නිලවරණය ඒ අයගෙන්ම පිරුණෝය. තිලංග සුමතිපාල, ජයන්ත ධර්මදාස, උපාලි ධර්මදාස, කේ. මතිවානන්, මෙන්ම අනෙක් අතට අර්ජුන රණතුංග, නිශාන්ත රණතුංග, ධම්මික රණතුංග පවුල් සමාගමද මොහාන් ද සිල්වා, ෂම්මි සිල්වා යන සිල්වලාද කරළියේ හොඳ තරගකරුවෝ වූහ.

 

 

ඒ සියල්ල පාලනය කරන මහ කෙරුමා බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සිටි ඒ යුගය ක්‍රිකට් නිලවරණය යනු යුද පිටියකි. ඔහු කළේ ජයග්‍රාහකයා කවුරු වුව තම සිතැඟියට අනුව ලොකු කුට්ටියකට ක්‍රිකට් පුටුව උරුම වන විදිහට සැලැස්ම හැදීමය. ජයන්ත ධර්මදාසට ක්‍රිකට් ආයතනයට එන්න ලැබුණේ රාජපක්ෂගේ පිහිටෙනි. මහින්ද රාජපක්ෂ දේශපාලනයේ නැතැත් ජයන්ත ධර්මදාස මෙවරත් ක්‍රිකට් ආයතනයේ උප සභාපතිය. ඔහු ක්‍රිකට් ආයතනයේ ඉන්නෙ දශක එකහමාරකටත් එහා සිටය. මේ අය ‘බහිරවයන්’ වන්නෙ ඇයි? ඒ නම් මෙරට ධනවත්ම සංගමය වන ක්‍රිකට් ආයතනය සතුව ඇති අරුම පුදුම උල්පත නිසාය. අර්ජුන රණතුංග ක්‍රිකට් ආයතනයේ සභාපතිකම දෙන්නේ නම් එකල තම ඇමැතිකම් පවා අතහරින්නට සූදානම් වූයේය. ලෝක කුසලානය දිනනවාට වඩා ක්‍රිකට් සභාපති වීම අමාරු බව අර්ජුන හොඳින්ම මේ වන විට වටහා ගෙන ඇතිවාට සැක නැත.

 

 

දේශපාලනයේ කොතරම් ඉහළට ආවද අර්ජුනට ක්‍රීඩා ඇමැතිකම හෝ ක්‍රිකට් මුල් පුටුව දෙන්නට කිසිදු දේශපාලන නායකයෙක් කැමැති නොවීය. එයට හේතුව අර්ජුන තුළ තිබූ ක්‍රිකට් පුටුව කෙරෙහි බලලෝභීකම විනාශයක මුල බව ඒ අය වටහා ගත් බැවිනි. අද අර්ජුන දේශපාලනයේද නැත. රණතුංගලාගේ ක්‍රිකට් පාලන කෙරුවාවද ඔප්පු කර ඇත්තකි. නිශාන්ත රණතුංග සහ ධම්මික රණතුංග ඊට කදිම උදාහරණය. අර්ජුන කතා කරන ක්‍රිකට් ආයතනයේ දූෂිත ලැයිස්තුවේ රණතුංගලා නැත. එයින්ම අර්ජුනට ක්‍රිකට් කෙරෙහි තිබූ අධිකාරිය ඉතා නරක විදිහට පාවිච්චි කළ අයෙක් ලෙසද සියුම්ව ඔහුව ගවේෂණය කරන අයකුට පෙනේ.

 

 

කලක් මෙරට ක්‍රිකට් පුටුව තිලංගගේ බූදලයක් විය. ඔහුට විරුද්ධව තරග කළ ජයන්ත ධර්මදාස හැමදාම තිලංගට නිතරගයෙන් ජය ලබා දුන්නේය. තිලංගට අභියෝග කළේ බදුරලිය ක්‍රිකට් සමාජයේ සුමිත් පෙරේරාය. එකල ක්‍රිකට් නිලවරණයට සමානව සුමිත් පෙරේරා නමත් කරළියට ඒ. ඇත්ත නම් සුමිත් පෙරේරා යනු ජයන්ත ධර්මදාසම මෙහෙය වූ චරිතයකි. ඔහු පිටුපස හිටියේ ජයන්තය. ජයන්තලා මොන තරම් දේශපාලන දොළපිදේනි මත ක්‍රිකට් ආයතනයේ රැඳුණද තිලංග පරාජය කිරීම කළ නොහැක්කක් විය. ක්‍රිකට් ආයතනයෙන් තිලංග එළවන එක සිහිනයක් වූ කාලයක් ක්‍රිකට්වලට තිබිණි. ආණ්ඩුව පවා එයට අත තියන්න බිය වූවා මතකය.

 

චන්ද්‍රිකා ජනපතිව ඉන්නා සමයේදී ඇයගේ මාමා කෙනකු වූ ක්ලිෆඩ් රත්වත්තෙ ක්‍රිකට් ආයතනයේ බලය ඇල්ලීමට ජනපතිනියගෙ සහායෙන් එන්න දැඟලුවද අවසානයේ තරග කරන්නවත් නොපැමිණියේය. දීර්ඝ කාලයක සිට එක දිගටම පවත්වාගෙන ආ තිලංග විරෝධයෙන් තිලංග පරාජය විය. ඔහු කළේ තමන් අත අරින පුටුව තම හිතවතුනට තාවකාලිකව පිරිනැමීමය.

 

 

ෂම්මි සිල්වා තාවකාලික ගැලවුම්කරු වන්නේ එලෙසය. එය යහපත්ම ක්‍රමය කියා තිලංග හිතුවට තිලංගට සිදු වූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. තාවකාලිකව කියා තිලංග ක්‍රිකට් පුටුව භාර දී ඇත්තේ ඒකටම ඉපැදුණු චරිතයකටය. එතැන් සිට ෂම්මි සිල්වාගෙන් ක්‍රිකට් පුටුව ඩැහැගැනීම තිලංග කාලයට හපන් විය. ක්‍රීඩා ඇමැතිවරයකු වූ රොෂාන් රණසිංහට තම ක්‍රීඩා ඇමැති ධුරයද අතහැර පක්ෂයෙන්ද යන්නට සිදුවූයේ ෂම්මි සිල්වාට අභියෝග කරන්නට ගොස්ය. පාර්ලිමේන්තුවේ 225ම ෂම්මිට විරුද්ධ විය.

 

 

වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් එදා විපක්ෂයේ සිට ෂම්මි සිල්වා පතුරු ගැසුවේය. වත්මන් ජනපති පවා එහි ප්‍රධාන භූමිකාවක් රඟ දැක්විය. අද ඔවුන් මෙරට බලය පමණක් නොව තුනෙන් දෙකක බලයක් ඇතිව වුව ෂම්මිට අත තියන්නෙ නැත. අද ෂම්මි කෙනකු ගැන දන්නේද නැත. මේ එදා හිටි ෂම්මි නොවන හැඩකි. වත්මන් ආණ්ඩුවට ෂම්මි සිල්වා අරබයා ප්‍රශ්නයක් නැති ගානය. ක්‍රිකට් ආයතනය පිළිබඳ ප්‍රශ්නයක් නොවූ තරම්ය. එසේ නම් දැන් නිතරගයෙන් දිනනු හැර තව කුමක්ද? ෂම්මි යනු මෙරට ක්‍රිකට් ආයතනයේ පමණක් නොව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේද, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේද කෙරුමෙකි. තිලංගටත් යන්න බැරි දුර ෂම්මි ගොස් ඇත. අද තිලංග ෂම්මි සමඟ තරග වැදුණද තිලංග පරාජය. ඇත්ත නම් එයය.

 

 

පන්දුව හඳුනාගත් පසු පන්දු යවන්නෝ පිතිකරුට අභියෝගයක් නොවේ. තිලංගගෙන් යන පාර අසාගත් ෂම්මි දැන් ඉතිරි ටික යන්නට පාරක් කපාගෙන හමාරය. දැන් ඒ පාර ඔහුගේය.

 

 

සිවුවැනි වරටත් ක්‍රිකට් පුටුවට ආ මේ ෂම්මි සිල්වා යනු අද මෙරට සිටින බලගතුම චරිතයකි. ඒ ගැන කිසිදු තර්කයක් නැත. ආණ්ඩු පවා ඔහු ළඟ අසරණය. 1960 උපන් අටුලුගමගේ ෂම්මි ශිරාජ් සිල්වා කොළඹ නාලන්දයේ ආදි සිසුවෙකි. 1977 සිට 1980 දක්වා කොළඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් පිලේ ක්‍රීඩා කළ අතර 1980දී නාලන්ද පිලෙහි නායකයාද විය. පාසලෙන් ඉවත්වූ සිල්වා ඉන් අනතුරුවද ක්‍රිකට් ක්‍රීඩා කළේය. ඊට අමතරව ඔහු ස්කොෂ් ක්‍රීඩාවෙන්ද වර්ණ දිනාගත්තෙකි.

 

නාලන්දයේ මිත්‍රකමට හෝ පසුව හැඳිනගත් මිත්‍රකමට හෝ තිලංගට සමීප වන ෂම්මි තිලංග ඉවත් වීමෙන් පසු ක්‍රිකට් පුටුවට එනුයේ තිලංගගේ ඉත්තකු ලෙසය. ෂම්මිගේ නමට චෝදනා එමට ඇතත් අද වන විට ඒවා සිදු නොවූ ගානය. වංචාවට, දූෂණයට තිත තබන ආණ්ඩුවක් පැමිණ ඇති නිසා ෂම්මිලා ලොවෙත් නැති වේ යැයි සිතූ අයට අද ෂම්මි යනු ලොවෙත් මුදුනක් බව වටහා ගත හැකිය. එදා තිලංගගේ ක්‍රිකට් පුටුව අද ෂම්මිගේය. හෙට මෙය සංගාගේ, මාලිංගගේ වුවද පුදුම විය යුතු නැත. හොඳටම ක්‍රීඩා කරන කෙනාට ඒ තැන හිමිය. තිලංගට වඩා ෂම්මි දක්ෂය. ඒ නිසා ඒ තැන අද ඔහුට හිමිය. හෙට එතැනට තවකෙක් එනු ඇත. ඒ නිතරගයෙන් විය හැකිය. තරගය වටහා ගත් කල දිනන විදිහ පහසුය. බොහෝ විට නිතරගයෙන් විය හැකිය. ෂම්මි යනු වෙනම හැදෑරිය යුතු චරිතයකි. බලගතු චරිතයකි. ආණ්ඩුවලට එහායින් පවතින වෙනම කියැවීමකි.

 

උපුටාගැනීම - ඉරිදා මව්බිම  

නවතම ලිපි