1987-89 අතර කාලයේ ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුන විසින් දියත්කළ සිවිල් අරගලයට හේතු පාදක වූයේ ඉන්දු ලංකා ගිවිසුමයි.
ලංකාව පුරා තාර පාරවල්වල මෙන්ම විශාල ගල්තලාවන්හි පවා සුදුපාට රවුම් පොල්ගෙඩි අකුරින් ලියැවුනේ “ජේ ආර් - රජීව්ට පුක දෙයි” යනුවෙනි.
ජවිපෙ 2 වැනි කැරැල්ල බෞතිස්ම කළේ 1987 ජුලි 28 කොටුව බෝගහ අසලින් ආරම්භ වූ උද්ඝෝෂණයෙනි. 1987 වසර ආරම්භයේදී මැයි 01 දෙදෙනකු පොලිස් වෙඩි තැබීමෙන් මියගොස් තිබූ අතර 1987 අප්‍රේල් 15 පල්ලකැලේ හමුදා කඳවුරට පහරදී අවි පැහැරගෙන තිබිණි. එමෙන්ම ඉන්දියාව මගින් ජුනි 4 ගුවනින් පරිප්පු හෙළන ලදී. 1987 ජුනි 7 ජවිපෙ මගින් කටුනායක ගුවන් කඳවුරට සහ රත්මලාන ආරක්ෂක පීඨයට කඩා පැන අවි පැහැරගෙන තිබිණි. එමෙන්ම එජාප රජය මගින් 1987 ජුනි 22 සරසවි සිසුන් 88 දෙනෙකු එක රැයින් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බන්ධනාගාර ගතකර තිබිණි. රට තුළ දෝලනය වූයේ මෙවැනි වාතාවරණයකි.
මේ සියල්ල අතරතුරදී ඉන්දීය රජය මගින් ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුමට පිඹුරුපත් සකස් කරගෙන යන ලදී. මේ සඳහා ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ ප්රභාකරන් සමඟ නිරන්තර සාකච්ඡා පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ජෝතීන්ද්‍රනාත් ඩික්සිත් සහ අමාත්‍ය ගාමිණී දිසානායක එහි ප්‍රධාන භූමිකාව සිදු කළේය. කපුකම කළේ හින්දු පුවත්පතේ සම කර්තෘ එන්. රාම්ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 13 වැනි වරට සංශෝධනය කරමින් පළාත් සභා හඳුන්වාදීමට යෝජිත ඉන්දු - ලංකා ගිවිසුම රටටම පිළිලයක් බව අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුද 1987 ජුලි 9 ප්‍රකාශ කළහ. යෝජිත ගිවිසුමට එරෙහිව අවි අමෝරාගෙන සිටියේ ජ.වි.පෙ.ට අදිසි නායකත්වය දුන් මව්බිම සුරැකීමේ ව්‍යාපාරයයි.
ඒ එදා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයයි.
ලංකාවට ඉන්දියාවේ මැදිහත්විම් සම්බන්ධයෙන් දිවි හිමියෙන් සටන් කළෝ එදා ජවිපෙ සාමාජිකයා ය.
ලෝකයේ දේශපාලන ව්‍යාපාර, වාමාංශික ව්‍යාපාර මෙන්ම ආර්ථික වැඩසටහන්ද උඩු යටිකුරුව වෙනසකට ලක්ව ඇත්තේ වම - දකුණ නැමැති දේශපාලන බෙදීම දියකර හරිමින් සියල්ලන්ම වෙළඳපොල ක්රමයේ බූවල්ලාගේ ග්‍රහණයට හසු කරවමිනි.
තව දුරටත් ලෝකයේ කඳවුරු බෙදෙන්නේ ලාභය සහ ධනය මූලික කරගෙන මිස දේශපාලන මති මතාන්තර මූලික කරගෙන නොවේ ය.
එවන් මොහොතක එදා ඉන්දියාවට එරෙහිව ජීවිත පුදකරමින් සටනේ නිරත ජනතා විමුක්ති පෙරමුණ අද බලයට පත්ව ඉන්දියාව සමග මෙතෙක් ලංකාවේ පහළවූ කිසිදු ආණ්ඩුවක් එකඟ නොවූ තරම් ඉන්දීය පාක්ෂික ගිවිසුම් සහ තීරණ සමග අනන්‍ය වීම රටේ ඉමහත් කතාබහට මේ වනවිට ලක්ව ඇත.
(ජවිපෙ දෙවන කැරැල්ල ඇරඹෙන විට ජවිපෙ විරෝධී ආස්ථානයක සිටි නිර්මාල් රංජිත් අද ආණ්ඩුකරනයේ යෙදෙන මාලිමා ආණ්ඩුවේ සමීපතමයෙකි. ආණ්ඩුව රැකගැනීමේ මෙහෙවරක නිරත වන ඔහු ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුකරණයට මැදිහත්වීම සහ බලය යෙදීම පිළිබඳව දක්වන්නේ බලවත් විරෝධතාවකි)
ජනතා විමුක්ති පෙරමුණට විරෝධය දක්වමින් ජාතික ජන බලවේගය හා එක්ව කටයුතු කරන ජවිපෙ විරෝධීන් විසින් ආණ්ඩුකරණ ක්‍රියා දාමයෙන් ජවිපෙ දියකර හැරීමට උපරිම උත්සාහයක් ගනු ලබන අතර වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඊට ලැබී ඇත්තේ විශාල සහයක් බවත් සාකච්ඡාවට බඳුන් වේ.
ජනතා විමුක්ති පෙරමුණෙන් ජවිපෙය මරා දමන විට පෙරටුගාමී කඳවුරේ ජවිපෙය යළි ඉපැදීම විදර්ශන කන්නන්ගර තම මුහුණු පොතේ සටහන් කර තිබුණේ මෙලෙසය.
පැරණි අරුත් සහිතව පැවති 'ජනතා විමුක්ති පෙරමුණ' නම් වූ පක්ෂය අවසන් වී සෑහෙන කලක් මුත් අද මෝදි ගේ ලංකාගමනය සමග එම යුගයක නිමාව සංකේතාත්මකව සලකුණු විය. ඒ අනුව අද කාලයේ 'ජනතා විමුක්ති පෙරමුණ' යනු 'පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි.' අද සිදු වූ මෝදිගේ පැමිණීම සමගින් සලකුණු වූයේ එම දේශපාලන ප්‍රතිසන්ධියයි.
ජවිපෙ නම ද ඇතුළත් ජාතික ජන බලවේගය අද ආණ්ඩු බලය ලබා ඇති නිසා කලින් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව සටන් වැදුණු රැඩිකල් විකල්ප ව්‍යාපාරයේ මුහුණුවරින් කිසිසේත්ම කටයුතු කළ නොහැකිය. ඉන්දියාවට පෙනේ පුප්පා වත්මන් ජවිපෙ ආණ්ඩුවට සැලකිය යුතු කාලයක් බලයේ සිටිය නොහැකිය. නවදිල්ලියේ මෝදි-අදානි ආණ්ඩුව අතින් සිය ආර්ථික-දේශපාලන ස්වාධිපත්‍යය මුළුමනින්ම කෙලෙසා නොගන්නා ශේප් එකයි පාරයි වර්ගයේ යංතං සංතං ජාම බේරා ගැනීමක් පමණක් වත්මන් ජවිපෙ ආණ්ඩුවේ තෝරාගැනීම වනු ඇත.
ඒ අනුව 'ඉන්දියානු විජිතකරණයට' එරෙහි විරෝදාර ජවිපෙ උරුමය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට නිල වශයෙන් ලියා දිය යුතු කාලය එළඹ ඇත. ආණ්ඩු බලයක් නැති කාලයේ ඉන්දියාව සමග ඉල්ලූ ගේම් ආණ්ඩු බලය ලැබූ පසු දෙපරැන්ද අස්සේ ගසා ගැනීමට සිදුවීම නොවැලැක්විය හැකි යථාර්තයකි. ආණ්ඩු බලය ළගා විය නොහැකි කාලයේ භූ දේශපාලනයට ඇත්තේ වෙනත් පැහැයකි. වෙනත් අරුතකි. ආණ්ඩු බලය ලබා ගත් පසු භූ දේශපාලනය සමග ගණුදෙනු කිරීමට වන්නේ සපුරා වෙනස් අරුතකිනි. අද දවසේ විජේවීර වර්ගයේ ජවිපෙ ආණ්ඩුවක් බලයට පැමිණියද ප්‍රායෝගික දේශපාලනය සන්දර්භ ගත වනු ඇත්තේ 'ඉන්දියානු ව්‍යාප්තවාදය' පිළිබද කලින් කී පසමිතුරු ප්‍රවාදය තුළ නම් නොවන බව පැහැදිළිය.
එහෙත් ලංකාව වෙත නවදිල්ලි ආණ්ඩුවේ බලාධිපත්‍යයක් නැතැයි මින් කිසිසේත්ම කියවෙන්නේ නැත. ඊට එරෙහිව 'ඩූ ඕ ඩයි' වර්ගයේ ගේම ඉල්ලීමක් වත්මන් ජවිපෙ ආණ්ඩුවට පැහැදිළිවම කළ නොහැකිය. එම සටන කළ හැක්කේ ආණ්ඩු බලය හෝ රාජ්‍ය බලය ප්‍රායෝගිකව අභ්‍යාස කිරීමේ කිසිදු උපායමාර්ගයක් නොමැති පෙසප වැනි රැඩිකල් විකල්ප කණ්ඩායමකට පමණී.
සුදුසු දෙය සුදුස්සාටම හිමි විය යුතුය !
(විදර්ශන කන්නන්ගර ගේ මුහුණු පොතෙනි)
බලය රැකගැනීම වෙනුවෙන්
"එදා මිනිසුන් මරාදැමීම - අද දේශපාලනය මරා දැමීම"
දැන් ඉතිං ආණ්ඩුව වැට්ටවීමට කිසිවෙකුට නොහැකි වනු ඇත.
ලංකාවේ දේශපාලනය රැඳී ඇත්තේ භූ දේශපාලනය මතය යන්න කාලයක සිට දන්නා ප්‍රායෝගික සත්‍යයකි.
ඒ අනුව වත්මන් රජය මුලදී චීනයට වැඩි පාක්ෂික නැඹුරුතාවක් දැක්වූ දේශපාලන පිළිවෙතක් දැක්වුවද රාජ්‍ය බලය රැකගැනීමට නම් ඉන්දියාව දෙවැනි ඝනයට ලා නොසැලකිය යුතුය යන්න ඔවුන් අවබෝධ කරගත්තේ ඉනික්බිතිවය.
මේ මොහොතේ ජාතික ජන බලවේග ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ කාලයක් තිස්සේ පෙරුම් පුරා ලබාගත් බලය රැකගැනීම වන අතර ඒ වෙනුවෙන් ඔවුන් තම මාතෘ දේශපාලන ව්‍යාපාරයේ හිස ගසා දමා ඇත.
පැහැදිලිවම ආණ්ඩුකරණයේ සිටින දේශපාලන ව්‍යාපාරය තුළ ජනතා විමුක්ති පෙරමුණේ ක්රියාධරයන්ට තවදුරටත් රැඳී සිටිය හැකිද?
එසේනම් ඔවුනට ගැලපෙන නවාතැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයය යන කන්නන්ගරගේ ප්‍රකාශය නිවැරදිය.
තම පැරණි දේශපාලන මතවාදයන් නඩත්තු කරන්නට නම් ඔවුන්ට ඇති එකම නවාතැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි.
එහෙත් පෙරටුගාමීන් සතුවද ඇත්තේ නූතන නව ලිබරල්වාදයේ අපේක්ෂාවන් සහ ප්රාර්ථනයන්ය.
ජනතාවාදයේ ප්රාර්ථනයන් ය.
ඒ අර්ථයෙන් සියවස් දශක හයකට අධීක කාලයක් මේ රටේ වාමාංශය නඩත්තු කළ, විපක්ෂයේ ප්‍රධාන පක්ෂය බවට පත්වී ආණ්ඩුකරණයට බලපෑම් සහගත වීමට පෙරුම් පිරූ ජනතා විමුක්ති පෙරමුණ මෙතෙකින් අවසන් වේද?
දැන් ආණ්ඩුකරණය සහ ආණ්ඩු බලය වෙනුවෙන් ඇත්තේ කොළඹ ප්‍රභූත්වය සහ ග්රාමීයව බිහිවන නව ප්‍රභූත්වය අතර ගැටුමකි.
ඒ සඳහා හිටපු ජනාධිපතිවරුන් හතර දෙනෙක් එක්ව අද හෙටම සාකච්ඡා අරඹනු ඇත්තේ වත්මන් ආණ්ඩුකරණය අහෝසි කිරීමේ මීළඟ උපායමාර්ගයන් මොනවාද යන්න විය යුතුය.
@සමාරා පරණවිතාන