දෙරණ "නලින් සර්" සාකච්ඡාවේ දී කරු පරණවිතාන මහතා ඇසූ ප්රශ්නය වූයේ චින්තන දෙකක ජන කණ්ඩායම්
එක ම භූමියක (හෝ එකිනෙක අතිච්ඡාදනය වන භූමිවල) රාජ්‍ය දෙකක් පිහිටුවීම විසඳන්නේ කෙසේ ද යන්න ය.
ඔහුට අනුව එය විසඳිය හැක්කේ ලිබරල් ප්රජාතන්ත්රවාදය මඟිනි.
ඔහු අසන ප්රශ්නය සිංහල හා දෙමළ ජනයාට සීමා වන ලෙස අසා නැති බැවින් බොහෝ දෙනා කොමෙන්ට්වල යෝජනා කොට තිබූ පිළිතුරු වන පහත සාරාංශගත පිළිතුරු ඊට තෘප්තිමත් පිළිතුරු වේ යැයි මා සිතන්නේ නැත.
i. එක ම රටක චින්තන දෙකක් නැත
ii. එක ම රටක ජාතිකත්ව දෙකක් නැත.
iii. සිංහල බෞද්ධ චින්තනයක් ඇතත් දෙමළ චින්තනයක් නැත.
iv. දෙමළ කතා කරන විවිධ පිරිස් මිස දෙමළ ජනවර්ගයක් තවමත් නැත.
කෙටියෙන් කිව යුත්තේ එක රටක චින්තන දෙකක් තිබීම මෙන් ම එක ම චින්තනය රටවල් ගොඩක තිබීම ද විය හැකි බවයි. එක ම භූමි ප්‍රදේශයක ජාතිකත්ව දෙකක් ඇතිවිය හැකි ය. ප්‍රංශ, ඉතාලි, ජර්මන් කලාපයේ ද ඇතැම් ප්‍රදේශවල මේ අතිච්ඡාදනය වීම තිබුණි. රාජාණ්ඩු හා අධිරාජ්‍ය වැනි ඒවා තුළ ජාතිකත්ව කිහිපයක් පැනනැඟීම සිදු වී ඇත. පවතින ජාතික රාජ්‍යයක භූමිය තුළ නව ජාතිකත්වයක් වර්ධනය වීම විය හැක්කකි. දෙමළ ජනයාට චින්තනයක් නැතැයි කීම වැරදි ය. දෙමළ ජනයාට හින්දු-ශිව ධාරාව මූලික චින්තනයක් ඇත.
දෙමළ ඊළම යනුවෙන් ඉදිරිපත් කෙරෙන්නේ මෙවැනි ඔවුන්ගේ චින්තනය මත පදනම් වූ රාජ්‍යයක් නො වේ යන්න නම් සත්‍යයකි. දෙමළ ජනයා දෙමළ කතාකරන කණ්ඩායම් සමූහයක් ලෙස මිස තනි ජනවර්ගයක් ලෙස විඥානයක් ගොඩනඟාගෙන නැති බව පෙනෙන නිරීක්ෂණ ඇති නමුත් එය අනාගතයේ සිදුවීම හෝ සහමුලින් ප්‍රතික්ෂේප කළ නො හැකි ය. එහෙත් පරණවිතාන මහතාගේ ප්රශ්නය මීට සීමා නො වේ.
අප අනෙක් අතට බැලිය යුත්තේ මෝදි වටා වර්ධනය වන හින්දුත්ව ජාතිකවාදය ගැන ය. ඔවුන්ගේ අඛණ්ඩ භාරත් ලංකාව වෙත ද දිගු වේ. එක ම භූමිය ජාතිකත්ව දෙකක් විසින් ලකුණු කිරීම පොදුවේ ඇසිය හැකි ප්රශ්නයකි.
මෙසේ චින්තන දෙකක් සම්මුඛ වූ විට දෙපිරිස ම රාජ්‍යයක් ඉල්ලන්නේ නම් ආදී වශයෙන් වූ ප්රශ්නවල දී විසඳුම් ලෙස මා දකින්නේ පහත දේවල් ය:
ඒත්තු ගැන්වීම, ඍජු හා වක්‍ර බලය යෙදවීම හා බල තුලනය ය.
එක් පිරිසකට අනික් පිරිසට තම යෝජනාව (claim) ඒත්තු ගැන්විය හැකි ය. ඍජුව හා වක්‍රව බලය යොදවා එය ක්‍රියාත්මක කළ හැකි ය. අනික් පිරිස තම යෝජනාව වෙනුවෙන් ඉදිරිපත් වීම අධෛර්යය කළ හැකි ය. වෙනත් බාහිර පාර්ශ්ව සමඟ විවිධ අරමුණු ඔස්සේ ගොඩනඟා ගන්නා සබඳතා මඟින් අනික් පිරිස මත එකඟව සිටීමේ පීඩනයක් ඇති කළ හැකි ය.
මෙ චින්තන අතර ගැටුම් පමණක් නොව බොහෝ දේට අදාළ ය. පරණවිතාන මහතා මෙහි දී කියනු ඇත්තේ ඒත්තු ගැන්වීම හැර අනික්වා අඩු වැඩි වශයෙන් ගැටුම් බවත් ඒත්තු ගැන්වීම සැමවිට ම සාර්ථක වීමට අනිවාර්යතාවක් නැති බවත් ය. මෙය මම පිළිගනිමි. මා කියන්නේ අවසාන වශයෙන් මෙවන් දෑ විසඳෙන්නේ මේ ආකාරවලින් බව ය.
මෙහි දී මා අනික් අතට යොමු කරන ප්රශ්නය වන්නේ මෙසේ චින්තන දෙකක ජනතාවට ප්‍රශ්න විසඳීමට චින්තනයෙන් පිටස්තර තැනක් ඇති ද යන්නයි. මගේ අදහස එසේ නොවන බවයි. චින්තනයෙන් පිටස්තර නොවන තාක් වෙනත් චින්තනයක පිරිස් ඊට එකඟ වීමේ අනිවාර්යතාවක් දැක්විය නො හැකි ය.
පරණවිතාන මහතාගේ උත්තරය වන ලිබරල්වාදය හා ප්රජාතන්ත්රවාදය මේ ආකාර දැයි විමසා බලමු. ලිබරල්වාදය හා ජාතිකවාදය අතර සම්මුතියක් නොපැවතුණු බවට ඒ මහතාගේ අදහස ප්‍රතික්ෂේප කළ හැක්කේ ලිබරල්වාදය හා ජාතිකවාදය අතිනත ගෙන ප්‍රංශ විප්ලවය සිවික් ජාතිකවාදයක් ලෙස ප්‍රකාශ වූ බැවිනි.
ලිබරල්වාදය හා ප්රජාතන්ත්රවාදය බොහෝ විට සාර්වත්රික (universal) දේවල් යැයි හඳුන්වාගැනේ. ප්රශ්නය නම් එය අවිචාරී අදහසක් වීම ය.
ලිබරල්වාදය පැනනඟින්නේ මිනිසුන් තනි තනි (individual) පුද්ගලයින් වශයෙන් වෙන් කොට ඔවුන්ගේ විශේෂ ලක්ෂණ ඉවත් කොට පොදු ලක්ෂණ ඉතිරිකොට සාදාගන්නා වියුක්ත මානවයාගේ සාරය පෙර දැරි කරගනිමිනි. දෙවියන්ගේ ප්‍රතිරූපය ලෙස මිනිසා නිර්මාණය කර ඇත යන්නට මෙය සමරූපී ය. ගම්‍ය වන්නේ වියුක්ත දෙවියන්ගෙන් වියුක්ත මානවයා ද නැතිනම් වියුක්ත මානවයාගෙන් වියුක්ත දෙවියා ද යන්න මෙහි දී එතරම් තීරණාත්මක නැත. සංයුක්ත පණ ඇති මිනිසුන්ට පිටුපසින් වියුක්ත සාර්වත්රික මානවයකු සිටියි. මානවයාට අයිතිය (possesion) හා අයිතිවාසිකම් සාර්වත්රිකව ඇති බව පවසා තනි තනි පුද්ගලයින් මැදිහත්වන පුද්ගල එකතුවකින් යුතු ලිබරල් ප්රජාතන්ත්රවාදී සමූහය සෑදෙයි.
ලිබරල් සමාජය යනු තනි පුද්ගලයින්ගේ එකතුවක් මිස එකතුවෙහි සංඝටකවලට බාහිර යමක් නොමැති සමාජයකි. ලිබරල් වෙළෙඳපොළ එහි උච්චතම අවස්ථාවක් වන්නේ එහෙයිනි. තනි තනි පුද්ගලයින් වෙළෙඳපොළේ ඉහල ලාභය වෙනුවෙන් තරඟකරන අතර සමාගම් පවා පුද්ගලභාවය හිමි ස්වාධීන පුද්ගලයින් ලෙස තරගයට එක්වේ. සාර්වත්රික සමානයින් අතර ඊනියා සාධාරණ තරගයකින් කොටසක් ජයග්‍රහණය කිරීම හා පරාජය කිරීම මඟින් ලිබරල් අභිමතාර්ථ සාධනය වේ.
එහෙයින් ලිබරල් සමාජයේ ඒකත්වය අවසානයේ සාර්වත්රික සාමූහිකත්වය යෝජනා කරන්නේ තනි පුද්ගලයා දක්වා බෙදා ගෝලීයකරණය වූ ලෝකයක තරග කිරීමකිනි.
සිවික් ජාතිකවාදයේ අර්බුදය පවතින්නේ මෙතන ය. මෙසේ වෙන්ව බෙදාගත් මිනිසුන්ගේ පොදු ලක්ෂණ ඉතිරි කොට වියුක්ත මිනිසකු සාදා ගැනීම යනු ඍජු ලෙස ම බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි නූතනත්ව චින්තනයේ සිතීමකි. සිවික් ජාතිකවාදය යනු පාප් වහන්සේගේ කතෝලික සාර්වත්රිකත්ව ආධිපත්‍යයෙන් මිදීමේ තාවකාලික අම්බලමක් පමණි. ලිබරල්වාදීන්ට යුරෝපය පුරා කතෝලික රාජ්‍ය බල ව්‍යුහයේ සැකැස්මෙන් කැඩීම පිණිස ලිබරල් මූලධර්ම මත පදනම් වූ ජාතියකට ස්වයං නිර්ණය අයිතියක් යෝජනා කිරීමට අවශ්‍ය වූ අතර එය බාහිර ලිබරල් නොවූ සමස්තයක් නියෝජනය කර සතුරකුගෙන් වෙන් වීම ප්‍රකාශ කිරීමකි.
ඕනෑ ම ලිබරල් නොවන ආගමික හෝ රාජාණ්ඩු සැකැස්මකින් ලිබරල් ප්‍රජාවන්ට ලිබරල් ජාතියක් නිර්ණය කොට වෙන් වීමේ අයිතියක් ගැන කියා සිටිය හැකි වුව ද ලිබරල් නො වූ බාහිර සතුරකුගේ පැවැත්මකින් තොරව ලිබරල්වාදයට ජාතිකවාදය වෙත යෑමට හැකියාවක් නැත. තනි තනි මානවයාගේ ලිබරල් අයිතීන් තහවුරු කර දීමට ජාතික-රාජ්‍යයක් අවශ්‍ය වන්නේ එම අයිතීන් උදුරාගැනීමට බාහිර සතුරකු ඉන්නා නිසා ය. සතුරකුගේ පැවැත්මකින් තොරවූ විට ලිබරල්වාදයට ජාතිකවාදයක් කරා යෑමට පදනමක් නැත.
මානවයින් සමාන නම් රටින් පිටතත් මානවයින් සමාන වනු ඇති අතර ඔවුන් හා සමානව තරග කිරීමට ඉඩ දීමට පෙනී සිටීමට සිදු වේ.
ලිබරල් ආර්ථික ජාතිකවාදයේ දුර්වල ම ලක්ෂ්‍යය පැමිණෙන්නේ මෙතැන දී ය. දේශීය නිෂ්පාදන රැකගැනීමට විදේශීය නිෂ්පාදන මත බදු පැනවීම වැනි බාධක මඟින් ලිබරල් ආර්ථික ජාතිකවාදයක් ස්ථාපිත කළ නො හැක්කේ රාජ්‍යයෙන් පිට මානවයන්ට අමතර අවාසියක් කිරීම සඳහා පදනමක් නොමැති බැවිනි. එහෙයින් ලිබරල්වාදයට පරස්පරවලින් තොරව පෙනී සිටිය හැක්කේ ගෝලීයකරණය හා නිදහස් ආර්ථිකයක් වෙනුවෙන් මිස ආර්ථික ජාතිකවාදයක් වෙනුවෙන් නො වේ.
මිනිසුන්ගේ විශේෂ ලක්ෂණ ඉවත් කොට පොදු ලක්ෂණ ඉතිරි කරන තරමට ම වියුක්ත මානවයා බොහෝ සෙයින් සාමාන්‍ය මිනිසුන්ගෙන් දුරස් වේ. එය පොදුවන තරමට ම බැහැර කෙරෙන කොටස් විශාල වේ. එහෙයින් ලිබරල් මානවයා රික්තයක ගෝලාකාර කුකුළකු (spherical chicken in vacuum) මෙන් ආගන්තුක හිස් බවක් බවට පත්වේ. එය සාර්වත්රික යැයි කියා සිටින තරමට ම කිසිදු සැබෑ මිනිසකු නියෝජනය කරන්නේ නැත. ප්‍රායෝගිකව මෙය බටහිර සුදු පිරිමියා වෙත යොමු වනු ඇත.
කෙසේ නමුත් මෙවැනි ස්ථාවරයක් මඟින් ගැටුම් විසඳෙන බව හුදෙක් ප්‍රකාශ කිරීමට මිස ව්‍යවහාරිකව ගැටුම් විසඳීමට නො හැක්කේ මෙයින් සමානතාවය ගොඩනඟන්නේ සැබෑ ලෝකයේ නොවන බැවිනි.
ලිබරල් හරයන් නොපිළිගන්නා පුද්ගලයින් කණ්ඩායමක් තමන්ගේ අදහස් අනුව පාලනයක් ඉල්ලා පෙනී සිටින විට ලිබරල්වාදීන්ට කළ හැක්කේ කුමක් ද? තමාගේ ලිබරල් අයිතීන්ට මේ පිරිස ද ඇතුළත් බව ඔවුන්ට කිව හැකි ය. ප්රශ්නය වන්නේ ඔවුන් ලිබරල් හරයන් නොපිළිගැනීම ම නිසා මෙය ඒත්තු ගැන්විය නො හැකි ය. ඉන්පසුව ලිබරල්වාදීන්ට ද කළ හැක්කේ ඍජුව හා වක්‍රව බලය භාවිත කිරීම පමණි.
මිනිසකුට මිනිසකු අත්පත් කරගත නො හැකි ය වැනි මූලික ලිබරල් හරයක් වෙත ඇමරිකානු දකුණු ප්‍රාන්ත නිසගයෙන්, කට උත්තර නැති වී සත්‍යාවබෝධ වී එකඟ වූයේ නැත. එය ඒත්තු ගැන්වූයේ සිවිල් යුද්ධයක් කොට දකුණු ප්‍රාන්ත පරාජය කිරීමෙනි.
ලිබරල්වාදය ඉස්මතු කිරීමෙන්, එනම් පොදු හරයන් ලෙස සංස්කෘතික හරයන් වෙනුවට ප්රජාතන්ත්රවාදයේ ජයග්‍රහණ සිහිපත් කරමින් එකට බැඳෙමු යන්න කිසිසේත් ගැටුම් හෝ ප්‍රශ්න විසඳීමේ රහස් යතුර නො වෙන්නේ ලිබරල්වාදයෙන් බැහැර කෙරෙන ප්‍රශ්න අදාළ නැති බව පුනරුච්චාරණය කිරීමෙන් පමණක් ඒවා ප්‍රශ්න ලෙස දකින අය තෘප්තිමත් නොවන නිසා ය.
නිදහස් අධ්‍යාපනය රැක ගැනීම යන සටන් පාඨයට ඇති ආකර්ෂණය සේ 43 සේනාංකය වැනි නිදහස් අධ්‍යාපනය ස්මරණය කරන ව්‍යාපාරවලට නැත්තේ එහෙයිනි. එය නැතිවීමෙන් ප්‍රශ්නයක් වනවා ය කියා හැඟීමක් මිස එය ස්මරණය කිරීමේ අනුරාගයක් නොමැති නිසා ය.
පෝය සැමරීමට හෝ සිල් ගැනීමට දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානි ජනයා එකතු කරගැනීමට අපහසු වුව ද නිරාගමික රජයක් පැමිණ ලංකාවේ නිවාඩු වැඩි යැයි පෝය නිවාඩුව අහෝසි කිරීමට ගියහොත් පදනම සංස්කෘතික වුව ද දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි ජනයා පවා බෞද්ධයන්ට ඉහ උඩින් සහය දක්වනු ඇතැයි මට සිතේ.
ලිබරල් හරයන් ස්මරණය කරමු කියා කීමෙන් අනික් සියල්ල අමතක කර දමා එක් වීමට අනිවාර්යතාවක් තබා දැඩි පෙළඹුමක් හෝ ඇතිවීම බලාපොරොත්තු වීම මට ඒත්තු යන අදහසක් නො වේ.
@ තමලු මලිත්ත පියදිගම