මම කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙන ගත්තේ. හොඳ බෞද්ධ පසුබිමක් තිබ්බ පවුලක්.
බොරැල්ලේ BJF දහම්පාසලේ ඉගෙන ගත්තා. ඒ හැම වෙලේම බුද්ධාගම ඉගෙන ගන්න තැන්වල මට ප්‍රශ්න තිබුණා. වයස අවුරුදු 20 ඉඳලම මම නිවන් මාර්ගයේ හෙවුවා. පුංචි කාලෙදි හැමෝම ඇහුවම අනාගතයේදී වෙන්න කැමති කවුද කියලා මගේ අංක එකේ ආසාව වුණේ දසසිල් මාතාවක් වෙන එක. දෙක වුණේ actress කෙනෙක් වෙන එක.
මම ටෙලි නාට්‍ය 130 ක ට වඩා රඟපෑවා. චිත්‍රපට දහයක් විතර රඟ පෑවා. මම මහණ වෙන්න ආවේ කිසිම කළකිරීමකින් නෙමෙයි. දරුවෝ මුනුපුරෝ ස්වාමිපුරුෂයා, මේ හැම කෙනාම මට මතක් වෙනවා. ඒත් මතක් වුණාට මට කදුලු එන්නේ නෑ. දුක හිතෙන්නේ නෑ. එයාලව බලන්න ආයෙත් ගෙදර යන්න ඕනි කියල මට හිතෙන්නෙ නෑ කවදාවත් ආයෙත් රඟපාන්න ඕන කියලා මට හිතෙන්නේ නෑ. දැන් ලොකු ෂොප් එකකට ගියත් එතන තියෙන එක ඇඳුමකට වත් මට රාගයක් ඇති වෙන්නේ නෑ. මම අවුරුදු 24 දී වගේ විවාහ වුණා.
අවුරුදු දෙකක් විතර යනකොට මට මගේ පුතා ලැබුණා. ඊට පස්සේ දුවව ලැබුණා. එයාලට ඉගැන්නුවා රස්සා වලට යැව්වා. දුව ඕස්ට්‍රේලියා ගියා. පුතා හොඳ ජොබ් එකක් කරනවා. මේ ගත්ත තීරණය නිසා අදටත් පුතා මාත් එක්ක කතා කරන්නේ නෑ. ෆෝන් බ්ලොක් කරල තියෙන්නෙ. ලේලි තාමත් අඬනවා. මම මැරිලා කියලා හිතාගෙන අඬනවා. Husband මට යන්න කිව්වෙත් නෑ ඉන්න කිව්වෙත් නෑ. එයා දැනගෙන හිටියා මම කොයි වෙලාවක හරි යනවා කියලා.
මම පළවෙනි භාවනාවට සහභාගි වුණේ 2016 නොවැම්බර් මාසයේ. එදා මම ස්වාමීන් ස්වාමීන්වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා මම අවුරුදු විසිතුනක් තිස්සේ රඟපානවා ඒක මගේ නිවනට බාධාවක් ද කියලා. උන්වහන්සේ මට එපා කිව්වේ නෑ. උන්වහන්සේ කිව්වේ අනුන්ගේත් තමන්ගේත් රාගය ඇති වෙන්නැති වන ආකාරයට රඟපාන්න පුළුවන් නම් කමක් නෑ කියල. ඊට පස්සේ මම 2016 ඉඳන් කිසිම වැඩක් බාර ගත්තෙ නෑ.
මම ෆේස්බුක් නෑ මගේ දුව ෆේස්බුක් ඉන්නවා. දුව මට කතා කරලා කියනවා සමහර අය කියනවා කියලා මම කලකිරිලා මහණ වුණා කියලා. මම එයාට ඉතින් කියනවා ඔයා කේන්ති ගන්න එපා කමෙන්ට්ස් දාන්න යන්නත් එපා කියලා. මම මේක බොහොම සතුටින් ආපු ගමනක්.
ගිහිකල නම – නීතා සමරණායක
පැවදි නම – ධම්ම සතිමා මෙහෙණිය