චූලාමනිගෙදර ගුණසෝම මට මුල් වරට හමු වන්නේ අදින් වසර දහ අටකට පෙරය.
එකල මා පේරාදෙණිය සරසවියේ ශිෂ්‍යයකුව සිටි අතර ගුණසෝම එහි පැවැත්වුනු ප්‍රදර්ශනයකට තමන්ගේ ශිල්පීය හැකියාවන් පෙන්වීමට ඇවිත් සිටියේය. මා ගුණසෝම ගැනත් පාරම්පරික සිංහල ඇස් කණ්නාඩි කර්මාන්තය ගැනත් පුවත් පත් වලින් කල් තියා කියවා තිබිණි. දැන් මට ඔහු හැබැහින් හමු වී තිබේ.
ඉන් දින කිහිපයකට පසුව මා ඔහු හමුවීමට ඔහුගේ පිලිමතලාවේ ගෙදරට යන්නේ මගේ යහලුවකුත් සමගය. ඉන් අනතුරුව ලඟ ලඟ දින කිහිපයක්ම මා ඔහුගේ කර්මාන්තය නැරඹීමට ගියා මතකය.
චූලාමනිගෙදර යනු " චූඩා මාණික්‍යයය සෑදූ ගෙදර" යන්නෙහි කෙටි යෙදුමයි. පැරණි රජ දවස චෛත්‍යය වල චූඩා මාණික්‍ය සාදා ඇත්තේ ගුණසෝමලාගේ පරම්පරාවේ උදවියයි. මීට අමතරව ඔවූහු දියතරිප්පු ගල් වලින් කණ්ණාඩි සෑදීමෙහිද නිපුනයන් විය. දියතරිප්පු ගල් පතුරු කපා හැඩ කොට අතුල්ලා සකස් කරන කාචය විශ්වාස කල නොහැකි තරමේ ඉහල නිමාවෙන් යුක්තය. නවීන වීදුරු කාචයකට සර්ව සමය.
චූලූමනිගෙදර පරම්පරාවේ උදවිය රාජකීය කණ්ණාඩි ශිල්පීන් ලෙස පැවත එන්නේ කවදා සිටද යන්න නිශ්චිත නැත. ඔවුන්ගේ ඉතිහාසයේ, ගම්පොල යුගය තෙක් විස්තරාත්මක දැනුමක් ගුණසෝම මහතා සතුය. ඔහුගේ අදහස අඩුම තරමේ තම පරපුරේ ඉතිහාසය පොලොන්නරු යුගය තෙක් විහිදෙන බවය. රජ වරුන් ඔවුන්ට ප්‍රධානය කල නම්බු නාම,ත්‍යාග යනාදිය ගැන පුරාවෘත්තමය දැනුමක් ඊට අඩංගුය.
සරසවියෙන් ඉවත් වී වසර හතරකින් පමන මගේ බිරිඳත් සමග නැවත එහි යන විටත් ගුණසෝම පෙර පරිදිම කණ්ණාඩි සාදමින් සිටියේ ගෙදරට යාබද කුඩා කාර්මික මඩුවේ ය. එවර ඔහු කතා කලේ තරමක් කලකිරීමෙනි. ආර්ථිකය යහපත් නොවන බවත් ජීවන අරගලය පහසු නොවන බවත් ඔහුගේ අත්දැකීම විය. තමන්ගේ පාරම්පරික ශිල්පීය උරුමය ගැන රජයට, වෙනත් ආයතනයකට තබා ගමේ මිනිසුන්ටවත් උනන්දුවක් නොතිබීම ගැන ඔහු සිටියේ සිත් තැවුලෙනි. තමන්ගේ පරම්පරාව දියතරිප්පු ගල් වලින් කණ්ණඩි කාච හදන විට ඊට සරිලන කණ්ණඩි රාමු හැදූ පාරම්පරික පරපුරක් අසල ගමක සිටි බවද මේ වන විට ඔවුන් නශ්ඨ වී ගොස් ඇති බවද ඔහු කීවේ තමන්ගේ ඉරණමද එයම වන බව ඉඟි කරමිනි. එම පරම්පරාවේ ශිල්පීන් කණ්ණඩි රාමු සාදා තිබුනේ හරක් අඟ, කැස්බෑ ලෙලි, ඇත් දළ සහ දැව භාවිතා කරමිනි.
යමකුගේ ඇස් පෙනීම පරීක්ෂා කොට ඊට සරිලන කාචය කුමක්ද යන්න තීරණය කිරීමේ පාරම්පරික ක්‍රමවේදයක් ගුණසෝම සතුය. කාචයේ වක්‍රතාවය සහ ඝණකම තීන්දු කෙරෙන්නේ මේ අනුවය. ඔහුට අනුව දියතරිප්පු කාචය මනුෂ්‍ය ඇසට සනීපදායකය.
ඉනුත් වසර දහයක් පමණ ගිය තැන පසුගිය සති අන්තයේ අප නුවර ගියේ වැඩ නියමයක් නොමැතිව යම් විවේකී බවකින් යුක්තවය. පිලිමතලාව ලං වන විට අප දෙදෙනාටම ගුණසෝම සිහි විය. පැරණි මතකය ඔස්සේ ඔහුගේ දෙරකඩට ගිය අපට අලංකාර නාම පුවරුවක්ද අලුත් වැඩපලක්ද දක්නට ලැබිනි. කර්මාන්ත අමාත්‍යංශය මගින් පාරම්පරික ඇස්කණ්නාඩි කර්මාන්තය දියුණු කිරීමට අත දී තිබෙන බවට ප්‍රවෘත්තියක් මා දුටුවේ මීට වසර දෙකකට පමණ පෙරය. මේ අලුත් වෙනස එහි ප්‍රථිපල ලෙස සිදු වූ දේ විය යුතුය.
අලුත් මඩුව තුල අපේ ගුණසෝම පරණ පුරුදු ලෙසම වැඩෙහි යෙදෙමින් සිටියේය. ඔහුගේ සහයට මේ උරුමයම දරණ ඔහුගේ නැගණියද සිටියාය. ගුණසෝම ඉතා උද්‍යෝගයෙන් වැඩෙහි යෙදෙයි. ඔහුට අලුත් ඇනවුම්ද ලැබී තිබෙන හැඩය. පැරණි යන්ත්‍ර සූත්‍ර ආරක්ෂිතව තබා නවීන පන්නයේ යන්ත්‍ර වැඩට යොදා ඇත. මේ අතරතුර කාලයේදී ඔහුට බර ගනනක් රාජ්‍ය සම්මානද ලැබී තිබෙන අතර ඔහු ගැන විවිධ පත්‍ර වාර්තාද ගනනාවක් පල වී තිබේ.
මේ අලුත් වටපිටාව ඇති කොට තිබෙන්නේ කාර්මික අමාත්‍යාංශය මගිනි. එසේ කිරීමට තීන්දු කිරීම වෙනුවෙන් කාර්මික අමාත්‍ය විමල් වීරවංශ මහතාටද , ඒ සඳහා දායක වූ අන් කවරකු හෝ වෙත් නම් ඔවුනටද මගේ ගෞරව සම්ප්‍රයුක්ත ප්‍රණාමය හිමිය. ගුණසෝමගේ ජීවිතයට අලුත් එලියක් වැටී තිබේ. තම දියණිය මාලදිවයිනේ රැකියාවක යෙදෙන බවද, පුතුන් දෙදෙනාගෙන් එකකු තම පියාගේ අඩි පාරේ යමින් ශිල්පය ප්‍රගුණ කරන බවද ඔහුගේ බිරිඳ පැවසුවේ සොම්නසිනි.
ඕනෑම රටකට කයිවාරු ගැසිය හැකි උරුමයන් තිබේ. කයිවාරු ගැසීම දුර්ගුනයක් වුවද එසේ කරන්නේ නම් අඩුම තරමේ නිවැරදි දේ අරබයා එසේ කල යුතුය. රාවණා පිලිබඳ ප්‍රබන්ධමය ඉතිහාසයක් ඇඟට ගෙන ලෝකයට විහිලුවක් වනු වෙනුවට අපේ යටගිය දවස ඇත්ත උරුමයන් හැදෑරිය යුතුය. ථෙරවාදී ශාසන ඉතිහාසයේ ආයතන ව්‍යුහය සහ සිංහලයාගේ ලේඛණ සම්ප්‍රදාය අපට ප්‍රාමාණික ආඩම්බරයක් විය හැකි දේ යයි මම සිතමි. චූලාමනිගෙදර ඇත්තන්ගේ කණ්ණාඩි ශිල්පයද මෙවැනි අතලොස්සක් දේ අතර දීප්තිමත් එකක් බව මගේ කල්පනාවයි.අඩුම තරමේ සියවස් හතර පහක් පැරණි කණ්ණාඩි ශාස්ත්‍රයක් ලංකාව තුල පැවතීමම තරමක විශේෂ දෙයකි.
ජීවිතයේ සැඳෑ සමයට පිවිසෙමින් සිටින ගුණසෝම අද වන තෙකම් තම පාරම්පරික රැකියාවට අමතරව වෙනත් දෙයක් කොට නැත. මේ ශිල්පය පවත්වාගෙන යාමේ වැදගත් කම ඇත්තේ දැනට ප්‍රචලිත බටහිර කණ්ණාඩි වෙනුවට දියතරිප්පු කණ්ණාඩි ආදේශ කිරීම වැනි සරල අර්ථයකින් නොවේ. අපගේ පැරණි දැනුමේත් තාක්ෂණයේත් ජීවමාන ඉතිරියකි මෙය. මෙවැනි දෑ විනාශ වී නොයා රැක ගැනීම ශිෂ්ඨ සම්පන්න රටක සිරිතය. ඊට අමතරව මෙවැනි දෑ ප්‍රචලිත කිරීමෙන් සහ ඊට නව වෙලඳපලක් තැනීමෙන් සරි කර ගත හැකි විදේශ විනිමයද සුළු පටු නැත. එය මේ මිනිසුන්ගේ පැවැත්මටද යහපතකි.
විස්කම් පරපුරේ මිනිසුනි, මේ ඔබේ එකෙකි. (විස්කම් පරපුර (viskam parapura) ) සාමාන්‍ය එකකු නොව, විශේෂ එකෙකි. ලංකාව සතු කුඩා ජීවමාන සම්පතකි. ඔහුව හැකි තරම් දිරිමත් කරන්න. ඔහුගෙන් මිලදී ගන්න. ඔබ දන්නා කියන තැන් වල ඔහුට ප්‍රචාරයක් දෙන්න.
- දිනෙත් 2022.01.31