SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඖෂධ මගඩියට අදාළව, ස්වේඡාවෙන් ප්‍රකාශයක් දීමට අවශ්‍ය බවට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය දෙසැම්බර් 25 වැනිදා නීතිඥවරුන් මාර්ගයෙන් කළ ඉල්ලීමකට අනුව රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගොස් ප්‍රකාශ සටහන් කරගත් බව දෙසැම්බර් 27 දා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී නීතිපති දෙපර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම ප්‍රකාශ කර ඇත.

 

මෙම ඖෂධ මගඩියට හිටපු අමාත්‍යවරයා සම්බන්ධ බවට හොඳටම තොරතුරු තිබෙන පසුබිමක ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් සටහන් කරගන්නවා වෙනුවට හෝ අවම ඔහු සීඅයිඩීය වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කරගන්නවා වෙනුවට ඔහු එන්න කියනකම් සිට ගෙදරට ගොස් නීතිඥයන් දෙදෙනෙකු දෙපස තියාගෙන ඔහු කියන දේ ලියාගෙන පැමිණීම විසින් ප්‍රකාශ කරන්නේ කුමක්ද? මෙයින් ප්‍රකාශ කරන්නේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නීතියට උඩින් සිටින බවද? නීතිපති දෙපාර්තමේන්තුව සහ සීඅයිඩීය මේ පිළිබඳව තමන්ගේ ස්ථාවරය දැක්විය යුතුය.

 

 

කෙහෙළිය අහිංසකද?

 

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධුරය භාරගත් පසුව ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයට, ජාතික ඖෂධ නියාමන අධිකාරියට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ආදි ස්ථානවලට ප්‍රධානීන් සේ පත් කරන පුද්ගලයින් මෙම ඖෂධ ගනුදෙනුවලදී හැසිරී තිබෙන ආකාරය දෙස බලන විට කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා අහිංසක නැති බව කිව යුතුය. ඔහු අමාත්‍යාංශය භාරගත් පසුව මෙම ඖෂධ මිලදී ගැනීම්වලට අදාළව පළමු කැබිනට් පත්‍රිකාව කැබිනට්ටුව වෙත ඉදිරිපත් කරන්නේ 2022 සැප්තැම්බර් 26 දිනයේදී ය.

22/1523/610/018 යන අංකය යටතේ එම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත්වී ඇත. මේ පිළිබඳව අප පසුගිය කලාපයේත් සඳහන් කළෙමු. මේ ගේම පටන් ගන්නේ මෙතැනින් ය. ගේමට අවශ්‍ය පිටිය සකස් කරගැනීම සඳහා එක පිට එක ලෙස අමාත්‍ය මණ්ඩල සංදේශ, පත්‍රිකා ඉදිරිපත් වී ඇති අතර එම පෙරහැරේ පළමු පිම්ම මේ කැබිනට් සංදේශයයි. මෙම ඖෂධ මිලදී ගැනීමේ යෝජනාවට 2022/10/03 දිනයේදී අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

 

 

|2022/10/25 නැවතත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරමින්, නැවතත් ඖෂධ හිඟය ගැන මෙන්ම ඉන්දියානු ණය ආධාර ක්‍රමය ගැනද, සඳහන් කරමින් ඉන්දියාවේ ගුජරාට්හි සැවෝරයිට් ෆාමසියුටිකල් පුද්ගලික සමාගමෙන් ඖෂධ අයිතම 38ක් මිලදී ගන්නට අවසර දෙන්න යැයි ඉල්ලා ඇත. 2022/10/25 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම සන්දේශය සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදෙන්නටත් අවසන් තීරණයක් සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අනුකමිටුව එම සංදේශය යොමුකරන්නටත් තීරණය කර ඇති අතර එහිදී 2022/11/02 දිනයේදී මෙම කැබිනට් සංදේශයට මුදල් අමාත්‍යවරයාගේ විරෝධයක් නැති බව දන්වා ඇති අතර ඒ අනුව 2022/11/14 කැබිනට්ටුව මේ සංදේශය සඳහා අනුමැතිය ලබාදී ඇත.

 

 

ඉන්දියාවේ මෙම සමාගමට අමතරව, නැවතත් 2022/12/05 අමාත්‍ය මණ්ඩලය වෙත සංදේශයක් ඉදිරිපත් කරන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉන්දියාවේ Kausikh Therapeutics LTd සමාගම සමග ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් ගිවිසුම්ගත වීමට අවසර ඉල්ලා ඇත. එහිදී අමාත්‍ය මණ්ඩලය 2022/11/02 දරන කැබිනට් අනුමැතියට යටත් ව කටයුතු කරන්නට අවසර ලබාදී ඇත.

 

 

|මේ තොරතුරුවලින් පෙනෙන්නේ ඖෂධ සමාගම් සමග ඖෂධ ගෙන්වීමට අදාළව අමාත්‍යවරයා කෙලින්ම සාකච්ඡා පවත්වමින් කටයුතු කර ඇති බවය. අපි මේ පිළිබඳව බොහෝ තොරතුරු පසුගිය සතියේ ප්‍රකාශයට පත් කළෙමු. එහෙත් කිසි දෙයක් සිදුවෙන්නේ නැත. එයට හේතුව කෙහෙළිය රඹුක්වැල්ල නීතියට ඉහළින් වැජඹෙන ජයකෙහෙළියක් නිසාදැයි කියන්නට අප දන්නේ නැත.

 

 

අප මෙම සිදුවීම් දාමය හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධ වංචාවට ලඝු කරන්නට සූදානම් නැත. ඊට එහාට ගිය බිහිසුණු පොදු දේපල මංකොල්ලයක් මේ කතාව පිටුපස ඇතිබව සක්සුදක් සේ පැහැදිලිය. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඖෂධ සමාගම් සමග සම්බන්ධතා පවත්වා නැතිද? අඩුම දැනට අත්අඩංගුවේ සිටින අයුසුලේට් බයෝටෙක් ෆාර්මා සමාගමේ හිමිකරු හේවගේ සුදත් ජානක ප්‍රනාන්දු සමග හෝ සම්බන්ධතා පවත්වා නැතිද? ඒ පිළිබඳව සොයාගැනීමට අවශ්‍ය නම් සීඅයිඩීයට අමාත්‍යවරයාගේ දූරකථන දත්තයන් විමර්ශනයට ලක්කළ හැකිය.

 

ඊට අමතරව හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක යන අයගේ ද දූරකථන දත්තයන් පරීක්ෂා කළ හැකිය. එතැනිනුත් එහාට ගොස් මේ කාලයේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුට යට සිටි මෙම රාජ්‍ය නිලධාරීන් විසින් උපයන ලද මුදල් සහ දේපල පිළිබඳව විමර්ශනයක් සිදුකළ හැකිය. එසේ මෙම පරීක්ෂණ යහමඟට පැමිණියහොත් විශාල අපරාධයක් අනාවරණය වෙනු නියතය.

 

 

විගණන විමසුමක්

 

2022 සහ 2023 වර්ෂයන්ට අදාළව මෙම ඖෂධ මගඩිය පිළිබඳව විගණන විමසුමක් සිදුකර ඇත. එහිදී විගණකාධිපති දෙපාර්තමේන්තුව විමසුම් අංක MSU/B/MSD/BCD/2/23/08/AQ/06 යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට වාර්තාවක් යවමින් විගණන විමසුමක් සිදුකර ඇත. එම විමසුම් ලියවිල්ලේ අප පසුගිය කාලයේ ලියූ බොහෝ කරුණු අන්තර්ගතය. සීඅයිඩීයට මෙම ලියවිල්ල විගණකාධිපතිවරයාගෙන් ගෙන්වාගෙන කියෙව්වා නම් කෙහෙළිය සීඅයිඩීයට ගෙන්වා ප්‍රකාශයක් සටහන් කරගැනීමට හිතෙන්න පුළුවන් ය. මෙම ලියවිල්ලේ අන්තර්ගත අප පසුගිය කාලයේ කතා නොකළ තොරතුරු මොනවාද? මඳක් විමසා බලමු.

 

 

|හදිසි මිලදී ගැනීම් ක්‍රියාවලිය සඳහා මුදල් අමාත්‍යාංශයේ මැදිහත්වීම, හදිසි මිලදී ගැනීම් ක්‍රියාවලිය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීම, හදිසි මිලදී ගැනීම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මැදිහත්වීම ආදි මාතෘකා යටතේ නිරීක්ෂණ සහ විමසීම් සිදුකර ඇත. එහි ඇති තොරතුරු සහ දත්ත ඉදිරි අත්අඩංගුවට ගැනීම් සඳහා සීඅයිඩීයට වැදගත් වනු ඇත. එම ගොනුවේ තිබෙන බොහෝ තොරතුරු අප පසුගිය කාලයේ වරින් වර ලියූ බැවින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මැදිහත්වීම පිළිබඳව තිබෙන කරුණු වෙත මෙසේ අවධානය යොමුකළ හැකිය.

 

 

‘2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ 58, 82, සහ 101 වගන්ති නොසලකා කටයුතු කර ඇත. එම පනතේම 109 වගන්තිය නොසලකා ලියාපදිංචිය නිදහස් කිරීමේ ලිපි නිකුත් කර ඇත‘ යනුවෙන් එහි නිරීක්ෂණයන් ආරම්භ වී ඇත.

 

‘ඖෂධයක් ලියාපදිංචි කිරීමේදී එම ඖෂධයේ නිෂ්පාදක සහ දේශීය නියෝජිතයා පිළිබඳ තොරතුරු, පරිපාලන හා නිර්දේශ කිරීමේ තොරතුරු, ඖෂධයට අදාළ ලිපිගොනුවේ සමස්ත සාරාංශ තොරතුරු, ඖෂධයේ ගුණාත්මකභාවය සහතික කරනු ලබන ලේඛන, සායනික නොවන අධ්‍යයන වාර්තා, සායනික අධ්‍යයන වාර්තා, ඇතුළත්ව පුළුල් ලේඛන පරීක්ෂාවක් සිදුකරන නමුත් ඊට සාපේක්ෂව ඖෂධ ඇගයීම් කමිටුව යටතේ පිහිටුවන ලද ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අනුකමිටුව මගින් ඉතාමත් සීමිත ලේඛන ප්‍රමාණයක් ඇගයීම මගින් සහ සාම්පල් පරීක්ෂාවකින් තොරව ඖෂධ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතික නිකුත් කිරීමේ හේතුවෙන් ගුණත්වය පිළිබඳ තහවුරුවක් නැති ඖෂධ රට තුළට පැමිණ ඇත’. යනුවෙන් එහි නිරීක්ෂණයක් ඇත. මෙයින් කියන්නේ කුමක්ද? මෙයින් කියන්නේ රෝගීන්ගේ ජීවිත බිල්ලට දී සෞඛ්‍ය බලධාරීන් මෙම සෙල්ලම කර ඇති බවය.

 

‘2020 වර්ෂයේ දී නිකුත් කරනු ලැබූ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපියක් යටතේ ආනයනය කරනු ලැබූ හෘදය, අක්මා, වකුගඩු රෝග හා අධිරුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන්වලදී භාවිත කරන furosemide syrup බෝතල් 6000ක තොගයක් තත්ත්වයෙන් අසමත් බව වාර්තා වන විටත් එම ඖෂධ තොගයෙන් 98%ක ප්‍රමාණයක් රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු රජයේ රෝහල්වල රෝගීන් සඳහා භාවිත කර තිබී ඇත.’ මෙම විමසුම සඳහන් කරයි. එයින් පෙනෙන්නේ මේ ජාවාරම් චෞරයන්ට පුංචි ළමයින්ගේ ජීවිත පිළිබඳව හෝ සහ කම්පනයක් තිබී නැති බවය.

 

 

|‘2022 වර්ෂය තුළ නිකුත් කරනු ලැබූ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපියක් යටතේ වෛද්‍ය සැපයුම් අංශය විසින් මිලදී ගන්නා ලද Bupivacaine ඖෂධය භාවිත කිරීමෙන් පසුව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබුණ අතර එම ඖෂධය රෝගීන්ට බරපතළ අහිතකර ප්‍රතික්‍රියා (Adverse Drug Reaction – ADR) සිදුකර ඇති බැවින් 2023 ජූලි 21 දින පැවති ආරක්ෂාව සහ අවදානම් ඇගයීමේ කමිටුව (safety and risk evaluation subcommittee – SAFRESC) විසින් එම ඖෂධය සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත්කර ඇත.’ මෙම සිදුවීම් සිදුවුණ කාලයේ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ මොනවාද? මඳක් කල්පනාකර බලන්න. එම බාල බෙහෙත් භාවිත කාලයේදී මියගිය කාන්තාවන් දෙදෙනාට යුක්තිය ඉටුවිය යුතු නැද්ද? අඩුම ගානේ එම පවුල්වලට වන්දියක් හෝ දෙන්නට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළාද? මෙහිදී මරණයට ලක්වූ කාන්තාවන් දෙදෙනාගේ පවුලේ ඥාතීන් මේ ජාවාරමුන්ට විරුද්ධව නඩු දැමිය යුතුය.

 

 

 

special pathway ක්‍රමය ගැන නිරීක්ෂණ

 

 

special pathway ක්‍රමය යනු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යාංශය භාරගත් පසු හිතූ හිතූ ලෙස ඖෂධ ගෙන්වීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර හරහා ක්‍රියාත්මක කළ ක්‍රමයයි. ඖෂධයක් මිලදී ගැනීමේදී එතෙක් රාජ්‍ය විසින් අනුගමනය කළ සියලු ප්‍රශස්ත ක්‍රමවේදයන් කුණුකූඩයට වීසිකරමින් මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කළේ ඇයි?

 

‘ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අධිකාරිය විසින් 2019 ඔක්තෝබර් 15 දිනැතිව මාර්ගෝපදේශයක් පිළියෙළ කර තිබුණ අතර ඊට අනුකූලව ඖෂධ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අනුමැතිය ඊට අදාළ අනුකමිටුව මගින් ලබාගත යුතු වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පදනම් කරගනිමින් 2022 සැප් 16 දිනැති අධ්‍යක්ෂ මණ්ඩල තීරණය ප්‍රකාරව අනුකමිටු අනුමැතිය සඳහා යොමුකිරීමෙන් තොරව special pathway ක්‍රමය වශයෙන් හඳුන්වනු ලබන වේගවත් යාන්ත්‍රණයක් හරහා ප්‍රධාන විධායක නිලධාරියාගේ අනුමැතිය මත ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කර තිබුණි.

 

එහිදී ලියාපදිංචියෙන් නිදහස් කිරීම සඳහා අනුමැතිය ප්‍රදානය කිරීමේදී අනුකමිටුව විසින් සලකා බලන මිල සාධාරණත්වය, ඖෂධය පිළිබඳව විද්‍යාලයේ මතය, ඖෂධයේ අත්‍යවශ්‍යතාව, සැපයුම්කරුගේ සහ නිෂ්පාදකයාගේ ලියාපදිංචි තත්ත්වය, ගුණත්වය පිළිබඳව පෙර පැවති ගැටලු (තත්ත්වයෙන් අසමත් වීම) වැනි සාධක පිළිබඳව අවධානය යොමුකිරීමෙන් තොරව එම ඖෂධයේ ගුණත්වය, ආරක්ෂාව සහ ප්‍රත්‍යක්ෂභාවය, තහවුරු කරනු ලබන ලේඛන ඇගයීමෙන් තොරව ගැනුම් ඇණවුම, ඉන්ඩෙන්ටුව සහ වෙළඳ ඉන්වොයිසය වැනි ඇණවුම තහවුරු කරන ලේඛන පමණක් පරීක්ෂා කර අනුමැතිය පිරිනමා තිබුණි‘. මුලින් සඳහන් කළ දෙදෙනාගේ මරණයට මෙම ක්‍රමවේදය හේතුවක් නොවෙයිද? ඒ පිළිබඳව කරුණු සොයා බැලිය යුතු නැද්ද? තව කීදෙනෙක් නම් නිහඬවම මෙම බාල බෙහෙත් නිසා මිය යන්නට ඇතිද? රෝහල් බලධාරීන්ට ඒ පිළිබඳ තිබෙන තොරතුරු මොනවාද?

 

‘2022 වර්ෂය තුළ නිකුත් කර තිබුණු මුළු ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි සංඛ්‍යාව 656කි. එයින් 57ක් special pathway ක්‍රමය යටතේ වෛද්‍ය සැපයුම් අංශය වෙතද, 176ක් special pathway ක්‍රමය යටතේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) වෙතත් නිකුත් කර ඇත. මේ අනුව 2022 වර්ෂය තුළ පමණක් special pathway ක්‍රමය යටතේ ලිපි 233ක් නිකුත් කර ඇත. 2023 වර්ෂයේ ජූනි දක්වා කාලය තුළ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි 261ක් නිකුත් කර තිබුණ අතර එයින් 03ක් special pathway ක්‍රමය යටතේ වෛද්‍ය සැපයීම් අංශය වෙතත්, ලිපි 51කක් special pathway ක්‍රමය යටතේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙතත් නිකුත් කර ඇත. මේ අනුව 2022 වර්ෂය තුළ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ මුළු ලිපි සංඛ්‍යාවෙන් 36%ක් special pathway ක්‍රමය යටතේ ගිය ඒවාය. 2023 අවුරුද්දේ ජූනි වන තෙක් එම ප්‍රතිශත අගය 21%කි‘. මෙම නිරීක්ෂණයෙන් හොරා කෑමේ පරිමාව තේරුම් ගන්නට පුළුවන් වෙනු නියතය. මෙසේ අනුමැතිය ලබාදුන් සමාගම් ගෙනා බෙහෙත් වර්ග මොනවාද? කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බෙහෙත් ඔහේ රෝගීන්ගේ රුධිරය මත දියව යන්නට ඇත. සල්ලි, ජාවාරමුන්ගේ සාක්කුවලට වැටෙන්නට ඇත.

 

 

|‘meropenem injection USP 500mg යන ප්‍රතිජීවක ඖෂධයෙන් ඒකක 400,000ක් මෙරටට ආනයනය කිරීම සඳහා special pathway ක්‍රමය යටතේ අනුමැතිය ලබාදී තිබුණ අතර මීට පෙර තත්ත්වයෙන් අසමත්වීමේ වාර්තා තිබීම හේතුවෙන් ඒ ඖෂධ සඳහා ඖෂධ ඇගයීම් කමිටුවේ අපරානුමැතිය හිමිවී නොතිබුණි. මීට අමතරව ඉහත ක්‍රමයට අනුමැතිය දුන් තවත් ඖෂධ 15කට අදාළ නිෂ්පාදකයන්ගේ ඖෂධ තත්ත්වයෙන් අසමත්වීම් වාර්තා වී ඇත.’

 

‘කර්ණ ආසාදන, රක්තපාත තත්ත්වයන් සහ ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු ආදි රෝග සඳහා භාවිත කරනු ලබන Ofloxacin viaeye/ ear drops 5ml/ Cinnarizine Tablets BP 25mg/ Rifaximin Tablets 550mg iy Mosapride Citrate Tablets 5mg වැනි ඖෂධ සඳහා special pathway ක්‍රමය හරහා ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අනුමැතිය ලබාදී තිබුණ අතර එම ඖෂධ 29ක් අත්‍යවශ්‍ය නොවෙන ඖෂධ වීම නිසා එම ඖෂධ සඳහා ඖෂධ ඇගයීම් කමිටුවේ අපරානුමැතිය හිමිව නොතිබුණි.’

 

 

විද්වතුන් කැළේට

 

 

‘විද්වතුන් 14 දෙනෙකුගෙන් සමන්විත ඖෂධ ඇගයීම් කමිටුව අබිබවා special pathway ක්‍රමය හරහා ඖෂධ ලියාපදිංචියෙන් නිදහස් කිරීම සඳහා අනුමැතිය ලබාදීම තුළින් ගුණත්වය, ආරක්ෂාව සහ ප්‍රත්‍යක්ෂභාවය පිළිබඳව කිසිදු තහවුරුවක් නැතිව ඖෂධ ආනයනය කිරීම මගින් රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළා ඇත’

 

‘2022 දෙසැම්බර් මාසයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනායාචිත යෝජනා ඉදිරිපත් වූ ඖෂධ අයිතම 38ක් ආනයනය කිරීම සඳහා පුද්ගලික සමාගමක් වෙත ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික (WOR) 38ක් නිකුත් කර තිබුණ නමුත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අදාළ ඖෂධ ඇගයීම සිදුකර නැති බවත්, ඒ හේතුවෙන් එම ඖෂධවල ගුණත්වය, ආරක්ෂාකාරී බව, සහ ප්‍රත්‍යක්ෂභාවය පිළිබඳව අධිකාරිය වග නොකියන බවටත්, වගකීම වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ විසින් භාරගත යුතු බවටත් කොන්දේසි ඉදිරිපත් කරමින් එහි වගකීම අධිකාරිය විසින් අත්හැර තිබුණි.’ මෙම නිරීක්ෂණයෙන් කියවෙන්නේ බල්ලාගේ වැඩේ බූරුවාට පැවරීමේ තත්ත්වයයි.

 

 

|මෙවැනි සිදුවීම් රැසක් මෙම ජාවාරම සිදුවන අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඊට අයත් සෞඛ්‍ය ආයතන තුළ සිදුව ඇත. එයින් කියන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා රාජ්‍යයේ සෞඛ්‍ය පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳහෙළා ඇති බව නොවේද?

 

 

‘ඖෂධ නියාමන අධිකාරිය විසින් ආනයන පාලක ජනරාල් වෙත යවනු ලබන ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතිකයේ පිටපත් වෛද්‍ය සැපයීම් අධ්‍යක්ෂට එවන බවට අදාළ සහහිකයේ සඳහන් වුවද 2022 වර්ෂයේ සිට සිදුකරන ලද හදිසි මිලදී ගැනීම් හා ඉන්දියානු ණය ආධාර යටතේ සිදුකළ මිලදී ගැනීම්වලට අදාළ WOR සහතිකයේ පිටපත් වෛද්‍ය සැපයීම් අංශයට එවා නොතිබුණ අතර 2023 ඔක්තෝබර් 16 දින පිටපත් 105ක් ඖෂධ නියාමන අධිකාරිය විසින් වෛද්‍ය සැපයීම් අංශයට එවා තිබුණි. නමුත් විගණිත දින දක්වාම ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කර තිබුණ අනෙකුත් WOR සහතිකවලට අදාළ වෛද්‍ය සැපයීම් පිටපත් එවා නොතිබුණ බවද ඒ හේතුවෙන් සැපයුම්කරුවන්ට තොග භාරදීමේදී වංචා සිදුකිරීම සඳහා ඉඩකඩ විවර වෙන බවද නිරීක්ෂණය විය. අදාළ පිටපත් මුල් අවස්ථාවේම වෛද්‍ය සැපයීම් අංශයට ලැබී තිබුණේ නම් තොග පරිපාලන නිළධාරීන්ට එමගින් තහවුරු කිරීම් සිදුකර ගත හැකිව තිබුණ බවද ඒ හේතුවෙන් වර්තමානයේ බරපතළ ගැටලු පැනනැඟුණු Human Immunoglobulin සහ Rituximab වැනි ව්‍යාජ ඖෂධ ලබාදීමේ වංචාවන් හසුකරගැනීමට අභ්‍යන්තර පරිපාලනය සමත් වන බවත් නිරීක්ෂණය විය.’

 

මෙසේ වටිනා නිරීක්ෂණයන් රැසක් සමගින් විමසීමක් කරන මෙම වාර්තාව විගණකාධිපතිවරයා විසින් අවසන් කරන්නේ මෙසේය.

 

‘සම්මත ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ගෙන් බැහැරව හදිස්සි මිලදී ගැනීම් සිදුකළ ආකාරයත්, අමාත්‍ය මණ්ඩල අනුමැතිය රහිතව හා අමාත්‍ය මණ්ඩලයේ තීරණයන් අබිබවා යමින් හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු නිලධාරීන් ක්‍රියාකළ ආකාරයත්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නොමැති සැපයුම්කරුවන්ට ලියාපදිංචිය නිදහස් කිරීම යටතේ ඖෂධ සැපයීමට දිරිමත් කිරීමත්, එහිදී ඖෂධ නියාමන අධිකාරිය විසින් සම්මත ක්‍රමවේදයෙන් බැහැරව විශේෂ ක්‍රමවේදයකට යමින් ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතික නිකුත් කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම පිළිබඳවත්, ඖෂධ නියාමන අධිකාරිය විසින් හෝ වෙනත් කිසිදු පාර්ශ්වයක් විසින් ඖෂධවල ගුණත්වය, ආරක්ෂාව සහ ඵලදායී බව පිළිබඳව වගකීම නොගැනීමත් පිළිබඳව, ඔබ විසින් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම විමසුමේ සිට දින 07ක් ඇතුළත විගණනය වෙත දන්වන මෙන් කාරුණිකව ඉල්ලමි.’

 

 

වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයා මෙම විමසීමට පිළිතුරු යවයිද? සෞඛ්‍ය ලේකම්වරයා මෙම විමසුමට ප්‍රතිචාර නොදැක්වූවත් මෙම විමසුමට සීඅයිඩීයට ප්‍රතිචාරයන් දැක්විය හැකිය. ඒ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ඉදිරියට ක්‍රියාත්මක කිරීම හරහාය. එය සිදුවෙයිද? අපි බලාගෙන සිටිමු.

 

 

@කේ.සංජීව

අනිද්දා පුවත්පත

marrikkar

marrikkar

marrikkar

marrikkar

marrikkar

marrikkar

නවතම ලිපි