" මල්විය නොවෙද
මේ දිය කර හරින්නේ
මැෂිමද හිතද
මහ හයියෙන් හඬන්නේ"
මෙය ප්‍රවීණ ගායන ශිල් සුනිල් එදිරිසිංහයන් ගායනා කරන " රෑ වැඩ මුරය අවසන් වන කණිසමට" නම් ගීතයෙහි පළමු අන්තරා කොටසෙහි දෙවන පේළි දෙකයි. බන්දුල නානායක්කාරවසම් ප්‍රවීණ ගීත රචකයාණන් විසින් රචනා කරන ලද මේ ගීතය අපේ රටේ නිදහස් වෙළඳ කලාපවල ඇඟලුම් සේවිකාවන්ගේ ජීවිතයේ හරස්කඩක් බඳු ය.
ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන මාර්ගයක් වන්නේ විදේශ රටවල ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබෙන ආදායමයි. ඒ හැරුණු විට අපේ රටට විදේශ විනිමය උපයා දීම වෙනුවෙන් විශාල මෙහෙයක් සිදු කරන අනෙක් අංශය ඇඟලුම් කර්මාන්තය යි. එම ඇඟලුම් තනන්නට දායක වන වැඩිම පිරිස කාන්තාවන් ය.
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයෙහි සේවක සංයුතිය ගැන සැලකුවහොත් මෙයින් අති බහුතරයක් ග්‍රාමීය ප්‍රදේශවලින් කටුනායක වෙත සංක්‍රමණය වූ අයයි. තතු විමසීමේදී දැනගන්නට ලැබුණු ආකාරයට අසූහතරක් පමණ වන කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයෙහි කම්හල්වල සේවය කරන පිරිස අතර මෙලෙස සංක්‍රමණය වූ පිරිස දළ වශයෙන් තිස් හතර දහසක් පමණ වන බව සැලකේ.
ඇඟලුම් සේවිකාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව අප වෙත මුලින්ම අදහස් දක්වා සිටියේ එම ගැටලු පිළිබඳව සොයා බලමින් ඒවාට නොයෙකුත් විසඳුම් ලබාදීම උදෙසා කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයක් වූ ස්ටෑන්ඩ්අප් මූව්මන්ට් ආයතනයෙහි විධායක අධ්‍යක්‍ෂිකා අශිලා දන්දෙනිය මහත්මිය යි. ඇය වසර ගණනාවක් ඇඟලුම් සේවිකාවක් ලෙස රැකියාව කර එම ක්ෂේත්‍රය සම්බන්ධ මනා පලපුරුද්දක් ඇති කාන්තාවකි.
(අශිලා දන්දෙනිය)
ඇඟලුම් සේවක සේවිකාවන්ගේ ගැටලු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන්කර දැක්විය හැකිය.
ඒ, කම්හල තුළ තත්ත්වය සහ ජීවත්වන පරිසරය ලෙසිනි.
කම්හල තුළ තත්ත්වය
සාමාන්‍යයෙන් කලාපයේ කම්හලක මූලික වැටුප අවම රුපියල් විසිදහස හෝ ඉන් ඉහළ අගයක් ගනියි. මෙම වැටුපට පැමිණීමේ දිරිදීමනා, නිෂ්පාදන දිරිදීමනා, අතිකාල දීමනා යනාදිය එකතු වූ විට ඔවුනට සැලකිය යුතු වැටුපක් මාසිකව උපයා ගැනීමට හැකිවේ.
නමුත් මේ මුදල උපයා ගැනීම සඳහා ඔවුන්ට ලබා දෙන ඉලක්ක ඉතා අසීරු ය.
|කම්හලට අලුතෙන් ඇණවුමක් ලැබුණු පසු කාර්ය අධ්‍යයන ( work study) නිලධාරියා විසින් "ප්‍රොඩක්ෂන් ලයින්" එකෙහි වේගවත්ම සේවිකාවට එය ලබා දී මිනිත්තුවක් තුළ ඇයට කොපමණ කොටස් (කෑලි) ප්‍රමාණයක් මැසිය හැකිද යන්න සොයා බලයි. ඉලක්කය හෙවත් "ටාගට් එක" සකස් කරන්නේ එම සේවිකාවගේ වේගයට තවත් ප්‍රතිශතයක් එකතු කිරීමෙනි. ඉන්පසු වේගවත්ම සේවිකාවට මෙන්ම වැඩි වේගයකින් කටයුතු කිරීම අසීරු සේවිකාවටත් මෙම ඉලක්කය හඹා යාමට සිදුවේ. "මට මේක කරන්න බෑ. මට අමාරුයි" කියන්නට ඔවුනට හැකියාවක් නැත. කිසිදු පෞද්ගලික අවශ්‍යතාවක් වෙනුවෙන් ඉලක්ක සපුරාලිය යුතු කාල වකවානුවල දී නිවාඩු ලබාගන්නට අවසර නැත. එලෙස නිවාඩු ඉල්ලා සිටින්නේ නම් යළි නොඑන්නටම කම්හලින් ඉවත් වී යා හැකිය.
සියල්ලන්ම එක ඉලක්කයක් කරා යාමට නම් සමසේ වැඩ කළ යුතු වෙයි. නමුත් එක්ව වැඩ කරන පිරිසක් පිළිබඳව සලකනවිට එකිනෙකාගේ හැකියාවන් හා ඒ මත පදනම් වූ වේගය විවිධ ය. එවිට වේගය සපුරාලීම සඳහා සමහර සේවිකාවන්ට කැප කරන්නට සිදුවන්නේ තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් ය. මුත්‍රා පහකිරීමේ අවශ්‍යතාවය වළක්වා ගැනීම සඳහා වතුර පානයෙන් වැළකීම, තේ පානය සේම ඇතැම් අවස්ථාවලදී දිවා ආහාරය සඳහා ඇති කාලය පවා කැපකර තම කාර්යයෙහි යෙදීම ඉතා සුලභ තත්ත්වයක් වී ඇති බව අප කළ ගවේෂණයේදී තහවුරු විය.
ලයින් එකේ එක් සේවිකාවක් මොහොතකට හෝ නැගිට්ටොත් ඊළඟ සේවිකාව කෑගසන්නේ ඇගේ වැඩ ප්‍රමාද වන නිසා ය. මේ අනුව මොහොතක හෝ ඉස්පාසුවක් මේ සේවිකාවන්ට ලයින් එක තුළ නැත. මෑතකදී ඔටෝ මැෂින් විශේෂයක් බොහෝ කම්හල්වලට ගෙනැවිත් තිබෙන අතර මැෂිමට රෙදි කෑල්ල ඇතුල් කළ සැණින් එය ඉබේ ක්‍රියාත්මක වී මැෂිම නතර වන්නේ මැසී අවසාන වූ පසුවය. මේ නිසා මසනු ලබන කොටස්වල පලුදු ඇතිවීමට විශාල හැකියාවක් පවතී. මේවා ගැන ඔවුන් අවධානයෙන් සිටිය යුතුය. බොහෝ සේවිකාවන් දැන් ඇවිදින යන්ත්‍රවලට දෙවැනි නැත.
|ඇඟලුම් කම්හල් සේවිකාවන් අතර වැඩිපුරම සිටින්නේ වයස අවුරුදු විසිපහේ සීමාවෙන් පහළ අවිවාහක අය යි. මාසික ඔසප්වීම්වලදී තරුණියෝ උදරයේ වේදනාව, හිස කැක්කුම ඇතුළුව ඇතැම් විට වමනය, කරකැවිල්ල වැනි කායික ආබාධවලට පවා මුහුණ දෙති. නමුත් මෙවැනි වේදනාවන් වුව වේදනානාශක පෙති ආදිය මගින් දරාගෙන වැඩ කරන්නට ඔවුන්ට සිදුවෙයි. එමෙන්ම ඒ දිනවල ඔවුන් භාවිතයට ගන්නා සනීපාරක්ෂක තුවා නිසි ලෙස බැහැර කිරීමේ ගැටලුවට ද ඔවුහු මේ හා සමානවම මුහුණ දෙති.
සුපර්වයිසර්, කාර්ය අධ්‍යයන (work study) නිලධාරියා යන අයට හිතවත් නම් වැඩ පහසු ය. ඔවුන් අමනාප කරගතහොත් අධික වැඩ කොටසක් සපුරාලන්නට එම සේවිකාවට සිදුවනු ඇත.
ඊළඟට මැෂින්වල දෝෂ සකස් කරන කාර්මික නිලධාරියා වෙතින් එල්ලවන ගැටලුවලටත් මෙම සේවිකාවෝ නොඅඩුව මුහුණ දෙති. එම නිලධාරියා අමනාප කර ගැනීම යනු මහන මැෂිමේ කුමක් හෝ දෝෂයක් ඉතිරිවීමකි.
මේ අය හොඳින් තබා ගන්නට කේලාම්, කෙටවීම් මෙකී නොකී බොහෝ දේවල්වලට අමතරව ඇතැම්විට ලිංගිකව තුටු පහටු කිරීම්ද ඇතුළත් ය. නමුත් තමන්ට සිදු වෙන කුමන අන්දමේ අකටයුත්තක් වුවද වෙනත් කෙනෙකුට පැවසීමෙන් , ඒ වෙනුවෙන් පිළිසරණක් පැතීමෙන් ඔවුන් වැළකී සිටින්නේ එහි පශ්චාත් ප්‍රතිපල පෙර කී තත්ත්වයන් ඉවසා සිටීමට වඩා ප්‍රබල විය හැකි නිසා ය.
මේ හැරුණු විට මෑන්පවර් ආයතන හරහා ඇඟලුම් කම්හල්වලට සේවයට පැමිණෙන තරුණියෝ සිටිති. මෑන්පවර් ආයතනවලින් සේවයේ යොදවන විට එම තරුණ සේවක සේවිකාවන් පිළිබඳව කම්හලට වගකීමක් නැත. කම්හල් මගින් මෑන් පවර් ආයතනයට මුදල් ගෙවූ පසු එම මුදලින් දෛනික වැටුපක් ලෙස මෙම සේවක සේවිකාවන්ට යම් මුදලක් ගෙවීම සිදු කරන්නේ එම මෑන්පවර් ආයතනයයි. දැනගන්නට ලැබුණු ආකාරයට එම දෛනික වැටුප බොහෝවිට රුපියල් දහසකට වඩා අඩු ය. මේ අතර සමහර මෑන්පවර් ආයතන හිමියෝ රූමත් තරුණියන්ව සම්බාහන සහ ස්පා මධ්‍යස්ථානවලට අලෙවි කරති. තමන්ට සිදු වී ඇති දෙය මේ තරුණියන් දැනගන්නේ එම ආයතනවලට ගිය පසුව ය. පවුලේ ප්‍රශ්න, ආර්ථික ගැටලු සහ නොදැනුවත්කම නිසා ආපසු හැරෙන්නට නොහැකිකමට බොහෝ තරුණියන් අවසානයේ ලිංගික සේවා සපයන්නියන් බවට ඉබේම පත්වනු ඇත. මෙවැනි ස්ථානවලින් පැනගොස් ආපසු හිස් අතින්ම ගම්වලට යන තරුණියන් ද නැතුවා නොවේ. කෙසේ වුවද දැන් කලාපයේ කම්හල් පොදුවේ මුහුණ දෙන, ඇණවුම් අඩුවීම, රටේ ආර්ථික උද්ධමනය වැනි හේතූන් මත සේවකයන් සීමා කරන්නට වීම ආදිය හේතුවෙන් මෑන්පවර් ආයතනවලට ලැබෙන අවස්ථා බෙහෙවින් අඩුවී තිබේ.
1978 වසරේදී කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය ආරම්භ කරන විට මෙහි කම්හල්වලට බැඳුණු අති බහුතරය වූයේ සිංහල ජාතික තරුණියන් ය. නමුත් මේ වන විට එහි ද්‍රවිඩ සහ මුස්ලිම් ජාතික තරුණ තරුණියෝ ද රැකියාවල යෙදෙති. කෙසේ වුවද මේවායේ සේවය කරන තරුණ තරුණියන් පිළිබඳ නිවැරදි දත්ත ඉදිරිපත් කිරීම අසීරු වන්නේ එම දත්තවල නිරන්තරයෙන් චලනය වීමක් පවතින නිසා ය. රැකියා ස්ථානවලින් මාරු වී යාම, රැකියා හැර යාම වැනි දෑ මෙම කලාපය තුළ නිරන්තරයෙන් සිදුවීම ඊට හේතුවයි.
ද්‍රවිඩ සහ මුස්ලිම් වැනි අන්‍ය ජාතීන්වල තරුණ තරුණියන් කොතෙක් සේවය කළත් අද වන විටත් කම්හල් 99 % ක් පමණම ශබ්ද විකාශන යන්ත්‍ර මගින් විකාශය කරන සියලු නිවේදන නිකුත් කරන්නේ සිංහල භාෂාවෙන් පමණි. කම්හල් තුළ ප්‍රදර්ශනය කරන දැන්වීම් ද සිංහල භාෂාවෙන් පමණක්ම ප්‍රදර්ශනය කෙරේ. එසේම කම්හලෙන් නිකුත් කරනු ලබන ලියකියවිලි ද වැඩිපුරම ඇත්තේ සිංහල භාෂාවෙනි. දෙමළ සහ මුස්ලිම් ජාතිකයන්ට තමන්ගේ මව් භාෂාවෙන් එවැනි කිසිවක් නොලැබීම ඔවුන් රාජකාරීමය වශයෙන් බොහෝ අපහසුතාවයට පත්වන හේතුවක් වී තිබේ.
අනෙක් අතට සිංහල භාෂාව පිළිබඳ දැනුම මඳවීම නිසා වැඩ පරීක්ෂකවරුන් මෙන්ම එකට සේවයේ යෙදෙන සිංහල සේවක සේවිකාවන් පවා අසභ්‍ය වදන් පවසමින් ඔවුන්ට උසුළු විසුළු කිරීම, බැණ වැදීම සුලබව සිදුවෙයි. කිසිවක් නොවැටහීම නිසා ඔවුන් මවිතව බලා සිටිද්දී අනෙක් අය මහහඬින් සිනාසෙන විට ඔවුහු තව තවත් අසරණභාවයට පත් වෙති.
සමානාත්මතාවය අත්විඳීමට මෙම විජාතික සේවක සේවිකාවන්ට අපහසු වන තවත් අවස්ථාවක් වන්නේ එම ප්‍රදේශය ආශ්‍රිතව ඇති බැංකුවලින් ගනුදෙනු කිරීම්වලදී ය. යම් හෙයකින් බැංකු පත්‍රිකා පිරවීමට සිදුවුවහොත් එය දෙමළ භාෂාවෙන් පුරවා දුන් කල ඉංග්‍රීසි භාෂාවෙන් පුරවන ලෙස බැංකු නිලධාරීහු ඔවුන්ගෙන් ඉල්ලා සිටිති. ඉංග්‍රීසි හෝ සිංහල ලිවීමේ නොහැකියාව නිසා මෙහිදී ද ඔවහු අපහසුතාවයට පත්වෙති.
කම්හල් තුළ තවත් පීඩනයට පත් වන පිරිසක් වන්නේ විෂම සමාජභාවී (Trance gender) තරුණයන් ය. මේ සම්බන්ධයෙන් අපට අදහස් දැක්වූයේ සිහින තෙනුවර ය.
(සිහින තේනුවර)
|විෂම සමාජභාවය රෝගයක් නොවන බව සහ එය ඔවුන්ගේ වරදක් නොවන බව තේරුම් ගන්නට තරම් අපේ සමාජයේ වැඩි දෙනෙක් තවම දැනුවත් නැත. විෂම සමාජභාවී තත්ත්වය නිසාම තම පවුලෙන් එල්ල වන විරෝධතා හේතුවෙන් ඔවුන් නිවෙස්වලින් පැන යාම මෙන්ම වැඩිහිටියන් විසින්ම ඔවුන් නිවසින් එළවා දැමීම වැනි අවාසනාවන්ත තත්ත්වයන්ට ඔවුහු බොහෝවිට මුහුණ දෙති.
ඒ හේතුවෙන් මෙවැනි තරුණයන් රැකියා සොයා කලාපයට පැමිණීමද සුලබ සිදුවීමක් වී ඇත . නමුත් ඔවුන්ගේ ඒ තත්ත්වය නිසාම රැකියා දෙන කම්හල් ද විරල ය. රැකියා ලැබුණත් ඉන්පසු කම්හල තුළ දී විවිධ ගැටලුවලට ඔවුහු මුහුණ දෙති. ඔවුන් භාවිතා කළ යුතු නාන කාමරය, විවේක කාමරය කුමක්ද යන්න ඔවුන්ට සේම කම්හලේ සෙසු අයටද ගැටලුවකි. ආපනශාලාවේ ඔවුන් සිටිය යුතු පෝලිම කුමක්ද යන්න තවත් ගැටලුවක් වෙයි. කාන්තාවන් වැඩ කරන ප්‍රොඩක්ෂන් ලයින්වල ඔවුන්ට වැඩ ලැබෙන්නේ නැත. ඇඳුම් මැදීම, පැක් කිරීම වැනි අංශවලට අමතරව ස්ටෝස්වල බර වැඩ සඳහා ඔවුන් යෙදවීම බොහෝවිට සිදුවේ. මේ හැරුණු විට ඔවුන්ට අසභ්‍ය වදන් පවසමින් උසුළු විසුළු කිරීම , ඇතැම් සේවකයන් ඔවුන්ගේ ශරීරාංග මිරිකමින් ප්‍රසිද්ධියේම ඔවුන් විශාල අපහසුවට, ලජ්ජාවට පත්කිරීම ඉතා සුලබ තත්ත්වයක් වී තිබේ. එසේම ඔවුන් සමාජය තුළද පිරිමින්ගේ විවිධ අපහාසයන්ට සහ අපහරණයන්ට ලක් වීම නිරන්තරයෙන් සිදුවේ.
ජීවත් වන පරිසරය
(කලාපයේ කුඩා බෝඩිමක්)
ග්‍රාමීය ප්‍රදේශවලින් කලාපයේ ඇඟලුම් කම්හල්වල රැකියා සොයා පැමිණි තරුණියන්ගේ පවුල් පසුබිම පිළිබඳව සොයා බැලුවොත් ඔවුන් බොහෝ විටම දරිද්‍රතාවය නිසා මෙම රැකියාවලට පැමිණි අය වෙති. අනෙක් අතට ඔවුන්ට තම පවුල් පරිසරයෙන් මිදී යම් නිදහසක් භුක්ති විඳීමට ස්වභාවිකවම දැනෙන අවශ්‍යතාවද මෙලෙස රැකියා සොයා පැමිණීමට හේතුවක් වී ඇත. එසේම තරුණියක් ලෙස ලස්සනට අඳින්නට, රන් මාලයක් රන් වළල්ලක් පළඳින්නට තිබෙන ආශාව සිය දිළිඳු මාපියන් වෙතින් ඉටු කර ගත නොහැකි නිසා ඒ අරමුණු සපුරා ගැනීමේ දැඩි වුවමනාවද ඔවුන් තුළ වෙයි. මේ සියල්ල සේම දෙමාපියන්ට තවදුරටත් දරා ගත නොහැකි පවුල් බරට උරදීම, බාල සහෝදර සහෝදරියන්ට අධ්‍යාපනය ලබාදීම, තමන් සහ පවුලේ අය පදිංචි වී සිටින කුඩා නිවස ගොඩනගා ගැනීම, ගම්වල සුලභ මයික්‍රෝ ක්‍රෙඩිට් වැනි ආයතන මගින් ලබාගත් ණය ගෙවා දැමීම මෙකී නොකී දහසක් ගැටලුවලින් ඔවුන්ගේ මානසික ඔලොගුව පිරී පවතී. මේ ඔලොගුවෙහි බර සැහැල්ලු කරගන්නට නම් ඔවුන් "මැරීගෙන" වැඩ කළ යුතුය .
අපේ රටේ පළමු ආයෝජන ප්‍රවර්ධන කලාපය කටුනායක ප්‍රදේශයේ පිහිටුවන විට ග්‍රාමීය ප්‍රදේශවලින් විශාල ලෙස රැකියාවන් කරා පැමිණි තරුණියන් සඳහා නවාතැන් ලබාදීමේ ගැටලුවක් මතුවිණි. මේ ප්‍රදේශවල ඌරන් කුකුළන් වැනි සතුන් බහුලව ඇති කිරීම සිදුවේ. බොහෝ දෙනා කළේ තමන්ගේ නිවසේ අමතර කාමර තිබේනම් ඒවා බෝඩිම් බවට පත්කිරීමට අමතරව මේ ඌරු කොටු සහ කුකුල් කොටුවලින් එම සතුන් ඉවත්කර බෝඩිං කාමර ලෙස අවම පහසුකම් සහිතව ඒවා සකස් කිරීමයි. එක ඇඳකට වඩා යමක් දමන්නට හැකියාවක් නැති ඒ කුඩා කාමර ඔවුන් දෙදෙනකු විසින් බෙදා හදා ගනු ලබන අතර එම කාමරය තූළම උයා පිහාගෙන කෑමද කළ යුතුය. වැලිමඩ ප්‍රදේශයේ සිට මීට වසර ගණනකට ඉහත දී කලාපයට රැකියාවට පැමිණි ද්‍රවිඩ ජාතික කාන්තාවක වූ පුෂ්පා මලර් සිය දරු දෙදෙනා සමග ජීවත් වන්නේ මෙවැනි කුඩා කාමරයක ය.
(බෝඩිමක වැසිකිලියක්)
|කාමර සියයක් පමණ ඇති බෝඩිම්වල පවා අදටත් තිබෙන්නේ වැසිකිලි පහක් හයක්, නාන්නට වතුර මල් පහක් හයක් පමණක් ඇති එක් පොදු ස්ථානයක් පමණක් බව කටුනායක තුළ කරන ලද ගවේෂණයේදී අපට අනාවරණය කර ගැනීමට හැකිවිණි. කාන්තාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමට මෙහි ඉඩක් නැත. පොදු නාන තැන්වල කාන්තාවන්ව රහසේ වීඩියෝ ගත කරන මානසික රෝගීන් ද මෙම ස්ථානවල දුලබ නොවේ. සාමාන්‍යයෙන් මෙවැනි කුඩා කාමරයක අද වන විට මාසික බෝඩිම් ගාස්තුව රුපියල් හාරදහස ඉක්මවන බව පුෂ්පා මලර් පවසන්නීය . නාන කාමරයක් ද සහිත තනි කාමරයක් මිලදී ගන්නට රුපියල් පහළොස් දහස ඉක්මවූ මුදලක් මාසිකව වැය කළ යුතුවෙයි. එවැනි මුදලක් බෝඩිමකට වැය කරන්නට හැකියාව ඇති තරුණියන් කලාපයේ අල්ප ය.
සමහර බෝඩිම්වල වතුර මලින් නෑම සඳහා එක් අයෙකුගෙන් එක් අවස්ථාවකට රුපියල් දෙසීයක මුදලක් අය කෙරේ. නළ ළිං තිබෙන බෝඩිම්වල වතුරවලට අය කිරීමක් නැත. කෙසේ වුවද මාසය අවසානයේ වතුර බිලත්, විදුලි බිලත් සියලු බෝඩිං කාමරවල සිටින
නේවාසිකයින් අතර සම සේ බෙදේ. සමහර බෝඩිම් හිමියෝ තමන්ගේ ගෙදර විදුලිමීටරයත් මීටම සම්බන්ධ කර එම බිලත් මේ අසරණ නේවාසිකයින් වෙතින්ම ගෙවා ගන්නට තරම් සැහැසි වී සිටිති.
කලාපයේ සේවිකාවන් හාල් සිල්ලර ඇතුළු උයන පිහන බඩු ගන්නේ කඩෙන් ණයට ය. එලෙස "පොතට" බඩු ගැනීමේදී සෑම මාසයකම වැටුප ලැබීමෙන් පසු එම මාසයේ පොතේ ණය අවසන් කළ යුතුය. කඩ හිමියන් කරනු ලබන ම්ලේච්ඡ සහගත ක්‍රියාවක් වන්නේ ඔවුන්ගේ එම ණය මුදලට තව 5% ක, 10% ක ඇතැම් විට 15% ක පමණ තරමේ ප්‍රතිශතයක් පොලියක් ලෙස එකතු කිරීමයි. පොතේ ණය හැම මාසයකම නිසි ලෙස පියවා ගන්නට නොහැකි වුවහොත් ඔවුන් මුහුණ දෙන අකරතැබ්බය ඊළඟ මාසයේ කෑමට බඩු ගන්නට නොහැකි වීම පමණක්ම නොවේ. ඇතැම් කඩ හිමියන් ඔවුන්ගේ සහචරයකු ලවා අදාළ තරුණියගේ කාමරයේ ඇති රයිස් කුකරය වුව බලහත්කාරයෙන් රැගෙන යාමට නොපැකිලෙන අවස්ථා නැත්තේ නොවේ. ඊටත් වඩා ඛේදවාචකය වන්නේ කඩේ පොත පියවාගන්නට නොහැකි වීම හේතුවෙන් කඩ හිමියාගේ ලිංගික ගොදුරක් වීමට සිදුවීමය. එලෙස පොතේ ණය පියවන්නට සිදුවන අවස්ථා කලාපය තුළ ඕනෑ තරම් අසන්නට ලැබේ.
දිනකට පැය අටක කාලය යනු ලෝකයම පිළිගත් කම්කරු නීතියකි. මෙය ලෝකයේ කම්කරු අරගලවල ප්‍රතිඵලයක් ලෙස දිනා ගත් දෙයක් වන අතර කම්කරුවකුගේ සතියක සේවා කාලය පැය 45ක් විය යුතුය. ඊට අතිරේකව වැඩ කරන හැම පැයක් සඳහාම අතිකාල දීමනාවල හිමිකම ඔවුන්ට ලැබේ. මේ තත්ත්වය වෙනස් කර කම්කරු නීති ප්‍රතිසංස්කරණය කර නව නීති සම්පාදනය කිරීමේ සූදානමක් ඇති බව අපට හෙළි කළේ අශිලා දන්දෙනිය මහත්මියයි. කෙසේ වුවද පැය 45 සකස් වන්නේ සතියේ දින පහ සහ සෙනසුරාදා දින වරුවක් වශයෙනි. සතියේ දින තුනකින් පමණ මේ පැය 45 ආවරණය කිරීමට ඇතැම් කම්හල් මේ වන විට පියවර ගෙන ඇත. කම්හල් හිමියන් එසේ කරන්නේ තමන්ගේ පැත්තෙන් පිරිවැය අඩුකර ගැනීමට ය. නමුත් එමඟින් මෙම සේවක සේවකාවන් කබලෙන් ලිපට වැටෙන තත්ත්වයට පත්වීම නොවැළැක්විය හැක්කකි. අතිකාල දීමනා ඇතුළු සියලු අමතර දීමනා මෙමගින් ඔවුන්ට අහිමිවන අතර, සේවක අර්ථ සාධක අරමුදල්, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් ආදිය කැපී මූලික වැටුපෙහි ඉතිරි වෙන කොටස මාසික වැටුපක් ලෙස ඔවුන්ගේ අතට ලැබෙනු ඇත. බෝඩිං ගාස්තු ගෙවන්නට, කෑමට බීමට වැය කරන්නට, පවුලේ අයගේ යැපීම් පිණිස යවන්නට මේ සියල්ල සඳහාම එය ප්‍රමාණවත් නොවේ. අනෙක් අතට වැඩ අඩුවීම නිසා ඔවුන් බෝඩිමේ රැඳී සිටින කාලය වැඩිවේ. එවිට වතුර, විදුලිය වැඩියෙන් පරිහරණය වීම සහ කෑම බීමවලට අතිරේක මුදලක් වැය කරන්නට වීම නිසා ඔවුන්ගේ පැත්තෙන් තව දුරටත් වියදම් වැඩි වෙයි. මේ කිසිවක් කෙරෙහි සංවේදී වන පුද්ගලයන් කිසිවෙක් නොමැත.
දැනට ස්ටෑන්ඩ්අප් මූව්මන්ට් ආයතනයේ ක්ෂේත්‍ර සම්බන්ධීකාරකවරියක ලෙස කටයුතු කරන එස්. මිලානි කලාපයට පැමිණියේ කිලිනොච්චියේ සිට ය. ඇඟලුම් කම්හල් සේවිකාවක ලෙස වසර ගණනක් කටයුතු කළ ඇය එහිදී බොහෝ අසාධාරණකම්වලට ලක්වීම හේතුවෙන් එයින් ඉවත් වී අවසානයේ ස්ටෑන්ඩ්අප් මූව්මන්ට් ආයතනයට බැඳී මේ වන විට කලාපයෙහි තරුණ තරුණියන්ගේ ගැටලු සම්බන්ධයෙන් කටයුතු කරයි.
(එස්.මිලානි)
|සාමාන්‍යයෙන් සිංහල සහ අවුරුදු නිවාඩුවලට කලාපයේ බෝඩිම් හිස් වෙනවා. ඒ දවස්වලට මේ ළමයි ෆෙස්ටිවල් ඇඩ්වාන්ස්, බෝනස් වගේ දේවල් අරගෙන ගමේ යනවා. නමුත් පසුගිය නත්තල් නිවාඩුවේදී ගොඩක් ළමයි ගමේ නොගිහින් බෝඩිම්වලම හිටියා. ඒකට ලොකුම හේතුවක් වුණේ පසුගිය කාලයේ අපේ රටේ බස් ගාස්තු අධික ලෙස ඉහළ යාම. බස් එකෙන් ගමට ගිහින් එන්න ලොකු මුදලක් වැය වෙනවා. අතේ වියදමටත් අඩුම ගාණේ රුපියල් දාහක් වත් තියාගන්න ඕනේ. පවුලේ අයගේ වියදමට සල්ලි දෙන්නත් ඕනේ. ඒ වගේම උත්සව කාලය නිසා ගෙදර අයට ඇඳුම් පැළඳුම් වගේ දේවල් විතරක් නොවෙයි කන්න බොන්න දේවලුත් අරන් යන්න ඕනේ. මේ සේරම කරන්න ඉස්සර වගේ මේ ළමයින්ට ආදායම් ලැබෙන්නේ නෑ. ගිය අවුරුද්දේ අන්තිමට ගොඩක් කම්හල්වලින් ළමයින්ට බෝනස් දුන්නෙත් නෑ. ඒ නිසාම ගොඩක් ළමයි කළේ ගෙදරට යවන මුදලට තමන්ගේ බස් ගාස්තුව වගේම අතරමගදී වියදම් කරන්න වෙන මුදලුත් ඔක්කොම එකතු කරලා ගෙවල්වලට යවපු එක. දැන් නිවාඩුවට ගමට යන එකත් ගොඩක් ළමයින්ට හීනයක් වෙලා"
එසේ කීවේ මිලානි ය.
(බෝඩිමක වැසිකිලි පේලියක්)
කොරෝනා වසංගතයෙන් පසුව සහ ඉන්පසු දිගින් දිගටම අපේ රටේ පැවති ආර්ථික උද්ධමනය හමුවේ ඇඟලුම් කම්හල්වලට ලැබෙන ඇණවුම්වල සීග්‍ර පහළ බැසීමක් සිදුවූ නිසා සේවකයින්ගේ ප්‍රමාණය සීමා කිරීම , අතිකාල සේවාවන් නතර කිරීම හෝ සීමා කිරීම වැනි විවිධ පියවරයන් ගැනීමට කම්හල් හිමියන්ට සිදුවිය. මේ නිසා අඩු වැටුපකින් තම පැවැත්ම සකසා ගැනීමට කොහෙත්ම හැකියාවක් නොතිබූ ඇතැම් සේවක සේවිකාවෝ කම්හල් හැර යළි ගමේ ගියහ.
නමුත් තමන්ගේ ගැටලුවලට කිසිදු ආකාරයක විසඳුමක් නොමැතිකම නිසා ආපසු හැරෙන්නට නොහැකිකමින් උපයා ගත් වැටුප තම දෙමාපියන්ගේ සහ බාල සහෝදර සහෝදරියන්ගේ පෝෂණය පිණිස යවා තමන්ගේ යැපීමට කීයක් හෝ සොයා ගැනීම සඳහා අර්ධකාලීනව ලිංගික සේවා වෘත්තිකයන් ලෙස කටයුතු කරන තරුණියෝ කලාපය තුළ සිටිති.
එසේම බෝඩිං ගාස්තු ගෙවා ගන්නට නොහැකි වීම මත එම මුදල මෙන්ම කෑම බීමවලට වැයවන මුදල බෙදා හදා ගන්නට තරුණයින් සමග විවාහ නොවී එකට පවුල් කන තරුණියන් ද කලාපයෙහි හිඟ නැත. ඒ සබඳතා තුළ බොහෝ විට කැටි වී තිබෙන්නේ ආදරයට වඩා ජීවත්වීමේ අසීරුවට පිළියම් සෙවීමේ අසරණ උත්සාහය යි.
|මේ අතර අවංක පෙම්වතුන් ලෙස පෙනී හිඳිමින් දැඩි ආදරයක් පෙන්වා තරුණියන් රවටා අවසානයේ ඔවුන් මාසයක් තිස්සේ දහදුක් විඳ උපයා ගන්නා වැටුපෙන් වැඩි කොටසක් කුමක් හෝ දුක් ගැනවිල්ලක් කියා ඔවුන්ගෙන් ඩැහැගන්නා "අපතයෝ" ද කලාපය තුළ සිටිති. විශ්වාසයත්, ආදරයත් නිසා නොදී බැරිකමට ඔවුන්ට තම මුදල් දී අවසානයේ තරුණියන්ට සිදුවන්නේ තමන්ගේ අඩුපාඩු පිරිමසා ගන්නට, පවුලේ අයට යවන්නට පොලියට මුදලක් සොයා ගැනීමටය. බොහෝ විට මෙම අපතයන් තරුණියන්ගේ මුදල් පමණක් නොව රන් ආභරණ වැනි ඔවුන් දුක් මහන්සියෙන් උපයා සපයා ගත් අනිකුත් වටිනා දේ පවා මේ සමගම වංචා කර පැදුරටත් නොකියා පලා යන්නේ ඔවුන්ගෙන් කායික සුවයද නොඅඩුව විඳීමෙන් අනතුරුව ය. මෙසේ ව්‍යාජ පෙම්වතුන් ලෙස රඟමින් තරුණියන්ගෙන් මුදල් සහ රන් ආභරණ ආදිය වංචා කිරීම කලාපය ආශ්‍රිතව ජීවත් වන ඇතැම් පිරිමින්ගේ වෘත්තියකි.
(බෝඩිමක පොදු නාන ස්ථානයක්)
මේ කුමන තත්ත්වයකදී වුවද පිරිමින් නිසා මෙම තරුණියන් ගැබ් ගැනීම ද වැළැක්විය නොහැකිය. එවැනි ගැබ් ගැනීම්වලින් පසුව ඒවා විනාශ කර දැමීම සඳහා මේ තරුණියන් නොකරන දෙයක් නැත. එහිදී වැඩි දෙනෙකු කරනු ලබන්නේ උස් ස්ථානවලින් පැනීම බව දැනගත හැකි විය. එසේම කලාපය ආශ්‍රිත ප්‍රදේශයේ රහසේ පවත්වාගෙන යන අනවසර, අවිධිමත් ගබ්සා මධ්‍යස්ථාන රාශියක් තිබේ. නමුත් එනයින්ම ඇඟලුම් කම්හල් සේවිකාවන් සදාචාර විරෝධීන් ලෙස අප හංවඩු ගැසීමට තරම් අකාරුණික නොවිය යුත්තේ රට පුරාම නගර හා උප නගර ආශ්‍රිතව මෙවැනි ගබ්සා මධ්‍යස්ථාන වේගයෙන් බිහි වෙමින් පවතින බැවිනි. එසේම පූර්ණකාලීනව මෙන්ම රැකියාවට අමතරව අර්ධ කාලීනව ද ලිංගික සේවා සැපයීම සිදුකරන විවිධ තරාතිරම්වල කාන්තාවෝ අපේ රටේ සිටිති. නමුත් ඒවා සමාජයට විවෘත නැත. එසේ වුවද කලාපවල සිදුවන දෑ සමාජයට විවෘත නිසා කලාපයේ තරුණියන් කෙරෙහි බොහෝ අය බලන්නේ වපර ඇසිනි. ඔවුන් ගැන ඇත්ත ඇති සැටියෙන් දකින විවිධ කලා කෘති බිහි ව තිබුණත් එමඟින් සමාජයේ ඇස් ඇරී ඇති බවක් නොපෙනේ.
අපි සාමකාමී බහුත්වවාදය පිළිබඳව කතා කරමු. කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයෙහි මෙය ඛණ්ඩනය වන සිදුවීම් තවත් බොහෝ සෙයින් ලියා දක්වන්නට පුළුවන. ඔවුහු ජාතීන් වශයෙන්, ආගම් වශයෙන්, ස්ත්‍රී සහ පුරුෂ වශයෙන්, උස් මිටිකම් භේද වශයෙන් මෙකී නොකී සියලු ආකාරයෙන් තැලෙමින්,
(බෝඩිමක්)
මිරිකෙමෙන්, පොඩිවෙමින් අපට ඩොලර් සොයා දෙන්නට වෙහෙසෙති. නමුත් පෙරළා ඔවුන් සමාජයෙන් ලබන්නේ ගැරහුම් සහ අවමන් පමණි. අප මොන තරම් මානුෂීයත්වය ගිලිහී ගිය ජාතියක්ද?
යළි සිහි වන්නේ සුනිල් එදිරිසිංහයන්ගේ පෙර කී ගීතයෙහි දෙවන අන්තරා කොටසෙහි අවසන් පද පේළියයි.
"තනි නොතනියට සෙවනැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ "
(මෙම ගවේෂණය සඳහා උපදේශනය සහ අනුග්‍රහය ලබාදුන් ඉන්ටර්නිව්ස් ආයතනයට ස්තුතිය.)
@ඉන්දු පෙරේරා
ඡායාරූප - භානුජන්