SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කරන්දෙණියේ හිත හොඳ දොස්තරගේ ඝාතනය කලක් මෙරට ආන්දෝලනයක් ඇති කළේය.

මේ සිද්ධියත් එකී කරන්දෙණිය ප්‍රදේශයෙන්ම වාර්තා වූයේ මීට දවස් පහකට මත්තෙනි. එදා දොස්තර මහතා සේම මෙදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු වෙඩි තබා ඝාතනය කොට ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ටත් මූසල පාතාලයේ නරුම තර්ජන පසක් කරමිනි. 

 

පාතාලයට හෝ කිසිම අකටයුත්තකට සම්බන්ධ නැති රාජකාරිය දේවකාරිය සේ සිතා නීතිය අකුරටම ඉටුකළ කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මෙන්ම ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ භාණ්ඩාගාරිකවරයා වශයෙන් කටයුතු කළ රොෂාන් කුමාර විතානාච්චි මහතාගේ ඝාතනය තවම අභිරහසකි. 

 

මේ ඝාතනයට හේතුව කුමක්ද? පලිගැනීමක්ද? කොන්ත්‍රාත්තුවක්ද? නැත්නම් පාතාල වෙඩික්කරුවන්ගේ වැරදීමක්ද? යන්න නිශ්චිත නැත. විශේෂ පොලිස් කණ්ඩායම් ගණනාවක් මේ ගැන විමර්ශන අරඹා තිබෙන්නේ එබැවිනි.

 

ඝාතනය සඳහා පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය ඌරගස්මංහන්දිය මහ ඌරගහ රන්තොටුවිල පාළු ස්ථානයක ගිනි දමා තිබියදී සොයාගත් බව ඌරගස්මංහන්දිය පොලිසිය වාර්තා කළේය. තමන් හඳුනාගනු ඇතැයි සිතා ඌරගස්මංහන්දිය දෙසට පැමිණ යතුරුපැදිය දමා ඝාතකයන් පලා යන්නට ඇති බව සැක කෙරේ.

 

දිනය පෙබරවාරි 26 වැනිදාය. රොෂාන් හා බිරිය පමණක් නොව නිවැසියන් හැමෝම එදා සිටියේ සතුටිනි. කිරිබත් සුවඳ මැද පොඩි උත්සවශ්‍රියක් ගෙදර තිබුණේ පුංචි පුතාගේ මුල්ම පාසල් ගමන එදින බැවිනි. එබැවින් දහසක් බලාපොරොත්තු මැද රොෂාන් යුවළ කටයුතු කළෝය. වැඩිමල් දුව හා පුතා ගමේ ඉස්කෝලෙන් ශිෂ්‍යත්වය සමත් වී කොළඹ පාසල් දෙකකට ගිය අයුරින්ම පොඩි පුතා ගැන බලාපොරොත්තුවක් ඔවුන්ට තිබුණේය. එදින පොඩි පුතා ඇල්පිටිය ශාන්ත තෙරේසා විද්‍යාලයට බාර දීමට නියමිතව තිබුණි. මෙදින අලුයම අවදි වූ රොෂාන් මහතා ගුරුවරියක වන සිය බිරියට සේවයට යාමට සලස්වා තිබුණි. අනතුරුව දරුවාගේ නම පන්තිය පාසල සඳහන් වන කුඩා පුවරුවක් පරිගණකයෙන් සුදුසු පරිදි සකසමින් සිට ඇත.

 

මේ අතර වෙලාව පෙරවරු 7.30 ට පමණ විය. නාඳුනන පුද්ගලයන් දෙදෙනකු යතුරුපැදියකින් නිවෙස ඉදිරිපිටට ආවේ හදිසියේමය. දෙදෙනාම සිටියේ මුහුණු ආවරණය කරගෙනය. ඉන් බැස්ස අයෙක් කලබලයෙන් නිවෙසට පැමිණ සාලයේ සිටි රොෂාන්ගේ පපුවට වෙඩිල්ලක් තැබුවේය. බියෙන් ගේ ඇතුළට දිව යාමට සැරසුණු ඔහු බිම වැටෙද්දී තවත් වෙඩි පහර කිහිපයක් පිට මැදට එල්ල කොට වෙඩික්කරුවෝ කුරුඳුගහ දෙසට පලා ගියහ. සිද්ධිය සියැසින් දැක තිබුණේ පොඩි පුතා හා මිත්තණිය පමණි. කාටවත් වරදක් නොකොට නීතියට රස්සාව කළ මොහුට පාතාල ඇසුරක් නොවීය. ගමත් දන්න අඳුනන අයත් මේ කතාවට සාක්ෂි දරති. එහෙම මිනිසකු මරා දැමූ මේ ඝාතනය අහස පොළොව නුහුලන එකකි. මේ බව දන්නා පොලිසියට පවා දැන් මොහුගේ ඝාතනය ගැටලුවක් වී තිබේ. ඝාතනය සඳහා මිලිමීටර් 09 පිස්තෝල වර්ගයේ අවියක් භාවිත කර ඇති බව හඳුනාගෙන තිබේ. ඒ අනුව පොලිසිය සැක කරන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට එරෙහි පාර්ශ්වයක් විසින් ලබාදුන් කොන්ත්‍රාතුවක් මත ඝාතනය සිදුකරන්නට ඇති බවය.

 

මියගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා 51 හැවිරිදි තිදරු පියෙකි. ඔහු ඝාතනය කර තිබුණේ කුරුඳුගහ හැතැප්ම දිවිතුර පාරේ අලුතින් ඉදිකළ නිවෙසේදීය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇල්පිටිය අම්බලන්ගොඩ හා කරන්දෙණිය සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලවලට අනුයුක්තව සේවය කොට ඇත. මේ අතර සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ ක්‍රියාශීලී සාමාජිකයෙකි. මොහු සේවා ස්ථානයේත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේත් සියලු දෙනාගේ හොඳ හිත දිනා ගත්තෙකි. ඒ නිසා ඝාතනයට ආසන්න හෝඩුවාවක් හෝ නැත.

 

“මගේ මහත්තයා රාජකාරිය දේවකාරිය කරගෙනයි ජීවත් වුණේ. නීතිය හරියටම කළා. කවුරුත් දොසක් කීවේ නෑ. ගෙදරට අඩුවක් කළෙත් නෑ. ඇයි සතුටින් හිටිය අපිට මෙහෙම කළේ. මේක මහ පොළොවත් නුහුලන අපරාධයක්...* යැයි කියමින් ඔහුගේ බිරිය හඬා වැළපෙන්නීය.

 

පරිභෝජනයට නුසුදුසු ආහාර හා ඒවා අලෙවි කරන වෙළෙඳුන්ට හා නිෂ්පාදන ආයතනවලට එරෙහිව නීතිය අකුරට ක්‍රියාත්මක කරන්නට රොෂාන් මහතා මූලිකත්වය ගෙන තිබිණි. මේ ආකාරයට දිවයින පුරාම එවැනි වැටලීම් කරන්නට මොහු දායක වූ බව කියැවේ. මොහුගේ මූලිකත්වය මත මහා පරිමාණ ආහාර නිෂ්පාදන ආයතන හෝටල් හා හිමිකරුවන්ට එරෙහිව නඩු පැවරෑ අවස්ථා තිබේ. එවැනි දෙයකින් කුපිත වූ කෙනකු මුදල් ගෙවා මේ ඝාතනය සිදුකරන්නට ඇතැයි සැකයක් පවතී. මියගිය අයගේ ජංගම දුරකථනය පොලිස් බාරයට ගෙන තිබෙන අතර දුරකථන විශ්ලේශන වාර්තා පදනම්ව විමර්ශන සිදු කෙරේ.

 

මේ ඝාතනය සම්බන්ධයෙන් සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අදහස් දක්වමින් කියා සිටියේ රොෂාන් මහතා වැටලීම්වලට අදාළ අධිකරණ කටයුතුවලදී විශේෂඥ උපදේශකයකු වශයෙන් කටයුතු කළ බවකි. එසේම ආහාර සෞඛ්‍ය පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව් සිදු කළ බවද ඔහු කීවේය. 

 

''ජනතාවට සුරක්ෂිත ආහාර ලබාදීම සඳහා කැපවූ නිලධාරියකු වූ මෙතුමාගේ ඝාතනය පිළිබඳ කඩිනම් විමර්ශනයක් අපි බලාපොරොත්තු වෙනවා. මීට ඉහතදී ත්‍රිකුණාමලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට පහරදීමක් සිදුවුණා. මේ සිද්ධියත් එක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට රාජකාරි කිරීමට දැඩි අවදානමක් හා ජීවිත තර්ජනයක් තිබෙනවා..'' යැයි හෙතෙම පැවසීය.

 

ඝාතනයට ලක් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අවසන් කටයුතු ඉකුත් 28 වැනිදා සිදුකෙරුණු අතර එම අවස්ථාවට විශාල පිරිසක් සහභාගි වූහ.

 

මේ ආකාරයට මහජනතාව වෙනුවෙන් ක්ෂේත්‍රයේ රාජකාරි කරන නිලධාරීහු රුසක් සිටිති. ඔවුන් සම්බන්ධයෙන් මෙන්ම විවිධ පාර්ශ්වවල තර්ජනයට හා බලපෑමට ලක්වන නිලධාරීන් සම්බන්ධයෙන් රජයේ වගකිව යුතු අංශවල අවධානය යොමුවිය යුතු බව අපි අවධාරණය කරමු.

 

I සමන්ත ප්‍රදීප් විල්තෙර

Deshaya

නවතම ලිපි