SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෑත කාලීන සංකීර්ණ අර්බුද නිරාකරණය අරමුණු කරගෙන රටත්, ජන සමාජයත් අලුත් ව්‍යුහයකින් ගොඩනගන්නට සිදු වී තිබේ.

වාද බේදවලින් හා ගැටුම්වලින් බහුල සමාජය එකමුතු කිරීම, මෙහිදී ඉතාම වැදගත් අවශ්‍යතාවකි. පසුගිය කාලය තුළ හටගත් සිද්ධි මෙකී කාර්යය කොපමණ දුෂ්කර ද යන්න දක්වයි.

 

ආගමික, සමාජ හා දේශපාලන නායකත්ව තුළ පවතින ව්‍යාකූලභාවය රට ඉදිරියට ගෙන යන තීරණ ගැනීම තවත් දුෂ්කර තැනකට පත්කර තිබේ. පුරවැසියන් වශයෙන් අප සියලු දෙනා තුළ පවතින පරස්පරතා මෙම මොහොතේදී අවධානයට ගත යුතුය. අවශ්‍යතා සම්පූර්ණ නොවන ආර්ථිකය හේතු කොටගෙන තරුණ පෙළ අතරින් බහුතරයක්, වෙනත් රටකට පිටත් වීම එකම අධිෂ්ඨානය කරගෙන ඇති පසුබිම තුළ දූරදර්ශීව තීරණ ගත යුතුය.

 

අද මුහුණ පා ඇති තත්වය හා සමාන සංකීර්ණ ගැටලු නොයෙක් රටවල්වල උද්ගතව තිබේ. සමාජ ප්‍රශ්න හා ආර්ථික බංකොලොත්භාවය මහත් ව්‍යසන ඇති කළේය. අර්බුද පාලනය කර ජනතාව තුළ බලාපොරොත්තු නංවන පියවර සඳහා නිසි ක්‍රමවේද අත්හදා බලා ඇත. සමාජ එකඟතාව ඇති කරගැනීම මුල් කොට තැකීය. එය උදෙසා සැලසුම් ක්‍රියාවට නංවා තිබේ. කැපවීම ඇති කරන ආකල්ප වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියා කර ඇත. එහි ප්‍රතිඵල හේතු කොටගෙන ව්‍යාකූලත්වයට පත්ව තිබුණ රටවල් නැවත ගොඩනැගී තිබේ. සමාජ සමානාත්මතාව, ධෛර්යය හා ආත්ම ශක්තිය ඇති කර යථාර්ථයට මුහුණ දීම අරමුණු කොටගෙන තරුණන් ගේ සිට ජාතික සේවය වැඩසටහන හඳුන්වා දී ඇත. මෙය ආරක්ෂක හමුදාවට ලැබෙන පුහුණුව හා සමානය. ජාතික පුනර්ජීවනයක් උදෙසා කැපවන පරපුරක් ගොඩනගන්නට මෙවැනි පුහුණුවක් මැනැවින් උපයෝගි කරගත හැකි වේ.

 

ජීවිතය විඳින්නට හැකි රටක් සඳහා සැලැස්මක්

 

අද කරන කැපවීම මතු පරම්පරාව සඳහා යහපත් රටක් ගොඩනගනු ඇත. ඇමෙරිකාවේ ජනාධිපතිවරයකු වූ ජෝන් ඇඩම්ස් මහතා “මම යුද්ධය හා දේශපාලන හදාරා ඇත්තෙමි. ඒ, මගේ දරුවන්ට ආර්ථිකය හා වෙළෙඳාම ඉගෙන ගැනීම උදෙසාය. ඔවුන්ගේ දරුවන්ට කාව්‍ය හා සංගීතය හදාරන්නට එයින් හැකි වනු ඇත” යි කියා සිටියේය. දරුවන්ගේ අනාගතය ගොඩනගන්නට අද අප වෙහෙස විය යුතුය. කැපවීම හා අලුතින් ගන්නා තීරණ සමග උත්සාහවන්ත වීම අවශ්‍යය. සියලු දෙනා එකමුතුව තීරණ ගත යුතු වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපගේ දරුවන් ජීවිතය විඳින පරම්පරාවක් බවට පත්වනු ඇත.

 

රට ගැන කැක්කුමක් තිබීම රට ගොඩනගන සැලැස්මක් තුළ අනිවාර්ය සාධකයකි. සමාජ විනය අවශ්‍යම වේ. නීති පැනවීමෙන් පමණක් සමාජය පරිවර්තනයක් කළ නොහැක.

 

අධ්‍යාපනය අවසන් කරන තරුණන්ගේ සිට අනිවාර්ය පුහුණු වැඩසටහනක් ආරම්භ කළහොත් දශක දෙක තුනකින් රටට දැයට යහපත් පුරවැසියන් බිහි කරගත හැකි වේ. අපරාධ අඩු, විනයගරුක සමාජයක් නිර්මාණය කරගත හැකි වේ. දුෂ්කරතා විඳින ජන කොටස අතට සහනාධාර ලබාදීම ආර්ථික වර්ධනය ඇති වන තෙක් වූ තාවකාලික පියවරක් පමණකි. නිසි පුහුණුවක් දී රටක් ගොඩනගන කර්තව්‍යයක් තුළ එයට වඩා පුළුල් රාමුවක් සැකසේ. එය සඳහා භාවිත කළ හැකි ක්‍රමවේදයක් ලෙස හමුදා පුහුණුව හා සමාන සේවයකට ඇතුළු වීම අනිවාර්ය කළ හැක.

 

ආපසු හැරී බලන විට දැකගත හැකි මඟහැරුණු තැන්

 

නිදහස ලබා ගත කර ඇති කාලය වසර හැත්තෑ හයකි. මෙම කාලය තුළ පැවැති ආණ්ඩු අඛණ්ඩව සම්පාදනය කරන ලද නිදහස් අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා රට ඉහළට ගෙනැවිත් තිබේ. ලෝකයේ ඕනෑම රටක් ඉදිරියේ කටයුතු කළ හැකි දක්ෂ මානව සම්පතක් අපට ඇත. ඇතැම් රටවලට සාපේක්ෂව පුරවැසියන්ගේ නීරෝගීභාවය ද රටට මහත් වාසියකි. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය වෙනුවෙන් කළ ආයෝජනයෙහි ප්‍රතිඵල වේ. මේ හා සමානව ජාතික උන්නතිය ඇති කරන පියවරක් සඳහා ද ආයෝජනය කිරීම සුදුසුය.

 

ආරක්ෂාව තිබියදී සේනාව සීමා කිරීම

 

ත්‍රස්තවාදය පරාජය කර අවුරුදු පහළොවකි. එයට බලපෑ සාධක සොයා පීඩනය තුරන් නොකළහොත්, ඉදිරියේදී නැවතත් එවැනි තත්ව ඇති විය හැකිය. ආර්ථික ප්‍රශ්න හා ව්‍යාකූලතා ඉදිරියේ වෙනත් නීති විරෝධී අංශ ද වහා පැතිරෙමින් පවතී. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හැසිරෙන තැනක් බව ලැබෙන වාර්තා දක්වයි. මිනිස් ජාවාරම් ද බහුලව වාර්තා වේ. සයිබර් අපරාධ, කළු සල්ලි සිද්ධි වාර්තා වෙමින් තිබේ. ජාත්‍යන්තර භූ දේශපාලනයෙන් ද පරෙස්සම් වීමට අවශ්‍යය. කාලගුණ හා හදිසි විපත් ද මේ අතරට එකතු කළ හැකිය. මෙම සියලු පැති සියුම්ව හඳුනා ගන්නා අතර, පාලනය කිරීමට විශාල ආරක්ෂක සේනාංක අවශ්‍ය වේ. දැනට සිටින හමුදා හා පොලිස් නිලධාරීන්ගේ පිරිවැය ද රටට ඔරොත්තු දෙන්නේ නැත. දක්ෂ, සීමිත පිරිසකගෙන් සමන්විත හා රටට නඩත්තු කළ හැකි වෘත්තීය ආරක්ෂක සේවයක් සුදුසුය. එයට ඉතා නවීන ජාතික ආරක්ෂක උපායමාර්ගයකින් ආවරණය කිරීම අවශ්‍යය. ආර්ථිකය ගොඩනගන ජාතික සැලැස්මක වැදගත්කමටත් වඩා ජාතික ආරක්ෂක සැලැස්මක අවශ්‍යතාව පවතී. මෙම ජාතික ආරක්ෂක උපාය තුළ සියලු පුරවැසියන් අරමුණ වෙනුවෙන් සූදානම් කළ යුතුය. නිසි පුහුණුවක් සහිත ඉතා අවධානයකින් පසුවන පිරිසක් බවට පත් කළ යුතුය. එමගින් මුලින් දැක්වූ තත්ව පාලනය කළ හැකි වේ.

 

ත්‍රිවිධ හමුදාව හා පොලිසියට තීරණාත්මක කාර්යභාරයක් පැවැරිය හැකි නමුත්, ආරක්ෂාව සඳහා විශාල සේනාවක් හා අධික ධනයක් වැය කළ නොහැක. ආර්ථික දුෂ්කරතා සහිත රටකට පහසු කාර්යයක් නොවේ. ඇතැම් දියුණු රටවල ආර්ථිකයේ ප්‍රතිශතයක් වශයෙන් ආරක්ෂාවට වැය කරන ධනය හා ආසන්න ප්‍රමාණයක් දැනටමත් වැය කිරීමට සිදු වී තිබේ. ජනතාවගෙන් අය කරන බදු ආරක්ෂාව සඳහා වැය කරන අතර, සංවර්ධන තීන්දු ගැනීම පහසු නැත. දරුවන්ගේ අනාගතය උදෙසා තීන්දු ගැනීමේදී සමාජය තුළ එකමුතුභාවය අඩුය. ආරක්ෂාව, නඩත්තුව හා සංවර්ධනය සමබරව කරගෙන යන්නට උත්සාහ කළ ආණ්ඩු විශාල වශයෙන් දේශීය හා විදේශීය ණය ලබාගෙන අර්බුදකාරී තැනක පසු වේ. මේවා මෙරට නායකයන් වටහාගත යුතුය. ආගමික, දේශපාලන හා සමාජ නායකයන් රට දැනට පත්ව ඇති තැන හා එයට බලපෑ හේතු නිරවුල්ව තේරුම්ගත යුතු වේ. දේශපාලනයට හෝ වෙනත් රටකට හෝ දොස් පැවැරීමෙන් පමණක් තත්වය නිවැරැදි නොවේ.

 

එක පන්තියක් නිර්මාණය කරන අනිවාර්ය යුද පුහුණුව

 

සිංගප්පූරුවේ දියුණුව අපට නිතර ආදර්ශයක් වශයෙන් කියැවේ. තුන්වැනි ලෝකයෙන් ඉදිරියට යන රටක් නිර්මාණය කළ ලී ක්වාන් යූ මහතා තරුණන්ට යුද පුහුණුව අනිවාර්ය කළේය. එය ව්‍යාකූලතා තුරන් කර, විධිමත් ඉලක්කයකට රට සූදානම් කරන පදනමක් විය. රටවල් අසූ ගණනක් තරුණ, තරුණියන්ට අධ්‍යාපනය ලැබීමෙන් පසු හමුදා පුහුණුව හා සමාන ජාතික සේවා ක්‍රමවේදයකට ඇතුළත් වීම අනිවාර්ය කර ඇත. නෝර්වේ, තුර්කිය, බ්‍රසීලය, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, ඊශ්‍රායලය එයින් කිහිපයකි. අධ්‍යාපනයෙන් පසු රැකියාවක් සඳහා ප්‍රවේශ වීමට කලින් අවුරුදු 18-36 අතර වයස කාලයේදී මෙම පුහුණුව සැපැයේ. මෙහිදී තමන් ජීවත් වන පරිසරයෙන් බැහැර වන තරුණන් නිශ්චිත කාලයක් නිසි කාලසටහනකට අනුව වැඩ කරන්නට ඉගෙන ගනී. පොත පත පමණක් නොව රට ගැනත්, අනාගතය ගැනත් අවබෝධයක් ලබන සැසිවලට සහභාගි වේ.

 

විවිධ පෙළැන්තිවල හා එකිනෙකට වෙනස් ප්‍රදේශවල ජීවත් වන පිරිසක් එකම තැනකට ගෙන අතැර ඔවුන් ගත කරන කාලය තුළ විෂමතා අවබෝධ කරගනී. මෙහිදී දුප්පත් පොහොසත්, බලයක් ඇති මවුපියන්ගේ දරුවන් යන පසුබිම ඉවත් කෙරේ. පුහුණු කාලය තුළ එකම ඇඳුමක්, එකම ආහාර හා එකම ක්‍රමයකට හැසිරීමෙන් පොදු ප්‍රශ්න හා ඒවා නිරාකරණයට ගත යුතු මග අපම සොයාගත යුතු බව අවබෝධ කරගනී. සමබර ආකල්ප සහිත සමාජයක් එයින් ගොඩනැගේ. රට වෙනුවෙන් කැප වන බවට ජාතික හැඟීමක් ඇති කෙරේ. තරුණන් තුළ අලුත් අදහස් ජනිත කරන අතර ආරක්ෂක හා හදිසි ආපදා අවස්ථාවලට මුහුණ දීමට අවශ්‍ය මූලික පුහුණුව සැපැයිය හැකි වේ.

 

සිංගප්පූරුවේ පුහුණු කාලය වසර දෙකකි. ශ්‍රී ලංකාවට ගැළපෙන පරිදි තීරණය විය හැකි අතර, දීමනාවක් ද ගෙවිය යුතු වේ. වසර පනහක් දක්වා වරින් වර කෙටි පුහුණු කාලසීමා තිබිය යුතු වේ. සමාජ පෙළැන්තිය අනුව හෝ ධනය හෝ බලය ඇති තරම අනුව හෝ පුහුණුවට එන පිරිසට වරප්‍රසාද තිබිය යුතු නැත. වෛද්‍ය නිර්දේශ හැර අනෙක් කිසිම හේතුවක් පුහුණුවෙන් ගැලවෙන්නට නිදහසට කරුණක් නොවේ. සමානාත්මතාව හා සියලුම දෙනාට ඇත්තේ එකම අවස්ථාව බව සමාජයකට ඒත්තු යන්නේ මෙවැනි ව්‍යායාම හරහාය.

 

අනිවාර්ය ජාතික සේවය සඳහා පිරිවැය

 

ආරක්ෂක අංශවල නිරත වෘත්තීය පිරිස සීමා සහිත කරන හා එයින් වියදම පාලනය කරන අතර, ජාතික සේවයට කැපවූ ජන සමූහයක් ගොඩනගන පසු දැනට රට තුළ පවතින ව්‍යාකූලතා පරිවර්තනයකට ලක් වනු ඇත. අපරාධ මර්දනය සමාජයෙන් ඇරැඹේ. විනාශකාරී සිද්ධි පාලනයට සියලු දෙනා එකතු වෙති. එය ආරක්ෂක අංශවල කාර්යයක් යැයි පැත්තකට වෙන්නේ නැත. ජල ගැලීම්, ස්වාභාවික විපත් අවස්ථාවක් හමුවේ සියලු දෙනා වැඩට බැස එයින් මුදාගන්නට පසුබිමක් හැදේ. මෙම සහභාගිත්වය යුද මානසිකත්වය පාලනය කරනු ඇත. ආයුධ සහිතව පාලනය ප්‍රජාතන්ත්‍රවාදයට නොගැළපේ. රෝහලේ වර්ජනය හමුවේ ආරක්ෂක අංශ යෙදවීම සුදුසුම ක්‍රියාමර්ගය නොවේ. සුළු ආපදාවකදී පවා ආයුධ ගත් පිරිස් ඉදිරිපත් වීම සමාජයකට සුදුසු නැත.

 

යුද්ධයකට හමුදාව අවශ්‍ය නමුත් සමාජ පැවැත්මට හමුදා සහාය අනවශ්‍යය. ආරක්ෂාව සඳහා විශාල භට පිරිස් නඩත්තු කරන රටවල් යුද්ධවලින් පසු විසුරුවා හැර සමාජයට වගකීම් පවරයි. ඇෆ්ගන්, ඉරාන යුද්ධවලින් පසු කොටසක් මුදාහරින්නට ඇමෙරිකාව තීරණය කළේය. හමුදා නිලධාරීන්ට කර්මාන්ත හා ව්‍යාපාර අංශයේ ඉහළ නිලතලවලට ඇතුළු වීමට ඉඩ දෙන ලද අතර, ඒවායේ රාජකාරි කරන අතරවාරයේ තවත් ඉහළට ඉගෙන ගැනීමට ශිෂ්‍යත්ව පිරිනැමීය. ශ්‍රී ලංකාව ද තරුණන් අනිවාර්ය යුද පුහුණුව ලබාදෙන අතර ආරක්ෂක අංශවල සේවය අඩු කර විශ්‍රාම යන පිරිස ගෞරවයෙන් සමාජයට ඇතුළු කරන ක්‍රමවේද සකස් විය යුතුය. පුහුණු පිරිස නීති විරෝධී සිද්ධිවලට සම්බන්ධ වීම එයින් වැළකෙයි. ආරක්ෂක අංශවලට පහසුකම් සපයන අතර, අනිවාර්ය පුහුණුව සඳහා කරන ආයෝජනය යෝජනා කිරීම කුඩා ආර්ථිකයක් ඇති රටකට පහසු නැත. සමාජය තුළ දක්නට ලැබෙන බෙදීම් හා රට ගැන කැක්කුමක අඩු වීම හා ජන සමාජයේ ඇති ඇතැම් දුබලතා දකින විට මෙවැනි ක්‍රමවේදවලට කරන ආයෝජනය අපතේ යා නොහැකිය.

 

පුහුණුවකින් ආකල්ප වෙනස් කළ යුතු තවත් පැති

 

අනිවාර්ය යුද පුහුණු ක්‍රමවේදය, ජන සමාජයේ තවත් ප්‍රශ්නවලට උත්තර සපයනු ඇත. නොසැලකිල්ල, නොරුස්නාභාවය ඉවත් කළ හැක. තරුණන් ඉල්ලන පිළිගැනීම ඇති කළ හැකි වේ. එය තරුණ අසහන කොමිසමෙන් හෙළි වූ වැදගත් කරුණකි. අධිරාජ්‍යවාදීන් ටයි පටි පළඳින සමාජයට ගරු කරන්නට පොළඹවන ලද අතර, ආරක්ෂාව, සේවය හා කැපවීම වැනි ගුණාංග සහිත අංශ පහත්කොට සැලකීය. සම්ප්‍රදායිකව පවතින එවැනි දුබලතා තවදුරටත් ආරක්ෂා කරමින් රටකට ඉදිරියට යා නොහැක. ශ්‍රී ලංකාව දැනට මුහුණ පා ඇති අර්බුදය අලුතින් සිතන්නට අවස්ථාවකි. පැරැණි සම්ප්‍රදායික සමාජ වැරැදි ජාත්‍යන්තරයේ හෝ මෙරට අතීත සම්ප්‍රදාය අනුව යමින් නිවැරැදි කරගත යුතු මොහොතකි. රට වෙනුවෙන් කැපවන, ජාතිකාභිමානයෙන් යුතු උසස් දර්ශනයක් සකසා ගැනීම අවශ්‍යතාව බව අවධාරණය කළ යුතුව තිබේ. යුතුකම, වගකීම හා කැපවීම අරමුණු කරගත් ප්‍රතිපත්ති සඳහා සමාජයම සූදානම් කළ යුතුය. නැවතත් නැගී සිටින පියවරක් වශයෙන් අලුත් ව්‍යුහයක් ගැන අවධානය යොමු නොකරන්නේ ඇයි? වගකීම අපට ලබාගන්නා සමාජයක් නිර්මාණය කරගන්නට අනිවාර්ය යුද පුහුණුව හා එයින් ජාතික සේවයකට සූදානම් පරපුරක් බිහි කරගැනීම ගැන අවධානය යොමු නොකරන්නට හේතුව කුමක් ද?

 

මෙම ලිපිය ගැන ඔබගේ අදහස, This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ලිපිනයට දැක්වීමෙන් සංවාදයකට එකතු විය හැකිය.

 

මිලින්ද මොරගොඩ විසිනි

@Lankadeepa

නවතම ලිපි