SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පෝස්ටර්ස් ඇලවීම, තාප්ප වල ලිවීම, පාරේ ලිවීම වැනි ක්‍රියාවන් දේශපාලනික වශයෙන් වැදගත් වූ කාලය දැන් අවසන්ව ඇත.

එකල ගම්වල සිටි ප්‍රභූන් හෝ යම් "වැදගත් කමක්" දරා සිටි අයගේ එම තත්වයන් අපවාදයට ලක්කිරීම සඳහා යොදාගත් මාධ්‍යක් වූ කැලා පත්තර ඇලවිල්ල පවා මේ වනවිට අහෝසි වී ගොසිනි.

 

පෝස්ටර්ස් ඇලවීම, තාප්ප වල ලිවීම, පාරේ ලිවීම වැනි ක්‍රියාවන් අවසාන වශයෙන්, උපරිමයෙන් වැදගත් වූ සමය 1990න් පසුව අවසන් වූයේ "බුදු අම්මෝ අපි ඉවරෝ" වැනි UNP ආණ්ඩුවේ අනුග්‍රහයෙන් යුධ හමුදාව විසින් ඇලවූ පෝස්ටර් ව්‍යාපාරයෙන් පසුවය. විශේෂයෙන්ම 1987-1990 සමයේ පෝස්ටර කියවීම, පත්‍රිකා කියවීම වැනි දෑ දෛනික ජීවිතයේ අනීවාර්යතාවයක් වී තිබුණි. දේශපාලනයේදී සැලකුවහොත් 1990ට පසුව උදාවන්නේ යම් කිසිවක් සන්නිවේදනය කරනවාට වඩා දේශපාලන පක්ෂ වල සහ අපේක්ෂකයින්ගේ බලය පෙන්වීම සඳහා වූ පෝස්ටර් ව්‍යාපාරයන්ය. නමුත් සමාජ මාධ්‍ය පැමිණීමත් සමග ක්‍රම ක්‍රමයෙන් පෝස්ටර් ඇලවීම වැඩකට නැති වැඩක් බවට පත් වී, මේ වන විට එය අර්ථ විරහිත ක්‍රියාවක් බවට පත්ව ඇත.

 

අද වන විට නගර වල පෝස්ටර ඇලවිය හැකි ස්ථාන නොමැත. එබැවින් නගර වල පෝස්ටර ඇලවිය නොහැකිය. මෙසේ නගර වල පෝස්ටර ඇලවිය නොහැකි ස්ථාන නොමැති වීම සහ පෝස්ටර ඇලවීම තහනම් කිරීම තුල නගර සීමාවෙන් ඔබ්බෙහි යම් ස්ථාන වල පමණක් එසේ ඇලවිය හැකි තත්වයක් පවතී. නමුත් එසේ පොස්ටර ඇලවීම වියදම් අධික සහ කාලය වැය වන ක්‍රියාවක් බවට පත්ව ඇත්තේ යම් දිස්ත්‍රික්කකයට අදාලව ගතහොත් එම දිස්ත්‍රික්කයේ ගම්මාන පුරාවට ඇලවීමට සිදු වන බැවිනි. නමුත් එකල ප්‍රධාන නගර වල ඇලවිය හැකි තත්වයක් තිබූ බැවින් සහ බහුතරය නිතිපතා ප්‍රධාන නගර වලට පැමිණෙන බැවින් අදාළ සන්නිවේදනය සඳහා හෝ බලය පෙන්වීමට අදාළ කාරණයට වැදගත් කමක් තිබුණි.

 

අනෙක් කාරණය වන්නේ මේ වන විට පෝස්ටර්ස් බලන අය නොමැති වීමයි. පොදු ප්‍රවාහනයේ සහ, වෙනත් රථ වාහන වල යන සියලු දෙනා වටපිට නොබලන තත්වයක් උදා වී ඇත. ඔවුන් බලා සිටිනුයේ තම ජංගම දුරකථනය දෙසය. දැන් කෙනෙකුට පැවසිය හැක්කේ එවැනි ජංගම දුරකථන සහ අන්තර්ජාලය භාවිතා නොකරන විශාල පිරිසක් ද සිටින බවය. ඇත්තටම අපට නම් එවැනි පිරිස් අපගේ මේ අවධියේ කිසිඳු වැදගැම්මකට නොමැත. අප ගොඩනගන කතිකාවේ මේ මොහොත යනු අන්තර්ජාලය, සමාජ මාධ්‍ය ඇතුළු අපගේ ලේඛන කියවන, සංවාද අසන පිරිස් එක්රැස් කරගත යුතු අවධියකි. එබැවින් අප ආමන්ත්‍රණය කල යුතු අය වෙත පෝස්ටර ඇලවීම යනු ඵල රහිත මුග්ධ ක්‍රියාවකි.

 

මැතිවරණ වලට තරඟ වදින ප්‍රධාන දේශපාලන පක්ෂ වලට අදාලව ගතහොත්, රැස්වීම් සංවිධානයේදී පෝස්ටර ඇලවීම තවමත් යම් තාක් දුරකට වලංගු වන බව සිතිය හැක. ඊට අමතරව දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් විසින් තවමත් එවැනි දෑ කරනුයේ ප්‍රධාන වශයෙන්ම හුදු බලය පෙන්වීමේ ක්‍රියාවන් ලෙසම පමණි. නමුත් එවැනි තත්වයක් අප වැනි කණ්ඩායමකට කිසි ලෙසකින් අදාළ නොවේ. අපගේ රැස්වීමක් සංවිධානය කරන්නේ නම් අහම්බෙන් පෝස්ටරයක් දැක පැමිණෙන අයෙකු යනු දෙපාර්ශවයම මුලා වීමකි. එසේ නොමැති නම් මෙසේ පෝස්ටර ඇලවීම සිදු කල යුත්තේ තමන්ට නැති බලයක් ඇති බව කාට හෝ පෙන්වීම සඳහාය.

 

bm 

පෝස්ටරයක් කොහේ හෝ අලවා එය සමාජ මාධ්‍ය වල (විශේෂයෙන් ෆේස්බුක්හි) පල කිරීමට අවශ්‍ය වන්නේ ඇයි? මෙන්න අපි පෝස්ටර්ස් ගහලා... කොහොම ද අපේ හයිය... අපි දැන් ලොකු ව්‍යාපාරයක්!වැනි ස්වයං වින්දනීයත්වයක් නැවත ලබා ගත හැක්කේම ඒවා සමාජ මාධ්‍ය තුල පලකිරීමෙන්ම පමණි. ඒ පෝස්ටර් බලන හෝ දකින අය දැන් සමාජයේ විරල බැවින් සේම මෙවැනි පෝස්ටරයක් අදාල වන අය අනීවාර්ය ලෙසම සමාජ මාධ්‍ය පරිශීලනය කරන බැවින්, සහ ඔවුන්ගේ පෝස්ටරය දැකිය යුතු අය අනීවාර්ය ලෙසම සමාජ මාධ්‍ය පරිශීලනය කරන බව ඔවුන් ද දන්නා බැවිනි. පෝස්ටර්ස් ඇලවීම පමණක් නොව පුවත්පත්, සඟරා, පත්‍රිකා, බුක් මාක්ස් වැනි සන්නිවේදන ක්‍රම වල වලංගුතාවය මේ වන විට අහෝසි වේ ගොස් අවසන්ය.

 

මෙවැනි ක්‍රියාවන් සිදු කරන මේ කිහිප දෙනා අපගෙන් වෙන්වූයේ ද මේ මොහොතේ දේශපාලනිකව අපහසු ක්‍රියාව මගහරිමින්, ඊට වංචා කරමින්, ඔවුනට වඩා පහසු මෙවැනි මුග්ධ ක්‍රියා වලට අප එකඟ නොවූ බැවිනි. මෙවැනි ක්‍රියාවන් සඳහා ප්‍රමුඛත්වය ගන්නා අය දේශපාලන අවබෝධාත්මක වශයෙන් තවමත් පසුවනුයේ විජේවීරගේ ජවිපෙ සීමාවේය.

නවතම ලිපි