SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාඨලී චම්පික රණවක යනු ඔහු නියෝජනය කරන දේශපාලන පරම්පරාවේ විශිෂ්ටයාය. ඔහු බුද්ධිමතෙකි. දක්ෂ කථිකයෙකි. සමාජ, ආර්ථික සහ දේශපාලන පිළිබඳ තියුණු විශ්ලේෂකයෙකි.

ජාත්‍යන්තර භූ දේශපාලනය පිළිබඳ මනා අවබෝධයක් ඇත්තෙකි. ඔහුට ලෝක ඉතිහාසයේ වැදගත් සිදුවීම් දින වකවානු සහිතව අපූරුවට පැහැදිලි කළ හැකිය. ඔහු විද්‍යාර්ථයෙකි. වෘත්තීයෙන් ඉංජිනේරුවෙකි. ඔහු කැබිනට් ඇමතිධූර දරන සමයේ එම ධූර බැබළ වූ බවට වාදයක් නැත. සරළ භාෂාවෙන් පැවසුවහොත් “අංක එකේ වැඩ්ඩෙකි”.

 

ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතා සහ භූ දේශපාලන බලපෑම්

 

අපේ රට ආර්ථික වශයෙන් බංකොලොත්ව ඇති මෙවැනි මොහොතක අවම මට්ටමින් ඔහු  සිටිය යුත්තේ ප්‍රබල කැබිනට් ඇමතිධූරයක් දරමිනි. එහෙත් රටේ මෙන්ම ඔහුගේ අවාසනාවකට එය එසේ සිදුවී නැත. ඒ වෙනුවට ඔහුට බල දේශපාලනය වෙනුවෙන් නව පක්ෂ මෙන්ම නව දේශපාලන පෙරමුණු  බිහි කිරීම වෙනුවෙන් තම වටිනා කාලය විනාශ කිරීමට සිදුව තිබේ. එයට අමතරව ඔහු පසුගිය කාලයේ යූ ටියුබ් නාලිකාවක් සමඟ ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතා සහ භූ දේශපාලන බලපෑම් පිළිබඳ වැඩ සටහන් මාලාවකට ද සම්බන්ධව සිටියි.

 

චම්පික රණවක යනු පොත් “කාවෙකි”

 

අපේ අවධානයට ලක් වන්නේ මේ යූ ටියුබ් වැඩසටහන් මාලාව වෙතටය. චම්පික රණවක සම්බන්ධ වන මේ වැඩසටහන ඉතා වැදගත් වන්නේ ඒ හරහා ජාත්‍යන්තර දේශපාලන පිළිබඳ අවබෝධයක්  ලබා ගැනීමට සයිබර් අවකාශයේ සැරිසරන පොදු ජනතාවට හැකිවීමයි. චම්පික රණවක යනු පොත් “කාවෙකි”. කුඩා කාලයේ සිට අද දක්වාම ඔහු කියවීමේ පිපාසයෙන් පෙළෙයි. එසේ  ඒකරාශී කරගත් තොරතුරු  සම්භාරය ඔහු  මේ යූ ටියුබ් වැඩසටහන් මාලාව හරහා දැනුම් පිපාසයෙන් සිටින ජනතාවට බෙදා දෙයි. ඔහුට ද මේ හරහා යම් දේශපාලන වාසියක් ඇත. භූ දේශපාලන බලපෑම් පිළිබඳ මනා අවබෝධයක් සහිත බුද්ධිමත්  දේශපාලඥයකු ලෙස ප්‍රතිරූපයක් නිර්මාණය කර ගැනීමට එමගින් ඔහුට හැකි වනු ඇත.

 

චම්පිකට මෙන්ම රසික ජයකොඩිට ද ජාතික ජන බලවේගය ඇලජික්වීම

 

මේ වැඩසටහන මෙහෙයවන්නේ රසික ජයකොඩි ය. රසික එජාප ආධාරකරුවෙකු වශයෙන් ප්‍රකටය. පසුව ඔහු සජිත්ගේ සමගි ජන බලවේගයේ තරුණ සංවිධානයේ ප්‍රධානියෙකු වශයෙන් කටයුතු කළේ ය. පසුගිය අරගලය සමයේ බිහිවූ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ කැඳවුම්කරු බවට පත්වූ ඔහු වර්තමානයේ ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ කැඳවුම්කරුය. චම්පිකට මෙන්ම රසිකට ද ජාතික ජන බලවේගය (NPP) සහ ජනතා විමුක්ති පෙරමුණ “ඇලජික්”ය. ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතා පිළිබඳ කරන සාකච්ඡා අතර දෙදෙනාම NPPට ඔලොක්කුවට සිනහා වෙනු දැකිය හැකිය. ඔවුන් සිනහා වන්නේ NPP ප්‍රතිපත්ති ඉලක්ක කරගෙනය. සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති, කම්කරු පංති ආඥාදායකත්වය, ඉදිරි NPP ආණ්ඩුවක් යටතේ සිදු වන විරුද්ධවාදීන් මර්දනය , රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසිවීම වැනි ඉදිරි තත්ත්වයන් පිළිබඳව ඔවුහු නිතර ඉඟි කරති. ජනතාවට අනතුරු හඟවති.ඒ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියයි. ඒ පිළිබඳ අපට කිසිදු ගැටළුවක්  නැත.

 

“මෙම ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතා වැඩ සටහන් මගින් උත්කර්ෂවයට නංවනු ලැබූවේ ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියාවේ පුටීන්, තුර්කියේ එර්දෝගන්, ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි, චීනයේ ෂි ජින්පින්, හංගේරියාවේ වික්ටර් ඕබාන්, සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මන්, ඉරාන අයතුල්ලා ඇතුළු වර්ගවාදී, ජාතිවාදී, ෆැසිස්ට් ඒකාධිපති නායකයන්ය.”

 

වර්ගවාදී, ජාතිවාදී, ෆැසිස්ට් ඒකාධිපති නායකයන්ට හුරේ දැමීම

 

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ඇති විය හැකි ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති පාලනයක් පිළිබඳ අනතුරු හඟවන පාඨලී චම්පික රණවක සහ රසික ජයකොඩි ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවන් විය යුතුය. අවම වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංග වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එහෙත් පසුගිය කාලය පුරාම ඔවුන්ගේ ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතා වැඩ සටහන් මගින් උත්කර්ෂවයට නංවනු ලැබූවේ ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියාවේ පුටීන්, තුර්කියේ එර්දෝගන්, ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි, චීනයේ ෂි ජින්පින්, හංගේරියාවේ වික්ටර් ඕබාන්, සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මන්, ඉරාන අයතුල්ලා ඇතුළු වර්ගවාදී, ජාතිවාදී, ෆැසිස්ට් ඒකාධිපති නායකයන්ය.

 

චම්පිකගේ “අපේ නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා”

 

මේ නායකයන්ට පාඨලී චම්පික රණවක කොතරම් ආශක්තවී ඇත්තේ දැයි ප්‍රදර්ශනය වන්නේ ඇතැම් අවස්ථාවන්හිදී ඔහු  “අපේ ඩොනල්ඩ් ට්‍රම්ප්”, “අපේ නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා”  යැයි හඳුන්වන විට දීය! “කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ” යැයි පවසන්නේ මෙවැනි අවස්ථාවන්ටය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු  රාජපක්ෂ බයියෝ පෙනී සිටින්නේ ද ඉහත නායකයන්ගේ  වර්ගවාදී, ජාතිවාදී, ෆැසිස්ට් වැඩපිළිවෙළ වෙනුවෙනි. ඔවුන්ගේ බයි ලෝකයේ වීරයන් වන්නේ රාජපක්ෂ පවුල ඇතුළු මේ ෆැසිස්ට් නායකයෝ ය.

 

ගෝඨාභයගේ සිංහල බෞද්ධ වර්ගවාදයට මුට්ටිය දාන “පොත”

 

රාජපක්ෂ දේශපාලනයේ පදනම වන්නේ  සිංහල බෞද්ධ වර්ගවාදය, ආගම්වාදය, ජාතිවාදයයි. මේ සඳහා ඉදිරිපත් කළ හැකි නවතම නිදසුන වන්නේ “ජනාධිපති ධුරයෙන් මා නෙරපු කුමන්ත‍්‍රණය’ යනුවෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් “රචනා” කරන ලදැයි කියන පඩංගුවයි. එය යළිත් වරක්  සිංහල බෞද්ධ වර්ගවාදයට මුවාවී යළිත් වතාවක් රාජපක්ෂ පවුලට බලය ලබා ගැනීමට මුට්ටිය දැමීමකි.

 

“සිංහලයන් සහ විශේෂයෙන්ම සිංහල බෞද්ධයන් දැන් යළිත් දෙවැනි පෙළට වැටී ඇත. බෞද්ධ සංස්කෘතිය, ඉතිහාසය සහ සම්ප්‍රදායන් යළිත් උපහාසයට හා අපහාසයට ලක් වෙමින් පවතී…ඇතැම් භික්ෂුන් වහන්සේලා තනි තනිව අවමානයට ලක් වෙමින් සිටින අතර, පොදුවේ මහා සංඝරත්නයට ද අපහාස විඳීමට සිදු වී තිබේ. පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන විවිධ පාර්ශ්ව විසින් ඉලක්ක කර ගනිමින් තිබේ. පන්සල්වල අලි ඇතුන් ප්‍රශ්නය පවා නැවත වරක් කරළියට පැමිණ තිබේ….දේශපාලනඥයෝ සිංහලයාගේ සහ සිංහල බෞද්ධයාගේ අයිතීන් තහවුරු කරනවාට වඩා මැතිවරණවල දී ඡන්ද ලබා ගැනීම සඳහා සුළු ජාතීන් ගැන වැඩියෙන් සොයා බැලීමට උනන්දු වෙති.” ගොනා හැරෙන්නේ පොල් පැලය කෑමට බව ඉතා පැහැදිලිය.

 

ඩොනලඩ් ට්‍රම්ප්ගේ මඩ වගුරට වැටුණු ගෝඨා

 

“එක වර්ගයේ කුරුල්ලන් එකට වහනවා” යන අදහස යළිත් වරක් තහවුරු කරමින් ගෝඨාභය රාජපක්ෂ සිය පඩංගුව පුරාවට ඇමරිකාවේ ඩොනලඩ් ට්‍රම්ප්ව උත්කර්ෂවයට නංවයි.  “2016 දී ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස තේරී පත්වීම එයට හොඳ උදාහරණයකි. ඒ ලෝක ව්‍යාප්ත ප්‍රවණතාවයේ මම ද කොටස්කරුවකු වූයෙමි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ විට ඔහුගේ ආකර්ෂනීය සටන් පාඨයක් වූයේ ඔහු ‘මඩ වගුර ගොඩ කිරීමට’ යන බවයි. මම ද මඩ වගුර ගොඩ කිරීමට උත්සාහ දැරුවෙමි”. මේ දෙදෙනා ම වර්ගවාදී, ජාතිවාදී, ෆැසිස්ට්වාදී දේශපාලන නරුමයන්ය.

 

රාජපක්ෂ බයියන්ගේ “බටහිර කුමන්ත්‍රණ”

 

රාජපක්ෂ බයියෝ මානව හිමිකම්, මාධ්‍ය නිදහස, කාන්තා නිදහස ඇතුළු සියළු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් “බටහිර කුමන්ත්‍රණ” ලෙස දකිති. රාජපක්ෂ දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී සංවාද, කථිකා, විවාද නැත. ඇත්තේ ෆැසිස්ට් ප්‍රහාර ප‍මණි. රාජපක්ෂලා බයියෝ ඩොනල්ඩ් ට්‍රම්ප්, පුටීන්, එර්දෝගන්, නරේන්ද්‍ර මෝඩි, ෂි ජින්පින්, ඉරාන අයතුල්ලාට විසිල් ගැසීම පුදුමයක් නොවෙයි. රාජපක්ෂ බයියන්ගේ “තම්බින්නට කෙළවීමේ” අවශ්‍යතාව සඳහා  ඩොනල්ඩ් ට්‍රම්ප්, නරේන්ද්‍ර මෝඩි අපූරු වීරයන්ය. ප්‍රජාතන්ත්‍රවාදය විනාශකර ෆැසිස්ට් පාලනයක් ගෙනයෑම සඳහා පුටීන් සහ ඉරාන අයතුල්ලාලා කදිම ආදර්ශන්ය. බටහිර විරෝධී ක්‍රමන්ත්‍රණ සඳහා පුටීන්, එර්දෝගන් සහ ෂි ජින්පින්ලා බයි වීරයෝ වෙති.

 

බයි හමුදාව ෆැසිස්ට්වාදීන්ට විසිල් ගැසීම

 

රාජපක්ෂ රෙජීමය පවත්වාගෙන ගියේ පුටීන්, එර්දෝගන්, මොහොමඩ් බින් සල්මන්, ඉරාන අයතුල්ලාගේ ෆැසිස්ට් ක්‍රමයටය. දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පලිගත්තේ ය. ඔවුන්ට බොරු චෝදනා ඉදිරිපත් කර සිරගත කළේ ය. අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කළේ ය. තමන්ට අවශ්‍ය අධිකරණ තීන්දු ලබා ගැනීමට අගවිනිසුරුන් පවා ඉවත් කළේ ය. මාධ්‍ය මර්දනය ක‍ළේ ය. “ලංකා ඊ නිවුස්”, “සියත”, “සිරස” ඇතුළු උතුරේ සහ දකුණෙහි මාධ්‍ය ආයතන ගණනාවක්  ගිනි තබා විනාශ කළේ ය. රෙජීමය විවේචනය කළ, දූෂණ හෙළි කළ මාධ්‍යවේදීන් ඝාතනය කළේ ය. මේ ලැයිස්තු දිගුය. එබැවින් රාජපක්ෂලාට වන්දනාමාන කරන බයි හමුදාව ෆැසිස්ට්වාදීන්ට විසිල් ගැසීම පුදුමයකට හේතුවක් නොවෙයි.

 

දේශපාලන අවස්ථාවදය ද?

 

එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවන් වශයෙන් පෙනී සිටින පාඨලී චම්පික රණවකලා මේ වර්ගවාදී, ජාතිවාදී, ෆැසිස්ට් නායකයන්ට විසිල් ගසන්නේ ඇයි? රාජපක්ෂ බයියන් සමඟ එකට සිට ගන්නේ මන්ද? මෙය හුදු දේශපාලන අවස්ථාවාදය ද? මේ දෙපාර්ශවය අතර වෙනසක් නොමැති ද? යන ප්‍රශ්න මතුවෙයි. චම්පිකට මෙන් අපට තොරතුරු  ගලා එන්නේ එකම මහජන අවකාශයකින්ය. එබැවින් අපට නොලැබෙන තොරතුරු ඔහුට ගලා ආ නොහැක.

 

නරේන්ද්‍ර මෝඩි “අපේ අගමැතිවීමේ” කරුමය

 

එහෙත් එම තොරතුරු ඔහු තමා බැතියෙන් සළකන ඒකාධිපති නායකයන් උත්කර්ෂයට නැංවීම සඳහා අවභාවිතා කරනු දැකිය හැක. ඒ සඳහා නිදසුන් දුසිම් කිහිපයක් ගෙන හැර දැක්විය හැක. එහෙත් අප මෙහිදී අපේ අසල්වැසි රට වන ඉන්දියාවෙන් නිදසුන් දෙකක් ඉදිරිපත් කරමු.  අගමැති නරේන්ද්‍ර මෝඩි යනු RSS ෆැසිස්ට් සංවිධානය හරහා ඉන්දියාව හින්දු මූලධර්මවාදී රටක්  බවට පරිවර්තන කරමින් සිටින අන්ත ජාතිවාදී  ඒකාධිපති නායකයෙකි. ඔහු පසුගිය කාලය පුරාම ඉන්දියාවේ ව්‍යවස්ථාපිත ලෞකික රාජ්‍යය (Secular state) හින්දු රාජ්‍යයක් බවට පරිවර්තනය කරමින් සිටියි. ඔහු මාධ්‍ය, විපක්ෂය, නිදහස් බුද්ධිමතුන්, මුස්ලිම් ඇතුළු සුළු ජාතීන් දැඩිව මර්දනය කරමින් සිටියි.

 

චම්පිකගේ මෝදි මිථ්‍යාව

 

චම්පික “අපේ නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා” යැයි හඳුන්වන ඉන්දියානු අගමැති මෝදිට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කර තිබූ නමුත් දැන් රතු පලස් එලා ඔහුව “පිළිගන්නා” බව පවසයි. ඇමරිකාව මෝදි ඉදිරියේ දණ ගසා ඇති බව ඔහු ආඩම්බරයෙන් අපට කියා සිටියි. එහෙත් සත්‍ය එය නොවෙයි. අපට වඩා හොඳින් ඔහු එය දනියි. නරේන්ද්‍ර මෝදිට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කර තිබුණේ ඇයි? ඔහු ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති වශයෙන් කටයුතු කළ අවධියේ එහි මුස්ලිම් ජනතාවට එරෙහිව සිදු කළ ජන සංහාරයට සෘජුවම වගකිව යුතු බවට චෝදනා එල්ල විය. බටහිර මාධ්‍ය ඔහුව හැඳින්වූයේ “Butcher of Gujarat” යනුවෙනි. ඒ සිද්ධියේදී  මෝදිගේ හින්දු අන්තවාදී ආධාරකරුවෝ අහිංසක මුස්ලිම් ජනතා දහස් ගණනක් අමුඅමුවේ ඝාතනය කළහ. මෝදිට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කර තිබුණේ මේ සිද්ධිය හේතුවෙනි. එහෙත් ඔහු ඉන්දියාවේ අගමැතිධූරයට පත්වූ පසුව එම තහනම ඉවත් කිරීමට ඇමරිකානු රජය තීරණය කළේ ය. ඒ මෝදිට බියවීම නිසා නොව රාජ්‍ය නායකයෙකුට එරෙහිව එවැනි තහනමක් පැනවීම ජාත්‍යන්තර රාජතාන්ත්‍රික ගිවිසුම් උල්ලංඝනය කිරීමක් බැවිනි. මෝදි ඉන්දියාවේ අගමැති නොවුනා නම් අදටත් ඔහුට ඇමරිකාවට ඇතුළුවීමට නොහැකිය.

 

කැනඩාවට යුධ ප්‍රකාශ කිරීම

 

“අපේ නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා” ගේ රාජ්‍ය ත්‍රස්තවාදයට ඇමරිකාව බියවී සිටි බවට පාඨලී චම්පික රණවක තවත් මහා කෙබරයක් මේ වැඩසටහනක අතහරියි. තම දේශපාලන සතුරන් විදේශ රටවලදී ඝාතනය කරන්නේ රුසියාවේ පුටීන්,  උතුරු කොරියාවේ කිම් ජොන් උන් වැනි මිනීමරුවන් පමණි. මේ ලැයිස්තුවට අලුතින්ම එක්වී ඇත්තේ චම්පිකගේ “අපේ නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා” ය. මේ සිද්ධිය ආරම්භ වන්නේ කැනඩාවේ ජීවත්වූ සීක් බෙදුම්වාදී නායකයෙකු වන ජාතික හර්දීප් සිං නිජ්ජර් (Hardeep Singh Nijjar) ඝාතනය කිරීම සමගිනි.  ඒ පිළිබඳව කැනඩා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළ අගමැති ජස්ටින් ටෘඩෝ මේ ඝාතනයට මෝදිගේ ආණ්ඩුව සම්බන්ධ බවට චෝදනා කළේ ය. එහෙත් ඒ පිළිබඳ කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට කැනඩා බලධාරීන්ට නොහැකි විය. මේ සිද්ධියෙන් පරල වූ මෝදි ආණ්ඩුව කැනඩාවට අවලාද ප්‍රහාරයක් එල්ල කළේ ය.

 

පුක කසා ගැනීමට නියපොත්තක් නැති අලි සබ්රිගේ  පඩෂෝ

 

ඉන්දියාවේ සිටින කැනඩා රාජත්‍රාන්ත්‍රික නිළධාරීන් හතළිස් දෙනෙකුට සතියක් ඇතුළත රටින් පිටව යන ලෙස මෝදි ආණ්ඩුව දැනුම් දුන්නේ ය. මෙය “බටහිර ක්‍රමන්ත්‍රණ සහ තර්ජන” යැයි අර්ථ දක්වමින් මෝදි හිතවාදී  මාධ්‍ය මහ මැතිවරණ ඉලක්ක  කරගත් ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ  කළේ ය. ඉන්දීය විදේශ ඇමති ජයශංකර් කැනඩා විරෝධී ප්‍රහාරයේ මහ මොළකරු විය. පුක කසා ගැනීමට නියපොත්තක් නැති අපේ විදේශ ඇමති අලි සබ්රි නැමති රාජපක්ෂ සට්ටම්බිරාළ ද සහය ගායනයට එක්වී සිටියේ ය.

 

ඇමරිකානු උගුලට අසුවූ ඉන්දියානු ඒජන්තයා

 

මේ සිද්ධියට සමගාමීව ඇමරිකාවේ ජීවත්වන සීක් බෙදුම්වාදී නායකයෙකු වන Gurpatwant Singh Pannun ඝාතනය කිරීමට මෝදි ආණ්ඩුවේ ඒජන්තවරු සැලසුම් කළහ. ඇමරිකානු බලධාරීහු  ඒ පිළිබඳ දැන ගෙන සිටි අතර අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට උපාය දූතයන් යෙද වූහ. ඒ උපක්‍රමය සාර්ථක වූ අතර අදාළ ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදීමට උත්සාහ කළ ඉන්දියානු ඒජන්තයා අත්අඩංගුවට ගැනිණි. පසුගිය දෙසැම්බර් මාසයේ මේ ඝාතන කුමන්ත්‍රණය ලොවට  හෙළි කරමින් ඇමරිකානු නීතිපතිවරයා පවසා සිටියේ සැකකරුට විරුද්ධව නිව්යෝර්ක් ප්‍රාන්තයේ නඩු පවරන බවයි. ඒ පිළිබඳ ඇමරිකාවේ Department of Justice නිකුත් කළ නිවේදනයට මෙතැනින් පිවිසිය හැක https://www.justice.gov/opa/pr/justice-department-announces-charges-connection-foiled-plot-assassinate-us-citizen-new-york

 

විදේශ පුවත් සේවා වාර්තා කළ අන්දමට, එම අත්අඩංගුවට ගැනීම සිදුවූ සතියේ ම ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක Jon Finer ඇතුළු කණ්ඩායමක් ඉන්දියාව බලා ගියේ ය.

 

“අපේ’ නරේන්ද්‍ර මෝදි අගමැතිතුමාට මීක් නැතිවීම

 

ඔවුහු ඇමරිකානු භූමියේ මෙවැනි ඝාතන ඉදිරියේදී සිදු කිරීමට උත්සාහ කළහොත් “බඩු බනිස්” වන බවට ඉතා පැහැදිලි පණිවිඩයක් මෝදි ආණ්ඩුවට ලබාදීමට කටයුතු කළහ.  චම්පිකගේ “අපේ නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා” එම ඇමරිකානු තර්ජනය ඉදිරියේ මීක් හඬක් නැගුවේ නැත. ඇමරිකානු අත්අඩංගුවේ පසුවන ඉන්දීය ඒජන්තවරයා නිදහස් කරන ලෙසට ඔහු තර්ජනය කළේ ද නැත. ඉන්දියාවේ සිටින ඇමරිකානු තානාපති නිළධාරීන් එළවා දැමුවේ ද නැත. අගමැති මෝදිගේ Godi media “ඇමරිකානු කුමන්ත්‍රණ” පිළිබඳ කථා ගෙතුවේ ද නැත. විදේශ ඇමැති ජයශංකර්ගේ වගාඩම්බර  කථා ඇසුනේ ද නැත. චම්පිකගේ “අපේ නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා” ට ඇමරිකාව ‘බිය’ වූයේ එලෙසය.

 

චම්පිකට එරෙහි කුමන්ත්‍රණක්?

 

චම්පික රණවක ලොව පුරා සිටින ඒකාධිපති නායකයන් උත්කර්ෂවයට නංවන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙකු බව කියා ගන්නා රසික ජයකොඩිගේ භූමිකාව කුමක් ද? ඔහු චම්පිකගේ මේ අසත්‍ය සහ අර්ධ සත්‍යයන්ට එරෙහිව කිසිම අභියෝගයක් කරන්නේ  නැත. ඔහු චම්පිකට හූ මිටි තබනවාට වඩා කටක් අරින්නේ ද නැත. එයින් හැඟෙන්නේ ඔහුට චම්පිකට අභියෝග කිරීමේ බුද්ධිමය ධාරිතාවක් නොමැති බවයි. එසේ නොමැති නම් ඔහු චම්පිකට බොරු වලක් කපා නිහඬව සිටින බවයි. ඇතැම් විට මේ කරුණු දෙකම විය හැකිය. මෙය චම්පිකව උගත් මධ්‍යම පංතිය අතර අප්‍රසාදයට පත් කිරීමේ සියුම් කුමන්ත්‍රණයක කොටසක් ද විය හැක.

 

චම්පිකට බලය නොදිය යුතුය යන මතය තහවුරු වෙයි ද?

 

චම්පිකය යනු භයානක අධිකාරීවාදී, ඒකාධිපති චරිතයක් බවත් ඔහුට කිසිදු විටෙක දේශපාලන බලයක් ලබානොදිය යුතුය යන මතයක් කාලයක සිට සමාජ ගත කර තිබේ. එය ඔහුගේ ඉදිරි දේශපාලන ගමනට අද තිබෙන එක් ප්‍රධාන බාධකයකි. රසික ජයකොඩි සමඟ ඔහු මේ වැඩසටහන් මාලාව හරහා එම සමාජ මතය වඩාත් තහවුරු වන බව කණගාටුවෙන් වුවද පැවසිය යුතුය. ඔහු ලොව පුරා සිටින ඒකාධිපති නායකයන් උත්කර්ෂවයට නංවන අන්දම අසා සිටින ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ගරු කරන ඕනෑම පුරවැසියෙකු බියට පත්වීම නොවැළැක්විය හැකිය.

 

හරි පාරට ආ චම්පික යළි කැලෑ වදියි ද?

 

පාඨලී චම්පික රණවකගේ සිංහල බෞද්ධ ජාතිකවාදී දේශපාලනය ගමනක අවසානයකට පැමිණ ඇති බව සෑහෙන කලකට පෙර අපි පෙන්වා දුන්නෙමු. ඒ වන විට ඔහු 43 වන සේනාංකය හෝ එක්සත් ජනරජ පෙරමුණ නිර්මාණය කර තිබුණේ නැත. චම්පිකට ජාතික නායකයෙකු බවට පත්වීමට අවශ්‍ය නම් ඔහුගේ කකුලේ බැඳ තිබෙන ඊයම් බරුව වන සිංහල බෞද්ධ ජාතිකවාදය ඉවත දැමිය යුතු බවට අපි  යෝජනා කළෙමු. වසර 2019 සැප්තැම්බර් 30 වන දා පල කළ  “පාඨලී ‌මේ පාරෙන් එන්න..!” ලිපියට මෙතැනින් ප්‍රවේශ විය හැකිය 

 

අපගේ ලිපියෙන් කලකට පසුව ඔහු අප පැහැදිලි කළ මාවතට ප්‍රවේශ විය. අපේ ලිපියෙන් බලපෑමක් වූවාද නැති ද යන්න මෙහිදී වැදගත් නැත. වැදගත් වන්නේ ඔහු නිවැරදි මාර්ගයට ප්‍රවේශ වීම පමණි. ඒ බව 43 වන සේනාංකය සහ එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශන නිරීක්ෂණය කරන විට එය පැහැදිලිය.

 

උතුරේ ජනතා හදගැස්ම තේරුම් ගැනීමේ උත්සාහය

 

පසුගිය කාලයේ චම්පික උතුරේ සංචාරය කළේය. එහිදී ඔහු දෙමළ දේශපාලඥයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, තරුණ කණ්ඩායම්, දෙමළ මාධ්‍යවේදීන්, සහ විශේෂයෙන්  හිටපු එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරීන් මුණ ගැසී සමාජ, දේශපාලන කථිකාවකට සම්බන්ධ විය. එහිදී චම්පිකගේ  සිංහල බෞද්ධ ජාතිකවාදී දේශපාලනය උතුරේ  දෙමළ ජනතාවගේ දැඩි විවේචනයට ලක්විය. ඒ විවේචන සියල්ල සාවධානව අසා සිටි ඔහු තම මතය ඉතා සංයමයෙන් ඉදිරිපත් කළේ ය. සංවාද උණුසුම් වූ නමුත් දෙපාර්ශවයම වඩාත්  එකිනෙකාට විවෘත විය. එය ධනාත්මක ප්‍රවේශයක් මෙන්ම යහපත් ප්‍රවනතාවයක් බව කිව යුතුය. එය දෙපාර්ශවයටම පහසු මාර්ගයක් නොවෙයි. එහෙත් ඒ අභියෝගය ජය ගැනීමේ පෙර මඟ ලකුණු දැනටම ප්‍රදර්ශනය කර තිබෙන බව අපේ විශ්වාසයයි.

 

දශක ගණනක් පුරා අප ඇසූ “ගෝලීය දකුණ” ගැන වාගාඩම්බර කථා 

 

“ගෝලීය දකුණ” ලෝක බලවතා වන බවට චම්පික රණවක අද  කියන සුරංගනා කථා අපි දශක ගණනාවක් පුරා අසා ඇත්තෙමු. පිලිප් ගුණවර්ධනගේ සිට මහාචාර්ය තිස්ස විතාරණ දක්වාත්, දොස්තර  එස්. ඒ වික්‍රමසිංහගේ සිට ඩිව් ගුණසේකර දක්වාත්, රෝහණ විජේවීරගේ සිට ටිල්වින් සිල්වා දක්වාත් මේ සුපුරුදු සූත්‍රය ඉදිරිපත් කළහ. ධනේශ්වර වෙළෙඳ පොළ ක්‍රමය අවසානයක් කරා ලඟාවන බවත් “ගෝලීය උතුරේ” ආධිපත්‍යය බිඳ වැටෙන බවටත් ඔවුහු කැට තබා ප්‍රකාශ කළහ. එහෙත් පසුගිය දශක ගණනාව පුරා සිදුව ඇත්තේ කුමන අඩුපාඩු මත වුවද ධනේශ්වර වෙළෙඳ පොළ ක්‍රමය ඉදිරියට යෑම පමණි. චීනය ආර්ථික බලවතෙකු බවට පත්ව සිටින්නේ තම කොමියුනිස්ට් ක්‍රමය වෙනුවට ධනවාදී වෙළඳ  පොළ ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙනි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය  සහ ඒ සඳහා වන නිදහස් මැතිවරණ දැනට ලොව පවතින ඉදිරිගාමී  පාලන ක්‍රමවේදයයි. ඒකාධිපති අධිකාරීවාදයෙන් හෝ හමුදා පාලන මගින් ස්ථාවර ආර්ථික වර්ධනයක් අත්පත් කරගත් රටවල් නොමැත.

 

ජාතිකවාදී දේශපාලන පෙකණි වැල කපා දැමීමේ අභියෝගය

 

ජාතික ජන බලවේගයේ  සහ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් යටතේ ඇතිවිය හැකි අධිකාරීවාද,  ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රවනතා ගැන අනතුර අඟවන චම්පික රණවකම එම වර්ගයේ ඒකාධිපති ලෝක නායකයන් උත්කර්ෂවයට නංවයි. රාජපක්ෂ බයියන්ගේ වීරයන් බවට පත්ව සිටින වර්ගවාදී, ජාතිවාදී, ෆැසිස්ට් නායකයන්ට ඔහු ද විසිල් ගසයි. මේ පරස්පරයන්, ප්‍රතිවිරෝධීතා අප තේරුම් ගත යුත්තේ කෙසේ ද? මෙය දශක කිහිපයක් පුරා චම්පික රණවකව බැඳ දමා තිබූ ජාතිකවාදී දේශපාලන පෙකණි වැල සම්පූර්ණයෙන් කපා දැමීමට නොහැකිවීමේ අර්බූදයයි. මේ සංකීර්ණ අර්බූදය ජය ගැනීමට චම්පිකට හැකි බව අපේ විශ්වාසයයි. එහෙත් මෙය පහසු කටයුත්තක් නොවෙයි. මේ මොහොතේ අපට කළ හැකි වන්නේ ඒ සඳහා චම්පිකට  ශක්තිය, ධෛර්යය මෙන්ම බුද්ධිය පහළ වේවා යැයි අවංකව ප්‍රාර්ථනා කිරීම පමණි.

 

@ ආනුභාවනන්ද විසිනි.

(ලංකා ඊ නිව්ස් -2024.මාර්තු.14)

නවතම ලිපි