SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • මෛත්‍රී ඉවත්කළ අය නැවත තනතුරුවලට..

 

  • පක්ෂයේ මහගෙදර බලය චන්ද්‍රිකා ට...!

 

  • ඡන්දය වෙනුවෙන් පුළුල් පෙරමුණකට සාකච්ඡා අරඹයි...

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තනතුරුවලින් ඉවත්කර සිටි එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන ජ්‍යෙෂ්ඨයින් කොළඹ ඩාලි පාරේ පිටිහි එම පක්‍ෂ මූලස්ථානයට අද (4) පස්වරුවේ පැමිණ නැවත රාජකාරි ආරම්භ කර ඇත.

 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තිදෙනා පක්‍ෂයේ තනතුරුවලින් ඉවත්කිරීමට පසුගිය සතියේ පියවර ගත් අතර එම මහත්වරුන්ට දැරූ තනතුරුවල කටයුතු කිරීමට අධිකරණයෙන් නියෝගයක් ලැබීමෙන් පසුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක චන්ද්‍රිකා බණ්ඩාඑරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිවරියගේ උපදෙස් මත ය.

 

ඔවුහු මුලස්ථානයට පැමිණ පළමුවෙන්ම එහි සේවකයන් කැඳවා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් දී ඇති අතර පක්‍ෂයේ ක්‍රියාකාරීන් කණ්ඩායමක් සමඟ ද සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

ඔවුන්  තිදෙනා ඇතුළු කණ්ඩායම එම කටයුතුවලින් පසුව ඩාලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් ද පැවැත්වීය.

 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධූරයේ කටයුතු තහනම් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට අධිකරණයෙන් පැනවූ වාරණයත් සමඟ එම පක්‍ෂය නව ගමනක් ආරම්භ කරන බවත් පක්‍ෂය හැර ගිය සියලුම දෙනාට එම ගමන සඳහා ආරාධානා කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද (4) පැවසීය.

 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘවරයාගේ දියණිය වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පක්‍ෂය පත්ව ඇති විනාශය  පිළිබඳව බලා සිටිය නොහැකි වීම තුළ  අධිකරණ ක්‍රියාවලියකට යොමු වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අධිකරණයෙන් අද දිනයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ට එරෙහිව වාරණ නියෝගයක් ලැබුණු බවත් කොළඹ ඩාලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද (4) පැවසීය.

 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයාට එරෙහිව අධිකරණයෙන් වාරණයක් නොලැබුණත් බොහෝ කාලයකට පෙර ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කර තිබූ බව කී අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අත්වී ඇති ඉරණම සම්බන්ධයෙන් සියලු දෙනා හිටපු ජනාධිපතිවරයාට චෝදනා කළ බව ද සඳහන් කළේය.

 

පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වන තමන්වත්, ජාතික සංවිධායක සහ භාණ්ඩාගාරිකවරයාත් ව්‍යවස්ථා විරෝධීව තනතුරුවලින් ඉවත්කිරීමට කටයුතු කළ බවත්  ඒ හේතුවෙන් පක්‍ෂයේ විනාශය වැලැක්වීමට පක්‍ෂයේ අනුශාසකවරියක් වන චන්ද්‍රිකා මැතිණිය අධිකරණයේ පිහිට පැතූ බවත් ඔහු වැඩිදුරටත් කීය.

 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නායකත්වය ගන්නා විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයන් 140 ක් පමණ පාර්ලීමේන්තු මන්ත්‍රීවරු ලෙස කටයුතු කළ ද මේ වන විට එම සංඛ්‍යාව දෙකක් දක්වා අඩු වී ඇති බව කී අමාත්‍යවරයා  ඔහු දක්‍ෂ සංවිධායකයන් විශාල පිරිසක් ඉවත් කළ බව ද සඳහන් කළේය.

 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සන්ධානයක් ගොඩනැගීමට ගිය අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේනව  නායයකත්ව මණ්ඩලයට පත්කිරීමට සෙසු පක්‍ෂ අකමැති වූ බවත් මහ ගෙදර හැර ගිය සියලු දෙනාට මේ අවස්ථාවේදී ආරාධනා කරනවා මෙන්ම ඔවුන් සම්බන්ධයෙන් කිසිඳු ආකාරයේ පළිගැනීමක් නොවන බවත් ඔහු කියයි.

 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය  ගොඩනැගීමේ එකම අරමුණ ශ්‍රී ලංකාකාරයෙක් ලෙස මැරෙන මොහොත දක්වා කටයුතු කිරීම බව ද මහින්ද අමරවීර අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

 

උපතින්ම ශ්‍රී ලාංකා නිදහස් පක්‍ෂිකයන් වී සිටීම නිසා චන්ද්‍රිකා මැතිණිය අධිකරණයට ගොස් ගත් මෙම තීන්දුව පිළිබඳව සතුටු වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නව ගමන සඳහා සියලු දෙනාටම  එකතු වන ලෙස ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක එම මාධ්‍ය හමුවේදී පැවසීය.

 

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ එම පක්‍ෂයේ උප ලේකම් ජගත් පුෂ්පකුමාර ද සහභාගී වී ඇත.

නවතම ලිපි