SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යනු කතා මවන්නෙකි.

මයික් එකක් දුටු සැණින් කුමක් හෝ කතාවක් කියා සභාව සිනා සයුරේ ගිල්වන්නත්, සභාව පුදුම කරන්නත් හපනෙකි. "කතා නම් මෛත්‍රී" කියන තැනට මෛත්‍රීපාල සිරිසේන පත්ව සිටියි.

 

මෛත්‍රීපාල සිරිසේන කතාවට පමණක් නොව අරුම පුදුම වැඩවලටද දක්ෂයෙකි. හෙතෙම 2014 නොවැම්බර් 21 වැනිදා ශ්‍රීලනිපයේ මහ ලේකම් ලෙස සිටිමින් විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත්විය. නිර්පාක්ෂික යැයි කියූ ඔහු එක්වරම ශ්‍රීලනිපයේ සභාපතිකමද භාර ගත්තේය. අනතුරුව 2018 ඔක්තෝබර් 26 වැනිදා තමන්ගේ ජනවරමට පයින් ගසමින් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෑන් ඉරි පහරෙන් එම ධූරයෙන් ඉවත් කරමින් තමන් ජනපති නොවුණා නම් අඩි හයක් පොළොව යටට යැවීමට සිටි බවට පෙර චෝදනා එල්ල කළ මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍යවරයා බවට පත් කළේය. ඒ අමු අමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමිනි. ඒ බවට අධිකරණයෙන් තීන්දුව ලබාදුන් පසුවත් ඔහු රනිල් වික්‍රමසිංහ මහතාට තනතුර දීමට අදිමදි කරමින් සිටියේය. 

 

පසුව පාස්කු ප්‍රහාරය එල්ල විය. එදින තමා රටට පැමිණිය යුතු වුවත් ඔහු ගුවන් යානයේ ආසන නැතැයි කියමින් එය මගහැරියේය. ඉන් පසුව තමන් විසින් වේදිකාවක් වේදිකාවක් ගාණේ  බැණ වදිමින් සිටි රාජපක්ෂවරුන් සමඟ එක්වී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කිරීමට කටයුතු කළේය. විවිධ වූ කතාබහට ලක්වන දේ සිදුකළ මෛත්‍රීපාල මහතා අවසානයේදී පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ලබාදුන් ඔත්තුවත් සමඟ දැන් "කුම්බලා මාළු" කෑ ලෙසින් සිටියි. නඩු පිට නඩු වැටුණු මෛත්‍රීපාල අද වන විට කිසිදු වගකීමකින් තොරව කටයුතු කරන අයෙක් ලෙස හංවඩු ගැසී සිටියි. 

 

මෛත්‍රීපාල සිරිසේන මහතා හොඳම වැඩේ සිද්ධ කළේ පසුගියදාය. ඒ තමා සමඟ එකට සිටි තිදෙනකු එම තනතුරුවලින් ඉවත් කිරීමට කටයුතු කිරීමය. අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ මන්ත්‍රී දුමින්ද දිසානායක යන තිදෙනා පක්ෂ තනතුරුවලින් ඉවත් කිරීමට ඔහු කටයුතු කළේය. මෙහි සිනහ උපදවන සිදුවීම නම් තමන් මහින්ද රාජපක්ෂ මහතා අතහැර පොදු අපේක්ෂකයා වූ අවස්ථාවේ ඔහු සමඟ එකට සිටි දුමින්ද දිසානායකද අදාළ තනතුරෙන් ඉවත් කිරීමය.

 

අදාළ මන්ත්‍රීවරුන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසූ විට ඔවුන් සඳහන් කර සිටියේ මෙම සිදුවීම සිදුවූ දින තමන් මධ්‍යම කාරක සභාවට සහභාගි වුවද එහිදී මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදු නොකළ බවයි. මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට උත්සාහ කළද ඊට අවසර ලබා නොදුන් බවද ඔවුහු සඳහන් කරති. මේ ආකාරයෙන් අත්තනෝමතික ලෙස කටයුතු කරන ඒකාධිපතියකු ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හැසිරීම බොහෝ දෙනා තිගැස්සෙන සුළු සිදුවීමක් වී තිබේ. එමෙන්ම එම අවස්ථාවට ආරාධිතයකු ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද සහභාගි වී සිටියේය. විජයදාස රාජපක්ෂ මහතාගේ සහභාගි වීම බොහෝ දෙනකුට ප්‍රශ්නයක් වී තිබුණි.

 

මීට පෙර දිවට දිව ගා සිටි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාද මේ ආකාරයෙන් ඉවත් කළ පසුබිමක දුමින්ද, අමරවීර සහ ලසන්තට මෙලෙස සිදුවීම පුදුම වීමට දෙයක් නැතැයි බොහෝ දෙනා සිතූහ. මෙම සිදුවීමෙන් පසුව දුමින්දත්, අමරවීරත් පැවසුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා නඩු පිට නඩු ගොඩක පැටලී සිටින නිසා ඔහු මානසික වශයෙන් පීඩාවක සිටින බවයි. ඒ නිසා ඔහු මෙවැනි දෑ සිදු කරන බව ඔවුන්ගේ අදහස වී ඇත. කෙසේ වෙතත් එතුමා මෙලෙස පීඩාවෙන් සිටින්නේ නම් මේ මොහොතේ ඔහු රටේ ජනාධිපති ලෙස කටයුතු නොකිරීම අපේ වාසනාව බව කිව යුතුමය.

 

නඩු පිට නඩු වැලක පැටලී සිටින මෛත්‍රීපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා තෝරාගැනීමට යන බවට එහෙන් මෙහෙන් තොරතුරු ලැබෙමින් තිබේ. කෙසේ වෙතත් නඩු හබ පීඩාවෙන් සිටින මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා බලයට ගෙන ඒවිද? ගෙන එන්නේ නම් කුමක් සඳහාද? කුමන වාසියක් සඳහාද? යැයි අපි නොදනිමු. එහෙත් අත ලෙවකෑමට මීයක් කඩන සිරිතක් දේශපාලනඥයන්ගේ නැත. විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා කොහොමත් එවැනි තැනක නොසිටින්නෙකි. ඔහු අධිකරණ අමාත්‍යවරයා ඒ වෙනුවෙන් තෝරාගත්තේ රටට ආදරේටද? තමන්ගේ ආරක්ෂාවටද යන්න දන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාම පමණි.

 

මෛත්‍රීපාල සිරිසේන මහතා කෙතරම් සැලසුම් සකස් කළද මෙවර ඔහුගේ ක්‍රියා කලාපය එතරම් සුබදායක වූයේ නැත. ඒ එක්වරම ඔහුට ලැබුණු නඩු තීන්දුවකි. එනම් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් ගොනුකළ නඩුවකට අදාළව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්ෂ සභාපතිත්වයේ රාජකාරි කිරීම තහනමට ලක්වීමය. එය ඉතිහාසයේ පක්ෂ නායකයකු මුහුණදුන් බරපතළම සිදුවීමකි. හිතුමතේ, ඒකාධිපතියකු සේ හැසිරීමේ ප්‍රතිඵලය මේ වන විට මෛත්‍රීපාල සිරිසේන මහතා අත්විඳිමින් සිටියි.

 

දැනගැනීමට ඇති පරිදි නඩු තීන්දුවෙන් පසුව මහින්ද අමරවීර, ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන අය පක්ෂ මූලස්ථානයට පැමිණ මාධ්‍ය සාකච්ඡාවක් සිදු කළහ. එම සාකච්ඡාව අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනාගතය කුමක් වේද යැයි ඉදිරියේදී තීන්දු වනු ඇත.

 

පසුගිය කාලය පුරාම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට ශ්‍රීලනිපයේ සභාපතිත්වය බාරගන්නා ලෙස මෛත්‍රීපාල මහතා විරෝධී පාර්ශ්වවලින් ඉල්ලීම් ඉදිරිපත් විය. එහෙත් ඇය එය ප්‍රතික්ෂේප කළාය. කෙසේ වෙතත් දැන් පවතින තත්ත්වය මත කොයි මොහොතක හෝ පක්ෂ සභාපතිත්වය මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ගිලිහෙනු ඇත. ඔහුට ඒ සියල්ලට මුහුණ දීමට සිදුවනුයේ තමන් කවුද? තමන්ගේ තත්ත්වය කුමක්ද? යැයි හරි හැටි අවබෝධයකින් තොරව කටයුතු කළ බැවිනි. ඒ නිසා මෙම සිදුවීම කාට කාටත් හොඳ පාඩමක් වනු ඇත. 

 

@ ගයාන් ගාල්ලගේ

Deshaya

නවතම ලිපි