SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දශක තුනක් රට පාලනය කල හිටපු ජනාධිපතිවරියක් සහ ජනාධිපතිවරුන් තිදෙනෙක් රටේ ඉන්නවා. මේ සිව් දෙනාම නඩත්තු වෙන්නේ බිලියන ගණනක මහජන බදු මුදල් වලින්.

කරුණාකරලා ඔබ සියලු දෙනා පක්ෂ දේශපාලනයෙන් සහ මැතිවරණ දේශපාලනයෙන් ඉවත් වෙන්න. මහජනතාව බිලියන ගණනක් බදු මුදල් වියදම් කරන්නේ කිසියම් පක්ෂයක ප්‍රවර්ධනය හෝ ප්‍රචාරණය වෙනුවෙන් නොවන බව ඔවුන් තේරුම් ගත යුතු යැයි නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඊයේ (10) තිබූ මාධ්‍ය හමුවකදී  ප්‍රකාශ කර ඇත.

 

රටේ පැවති පසුගිය අර්බුදය හමුවේ වගකීම භාර ගන්න කිසිවෙක් හිටියේ නැහැ. ඔක්කොම හැංගුණා මම විතරයි අභියෝගය භාර ගත්තේ කියා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියනවා. මේක බරපතළ බොරුවක් බවද මම, විපක්ෂයේ බොහෝ කණ්ඩායම් සමඟ ඒ බරපතළ අභියෝගය භාරගත් බවද ඔහු එහිදී  අවධාරණය කළේය.

 

තව දින දෙකකින් එළඹෙන නව අවුරුදු උදාවේ සිට හරියටම සති 25 කින් ඒ කියන්නෙ, දින  176 කින් මේ රටේ නව වැනි විධායක ජනාධිපතිවරයා පත්වීම කිසිසේත්ම වැළැක්විය නොහැකි බවද ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

 

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම ...

 

 

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාටත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාටත් බයේ හැංගුනා යනුවෙන් චෝදනා කරනවා. දේශපාලන පරස්පරතා තිබුණත් ඔවුන් දෙදෙනාටත් සාධාරණත්වය ඉටුකල යුතුයි. සජිත් සහ අනුර දෙන්නම කිව්වේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් වෙනවා නම්, මේ අභියෝගය භාරගන්නවා කියල. පොහොට්ටුවේ ඇමති මණ්ඩලයක්, පාර්ලිමේන්තුවක් එක්ක සජිත් හෝ අනුර කොහොමද ආණ්ඩු කරන්නේ. ඒ නිසා, ඒ දෙන්නා බයවෙලා, හැංගිලා මේක භාරගන්නේ නෑ කියන ලොකු බොරුවක්.

 

නව අවුරුදු උදාවේ සිට හරියටම සති 25 කින් ඒ කියන්නෙ, දින  176 කින් මේ රටේ නව වැනි විධායක ජනාධිපතිවරයා පත්වීම කිසිසේත්ම වැළැක්විය නොහැකියි. ජනාධිපතිවරණය පවත්වයිද? නැද්ද? මහමැතිවරණය පැවැත්වයිද? වෙන මැතිවරණයක් ඊට පෙර එයිද?  නැද්ද? යන කාරණාවන් පිළිබඳ කිසිදු ආකාරයක සැකයක් සංඛාවක් තියාගන්න එපා. ඒවා සියල්ල ආණ්ඩුව විසින් ඇති කරනු ලබන මාධ්‍ය බුබුළු. පළමුවෙන් තියන්නේ ජනාධිපතිවරණය. ඒක  නියතයක්.

 

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරණය නිශ්චිත දිනයන්හිදි  පැවැත්විය යුතුමයි. ඒ අනුව, නව වසර උදා වී අප්‍රේල් 14 සිට හරියටම දින 93 කින් නිසැක වශයෙන්ම මැතිවරණ කොමිසමට සිදුවෙනවා ජනාධිපතිවරණය නිවේදනය කරන්න. ඒ වගේම, දින 114 කින් නාමයෝජනා කැඳවීම ජනාධිපතිවරණ පනතට අනුව සිදුවිය යුතුයි. එනම්, 2024 අගෝස්තු පළමු සතිය තුළ නාමයෝජනා කැදවීම නීතියට අනුව කරන්න වෙනවා.

 

ඒ වගේම, නව අවුරුදු උදාවේ සිට හරියටම සති විසි පහකින් ඒ කියන්නෙ දින වශයෙන් ගත්තොත් දින 176 කින් පමණ මේ රටේ නව වැනි විධායක ජනාධිපතිවරයා පත්වීම කිසිසේත්ම වැළැක්විය නොහැකියි. නව ජනාධිපතිවරයෙක්, නව අගමැතිවරයෙක් නව කැබිනට් මණ්ඩලයක් පත්වීම නියතයක්. ඒ නිසා, ජනාධිපතිවරණයට දින 176 ආසන්න වූ මොහොතේ, වර්තමාන පාලකයන් සිදුකරමින් සිටින රට විකුණන න්‍යායපත්‍ර, එහෙම නැත්නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, රටේ මූලික නීතිය උල්ලංඝනය කරන තීන්දු තීරණ ගැනීම පාලකයින්ගේ දේශපාලන සෞඛ්‍යයට බරපතළ ලෙස අහිතකර වන බව කියන්න කැමතියි.

 

ඒ වගේම, ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසමේ පළමු සභාපතිවරයා වන හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අම්බලන්ගොඩ එතුමාගේ නිවස ඉදිරිපිට බැනර් එකක් ප්‍රදර්ශනය කරනවා අපි දැක්කා. ඔහු පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිවයි එම බැනරය ප්‍රදර්ශණය කළේ. ඔහු ප්‍රකාශ කරනවා මැතිවරණ කල්දැමීම ඒකාධිපතිත්වයට අත වැනීමක් කියලා. ඒක තමයි ඇත්ත. වත්මන් පාලකයින් මේ තත්ත්වය තේරුම් ගත යුතුයි. අද (10) සිට හරියටම දින 176 කින් නව නායකත්වයක් මේ රටට ලැබෙන නිසා, කිසිවෙක් මේ රට තමන්ගේ පුද්ගලික බූදලයක් කියා හෝ මේ රට තමාගේ කොම්පැනියක් කියා හෝ තමන්ගේ පවුලේ බූදලයක් කියා සිතා කටයුතු නොක යුතුයි. එම නිහඬ බලකිරීම අපි මේ අවස්ථාවේදී සිදු කරනු ලබනවා.

 

ඒ වගේම, අපේ සංස්කෘතික පිළිගැනීමට අනුව, සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමට ආසන්න මේ මොහොතේ අපේ රටේ දේශපාලන සංස්කෘතිය නිරවුල් කර ගැනීම සඳහා හිටපු රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලීමක් කරන්න ඕන. දශක තුනක් රට පාලනය කල හිටපු ජනාධිපතිවරියක් සහ ජනාධිපතිවරුන් තිදෙනෙක් අප රටේ ඉන්නවා. මේ සිව් දෙනාම නඩත්තු වෙන්නේ බිලියන ගණනාවක මහජනතාවගේ බදු මුදල් වලින්. එවැනි  පසුබිමක මේ අය පක්ෂ දේශපාලනය කරන එක, මැතිවරණ දේශපාලනය කරන එක යුක්ති සහගත නැහැ. එම නිසා, මගේ ඉල්ලීම,  කරුණාකරලා ඔබ සියලු දෙනා පක්ෂ දේශපාලනයෙන් සහ මැතිවරණ දේශපාලනයෙන් ඉවත් වෙලා ඉන්න. මහජනතාව බිලියන ගණනක් බදු වියදම් කරන්නේ කිසියම් පක්ෂයක ප්‍රවර්ධනය වෙනුවෙන් ප්‍රචාරණය වෙනුවෙන් නොවන බව ඔවුන් තේරුම් ගත යුතුයි.

 

අපේ රටේ විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණය කළේ ඇමෙරිකන් ජනාධිපති ක්‍රමය සහ ප්‍රංශයේ ක්‍රමය යන ක්‍රමයන් උදාහරණයට අරගෙන. නමුත් ඇමරිකාවේ  ජනාධිපතිවරු 46 ක්  අතරින් එකම එක ජනාධිපතිවරයෙක් පමණයි ජනාධිපති පදවියේ සිට කොංග්‍රස් මණ්ඩලයට නැවත තරග කළේ. එය සිදුවෙලා තිබෙන්නේද 1830 තරම් වූ ඈත යුගයකදී. ඇමරිකාවේ 06 වැනි ජනාධිපති ජෝන් කුවන්සි ඇඩම් එසේ පත්ව තිබෙනවා.  ප්‍රංශයේ එවන් දෙයක් කවදාවත් සිදුවෙලා නෑ. පළවෙනි පුරවැසියෙක් එහෙම හෑල්ලු වෙන එක රටට හොඳ නෑ. අපේ රටේ විධායක ජනාධිපතිවරුන්ගේ මේ හැසිරීම එක පැත්තකින් අප්‍රසන්නයි, පිළිකුල් සහගතයි. අනෙක් පැත්තෙන්, මහජනතාවගේ බදු මුදල්වලට සිදු කරන නිග්‍රහයක්, අසාධාරණයක්, අවමානයක්.

 

ඇමරිකාවේ ප්‍රංශයේ නෙමෙයි, අපේ රටේ ඉතිහාසය ගෙන බැලුවත් දේශපාලනය සම්බන්ධයෙන් කුමන මතවාද ප්‍රතිවිරුද්ධ අදහස් තිබුණත් ජේ ආර් ජයවර්ධන පළමු විධායක ජනාධිපතිවරයා ක්‍රියාවෙන්ම අපට ඒ ආදර්ශය ලබා දී තිබෙනවා.  ජනාධිපති ධුරය හෙබවීමෙන් පසු මිය යන තෙක් කිසිදු ක්‍රියාකාරී දේශපාලන ක්‍රියාවලියකට ඔහු සහභාගී වුණේ නැහැ. අඩුම ගනනේ ඔහුවත් ආදර්ශයට ගන්න මේ විශ්‍රාමික ජනාධිපතිවරුන් සිව් දෙනා කටයුතු කල යුතුයි. කරුණාකර තරුණ පරම්පරාව, මේ මහපොළොව ඉල්ලන නව දේශපාලන සංස්කෘතිය වෙනුවෙන් මහජනතාවගේ බදු මුදල් වලට ගරු කරමින් පළමු පුරවැසියාගේ පරමාදර්ශී භූමිකාවකට ඇතුල් වන්නැයි ගෞරව පෙරදැරිව මා ඒ සිව් දෙනාගෙන් නැවත නැවත් ඉල්ලා සිටිනවා.

නවතම ලිපි