SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රොහාන් සහ මා අතර ප්‍රථම මෙන්ම අවසන් අභිමුඛ වීම ද දෛවෝපගත ලෙස උත්ප්‍රාසජනක ය.

මට ඔහු මුලින්ම හමුවුනේ 1985 අග හෝ 1986 මුල, කොටුවේ රජයේ ලිපිකරු සේවා සංගම් ගොඩනැගිල්ලේ යටිබිම් මහලේ ලංකා ගුරු සංගමයේ කුඩා කාර්යාලයේ දී. කොළඹ කොටුවේ ඉතා ජනාකීර්ණ ස්ථානයක පිහිටි මේ අමුතු ගොඩනැගිල්ලේ යටිබිම් මහළ මෙන්ම රොහාන්ගේ පුද්ගලික මෙන්ම සමාජ ජීවිතයට ද ගුප්ත සහ බොහෝ විට යටිබිම්ගත එකක් විය.

 

මා ඒ කාර්යාලයට එදා ඇතුළුවන විට එහි කීප දෙනෙක් පුටුවල වාඩි වී සිටියහ. ඒ අය නම් ගුරු සංගමයේ ටයිපිස්ට් ලෙස කටයුතු කළ දයානන්ද සහෝදරයා, එවකට ලේකම් ජයසිංහ සහෝදරයා, රංජිත් පෙරේරා ප්‍රගීත් එක්නැලිගොඩ හා රොහාන් පෙරේරාය.

 

ඒ කිසිවෙක් මා ඊට පෙර දැන සිටියේ නැත (සමහර විට රංජිත් පෙරේරා එක් වරක් මුණ ගැසී තිබුණා විය හැක). මතක විදිහට රංජිත් සෙසු අය මට හදුන්වා දුණි. රොහාන් හිටියේ පුටුවක වාඩි වී විශාල ඝනකමක් සහිත ඉංග්‍රීසි පොතක මුහුණ ඔබාගෙනයි. ඔහු ඔහුගේ නම කී විට මුහුණ ඔසවා සුහද ලෙස සිනහ වී නැවතත් පොතේ මුහුණ ඔබාගත්තේය. මට මෙවැනි විශාල ඝනකමකින් යුක්ත ඉංග්‍රීසි පොත් කියවන චරිත දර්ශනය වීම මෙකළ නිතරම මගේ කුදු බව මට ම පසක් කරවන සුළු අත්දැකීමක් විය. තිසරණි ගුණසේකර, හර්ෂ අතුරුපාන වැනි අය හරහා මා නිතරම මේ අත්දැකීමට මුහුණ දී සිටියෙමි. එහෙත් අර්ධ අඳුරක ගැලී තිබූ මේ යටිබිම්ගත වෘත්තීය සමිති කාර්යාලයේ පොතක් කියැවීමට කිසිසේත්ම උචිත වාතාවරණයක් නොමැති තත්වයක මේ තරම් අවධානයකින් ඝන ඉංග්‍රීසි පොතක් කියවන මේ පුද්ගලයා මට තරමක් ගුප්ත දර්ශනයක් විය.

 

උත්ප්‍රාසජනක ලෙස රොහාන් අවසාන වතාවට මට හමුවුනේ මීට මාසයකට විතර ඉස්සර බොරැල්ල කනත්ත ලඟ දි කලින් දුරකථනයෙන් කතා කොට ඇති කරගත් සැලසුමකට අනුවයි. අප දෙදෙනා ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට කතිකා කරගත් සැලසුම පසෙක තබා සමහර විට හෙට දිනයේ බොරුල්ල කනත්තේ දීම ඔහුගේ අප්‍රාණික සිරුරට සමුදීමට සිදුවනු ඇත.

 

2021 දී මා සංස්කරණය කොට විදර්ශන ප්‍රකාශකයින් විසින් පළ කරනු ලැබූ ලංකාවේ “නව ප්‍රති ජාතිකවාදී චින්තනයේ දසවසක්“ නම් කෘතියේ රොහාන් ගැන මා ලියූ හැඳින්වීම පහත දැක්වේ.

 

“රොහාන් පෙරේරා: 1980 දශකයේ බිහි වූ සුවිශේෂී බුද්ධිමතුන් පරම්පරාවක රොහාන් පෙරේරා පුරෝගාමියෙක් ලෙස සැලකිය හැකිය. ඔහුගේ බුද්ධිමය මැදිහත්වීම ආරම්භයේ සිටම අතිශය මතභේදකාරී එකක් විය. 1990 දශකයේ දී මෙම නව බුද්ධිමය පරම්පරාව තුළ අතිශයින් ජනප්‍රිය වූ 'ක්ෂුද්‍ර දේශපාලනය' පිළිබඳ ලංකාවේ ආරම්භක න්‍යායවේදියා ලෙස රොහාන් පෙරේරා හඳුන්වාදිය හැක. මෙම කෘතිය තුළ සලකා බැලෙන ප්‍රති-ජාතිකවාදී කතිකාව තුළ නව නැඹුරුවක් ඇති කිරීමට ඔහුගේ බුද්ධිමය මැදිහත්වීම පුරෝගාමී වූ බව කිව හැක.

 

මෙහි දී ක්ෂුද්‍ර දේශපාලනය (Micro Politics) යන්න අතිශයින් වැදගත් වේ. ඔහු මේ සොයා ගැනීම කළේ කෙසේ ද, සහ එයට පසුබිම් වූ න්‍යායික හා අනුභූතික පදනම කුමක්ද යන්න ලංකාවේ නූතන දේශපාලන තුළ අතිශයින් වැදගත් මාතෘකාවක් ලෙස හැදින්විය හැක. මගේ තේරුම් ගැනීමේ හැටියට මා ඉහත සදහන් කළ මගේ මුල් හමුවීම සිදු වූයේ රොහාන් මේ වැදගත් “සොයා ගැනීම“ සිදු කරමින් සිටි වකවානුවේය. කෙසේ වෙතත් මේ “සොයාගැනීමට“ අදාල ක්‍රියාදාමය අතිශියන් මතභේදාත්මක එකක් විය. එහි ලා රොහාන් අනුගමනය කළ ක්‍රියාදාමය බොහෝ දෙනාගේ ජීවිත උඩු යටිකුරු කළ ඒවාය. ඒවාගේ ආචාරධාර්මිකත්වය පිළිබද ගැටලුව තවමත් නොවිසදුනු එකකි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැදගත්වන මගේ නිරීක්ෂණ කීපයක් ඉදිරිපත් කරමි.

 

පෙනෙන විදිහට රොහාන් මුලින්ම දේශපාලන වශයෙන් අභිමුඛ වන්නේ නුවර හා කොළඹ ආශ්‍රිතව පැවැති නිව්ටන් ගුණසිංහ මුල්කරගත් බුද්ධිමය කවයටයි. ප්‍රගීත් එක්නැලිගොඩ, සීජේ අමරතුංග, රාජා උස්වැටකෙයියාව, නෙල්සන් එදිරිසිංහ වැනි අය මෙහි සෙසු තරුණ සාමාජිකයින් විය. නුවර ජයරත්න මලියගොඩ ගේ වෘත්තීය සමිති කාර්යාලය ඔවුන්ගේ ප්‍රධාන තිප්පොලක් විය. විමසුම සගරාව සහ සත්‍යොදය මගින් පළ කළ තවත් සගරාවක් (නම මගේ මතකයෙන් ගිලිහී ඇත) ඔවුන්ගේ ක්‍රියාකාරකම් හී ප්‍රමුඛ අංගයක් විය.

 

මේ දේශපාලන කවය සමග ඓන්ද්‍රීය සම්බන්ධකම් තිබූ කොළඹ ආශ්‍රිත ස්ත්‍රීවාදී කවයට රොහාන් ඇතුළු වීම මීලග තීරණාත්මක අවස්ථාවයි. විශේෂයෙන්ම මෙම ස්ත්‍රීවාදී කවයේ මුල් පෙළ සාමාජිකාවක් වූ පද්මිණී පල්ලියගුරුගේ පවුල සමග රොහාන්ගේ ඇති වන කිට්ටු සම්බන්ධය අතිශයින් වැදගත්වේ. සුනිලා අබේසේකර, කුමුදුනී සැමුවෙල්, සේපාලී කෝට්ටේගොඩ, ලීනා අයිරින් හපුතන්ත්‍රී, සුනිල් විජේසිරිවර්ධන, පද්මිණී පල්ලියගුරු, කුසල් පෙරේරා වැනි පිරිසක් එක්වී නිර්මාණය වී තිබූ අවිධිමත් ස්ත්‍රීවාදී කවය තුළට රොහාන්ගේ ආගමනය ඔහු විසින් පසුව රචිත “විකල්ප සංවිධානයක බලරටා“ නම්වූ ගුප්ත රචනාවට පසුබිම සැපයීය. (රොහාන් මේ ස්ත්‍රීවාදී කවයේ අභ්‍යන්තර සාමාජිකයෙක් බව මා මුල්වරට අනුමාන කළේ, අවාසනාවන්ත ලෙස අකාගේ මිය ගිය ලීනාගේ අවමගුල පැවැති පාදුක්ක ප්‍රදේශයේ ඇයගේ දිළිදු නිවසේ දී මේ ස්ත්‍රීවාදී කවය විසින් බෙදා හරිනු ලැබූ ශෝකප්‍රකාශයක රොහාන්ගේ නම ද සදහන් වී තිබූ අවස්ථාවේය.) මේ කෘතිය මා දැක නැත. එය මේ වනවිට කිසිවකු සන්තකයේ නැති බව පෙනේ. එහෙත් පසුව එක්ස් කණ්ඩායම හරහා උච්චස්ථානයට පත්වූ නව දේශපාලන කතිකාවක ආරම්භය මේ කෘතිය ලෙස හැදින්විය හැක. මේ කෘතියේ එන විග්‍රහය ඔහු සම්පාදනය කළේ මේ කුඩා ස්ත්‍රීවාදී කවයේ සාමාජික සාමාජිකාවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, හා ඒ පිරිස්වල සම්බන්ධතා අන්වීක්ෂමය පරීක්ෂාවකට භාජනය කරමිනි. සමහර විට මේ අන්වීක්ෂමය පරීක්ෂාව කරනු ලැබුවේ ඔහුටම ආවේණික වූ ක්‍රමයකට සියුම් සැත් පිහියකින් ශරීරයකට සැත්කමක් කරන ශෛල්‍ය වෛද්‍යවරයෙක් මෙන් මේ පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් අතර පැවැති සබදතාවලට මැදිහත් වීම මගිනි. මෙවැනි මැදිහත්වීම් මාරාන්තික විය හැකි බව පසු කළෙක රොහාන් ම පුද්ගලිකව අත් වින්දේය. (එවැනි එක් අවස්ථාවක ඔහුගේ ආවතේවකරුවෙක් වීමටද මට සිදු විය.)

 

“විකල්ප සංවිධානයක බලරටා“ කෘතිය තුළ ඔහු ලංකාවේ විකල්ප වාමාංශික දේශපාලනය සම්බන්ධයෙන් ගොඩ නංවන ලද “රාත්‍රිය විසින් දහවල පරාජය කිරීම“ යන යුග කාරක ප්‍රවාදය මේ අන්වීක්ෂමය පරීක්ෂාවේ ප්‍රතිඵලයයි. ඒ මගින් ඔහු ඉදිරිපත් කළ තර්කය වූයේ මේ විකල්ප දේශපාලන ක්‍රියාධරයින් සිය දහවල් ජීවිතයේ දී නියෝජනය කරන දේශපාලන දැක්ම ඔවුන්ගේ ම රාත්‍රී ජීවිතය මගින් නිෂේධ කෙරෙන බවයි. මෙහි “දහවල“ හා “රාත්‍රිය“ සැලකිය යුත්තේ රූපක ලෙසිනි. ඔහු ක්ෂුද්‍ර දේශපාලනය යන්නෙන් අදහස් කළේ මේ “දහවල්“ දේශපාලනය හා “රාත්‍රී“ දේශපාලනය අතර පවත්නා අන්‍යොන්‍ය සම්බන්ධය පිළිගන්නා නව දේශපාලන පර්යාවලෝකනයකටයි.

 

මෙම නව දේශපාලන සංකල්පකරණය සදහා රොහාන්ට උපකාරී වූ න්‍යායික පසුබිම නිර්මාණය වූයේ කෙසේද යන්නද විමසා බැලීම වැදගත්ය. මගේ තක්සේරුවේ හැටියට එය සිදුවන්නේ ද අවස්ථා දෙකකිනි. මුලින්ම නිව්ටන් ගුණසිංහගේ කවය හරහා ඔහු නව මාක්ස්වාදී අදහස් වෙත නිරාවරණය වීම සිදුවේ. මෙකල නිවුටන්ගේ ප්‍රධාන බුද්ධිමය අනුරාගය වූ ග්‍රාම්ස්චි හා අල්තූසර් පිළිබද අධ්‍යයන මෙහි දී වැදගත් විය. ඊලග අදියර වූයේ ස්ත්‍රීවාදී කවයට සම්බන්ධ වීමයි. මේ ස්ත්‍රීවාදී කවය තුළ මෙකල බටහිර ස්ත්‍රීවාදී දේශපාලනය තුළ ප්‍රචලිත වෙමින් පැවැති දියුණු න්‍යායික මෙවලම් සියල්ල සාකච්ඡාවට භාජනය විය. රොහාන්ගේ “විකල්ප සංවිධානයක බලරටා“ කෘතියට න්‍යායික ආලෝකය ලැබුනේ මේ මූලාශ්‍රයෙන් බව කිව හැක.

 

මීලඟ වැදගත් ප්‍රශ්නය වන්නේ 1990 ගණන්වල බිහි වූ නව දේශපාලන කතිකාවක පුරෝගාමීත්වය රොහාන්ට ලැබුනේ කෙසේද යන්නයි. මෙය සිදු වූයේ මෙම ස්ත්‍රීවාදී කවයෙන් එළියට වීසිවන රොහාන් අළුත් තරුණ කණ්ඩායමක් සමග අත්වැල් බැදගැනීම නිසාය. මේ නව තරුණ කණ්ඩායමට අයත් වූයේ අසීමිත බුද්ධිමය කුතුහලයකින් පෙළුණු පිරිසකි. ඒ අය නම් දීප්ති කුමාර ගුණරත්න, කේකේ සමන් කුමාර නිහාල් පීරිස්, මනුබන්දු විද්‍යාපති ඇතුළු පිරිසකි. මේ පිරිස එකතුව යාත්‍රා නමින් සගරාවක් පළ කරනු ලැබුවේ 1988 දී පමණය. ඒ වනවිට රොහාන් “ක්ෂුද්‍ර දේශපාලනය“ නම් වූ මේ නව දේශපාලන මහාද්වීපය හොදින් ගවේෂණය කර තිබුණි. රොහාන්ට මේ නව තරුණ කණ්ඩායම අතර (පසුව මේ තරුණ කණ්ඩායමේ අද්දර සිටි බොහීමියානුවකු වන දැන් නීතිඥයකු වන මංජුල පතිරාජ විසින් ලබා දුන් පටබැදි නාමයෙන් කියැවුණු පරිදි) “බුද්ධ“ බවට පත් වීමට ලැබුණේ ඒ නිසාය.

 

@Nirmal Dewasiri Fb page

නවතම ලිපි